කඩු­ග­න්නා­වේ නායයෑමෙන් නායගිය ජීවිත | සිළුමිණ

කඩු­ග­න්නා­වේ නායයෑමෙන් නායගිය ජීවිත

තිහාසය කම්පා කරමින් නුවර පාර පුරා සතියක් වසා දමා තිබිණි. පසුගිය 10 වැනිදා කොළඹ දිශාවෙන් පහළ කඩුගන්නාවෙන් ද නුවර මායිමේ හිඟුලෙන් ද නුවර පාර වැසුවේය. මේ මඟෙහි මනරම්ම දසුන් මැවූ පහළ කඩුගන්නාව දුර්ගයෙහි සොහොන් ලකුණු ඇඳෙමින් තබිණි.

බදාදා පස්වරුවේ (17) වසා දැමූ මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංස්ථාව මාර්ග සංවර්ධන අධිකාරිය නිර්දේශ කර තිබිණි. මේ ලියන මොහොත වනවිට සීමිත අවදානම දරාගෙන නුවර පාරේ එක් මංපෙතක් වාහන ගමනාගමනයට නිදහස්ව තිබේ.

මේ නුවර පාර තැනූ ඉතිහාසයේ නොවූ විරූ සිද්ධියකි.

පසුගිය සතියේ ඇදහැලුණු මහා වර්ෂාව පහළ කඩුගන්නාවේ කන්ද අප කවුරුත් දන්නා පලතුරු කඩ පේළිය අසලින් කඩා පාත් කළේය. සිදුවිය හැකි මහා ව්‍යසනයක ලකුණු මුලින්ම දුටුවේ මේ කඩපේළියේ පිරිසය.

අඩ සියවසකට පෙර මේ කඩ පේළිය ආරම්භ කළ කාන්තාව දැන් 76 හැවිරිදිය. ඇය වයලට් ෆිලෝමිනා ලෝකි තිසේරාය. ඇය මේ කඩ පෙළ ආරම්භ කළ මීට 51 වසරකට පෙර සිට ජීවත්වූයේ මේ දුර්ගයේ තනා ගත් පුංචි කඩයේය. ඇය අපට ඇගේ අත්දැකීම කීවාය.

“ එකපාරටම අමුතු සද්දයක් ආවා. එළියට ගිහින් බලනකොට විසාල මඩවතුර පාරක් එනවා. අපි හැමෝම පුළුවන් විදිහට ඒ ඉසව්වෙන් මහ වැස්සෙම පිටත් වුණා. පස්සෙ බලනකොට කන්ද තැන් තැන්වලින් කඩපේළියට පාත් වෙලා. ඊට පස්සේ පොලිසියෙ මහත්තුරු ඇවිත් අපේ ඇත්තන්ව කඩ පේළියෙන් අයින් කළා. ඒ යන වෙලාවේ මේ යන්නෙ ආයෙ මේ ඉසව්වට නොඑන්න කියලා හිතුනෙ නෑ. “ ජීවිතය පමණක් බේරාගෙන එතැනින් ඉවත්වීමට සිදුවූ ෆිලෝමිනා ලෝකි තිසේරා මාතාව අපට කීවේ එසේය. මේ පලතුරු කඩ 50කට ආසන්න ප්‍රමාණයක් කරන්නේ ඇගේ පවුලේ ඥාති පරම්පරාව බවද ඇය කියන්නීය. ඉන් පන්සියයකට වැඩි පිරිසකගේ ජීවනෝපාය සැලසුණු ද දැන් ඔවුන් ඒ භූමියෙන් ඉවත් කර තිබේ.

මේ අවදානම මුලින්ම නිශ්චිත විද්‍යාත්මක පදනමක සිට වාර්තා කරන්නේ පේරාදෙණිය විශ්විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නය. සිද්ධිය තමන් නිරීක්ෂණය කළ ආකාරය පිළිබඳ ඔහු විස්තර කරන්නේ මෙසේය.

