කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ලොවට සෙත් වේවා!

විසල් පුරේ එදා තුන් බිය පැති­රෙ­නවා
අකල් මරණ සැම තැන එහි සිදු­වෙ­නවා
වික­ල්ප­යක් නැතිව මිනි­සුන් ලත­වෙ­නවා
කුසල් බෙලෙන් බුදු හිමි පිහි­ටක් වෙනවා

රතන සුතුර දෙස­මින් හිමි වඩන විට
ඉසින පිරිත් පැන් සැම තැන වැටෙන විට
තුන් බිය දුරු වුණා රට පිබිදී යසට
ඒ අනු­හ­සින් සෙත්වේවා මුළු ලොවට

අරුම පුදුම ලෙඩ­දුක් අද පැති­රෙ­නවා
මිලි­යන ගණන් මේ රැල්ලට අහු­වෙ­නවා
ලක්ෂ ගණන් ජනයා මියදී යනවා
ලෝකයෙ විනා­ශය දැයි කුකු­සක් එනවා

දළඳා සමිඳු ජය ශ්‍රී මහා බෝ සමි­ඳුන්
සැමදා වැඩ ඉන්නේ මේ පිං බිම යහ­තින්
හැරදා සියලු දුසි­රිත් බුදු­ගුණ වඩ­මින්
මතුදා නිවන් යමු මෙත්බුදු සමිඳු වැඳන්

ඇල්. ඩී. සිල්වා

*******************


පැතුම් ඉටු­වී‍

­පි­න්බර වෙසක් සඳ නැඟ එන­විට බැබළී
බුදු­ගුණ පසක් කොට දන බැති­යෙන් ඉපිලී
මුනි පුද­සු­නෙහි පිදු මල් සුව­ඳක පැටලී
මල්පිරි වසත් කල ඔබ හමු­විය තිනුලී

පිනි­මුතු සැඟව ගිය දැක අරු­ණලු ඇදෙන
මී මැසි බඹරු දැක පිපි මල් රඟ දමන
සද­හම් සුවඳ විසි­රෙන මොහො­තක දෙරණ
ඔබ දුටු සැණින් දිගු විය මගෙ දිවි ගමන

සුර දෙව්ලි­යන් සම­ඟින් ඔබ පැමිණි වග
කීවා සුවඳ රැඳි කඩු­පුල් අතර මග
බිව් කිරි බිඳක ඔබ අද මව් තුරු­වල ලැග
සවි­බල ඉසුරු ගෙන­දෙයි ගම­න­කට දිග

පැල්පත තුළින් විසි­රෙන කිරි සුවඳ දැනී
සිරි­දුව නැව­තුණ නැසු­මට ඔබගෙ තනී
නව ග්‍රහ අපල නැත කර­වන සතුට තුනී
පිහි­ටයි ඔබට සත් පත්තිනි දෙව් මෑණී

ටී. ඇම්. පොඩි­රා­ල­හාමි

*******************
දුකට උපන් අය

උල්දිය නඟන මඩ වගු­රක කෙළ­ව­රක
අපි­ළි­වෙ­ළට ඉදි­කළ පොඩි පැල්ප­තක
දරු කැළ­තක් සමඟ පවු­ලක් විඳින දුක
දකිනා කාට­වුව සිහි­වෙයි අපා දුක

වත්කම් කියා කිසි­වක් නැත එක එල්ලේ
අබ­ලන් හැලි වළං දෙක තුන ලිප මුල්ලේ
වටිනා කියන වෙන කිසි­වක් නැත ගෙපැලේ
බළලා සිටී ලිප රැක­ගෙන ගෙයි මුල්ලේ

දරු කැළ කෑම ඉල්ලා බිම පෙර­ළෙනවා
බාලම එකා කිරි බොන්නට දඟ­ල­නවා
බල්ලත් හාමතේ අගු­වෙහි නිදි­ය­නවා
මේවා සමඟ මව දුක්ගිනි උහු­ල­නවා

වෙහෙ­සෙන පියා අඹු දරු­වන් රකි­න්නට
ඈතක ගොසිනි කීයක් හරි සොය­න්නට
කඳ­මලු නැතත් එක­වේ­ලක් හෝ කන්ට
මොනවා හෝ ගෙනෙනු නිය­තයි උය­න්නට

