එදා පන්දුව පළුදු කළ මෙදා විනිසුරු තීරණයට හිස නැමූ කිරි කිරි ක්‍රිකට් මහත්තයා ඩේවිඩ් වෝනර් | සිළුමිණ

එදා පන්දුව පළුදු කළ මෙදා විනිසුරු තීරණයට හිස නැමූ කිරි කිරි ක්‍රිකට් මහත්තයා ඩේවිඩ් වෝනර්

 

අතීතයේ ඔස්ට්‍රේලියාවට පිටමං කළේ එංගලන්ත සමාජයේ අපරාධකරුවන් යැයි හඳුනාගත් මිනිසුන් ය. එය ප්‍රකට කියමනකි. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව යටපත් කරමින් එරට බලය උදුරාගත්තේ මෙලෙස එංගලන්තයේ විවිධ අපරාධ සිදු කළ මිනිසුන්ගෙන් පැවත එන්නවුන් විසිනි. එහෙත් එකී නිගමනය වලංගුවන්නේ මීට දශක කීපයකට ඉහත කාලයට ය. දැන් දැන් එකී මතවාදය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. එම තත්ත්වය මෑතකාලයේ පැහැදිලිව ම වෙනස් කළ චරිතයක් පසුගිය දා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන පිටියෙන් මතුව ආයේ ය. ඔහු අන් කවරකුවත් නොව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ය.

පසුගිය 11 වැනි බ්‍රහස්පතින් දා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමඟ පැවැති තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී ඩේවිඩ් වෝනර්ගේ පිත්තේ ස්පර්ශ වුණු පන්දුවක් කඩුලු රකින්නා විසින් සාර්ථකව උඩපන්දුවක් ලෙස රැකගත් බවට ප්‍රබල ඉල්ලීමක් විනිසුරුට ඉදිරිපත් විණි. පාකිස්තාන පන්දුරකින්නන් සියලු දෙනාම පාහේ එය දැවීයාමක් ලෙස සටහන් කරන මෙන් විනිසුරුවාගෙන් ඉල්ලා සිටිය හ. ඔවුනගේ ඉල්ලීමත්, තමන් දුටු දසුනත්, ඩේවිඩ් වෝනර්ගේ මුහුණේ පළවූ අවිශ්වසනීයභාවයත් ක්ෂණයෙන් තුලනය කළ විනිසුරුවා වෝනර් දැවී ගිය පිතිකරුවකු ලෙස නම් කළේ ය.

විනිසුරුගේ තීරණය හා උරණ නොවූ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ක්ෂණයෙන් පිටියෙන් ඉවත් වුණේ මහත්මා ක්‍රිකට් ක්‍රීඩාව කදිමට ප්‍රකට කරමිනි. එහෙත් පසුව විකාශය වූ රූපවාහිනී පුනරූපන දර්ශනවලින් පැහැදිලිව දිස්වූයේ එම පන්දුව වෝනර්ගේ පිත්තේ ස්පර්ශ නොවූ බවයි. ඒ අනුව ඔහු නොදැවුණු ක්‍රීඩකයකු බවත් විනිසුරු තීරණය වැරදි බවත් තරග විස්තර විචාරකයෝ පැහැදිලි කළ හ. එහෙත් එවැනි තීරණාත්මක මොහොතක පවා විනිසුරු තීරණයට හිස නැවීමට වෝනර් ගත් තීරණය නිසා ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව යළිත් වරක් ප්‍රකට කෙරිණි.

'ඇත්තටම ඔහු විනිසුරු තීරණය අභියෝගයට ලක් කළේ නෑ(ඩී.ආර්.එස්.) වහා පිටියෙන් නික්මුණා.' පසුව කීවේ මැතිව් වාඩේ ය. තීරණාත්මක තරගයක තීරණාත්මක මොහොතක ඔහු ඒ ගෞරවණීය ධෛර්යවන්ත බව ප්‍රදර්ශනය කර තිබුණේ ය.

'ඔහුටත් තමන්ගේ දැවීයාම ගැන සැකයක් තිබුණා. ඒත් අනෙක් පස කඩුල්ලේ රැඳී සිටි ග්ලේන් මැක්ස්වෙල් ටත් යම් ශබ්දයක් ඇසී තිබුණා. ඉතින් ඔහුත් සිතා තිබුණේ පන්දුව වෝනර් ගේ පිත්තේ දැවටෙන්නට ඇති බවයි. අනික ඒ ගැන සාකච්ඡා කරලා තීරණය කරන්නවත් දෙන්නාට කාලයක් තිබුණෙ නෑ. ඒ නිසයි වෝනර් තමන් දැවී යන්න ඇති කියලා හිතලා විනිසුරු තීරණයට හිස නවලා පිටියෙන් ඉවත්වෙලා තිබුණේ.' යැයි ද වාඩේ පවසා තිබිණි.