“ඔය කියන දවසෙ සුළු නාය යෑම් දෙකක් මා දැක්කා. කලින් දින රාත්‍රියෙ ඒ නාය යෑම් දෙක සිද්ධවෙලා තිබුණා. එය තවදුරටත් වර්ධනය වීමේ අවදානම මා නිරීක්ෂණය කළා.“

මේ තත්ත්වය සක්‍රීයවෙලා තිබුණෙ අධික වර්ෂාව නිසා. ඒ බෑවුමේ සාපේක්ෂව තුනී තට්ටුවක් ලෙස ලොකු පස් ප්‍රමාණයක් විශාල ප්‍රදේශයක පැතිරිලා තිබුණා. ඒ පස් තට්ටුව අධික තෙතමනය නිසා පහළට රූරා එමින් තිබුණ වග අප දැක්කා. එය තමයි නායෙ යෑමේ මූලික සංසිද්ධිය. ඒක තවදුරටත් සිද්ධ වෙයි කියලයි මා ඒ සම්බන්ධව පූර්ව දැනුම් දීම කළේ. “

අනතුරුව මා කියූ දේ නිරීක්ෂණය කර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයත් මහා මාර්ග අධිකාරියත් එකතුවෙලා මේ ගැන අධ්‍යයනය පටන් ගත්තා. එතැනදි අප දැක්කා ඕනෑම වෙලාවක මේ දුර්වල පස් තට්ටුව ඇද හැලෙන්නට පුළුවන් බව. ඒ නායෙ යෑමේ අවදානම් කලාපය උඩින් දිවෙන රේල් පාර ආසන්නයේ සිට නුවර පාර පවතින පෙදෙසත් ඉන් පහළ බෑවුමත් හරහා විහිදෙන ආකාරය අප නිරීක්ෂණය කළා. “ ඔහු කීවේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන හා මහාචාර්ය අතුල සේනාරත්නට අනුව සිදු වී ඇත්තේ කෙටි කාලයක් තුළ ඇදවැටුණ මිලි මීටර 250කට අධික වර්ෂාවත් සමඟ විශාල ජල ප්‍රමාණයක් මෙතෙක් බැස ගිය ස්වභාවික කඳුරුවලින් පිටට උතුරා විත් ඉහත බෑවුමේ පස් ස්ථරයට අැතුළු වීමය. ඒ නිසා පස් ස්ථරය අධික ලෙස තෙත බරිත වී තිබිණි. ඒ සමඟ ම මෙම පස් ස්ථරය පාෂාණය සමඟ බැඳී ඇති ගර්ෂණය ලිහිල් වන ලකුණු පහළ වෙමින් එය විස්ථාරණය වී පැළුම් ඇති වී තිබිණි. මීටර සීයක ප්‍රදේශයක් පුරා මෙම පැලුම් විහිදී ගොස් තිබුණු බව ආචාර්ය කරුණාවර්ධන කීවේය.

මේ වනවිට මාර්ගයේ ද සුළු පිපිරීම් නිරීක්ෂණය වී තිබිණි. වහාම මේ තත්ත්වය සමනය කර සක්‍රීය වී ඇති නායෙ යෑමේ අවදානම අවම කරගැනීමේ අවශ්‍යතාව පැන නැඟී තිබිණි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කරුණාවර්ධන දැන් අපට කියන්නේ තම ආයතනයත්, මාර්ග සංවර්ධන අධිකාරියත්, පේරාදෙණිය හා මොරටුව විශ්විද්‍යාලවල විද්වත් පර්ෂදයත් එක්ව කළ සාමුහික විද්‍යාත්මක මෙහෙයුමක ප්‍රතිඵලයක් ගැනය.

මුලින්ම මේ පිරිස රේල් පාර ප්‍රදේශයේ සිට තුනී පස් ස්ථරය හරහා ගලා එන ජලකඳ පොලිතින් කානු පද්ධතියක් මගින් ස්වභාවික කඳුරු වෙත යොමු කර එම ජලය කඳුරු ඔස්සේ බැසයන්නට සලස්වා තිබිණි. පස් ස්ථරය මත ඇති වී තිබූ විස්ථාරණ සහිත පැළීම් මැටි යොදා පුරවා පොලිතින්වලින් වසා ඒ පැළීම තුළට ජලය කාන්දු වීම් වළක්වා තිබිණි. අනතුරුව මෙම ජලයෙන් සංතෘප්ත පස් ස්ථරය තුළ සිරවී රැස්ව තිබුණු ජලය පිටතට ගැනීම සඳහා තිරස් විදුම් පහක් සිදුකර බට පද්ධතියක් සවිකර එම ජලය පිටතට ගෙන තිබිණි.

