ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සමේ ලිපි ගොනු 200ක් අතු­රු­දන් | සිළුමිණ

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­සමේ ලිපි ගොනු 200ක් අතු­රු­දන්

ඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (LRC) ඉඩම් අත්පත් කරගැනීමට අදාළ ලිපි ගොනු 200කට ආසන්න ප්‍රමාණයක් අස්ථානගත වී ඇත. එමෙන්ම ඉඩම් අක්කර ලක්ෂ 17කට ආසන්න ප්‍රමාණයක් කොමිෂන් සභාව සතු වුවද එම ඉඩම්වල තක්සේරුව රුපියල් මිලියන 676ක් ලෙස ගණනය කර ඇති අතර ඒ අනුව අක්කරයක මිල රුපියල් 500ක් වේ.

එම කොමිසම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව 2018 වසරේදී ස්ථිර පත්වීම් දී ඇති සේවක සංඛ්‍යාව 214කි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2017 සිට 2019 දක්වා තෙවස‍ෙරහි සිදුවූ මෙකී අක්‍රමිකතා හෙළි වූයේ මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නොවැම්බර් 17 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් හෙළි වූයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව වසර 50කට පෙරදී පවරාගත් ඉඩම්වලින් පිඹුරුපත් හා ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම මත අක්කර 50 ප්‍රමාණයේ නිදහස් නොකළ ඉඩම් කැබලි 260ක් පවතින බව ය.

මේ පිළිබඳව සිළුමිණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ වත්මන් සභාපති නීතිඥ නිලන්ත විජේසිංහගෙන් ඉකුත් සිකුරාදා කළ විමසීමේදී ඔහු කියා සිටියේ වසර 2002 දීද නීති විරෝධි අන්දමින් පුද්ගලයන් 528කට ඉඩම් පැවරුම් සිදුකර ඇති අතර ඒවා අවලංගු කිරීම සඳහා රජය දැන් කටයුතු කරගෙන යන බවකි. එමෙන්ම ඉකුත් කාලයේදී සිදුව ඇති ඉඩම් වංචා පිළිබඳව පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත්ය.

Comments