කත­රක අත­රමං වී මේ යන ගමනේ
නැව­තුම දකි­න්නට කවු­රුත් නැත දන්නේ
ලැබුණ දෙයින් සැන­සී­මෙන් සිටින්නේ
නොදැ­නුම නිසා බව පම­ණයි පෙනෙන්නේ

රාජා හේමන්ත පින්න­වල

*********************
කොඳ­මල්

නට­බුන් වෙලා ගෙපැ­ලක් ඇත ගම යාලේ
දිරලා මැදින් පොල් අතු හත­රැස් වහලේ
ජීවිත ගමන ගෙවූ හැටි නුඹ වැහි කාලේ
කුරා කුහු­ඹු­වන් මුමු­ණයි හැම වේලේ

පීදෙන ගොයම් පැළ නිය­රෙන් ඈත වෙලේ
වක් වී ගලන ඇළ මත පෙන පිපුණු ජලේ
බඩ පිනු­මින් නටයි දණ්ඩින් පෙළින් පෙළේ
නුඹ නැති නියා­වට නිස­ලයි ගලන ලෙළේ

සඳ­පායා පොල් රුප්පා­වෙන් ඉහට
එබි­කම් කරයි මිය­ගිය නුඹේ අතු පැලට
නිහඬ වේදනා මේ හැටි දර­න්න­ට‍
­ක­වු­රුද කියා­දුන්නේ පව­සන් මෙමට

මිහි­න්තලා සෙල හොරැ­හින් බැලුවා
අව­ටින් පෙළ ගැසුණු පෙර­හැ­ර­කුත් නැතුවා
නොම­දන් වර­ද­කට ගම හිටි ගොලු කොලුවා
මහ උළු­ගෙ­යක දඬු­වම් විඳි­මින් ඇඬුවා

තොටු­පළ වටින් අට­වක හඳ උදා­වුණා
හස­ඟන ගීත දෙස­වන් නිර­තර ඇසුණා
ජල­වක දිනෙක මල්වතු ඔය මත මියෙනා
කොඳ­මල් මිටක් දිය­කඳ ඉවු­රක වැදුණා

චන්ද්‍ර­සිරි මුණ­සිංහ
******************

පිට ගං යන නෑන­ණ්ඩිට

නුඹෙ වත දුටුව පුන්සඳ රැව­ටුණා නගේ
නුඹෙ නෙතු දුටුව තරු කැට සැඟ­වුණා නගේ
නුඹෙ මඳ­හ­සට කොඳ මල් පර­වුණා නගේ
නුඹ දුටු ළඳුන් වත නිති මැල­වුණා නගේ

නුඹෙ රුව විඳි­න්නට කළ පින් මදි වීදෝ
අන් සර­ණක යන්නට හිත දැඩි වීදෝ
පෙර භව­යක මත­කය අම­තක වීදෝ
නාඳු­නනා ලෙසින් පිටගං යාවීදෝ

අහිමි වුණත් නුඹ මගෙ හද­වතේ හිඳී
අම­තක කළත් නුඹ මත­කයෙ ළැගුම් ගනී
යළි ඔබ මවෙත නො එනා බව යද්දි හැඟී
කඳු­ළක් ගිලි­හුණා නෙතු අග තිබුණු රැඳී

අංජලී චන්දිමා සිල්වා
 

*******************

අඹ ගසට කී කවිය

ඉදුණු අඹ ගෙඩි දෙකයි ඇත්තේ
පොලු ගහ­න්නෙපා අඹ ගහට
අමු අඹ­ව­ලට තරහ යයි
තර­හෙන් බිමට පැන
මහ පොළොව බදා­ගෙන අඬයි

පොඩි නංගිත් ඇවිත් කෑගායි
මේ මොක­දැයි අහයි
කෙක්කක් හදා­ගෙන රිට­කින්
කඩා­ග­න්නකො ඉදුණු ගෙඩි දෙක
අපට තව කල් තියෙන්වා යි කිය­මින්
එවිට අමු අඹ සතුටු වෙයි

පොලු ගැහු­වොත් කොළත් හැලෙ­නව
කිණි­තිත් කඩා වැටෙ­නව
එහෙම වෙන කොට අඬ ගසා
පෙන්නයි ද අතු කිනිති අග පුංචි ගෙඩි
බලන්න අර රන්තැ­ඹිලි ගහේ අතු දිහා
ඒ මත කුරු­ල්ලන් හිඳ­ග­යන ගීතිකා
අප­ටත් ඕනෑ අඹ ගහේ ඉදුණු ගෙඩි
හොඳ ළම­යිනේ ඒවා පැහෙන්න ඉඩ දෙන්න
ඒකයි කුරු­ල්ලන් ගී බසින් පව­සන්නෙ

