එදා භීෂණය ගැන නවක මන්ත්‍රීවරුන්ට අගමැති පැවසූ දේ? | Page 2 | සිළුමිණ

එදා භීෂණය ගැන නවක මන්ත්‍රීවරුන්ට අගමැති පැවසූ දේ?

මෙරට රණවිරුවන්ට උපහාර පිණිස ඉදිකළ 'සඳහිරුසෑය' ඉල්පුර පහළොස්වක දින ජනපති හා අගමැති සුරතින් ජාතියට දායාද කෙරිණ. වසර 33 කට පමණ පෙර 1988 – 89 භීෂණ යුගයේ සිද්ධි ගැන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පසුගිය 16 වැනිදා ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන්ට කියාදුන්නේ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ක්‍රියා කලාපයන්ට එරෙහිව තමා මුහුණ දුන් අත්දැකීම් ද විස්තර කරමිණි.මාර්ග බාධකවලදී සිදු කෙරෙන පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් පසුගිය (16) දින පාර්ලිමේන්තුව තුළ කතාබහ කෙරුණු නිසා මැතිසබය තුළ අවස්ථා කීපයකදීම උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

 

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට නැඟී සිටිමින් ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කරන ලද්දේ මාර්ග බාධකවලදී සිදු කෙරෙන පරීක්ෂා කිරීම පිළිබඳවයි.

ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජාතික ආරක්ෂාව සඳහා සිදුකරනු ලබන යම් යම් ආරක්ෂක පියවරයන් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බවයි.

 

මැතිසබය උණුසුම් වෙයි

 

ආරක්ෂක කටයුතු සඳහා මාර්ග බාධක යොදා තිබෙන බව මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා පැවසූවේය.

ඒ කතාවට මැදිහත් වූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලය.

"රටේ උද්ගතවී ඇති කාලීන ප්‍රශ්න ගැන කතාකරන්න අපිට අයිතියක් තියෙනවා. ඒක නිසා ඒ ගැන කථා කරන්න ඕන. චෙක් පොයින්ට් දාලා බස් නවත්තන්න පුළුවන්ද? යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කළේය. "ඒක ගැන වෙනම යෝජනාවක් ගේන්න. දැන් කතා කරන්න බැහැ." යනුවෙන් මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

මේ අතරවාරයේ වෙළෙඳ අමාත්‍යාංශයේ නිවේදනයක් මැතිසබයට ඉදිරිපත් කරමින් සිටියේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයි.

අමාත්‍යාංශයේ නිවේදනය බන්දුල ගුණවර්ධන විසින් කියවාගෙන යන විට ලක්ෂ්මන් කිරිඇල්ල නැගී සිටමින් ප්‍රකාශ කළේ ලියලා දීපු ලේඛනයේ නොමැති අදහස් ද බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරනු ලබන බවයි.

"ලියල දීපු එකෙන් පිට එතුමා කියවනවා." යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරන විට බන්දුල ගුණවර්ධනගේ රතු කට්ට පැන්නේය.

"ලියල දීපු දේවල් විතරද මේ පාර්ලිමේන්තුවේ කියවන්නේ. මං කිව්වේ ලියලා දීපු එක. මං අහන්න කැමතියි ලියලා දීපු ඒවා අනුව ද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආත්මගරුත්වය නැති කරන ආකාරයෙන් කතා කරන්නේ.

තමුන්නාසේලාට ආත්ම ගෞරවයක් තියෙනවා? මේ පල් බොරු කියලා, මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කොපමණ අපහාස කළාද? මේ රටේ මිනිස්සු අතර වෛරය ඇති කරලා. බොරු චෝදනා දාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීදෙනෙක් සිරගත කළා ද? ඒකම යළිත් කරනවා." යනුවෙන් බන්දුල ගුණවර්ධන පැවසීය.

මේ නිසා මැතිසබය යම් උණුසුම්කාරී තත්ත්වයක් ගත් අතර මැතිසබය පාලනය කිරීමට මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාට යම් වෙහෙසක් දැරීමට සිදුවිය.