මේ අතර ඩේවිඩ් වෝනර් විනිසුරු තීරණය නැවත අභියෝගයට ලක්නොකළේ ඇයි ද යන්න සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණේ ය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිරිස් අතර හිටපු සුපිරි පිතිකරුවකු ලෙස සැලකෙන සචින් ටෙන්ඩුල්කාර් ද විණි.

'ඇත්තටම ඔහුගේ දැවීයාම පුදුමාකාරයි. ප්‍රතිවාදී පිලේ හැමෝම උඩපන්දුවක් රැකගත්තා කියා ප්‍රබල ඉල්ලීමක් කරනවා. ඒ එක්ක විනිසුරුවාත් ඔහු දැවී ගියා කියලා සංඥා කරනවා. ' සචින් ෆේස් බුක් සමාජ ජාලයට වීඩියෝ පටයක් මුදාහරිමින් පවසා තිබිණි.

තමන් නොදැවුණු බව කියන්නට වෝනර්ට නොහැකි වූයේ ඇයි? ඒ පිළිබඳ සචින් අදහස් දක්වා තිබුණේ මෙසේ ය.

'සමහර වෙලාවට පන්දුව යන්තමින් පිත්තේ ගෑවී යනවා. ඒත් බොහෝ වෙලාවට එහෙම පන්දුව පිත්තේ ස්පර්ශ වුණු බවක් පිතිකරුවාට තේරෙන්නෙත් නෑ. තවත් වෙලාවක පිත්තේ පන්දුව ස්පර්ශ නොවුණත් ප්‍රතිවාදීන්ගේ දැඩි ඉල්ලීමත් ඊට අනුකූල විනිසුරුගේ ප්‍රතික්‍රියාවත් එක්ක පිතිකරුවෝ තමන් දැවී ගියා කියලා ඔළුව වෙනස් කරගන්නවා. මට හිතෙන්නේ වෝනර්ට වුණේ ඒ වගේ දෙයක්. ' යැයි ටෙන්ඩුල්කාර් පවසා තිබුණේ ය.

ඒ අනුව තත්පර කීපයක් තුළ තීරණයක් ගැනීමේ දී ඇතිවන්නා වූ පීඩනය, දෘශ්ඨි මායාව, ප්‍රතිවාදීන්ගේ සංවිධානාත්මක බලපෑම, අනෙක් අන්තයේ රැඳී සිටින තම සගයාගේ ප්‍රතිචාරය, විනිසුරුගේ තීරණයේ විශ්වසනීය භාවය මැන බැලීම සමඟ පිතිකරුවකුට තමන් දැවී ගියේ යැයි හැඟීමක් ගොඩනැගෙන්නට බොහෝ අවස්ථා තිබේ. මේ අනුව එදා තරගයේ දී ඒ සියල්ල සමඟ වෝනර් තුළ ජීවත් වූ අපූරු ක්‍රිකට් මහත්මයාගේ අවදිවීම විනිසුරු තීරණයට හිස නැවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේ යැයි සිතිය හැකි ය.

අප එසේ කියන්නේ ඇයි?

එයට පිළිතුර ඩේවිඩ් වෝනර් ම කලකට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙසේ ය.

'වසරක තරග තහනම මට මනුස්සයෙක් වෙන්න උපකාර කළා. මම මගේ පවුලත් එක්ක ජීවත් වුණා.' පන්දුව පළුදු කළ බවට ඔප්පු වීමෙන් අනතුරුව ක්‍රිකට් තරග තහනමට ලක්ව සිටි වෝනර් පසුව ප්‍රකාශ කර තිබුණේ ය.

'ඇත්තටම ගෙදර ගත කරපු කාලයේ දි මම හොඳ තාත්තෙක් වුණා. ඒ වගේම හොඳ සැමියෙක් වෙන්නත් මට හැකිවුණා.' ඔහු පවසා තිබිණි. මේ ඒ හොඳ මිනිසාගේ ප්‍රතිබිම්භය ක්‍රිකට් පිටියේ දර්ශනය වූ අවස්ථාවකි.