ජය­සේ­කර මල­වි­ආ­රච්චි

***************



හිමි සඳුනේ

එදා හිමි සිදු­හ­තුන්
හැර ගියා සේ මෙදා
හැර ගියා ඔබ මාව
තනි කර මෙලොව තුළ

යෞව­නයෙ එළි­පත්තෙ
පා තබ­න්නට තනන
අපේ දෙද­රු­වන් සමඟ
තනි කළා ඔබ මාව

පැතුවෙ එක මඟ යන්න
නිමක් දක්නට පෙරම
නික්ම ගියෙ ඇයි කියනු
බැදුණු බැමි අතැර අද

රේණුකා කුමාරි ජය­ව­ර්ධන

***************


සැන­සු­මක් කෝ කොහිද?

උතුර දකුණ පෙර­පර දස දිසා­වම
උණු කඳු­ළින් තෙමී යනවා හැමෝ­ගෙම
සුදු කළු උගත් නූගත් සැම බේද­යම
නොතකා කොරෝනා කර­නුයෙ ඇයි? මෙහෙම

ගං වතු­රක් දරුණු වී ගලනා සේම
සුව­හස් දනන් මිහි­මත මියැ­දෙන අරුම
දෙවි­යනි මොන පාප­යද පල­දුන්නේ මේම
බුදු­හිමි දෙසූ සේක අප හට මේ දහම
.
වෙදැ­දුරු දෙන ඔවා නිසි ලෙස පිළි­ප­ඳිමු
මුළු ලෝ සතුන් පවු­ලක් සේ රැක ගනිමු
අකා­රු­ණික කොරෝනා මිහි­ම­තින් පල­වමු
තෙරු­වන් බලෙන් නිරෝගී වෙත්වා පතමු

රටේ තියෙන සම්පත් ඩැහැ­නො­ගෙන ඉමූ‍
­අ­හිං­සක සතුන් බොජු­නට නොම­ග­නිමූ
ඔවා දෙමින් දරු­වන් සුම­ඟට ගනිමූ
කළ කම් කවද හරි පල­දෙන බව සිතමූ

දයා එස්. අලුත්ගේ

***************

කාලය

නඟ­මින් හේෂා­ර­වය
අවුස්සා දූලි මාරු­තය
පාර­මින් සුව නොවූ වණය
දිවෙයි පව­නට බඳුව වේගය...

ගල්ව­න්නට ඔසුත් නැති­යෙන
සපා­ගමි ලවන් බෝ තදින,
අල­වමි මඳ­හ­සක් සැණෙ­කින
ඉකි සර කිය­වනු බැරි ලෙසින...

පර­මල් සුවඳ ඉව කරමි තුටින
පිපි මල් ලතා නැති­යෙන් හද උයන
නවතා තතු අසන වරම් නොල­බන
තුර­ඟෙ­කිය නුඹ, වර­ප­ටින් මිදුන

ඒ. ඒ. බදු­ර්නිශා

**************

ආදර පැතු­මක්

හුස්ම එක­ක්මය
හද­වත එක­ක්මය
පැතුම් එක­ක්මය
බැදීම එක­ක්මය

සමන් අතුල කුමාර

*************

ඇය

හිරු ලොවට එන්න පෙර
ලිපේ ගිනි මොළ­ව­මින්
කුස්සි­යෙන් සේව­යට
වාර්තා කරන ඇය

ගෙදර කුස්සියේ වැඩ
වත්ත පිටියේ වැඩත්
දරු­වන්ගෙ - සැමි­යාගේ
කුදු මහත් සියලු වැඩ
නිම කර­න්නට ඇයට
විසි හතර පැයත් මදි...