 

බන්දුලගේ රතු කට්ට පැන්න හැටි

 

ඒ වන විටත් බන්දුල ගුණවර්ධන සහ ලක්ෂ්මන් කිරිඇල්ල අතර යම් උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදු වෙමින් පැවතිණ.

"බොරු චෝදනා දාලා, වද දීලා අපේ කී දෙනෙක් හිරේ දැම්මා ද?" යනුවෙන් යළිත් ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් විමසූ බන්දුල ගුණවර්ධන විසින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාවක් ද සිහිපත් කළේය.

"බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, අස්පන් සුඛායං පුරිසෝ පලිබද්දෝ ද ධීරතී තස්සානං තස්ස වට්ඨති.. පස්සානං තස්ස නොවට්ඨති." යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ගාථාවක් කියූ බන්දුල ගුණවර්ධන එම ගාථාවේ තේරුම සඳහන් කිරීමට ද අමතක නොකළේය.

මෙහි අර්ථය තමයි පුහුණු නොකළ මඳක් කරුණු දත් පුද්ගලයෙකු වැඩෙන්නේ ගොනෙකු මෙනි. ඔහුගේ නුවණ නොවැඩෙයි. මස් නළියයි.

"නුවණ වැඩෙන්නේ නැති මස් පමණක් ලියලන සජබ කණ්ඩායමටයි මං මේක කියන්නේ" යනුවෙන් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරන විට ආණ්ඩු පක්ෂයෙන් ඊට අත්පොළසන් ලැබුණු අතර විරුද්ධ පක්ෂයෙන් ඊට විරෝධය එල්ල වීම නිසා මැතිසබය තුළ ඇති වූයේ යම් උණුසුම්කාරී තත්වයකි.

පාර්ලිමේන්තුවේ දී තෙල් ගැන ද කතා කෙරුණේ ඉන්ධන හල් අසල රථවාහන පෝලිම් තිබෙන නිසා ඒ ගැන ද අවධානය යොමු වූ නිසාය.

 

තෙල් කට කතාවේ බොරුව ජොනී පෙන්වයි

 

බොරතෙල් ගෙන්වීමට ඇමෙරිකානු ඩොලර් නොමැති නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබෙනවා නම් පිරිපහදු තෙල් ගෙන්වීමට ඇමරිකානු ඩොලර් තිබෙන්නේ කෙසේද? කියා විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කරන ලදී.

මේ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වීමට නැගී සිටියේ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරය. "බොරතෙල් ගෙන්වන්නේ නොමැතිව පිරිපහදු තෙල් ආනයනය කරන්නේ කොහොමද කියලා බලශක්තිය ඇමති උදය ගම්මන්පිල මහතා පත්තරේට කියලා තියෙනවා. පත්තරේ බැලුවාම ඒක ඉතා හොඳින් පැහැදිලි වෙනවා. ඒක නිසා පත්තරේ බලන්න. පත්තරේ බලලා තේරුම් ගන්න බැරි වුණොත් ඔබතුමා ආපහු ඔය ප්‍රශ්නය අහන්න" යනුවෙන් වාසුදේව නානායක්කාර සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ප්‍රකාශ කළේය.

මේ අතර තෙල් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ පැනයකට අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු ලබා දුන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුය.

"කිසිම තෙල් අර්බුදයක් නැහැ. අපරාදේ මිනිස්සු ගිහිල්ලා පෝලිම්වල ඉඳලා තෙල් ගහගන්නේ. තෙල් සම්බන්ධයෙන් විෂයභාර ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරාවි. එක එක කටකතා යවලා ජනතාව නිකම්ම රස්තියාදු වෙනවා. හිඟයකින් තොරව තෙල් තියෙනවා කියලා වගකීමෙන් කියන්න පුළුවන්." යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

පාද යාත්‍රාව ගැන අගමැති මහින්ද කියපු දේ

 

අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථිකය හා සමාජයීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදු කරමින් සිටින බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අය - වැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මේ අතර මාර්ග බාධක යොදා සිදුකරන පරීක්ෂා කිරීම් ගැන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මතුකරන ලද කරුණු කිහිපයකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පිළිතුරු ලබාදුන්නේය.

විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළේ එදා මහින්ද මහත්තයා කොළඹ සිට කතරගමට පාද යාත්‍රාව යන විට එදා ආණ්ඩුව විසින් ආරක්ෂාව ලබා දුන් බවයි. ඒ සමඟම මැතිසබය තුළ යම් උණුසුම් කතාබහක් ඇති වූ අතර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කෑ ගසමින් කියා සිටියේ ද ආරක්ෂාව වෙනුවට ලබා දුන්නේ ටයර් සෑයවල් බවයි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මැතිසබයෙන් ඉවත්වී ආපදා කමිටු රැස්වීම සඳහා යන අතරතුර ආලින්දයේ දී මැති ඇමතිවරුන්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සමඟ කෙටි කතාබහක නිරත විය.

"සර් එදා පාද යාත්‍රාව යනකොට ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරක්ෂාව දුන්නා ද?" යනුවෙන් අමාත්‍යවරයෙක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීය.

"එදා වැල්ලවත්තේදී අපිට ගහන්න තමයි හිටියේ. ඒත් අපි බය නැතුව යන බව දැනගෙන ගැහුවේ නැහැ. ගැහුවත් අපි ඒකට මුහුණ දෙන්න බලාගෙන තමයි ගියේ." යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

රනිල් Logic ටියුෂන් දෙන්න සූදානම් වෙයි

 

එදා භීෂණයට අභීතව මුහුණදුන් හැටිද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අත්දැකීම් කිහිපයක් සමඟ හෙළි කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේදී තවත් විශේෂ සිද්ධියක් සිදුවිය. එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිසබ‍යෙන් ඉවතට යන විට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ළඟට ගොස් සුහදව කතාබහකරන ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.

දිනේෂ් ගුණවර්ධනගේ පුත් යදාමිනී ගුණවර්ධන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අතර අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරයි.

"මහනුවර ගිහිල්ලා ඔයයි මමයි ටියුෂන් උගන්වමු. මෙහේ ඉඳලා වැඩක් නැහැ." යනුවෙන් රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

"මං Econ උගන්වන්නම්. යනුවෙන් වසන්ත යාපා බණ්ඩාර ප්‍රකාශ කළ අතර මං එහෙනම් Logic උගන්වන්නම්" යනුවෙන් රනිල් වික්‍රමසිංහ කියපු කතාවට සියල්ලෝම සිනහසූහ.

 

අගමැති මහින්දට සතර දිගින් සුබ පැතුම්

 

76 වැනි ඡන්ම දිනය පසුගිය 18 වැනිදා සැමරූ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට එදින උදෑසන සිටම එක දිගටම සුබ පැතුම් ගලා ආවේය.

තම බිරිඳ දරුවන්ගෙන් මුලින්ම අගමැතිවරයාට සුබ පැතුම් හිමි වූ අතර රටේ පළමු පුරවැසියා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාද තම සොහොයුරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පමණක් නොව විපක්ෂයේ ජනතා නියෝජිතයින් ද අග්‍රාමාත්‍යවරයාට උණුසුම් සුබ පැතුම් එක් කිරීම විශේෂත්වයකි.

18 වැනිදා උදෑසන අරලියගහ මන්දිරයේ දී අමාදම් සිසිලස පෝදින ධර්ම දේශනාවට සහභාගී වූ අග්‍රමාත්‍යවරයා පවුලේ සාමාජිකයින් සමඟ උපන්දින කේක් කැපීමට ද එක්විය.

ඉන් අනතුරුව එදින සවස අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා එක්වූයේ තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟිනි.