“දැන් නිරීක්ෂණය කරනවිට පෙනෙන්නේ අප නාය යාමේ සක්‍රීයතාව පාලනය කර ඇති බව. ඉන් අදහස් වෙන්නෙ අවදානම අවම වූ බව පමණයි. සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් යටතේ මේ සක්‍රීයතාව පාලනය වුණත් අධික වර්ෂා තත්ත්වයක් යටතේ නැවත සක්‍රීය වෙන්න පුළුවන්. ඒ නිසයි මේ සඳහා ස්ථාවර විසඳුමකට විද්‍යාත්මක පර්යේෂණයක් අවශ්‍ය. ඒ කටයුතු අප කරගෙන යනවා. අවශ්‍ය පර්යේෂණ වාර්තාව මේ වනවිට සකස් කරමින් ඉන්නෙ.“ ආචාර්ය කරුණාවර්ධන කීවේය. මේ ව්‍යසනයත් සමග කන්දේ ඇති අවදානම් අවස්ථා සන්නිවේදනය කරන ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් පහළ කඩුගන්නාවේ සවි කිරීමේ සැලසුමක් ගැන යෝජනාවක් නැගෙනු දුටුවෙමු. පොළොවේ යම් කිසි විස්තාපනයක් වෙනවා නම් එය දැනුම් දීමට භාවිත කරන මේ සංඥා පද්ධතිය ස්ථාපිත කළ පසු මාර්ගය විවෘත කරනු ඇති බවට අදහස් පළ විණි.

නිර්මාණය වූ ස්වභාවික විපත මගහරවා ගැනීමට අවශ්‍ය දැනුම හා තාක්ෂණය ඕනෑතරම් අප සතුව පවතින බව අපට කියන්නේ මහාචාර්ය අතුල සේනාරත්නය. එම දියුණු තාක්ෂණය මෙන්ම තාක්ෂණය පරිහරණය කිරීමේ පරිචයක් සහිත විද්වත් කණ්ඩායමක් සිටින බව ඔහු පෙන්වා දෙන්නේය.

“ අවශ්‍ය වන්නෙ ප්‍රතිපාදන. එම ප්‍රතිපාදන ලබා ගැනීමේ ජාත්‍යන්තර ක්‍රමවේද තිබෙනවා. මේ භූ වෙනස්වීම කාලයක් තිස්සේ පොළොවෙන් සෙමින් ප්‍රකාශව තිබුණා. මෙවැනි ආරක්ෂිත තත්ත්ව යටතේ කළමනාකරණය කරගත යතු මාර්ග ගණනාවක් තිබෙනවා. දැන් හොඳ වෙලාව ඒ සියල්ල ගැන අවධානය යොමු කරන්න. මහාචාර්ය අතුල සේනාරත්න කියන්නේ මේ අවදානම හොඳ ආරම්භයක් සඳහා ප්‍රවේශයක් බවය.

“කෙටි කාලීනව ගත යුතු සියලු පිළියම් ඉතාම සාර්ථකව අරන් ඉවරයි. අවශ්‍ය වන්නේ ඉතාම නිවැරදි පරීක්ෂණයකින් දීර්ඝ කාලීන විසඳුම් මොනවද කියලා හඳුනා ගැනීම. අමාරු කාර්යය එයයි. ඉතා නිවැරදිව හදුනාගත් විට පිළියම් යෙදීම ඉතාම පහසුයි.“ මහාචාර්යවරයා අපට කීවේය.