පැය අටක සේව­යක්
කෑම පැය - වැඩි වැටුප්
දීමනා අති­කාල
මේ කිසිත් නැති වුණත්

ඉල්ල­මින් වැඩ වැරුම්
පිකටිං ද කිසිත් නැත
ඇයට නැත වෙලා­වක්
සිත­න්නට ඒ ගැනත්

ගියත් හිරු අව­රට
ඇයට වැඩ නිමා නැත
අද දිනට සමු­දෙන්නෙ
හෙට දිනය අර­ඹන්න
එලා­මය ළඟ තියන්

එච්. එම්. ආර්. ශාන්ත කුමාර

************




ඇය මිය­ගිය පසු

දිවා රෑ නොබලා
මහ හඬ නැඟූ ඔබ අද
ගුලිවී නිහ­ඬව සිටිනා විට‍
මා හද සස­ල­වෙයි

ඔබෙ සිහින් වැල­පුම
මා දෙස­වන දෙද­ර­වයි
දුක දරා­ගන් සබඳ
මා සමඟ එක­තුවී

අනුන් දුක් නිව­න්නට
මිතුරු සිත් සන­ස­න්නට
ඔබ ඇයට දුන් සහය
වටි­නේය මගෙ මිතුර

ඔබ පහස ලබනා ඇය
තුටින් සිටිනා දුටු විට
ඉරි­සි­යා­වක් මා තුළ
වූ බව පිළි­ග­නිමි අද

වැහැ­රු­ණත් තම ගත
බල­ව­ත්විය ඇගෙ සිත
දිරිය අදි­ටන දුන්නේ
මා නොවෙයි, ඔබම වෙයි

විජ­ය­සෝම රත්නා­යක

*********

අලුත් නි‍ෙවසක්

 

හේළ හෙළයි....... දොම්තමිකිට...... දොම්තමිකිට

හේළ හෙළ හෙළයියා

 

කකුළුවෙක් වැල්ල මත ඇන්දේ සිතුවමක්.

විටෙක එය ගෙන ගියේ මුහුදට

 

බත මා පින්න සමඟ පොදිය බැඳ දින දිනම අපට දුන්නත්

සයුර වෙත පෑ එක් බියකි දැනෙන්නේ

 

හිස් ආකහේ මත වැහි බිංදු වැටේවී.

රුදුරුකෝ සමඟ දෑත සොලවයි සුළි සුළඟ

 

පෙළ වෙනස් බල ඇති සියය සුළි අරන් කැරකෙයි.

තිර වු බිම් තීරයක උදක මත කොළයක් සේ සෙලවෙයි

 

අඳුර පහවී පිටව ගිය පසුව දැල වීස කලත්

මුහුද දෙනු බෑ කියයි

 

විටෙක මේ කුළු ඉරිතලා එළිය පැතිර යාවී

විටෙක දුක් නොනැ පණ දැවී මියයයි

 

කුඩා කකුළු පැටවුන් වැලිමත සිතුවම් අඳියි.

විටෙක මුහුද විත් එය අරන් යයි

 

ගිනි ගන්න මුහුද යයි මිනිසුන් පරාජය නොවෙයි.

කුමක් විත් පල කුමට එය දිනා යයි ඔවුන්

හේල හෙලයි දොමිතමිකිට

 

හේල හෙලයි

හේළ හෙළයි දොමිතමිකිට

හේළ හෙළයි

 

මහා කවි හෙවත් රුද්‍රා මූර්තිගේ

'අලුත් නිවසක්' කෘතියෙන් එක් කවක්.

මහා කවි නොහොත් රුද්‍රාමූර්ති නැමැති කවියා ශ්‍රී ලංකාවේ සිංහල අග්‍රගන්‍ය කවියෙකු වන මහගමසේකර වැනි කවියෙකි.

යාපනය "අලවේඩ්ඩි" ප්‍රදේශයේදී 1927දී උපත ලද මොහු මූලික අධ්‍යාපනය ලැබුවේ අලවඩ්ඩි ප්‍රදේශයේ රජයේ පැසැලෙනි. මොහුගේ කවි කෙතට කවි නිර්මාණ වශයෙන් කෘති 12ක් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතරට කාව්‍ය ග්‍රන්ථ කවි අඩංගු වන අතර නාට්‍ය ගණනාවක් රචනා කර තිබේ. මේ අනුව ඔහුගේ මහා කාව්‍ය හයක් ජාතික කලා සාහිත්‍ය සංගමයේත් එය ඉන්දියාවේ අඩයාලම් ප්‍රකාශකයෝ ද 2008 එක්තරා තනි ප්‍රකාශනයක් හැටියට එළිදක්වා තිබේ. මහා කවි විසින් ලියන ලද කාව්‍ය වනුයේ "කල්ලළනි" (සෙල්මුවා රුවැත්ති) අඩංගු (සිරිත විරිත) ඔරු සාධාරණ මනිදන්නේ සරිත්තරම් (එක් සාමාන්‍ය මිනිසෙකුගේ චරිතය) කන්මනියාල් කසිදෙ (කන්මනීගේ කාව්‍ය) කන්දප්පා සබදම් (කන්දප්ප ප්‍රතිඥාව) වේ. මොහු මුරුගයියන් කවියා සමඟ එක්වී තහනම් (චිතකය) කාව්‍ය කෘතිය රචනා කළ ඔහු දෙමළයේ කවි බසට 'විල්ලු පාට්ටු' නමින් ගී වර්ගයට අලුත් කවි ආරක් ගෙන දුන්නේය.