 

ප්‍රසන්නගේ අවනඩුව

 

යහපාලන රජය සමයේ බස්නාහිර පළාත් සභා මහ ඇමතිවරයාව සිටි වත්මන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණේ ඉඩමක් සම්බන්ධ කර ගනිමිනි. ඊට අදාළ නඩුව ඉකුත් සඳුදා අලුත්කඩේ උසාවියේ විභාගයට ගැනිණි. ඉඩමක් විකිණීමේදී මහ ඇමතිවරයා ලෙස සිය බලය අයුතු ලෙස යොදාගැනීමක් සම්බන්ධයෙන් මෙම නඩුව යොදා තිබිණි .

අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉකුත් රජය සමයේ මහින්ද රාජපක්ෂයන් නැවත බලයට ගෙන ඒම සඳහා කැප වූ පිරිසට එරෙහිව බොරු නඩු දැමීමක් සිදු වූ බව ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් පරාජයට පත්වීමත් සමඟ දිගින් දිගට ම මෙම පළිගැනීම සිදු වූ බවත් එකල මහින්ද සුළඟ රැස්වීම් මාලාව සංවිධානය කිරීම සඳහා මුල් වූ අය අතර ධූරයක් දැරූ එකම තැනැත්තා තමන් බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවේ අමාත්‍යවරයාගේ බිරිඳ ද අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් මින් පෙර උසාවියකට හෝ පොලිසියකට ගොස් නොමැති බවයි. කිසිදු හේතුවකට මින් පෙර අධිකරණයක් ඉදිරියේ පෙනී නොසිටි තමන්ව ස්වාමිපුරුෂයාගේ දේශපාලනය නිසා මෙම නඩුවට පටලවා ගෙන ඇතැයි ඇය විත්තිකූඩුවේ සිට කියන විට ඇයගේ ඇසින් කඳුළු ඇද වැටිනි.

 

ගුවන්තොටුපොළෙන් ජනපතිට පැමිණිල්ලක්

 

ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා කටුනායක ගුවන් තොටුපොළ සෞඛ්‍ය ප්‍රකාශ භාරගැනීමේ කවුළු කිහිපයක් හඳුන්වා දී තිබේ. ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගේ එන්නත් කරන වාර්තා රැස් කර ඉදිරි පියවර ගැනීම මෙම කවුළු මඟින් සිදු කෙරිණි.

මේ වන විට 12,000 ක පමණ සංචාරකයින් පිරිසක් දෛනිකව කටුනායක ගුවන් තොටුපොළින් සේවය ලබා ගනී. ඒ නිසා සමහර වෙලාවලදී තදබදයක් ඇති වේ. තදබදය නිසා ලංකාවට පැමිණෙන සංචාරකයන්ට තරමක වේලාවක් ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ රැඳී සිටීමට සිදුවන අවස්ථා විය. කෙසේ වෙතත් මේ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි ඉදිරිපත්ව තිබේ. එම පැමිණිලි සම්බන්ධයෙන් දැනුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සංචාරක අමාත්‍යවරයාට දුරකථනයෙන් ඇමතීය.

"එයාර්පෝට් එකේ මිනිස්සු රස්තියාදු වෙන්න බැහැ. ප්‍රසන්න අදම මේකට විසඳුමක් දෙන්න." "හරි ජනාධිපතිතුමා. මම දැන්ම මේ ගැන සොයා බලන්නම්." කී අමාත්‍යවරයා ඒ මොහොතේම කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රය වෙත පැමිණියේ අදාළ නිලධාරීන්ට ද වහාම ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දෙමිනි.

මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේ දී අනාවරණය වූයේ එහි අවශ්‍යතාවයට සරිලන පරිදි සෞඛ්‍ය අංශ සේවකයින්ව සේවයට යොදවා නොමැති බවයි.

"ගුවන්තොටුපළ බලධාරියා විදිහට ගුවන් තොටුපොළ සභාපතිතුමාගේ අධීක්ෂණය යටතේ කාර්ය මණ්ඩලය යොදවලා ප්‍රමාදය මගහරවා ගන්න කටයුතු කරන්න." ඇමතිවරයා ඊට උපදෙස් දුන්නේය.