හිටිවනම කඩා වැටුණු ස්වභාවික විපත දැන් පරිපාන අවුලක් නිර්මාණය කර ඇත. මේ කොළඹ නුවර යා කළ ප්‍රධාන හුය ය. එය බිඳීගොස්ය. එසේම උඩරට දුම්රිය මාර්ගයත් යම් අර්බුදයකය. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කීවේ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක් ගිලී ගොස් ඇති බවය. එකක් කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන දෙක අතරය. අනෙක් ස්ථානය බලන දුම්රිපොළ අසලය. බලන ගිලාබැසීම මේ වනවිට යථාවත් කළ ද කඩිගමුව සහ ඉහළ කෝට්ටේ අතර දුම්රිය මාර්ගය මෙය ලියන මොහොත වන විටත් පිළිසකර කරමිනි. වාසනාවට කඩුගන්නාව නායේ යෑම සක්‍රීය වූ කලාපයේ මේ වනතුරුත් දුම්රිය මාර්ගයට හානියක් වාර්තා වී නැති බව දුම්රිය සමාන්‍යාධිකාරීවරයා කියන්නේය. සතියක් තිස්සේ නුවරට සැපයුම් කරන ප්‍රධාන මාර්ග දෙකම බිඳී ගොස් තිබිණි. නුවර තාවකාලික සැපයුම් ගැටලුවක් නිර්මාණය විය. බලධාරීන් විසින් භාවිත කළ හැකි විකල්ප මාර්ග දෙකක් හඳුන්වා දුන්නේය. එකක් අලව්ව කුරුණෑගල හරහා නුවරට පැමිණීමය. අනෙක් විකල්පය මාවනැල්ලෙන් හෙම්මාතගම හරහා ගම්පලින් නුවර පැමිණීමය. දිසාපතිවරයාට මීට අමතරව කඩුගන්නාවේ කඩ පවත්වාගනිමින් ජීවත් වූ අසරණ මිනිසුන් සම්බන්ධව නිශ්චිත තීන්දුවක් ගැනීමේ වගකීම පැවරී තිබේ. දැනට මේ කලාපයේ ඇති සියලුම කඩ කඩා දමා අවසන්ය. අඩසියවසක් තිස්සේ මේ කඩ ඇසුරින් සිය ජීවන වෘත්තිය කරගෙන ගිය පවුල් 50ක පන්සියයකට අධික පිරිසක් මේ වනවිට අසරණවය.

“ ඔවුන් මේ තැනින් ඉවත් කළේ තාවකාලිකව. සංචාරක ආකර්ෂණයක් සහිත මේ ස්ථානයේ සිට සිය ජීවන වෘත්තිය සපයා ගත් පිරිසට නිසි වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් සලසා දිය යුතුයි. මාර්ගයට හානි නොවන අයුරින් විධිමත් සැලසුමකට කළ ස්ථිර ඉදිකිරීම් ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම්වරයා සමගත් අප මූලික සාකච්ඡාවක් කළා. “

මාර්ග සංවර්ධන අධිකාරයේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්ය. 17 දා පහළ කඩුගන්නාවෙන් එක් මංතිරුවක් විවෘත කරන බව නිල වශයෙන් මුලින්ම මාධ්‍යයට කීවේ ඔහුය. සර්ධා වීරකෝන්ට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය අනුව දැන් අවදානම අවමය.

“ කොහොමත් රේල් පාර සහ කොළඹ නුවර පාර ගොඩනගලා තියෙන්නෙ මව් පාෂාණය මත. ඒ නිසා මාර්ගයට සිදුවන අනතුරක් ගැන නොවෙයි අප අවධානය යොමු කළේ. උඩින් කඩා වැටෙන්න පුළුවන් දුර්වල පාංශු කොටස් සම්බන්ධව. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රමුඛ විද්වතුන් දැන් ඒ අස්ථාවර භූමිය අවදානම පහව යන අකාරයට තහවුරු කරලා තියනවා. ඒ නිසයි අපි මුලින්ම එක් මං තීරුවක් විවෘත කරන්න කටයුතු කළේ. එහෙත් හැකි පමණ විකල්ප මාර්ග භාවිත කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එයින් අපට වාහන තදබදය කළමනාකරණය කරගන්න පුළුවන්.“ මාර්ග සංවර්ධන අධිකාරයේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් කීවේය.

ඡායාරූප - අසේල කුරුළුවංශ


 

Comments