ඔහු විසින් රචිත නාට්‍ය වන්නේ වල්ලී (නමක්) කුරුම්තා (හාස්‍ය උත්පාදන) කන්මනියාල් කාදෛ (කන්මනිගේ කාව්‍ය) කෝඩෛ (නියඟය) වැනි නට්‍ය ද සාහිත්‍ය කලා කෙතට එක්කොට තිබුණි.

මෙසේ සාහිත්‍ය කෙතට අනුපමේය සේවාවක් කළ මේ මහා කවියා 1971 දී සදහටම දිවියෙන් සමුගත්තේය. ඔහු එසේ සමුගන්නා විට වයස අවුරුදු 46ක් වැනි කෙටි කාලයකි.

දෙමළ පණ්ඩිත්

මඩුළුගිරියේ විජේරත්න

*****************

හිරු සඳ රැස්

දිවා කල හිරු රැසින් විඩා­පත්
දනන් රෑ පුරා සඳ­රැස්
විඳ සංසි­ඳ­ව­ගෙන විඩා­වන්
පැව­සු­වත් හිරු වෙතට
බෝ දොස්
නොසි­තති
හිරු­ටම අයිති බව සඳ රැස්

කේ. ඩබ්ලිව්. සිරි­සේන

**************

අපේ කතාව

සඳ තරු හා දිදු­ලන රෑක
සඳ තරු හා කොඳු­රන රෑක
ඔබ මම හා එක්වුන දාක
අර­ඹමු අපි අපේ කතාව

යුරේ­ෂිකා චාමින්දි

****************

පත්තරේ

පත්තරේ විස්තරේ
නිර­න්තරේ කිය­වන්නේ
සතුරෝ මිතුරෝ එක්තැන්වී
සිතු­විලි හා පොර­බ­දන්නේ

මතකේ ඇති රූ සට­හන්
කලක් තිබී නැති වෙන්නේ
සිතුම් පැතුම් හැඟම් අතර
දැනු­මින් සිත පිබි­දෙන්නේ

අමු­ණු­පුර පිය­ර­තන හිමි

************

ලිය­වුණ විට විරහ ගීයක්

ලිය­වුණ විට විරහ ගීයක්
හඬමි ඉකි ගස­මින්
ප්‍රහ­ස­න­යක් ලිය­වුණේ නම්
කොක් හඬලා සිනා­සෙමි

දැනුණ ද ඉකි ගසන බව
ඇසුණ ද සිනා­සෙන හඬ
එබී බලන මගෙ බිරිඳ
තබා අත කම්මු­ලට
සිනා­සෙයි හිස වන­මින.

සිනා සෙමි මම ද
ඇය සමඟ එක විටම

සිඩ්නි ජය­වීර

******************

කෘතිය - නිරාශා දෑසින්

කර්තෘ - චන්ද්‍ර මලියරත්න

මිල රුපියල් - 350 පිටු 111

කර්තෘ ප්‍රකාශනයකි

විමසීම් 076622012

 

නිරාශා දෑසින් චන්ද්‍ර මලියරත්න ගේ කුලුඳුල් පළමු කාව්‍ය සංග්‍රහයයි. ඔහුගේ නිර්මාණ බොහෝ ඉසව් පිළිබඳ අප තුළ හැඟුම් අවුළුවාලයි. මේ එවන් කවි කිහියකි.