 

බැසිල් - රාජිත බණ්ඩාරගමදී හමුවෙලා

 

වෛද්‍ය උපාංග නිෂ්පාදන කර ඇමරිකාව සහ යුරෝපා කලාපයට අපනයනය කරන දැවැන්ත නිෂ්පාදනායතයක් විවෘත කිරීමේ උත්සවයක් පසුගිය අගහරුවාදා බණ්ඩාරගම දී පැවැත්විණි. මුදල් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමිය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන හා හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකු වූ රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගි වූහ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අසලින් යන විට බැසිල් රාජපක්ෂ ඇමතිවරයා "කොහොමද රාජිත" ඇසීය.

"හොඳින්...හොඳින්" රාජිත සේනාරත්න ඇමතිවරයා කීවේය. "මම ඉක්මනින් යන්නත් ඕන...තේ එකක් බොන්න විනාඩි පහකට චේම්බර් එකෙන් එළියට ගියත් ඔයාලගෙ පැත්තෙ අය කෝ මුදල් ඇමති කියල කෑගහනවනේ." යි නැවතත් බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සිනාමුසුව පැවසීය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයට ඊට පිළිතුරක් දී ගත නොහැකි විය.

තව තවත් මෙවැනි ආයෝජන දිරිගැන්වීම මුදල් ඇමති ලෙස තමන්ගේ ප්‍රමුඛ කාර්යක් බව මුදල් ඇමතිවරයා සභාව අමතමින් කිවේය.තව නොබෝ දිනකින් ලෝකයේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් ඔවුන්ගේ ක්‍රියාකරකම් සඳහා මෙරට නව ආයතනයක් විවෘත කරන බවත් එමඟින් තරුණ දරුවන් 2,000 කට වැඩි පිරිසකට රැකියා ලබාදීමට බවත් මුදල් ඇමතිතුමා සඳහන් කළේය.

 

අගමැති උපදෙසින් ආපදා සහන

 

පවතින ආපදා තත්ත්වය සහ ආපදා කළමනාකරණ මෙහෙයුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අගහරුවාදා උදේ අගමැතිතුමාගේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක 2 දී පැවැත්විණි.

"සර්. බදුල්ලේ නාය යාමේ අනතුරු හඳුනාගෙන තියෙන තැන්වල ඉන්න පදිංචිකරුවන් තවත් පිරිසක් ඉන්නව පදිංචි කරවන්න. ඒකට ආණ්ඩුවෙ ඉඩම් ටිකක් නිදහස් කර ගන්න ඕනි." ඇමති නිමල් සිරිපාලගෙ යෝජනාව ඉක්මනින් ඉටු කරන ලෙස අගමැතිතුමා උපදෙස් ලබා දෙන විට

"සර්. මේවා මෙහෙම කරන්න බෑ. බදුල්ලේ ආණ්ඩුවෙ ඉඩම් කොළඹ සමහරු ඇවිත් බලලා යනවා. බදුල්ලේ ඉඩම් කොළඹ අයට දෙන්න බෑ." යි චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා තමන්ගේ සුපුරුදු උස් හඬින් කීවේය.

 

බුලත්සිංහල ගංවතුර ගැන සංජීව එදිරිමාන්නගෙන් විසඳුමක්

 

"නෑ නෑ සර්. අපි කාටවත් අවිධිමත් විදිහට ඉඩම් දීල නෑ." ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන ඒ මොහොතේ ම පිළිතුරු දුන්නේය.

බුලත්සිංහල ගංවතුර ප්‍රශ්නෙට සංජීව එදිරිමාන්න ඉදිරිපත් කළේ අමුතුම විසඳුමකි.