එදා පන්දුව පළුදු කළ බව පිළිගනිමින් සමාව ඉල්ලා සිටි ඩේවිඩ් වෝනර්,

'මම මේ වරද සම්පූර්ණයෙන් බාර ගන්නවා. ඒ ගැන මම මගේ ජීවිතය පුරා දුක් වෙනවා. ඒත් මම පිටිය අතහැර යන්නේ නෑ. ඔබ සැම මට ලබාදුන්නු ආදරය, ගෞරවය වෙනුවෙන් කෙළෙහිගුණ දක්වනවා. යළිත් වරක් ඔබේ ගෞරවය, ආදරය නිසැකවම මම දිනාගන්නවා.' යැයි කීවේ ය.

හිටපු ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් පිලේ උපනායකයා වූ ඩේවිඩ් වෝනර් එදා තම වරද පිළිගනිමින් සමාජය ඉදිරියේ තැබූ ප්‍රතිඥාව මේ වනවිට සැලකිය යුතු මට්මකින් ඔප්පු කර හමාර ය.

ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයන් හා මිත්‍රශීලිව කටයුතු කිරීමටත්, කෙතරම් දැඩි තරගකාරී තත්ත්වයක් මධ්‍යයේ වුව ද ක්‍රීඩාශීලිත්වය ආරක්ෂා කිරීමටත් වෝනර් දැක්වූ පරිචය ඔහු ක්‍රීඩකයකු වශයෙන් කොතරම් වෙනස් වී ඇත් ද යන්න ඒත්තු ගැන්වී ය. එදා විනිසුරුගේ තීරණයට හිස නමමින් ක්‍රීඩාවේ ජිව ගුණය ආරක්ෂ කිරීමට වෝනර් ක්‍රියා කිරීමෙන් ඒත්තු ගැන්වෙන්නේ පුනරුත්ථාපනය තුළින් ඔහු තුළ සැඟවී සිටි මහත්මයා මතුපිටට පැමිණ ඇති බව ය. වෝනර් යනු අලුත්ම අලුත් නැතහොත් කිරි කිරි ක්‍රිකට් මහත්තයා යැයි කිව හැක්කේ ය. දඬුවම් නිවැරැදි යැයි කිව හැක්කේ එය විඳින්නා නිවැරැදිව තමන්ගේ මනසින් අදාළ පුනරුත්ථාපනය සිදුකරගත්තේ නම් ය. වෝනර් වැනි නිදර්ශන අපට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ පෞරුෂ තුළින් දැක ගත හැකි ද යන්න තීරණය කළ හැක්කේ අනාගතයේ දී ය.

මේ සියල්ල අතර ඩේවිඩ් වෝනර්, මොහොමඩ් හෆීස් තම පළමු පන්දුවාරයේ දෙවරක් තණතීරුවේ කෙටී එන්නට සැලැස්වූ නිපන්දුවට ඩීප් මිඩ්විකට් කලාපයෙන් එල්ල කළ දැවැන්ත හයේ පහර විවේචනය කරන්නෝ ද සිටිය හ. එහි දී ඇතැමුන් පවසා තිබුණේ හෆීස් අතින් පන්දුව ලිස්සා ගිය හෙයින් එයට පහර එල්ල කරන්නට වෝනර් තීරණය කිරීම තුළ යම් අමානුෂික භාවයක් පැවැති බවයි.

තත්පරයකටත් අඩු කාලයක් තුළ තරගයේ අටවැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී වෝනර් හෆීස්ගේ එම ලිස්සා ගිය පන්දුව විනිසුරු කිසිදු සංඥාවක් කිරීමට ප්‍රථම එල්ල කළ එම පහර එක අතකින් අසාධාරණයැයි පැවසීමට හැකියාවක් නැත. එහෙත් එය නිදැල්ලේ යවන්නට වුව ද ඔහුට හැකියාව තිබුණේ යැයි කෙනෙකුට පවසන්නට පිළිවන. එය එසේ නොතකා සිටින්නේ නම් විනිසුරුවාට ද එම පන්දුව නිපන්දුවක් ලෙස සංඥා නොකොට මානුෂීය පදනමෙන් සලකන්නට තිබිණි. එහෙයින් අතින් ලිස්සූ පන්දුවට වැරෙන් පහරදී හතරේ සීමාවට ඉහළින් යැවීම මහත්මා ගුණයේ අර්බුදයක් නොවන බව අපගේ විශ්වාසය ය.

කසුන් ඉරුගල්බණ්ඩාර

 

Comments