දෙමාපියන් දරුවන් හදා වඩා උස්මහත් කරන්නට අපමණ වෙහෙසෙති. රජයේ රැකියා, පුද්ගලික අංශයේ හෝ වේවා දෑතේ කර්මාන්තයන් කරමින් හෝ කූලි රස්සාවක් කර හෝ දරුවන් උස්මහත් කිරීමට ඔවුහු වෙහෙසෙති.

දුගී දුප්පත් කමින් පෙළන රැකියාව කියා විශ්වවිද්‍යාලය අසල කලක් තිස්සේ අයිස් පලම් විකුණන පියෙකුගේ ආයාචනාත්මක හඬ මෙසේය. ඔහු කිසිවෙක්ට හිස නොනමා කළ හැකි රැකියාවකත් කරන මේ තාත්තා එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන පුතා ගැන ඇත්තේ කිව නොහැකි ශෝකයකි. විශ්වවිද්‍යාලය අසල අයිස් පලම් විකුණන පියා දෙස නොබලා යන පුතු ගැන ඔහු ට ඇත්තේ කනගාටුවකි. එය කිසි විටෙකත් තරහක් නොවේ. පුතුට තමන්ගේ ජීවිත පිළිබඳ හරි වැරැද්ද පහදා දීමක් බඳුය. මාතෘකාව ‘දියවෙන ජීවිත‘.

 

අද ඊයෙක නොවෙයි පුතේ

තාත්තා යන්නේ කැම්පස්

උඹේ අම්මව මුඩුක්කුවට

කැන්දන් එන්නත් කලියෙන්

ඒ කාලේ ඉදන්ම මං

අයිස් කෝන් පලම් වික්ක..

මට මතකයි ගවුම ඇඳන්

කොණ්ඩ කරල් දෙකක් බැදන්

අම්මත් ආවා කැම්පස්

ඉගෙන ගන්න නොවෙයි පුතේ

කැන්ටින් එකේ තේ හදන්න..

මෙහෙම හිතන්නත් පුළුවන්

අපි දෙන්නත් හම්බ වුණේ

“සරසවියේ මල් පාරේ“

ඒත් පුතේ ඒක වෙනස්

උඹලා වගේ නෙවෙයිනේ අපි

ජීවිකාව කර ගන්නයි

දවස ගානේ කුර ගෙව්වේ..

 

එසේ කියන පියා සිය පුතුට පහදන්නට උත්සාහ දරන්නේ තවත් අවුරුදු කිහිපයක් ගෙවා දැමිය යුතු බවය. තම පුතු උගතකු වී විශ්වවිද්‍යාලයෙන් පිටවී යන තුරු තමන් රැකියාව කළ යුතුය. මන්ද යත් තවමත් පුතු යැපෙන්නේ තමන් උපයන දෙයින් නිසාය. නමුදු සමාජය ඉදිරියේ පුතු යන්නේ ඉවත බලාගෙනය. පියා පවසන්නේ පුතු අහක බැලුවද තමන් තරහක් නැති බවය. විශ්ව විද්‍යාලයෙන් ‘පාස් අවුට්‘ව ගිය දිනෙක හෝ පුතු තමන් දෙස බලාවි යැයි යන අවිහිංසක පැතුමක් ද පියාගේ සිතේ ඇත. මෙවන් වූ මිනිසුන්ගේ කතා අපට මේ සමාජයේදි බොහෝ හමුවේ. මේ එවන් එක් සිද්දියක් පමණි.

 

මේ සමාජය මහ පුදුමය. කෙනෙකු මිය ගිය විට ඔහු වෙනුවෙන් කවියක් ලියූ ගුණගායනා කර ශෝකප්‍රකාශ කළ කවියා මිය ගියදා ඔහු වෙනුවෙන් කිසිවක් ලියන්නට කෙනෙක් නැ. මෙහි තේමාව කවියාගේ මළගම වූවද අද සමාජය දෙස බලන විට කාගෙත් මළ ගෙවල් වලට එසේ යැයි සිතේ. සියල්ල ඉන්නකන් විතරක් යැයි කියන්නේ මෙවැනි තැන්වලදීය.

මාතෘකාව කවියාගේ මළගම

 

අනුන්ගේ මළගමට කවි ලිව්ව කවියා

එදා නම් හැමෝටම ඔහු මෙලොව දෙවියා

ගියදාට ඔහු යන්න ලෝකයම හැරදා

කවි ගී නොලියවුණි නාමෙවත් සමරා..