"සර්. කුකුලේ ගඟ ප්‍රොජෙක්ට් එකේ දොරවල් ඇරපු ගමන් මෝල්කාව, පරගොඩ වටේම විනාඩි කීපෙන් යටවෙනවා. ගමේ අය කැමතියි සර් ගෙටම එකතු කරල ආරක්ෂාවට ඉන්න කොන්ක්‍රිට් කණු උඩ උස් තැනක් ඉදිකරගන්න. එතකොට එකපාරටම වතුරට යටවෙන අසරණකමෙන් ටිකක් නිදහස්. මේකට නිවාස අධිකාරියෙන් අඩු පොලියකට විශේෂ ණයක් හදල දෙන්න"

"ගම්පහ දිස්ත්‍රික්කයේ ඇළවේලි ටික හරියට සුද්ද කර ගත්ත නම් පිටාරෙට යට වෙන එක ගොඩාක් අඩු කරගන්න පුළුවන්." කවුද ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් කතාකරන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.

ඒ අවස්ථාවේදී ඊට අදාළ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් පිළිබඳව වාරිමාර්ග අමාත්‍යංශයේ නිළධාරියෙක් කරුණු පැහැදිලි කලේය.

එය අසා සිටි මුදල් අමාත්‍යවරයා "දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් කරන්න. ඒත් ඔක්කොටම ඉස්සෙල්ලා වැහි කාලෙ එන්න ඉස්සෙල්ලා මේ ඇළවල් ටික අඳුරගෙන ඒව සුද්ද කරන්න." කීවේය.

"ඔව් සර්. මම කියන්නෙත් ඒක. ගම්පහ මිනිස්සුන්ට මේ වෙලාවෙ අවශ්‍ය ඉක්මන් උත්තරයක්." කී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇළෙන් ඇළට විස්තර සියල්ල පැහැදිලි කළේය.

"ගොඩාක් ස්තුතියි සර්. බුලත්සිංහල ප්‍රශ්නෙට සහන ණයක් දෙන්නම් කියල නිවාස අධිකාරියෙන් දැන් මට කෝල් කරල කිව්වා." අගමැතිතුමාගේ කඩිනම් විසඳුම ගැන සංජීව එදිරිමාන්න සභාව දැනුම්වත් කර "ස්තුතියි" කියද්දී සභාවේ හැමෝම අගමැතිවරයා දෙස බැලූයේ ගෞරව පූර්වකවය.

අයහපත් කාලගුණයෙන් විනාශ වූ නිවාස වෙනුවට නව නිවාස ලබාදෙන ලෙස මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

එම රැස්වීම සඳහා චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරුන් නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූ අතර එය සම්බන්ධීකරණය කළේ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක විසිනි.

 

එ.ජා.ප. යේ විරෝධතා ගැන වජිර කියයි

 

මේ අතර එක්සත් ජාතික පක්ෂය සැලසුම්කර තිබෙන විරෝධතා ව්‍යාපාර හා ප්‍රතිසංවිධාන වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නායක රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පසුගිය අඟහරුවාදා සවස සිරිකොතදී පැවැත්විණි.

රුවන්, වජිර, රංගේ, සාගල සහ ශමල් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට පැමිණ සිටි අතර පක්ෂයේ ඉදිරි සැලසුම් මෙන්ම උද්ඝෝෂණ ව්‍යාපාරවලට පොලීසිය මැදිහත්ව සිදුකරන බාධා කිරීම් සම්බන්ධවද මෙහිදී එක් එක් අය අදහස් දැක්වීය.

මෙම අදහස් දැක්වීමෙන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව පවත්වන උද්ඝෝෂණ හා විරෝධතාවලට බාධා කිරීමට හෝ ඒවා නවතා දැමීමට නීතියෙන් ඉඩක් නැති බවත් පවතින නිරෝධායන රෙගුලාසිවලද එවැන්නකට නීතිමය ඉඩකඩක් නැති බවත් ඔවුහු මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළහ. ඒ අනුව උද්ඝෝෂණ හා විරෝධතා තහනම් කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවද මෙහිදී තීරණය කෙරිණි.

 

Comments