 

බාල වියේ හඳට තිබූ ඇල්ම දැන් දරුවන් තුළ නැතැයි අද සමාජයේ සිටින දරුවන් ගැන සිතන විට හැගේ . හදේ හාවෙක් සිටී යැයි අප බාල වියේ අම්මා කියු කතා අපමන දැනුත් මතකයේ ඇත . ඒ කතා අතීශය සුන්දරය. නමුදු අද සමාජයේ දරුවෙකුට ඒ වචන කියූ විට එහි වගක් වත් නැත . සදේ හාවා හෝ සඳ ගැන මැවූ සුන්දර කතා කතාම පමණකි..ඔවුන් ඉදිරියේ. ඔවුහු දැන් විද්‍යාව ගැන දැනුවත්ය. හඳ ගැන දැනුවත්ය. නමුදු අපේ පරම්පරාවේ ඇත්තන් තවමත් හඳට පෙම්බදී. එය සොඳුරුය. මාතෘකාව සඳ දෙස බලා.

මෙහි කතා නායිකාව එදත් අදත් යා කරමින් කියන්නේ මෙසේය.

 

සාවෙකු සිටින බව නුඹ තොටිල්ලේ

අප කී කතා දැන් අය නැහැ කියන්නේ

නුඹව බලන්නට සඳවෙත ගිය උන්ගේ

දැනුමෙන් තමයි ලෝකයෙ හැඩ නැතිවෙන්නේ..

 

මෙය බොහෝම සරල කියුමක් පමණි. නමුත් ඒ දිගේ අප විමසුම් කළ විට වර්තමානයේ කරන සෙවුම් බැලුම් නිසා අතීත මිනිසා තුළ ස්වාභාවික පරිසරය හා සමඟ තිබූ සොඳුරු හැඟිම් දැනිම් නැති වි ගිය අයුරු මේ කෙටි කවිපෙළෙන් හැඟේ.

මේ ලෝකයටම ව්‍යසනයක් ඇති කළ කාලයකි. කොරෝනා වසංගත තත්වයෙන් ලොවම පීඩා විදී. ලොව පුරා මරණ දස දහස් ගණනක් සිදුවිය. එමෙන්ම මේ වයිරසය නිසා අපටද බොහො දුක් ගින්දර උසුලන්නට සිදුවිය. මෙහි බරපතළ ලෙස දුක් ගින්දර උහුලන්නට සිදූවුයේ එදා වේල හරිහම්බ කරන් කන ඇත්තන්ටය. මේ එවන් ඇත්තන් ගැන ලියැවුණ කවි පෙළකි. මාතෘකාව ‘සීගිරි ගලට උන්ගේ දුක කියන්නද?‘

විශේෂයෙන් ම විදේශීය සංචාරකයන්ගේ පැමිණිම අවම වීමත්, පැමිණිම නැවතීමත් සමඟ එදා වේල උපයාගෙන කෑ මිනිසුන්ට අත් වුයේ ගින්දරකි.

 

 

දණහිස් ගෙවන තෙක් හැමදා නැග්ග ගලේ

අඹුදරු කැලගෙ කුස ගින්දර නිව්ව ගලේ

ප ැණි බීමක් වෑවරයක් වික්ක ගලේ

කවදා ඒද සුදු මහතුන් යන්න ගලේ

සීගිරි ගලට උන්ගේ දුක කියන්නද

කස්සප රජුන් උන්ගේ දුක නහන්නද

එදා වේල කොහොමින් සරි කරන්න

උන්ට වෙන්නෙ ගල පල්ලේ පනින්නද

සමාජයේ දහසකුත් ප්‍රශ්න, පවුල් ප්‍රශ්න කුල ගෙය, ප්‍රේමය. ආදර බැදීම ආදි වූ මිනිස් බැඳිම් සියල්ල එක් කරමින් චන්ද්‍ර මලියරත්න කවි පෙළ ගස්වා ඇත්තේ කියවන්නාගේ සිත් සසල වන ලෙසිනි.

 

ප්‍රවීණ, ආධුනික ඔබේ කවි නිර්මාණ

පහත ලිපිනයට තැපෑලෙන් පමණක් යොමු කළ යුතු වේ.

කවි සිළුමිණ, ලේක්හවුස් - කොළඹ 10.

දුරකථනය 011 2429265

 

Comments