ඇසුර | සිළුමිණ

ඇසුර

 

විද්‍යා ප්‍රබන්ධවලට වැඩි අවධානයක් අවශ්‍යයි

ප්‍රවීණ විද්‍යා ලේඛක එස්. එම්. බන්දුසීල

ලෝකයේ විද්‍යා සාහිත්‍ය විශේෂයෙන්ම ප්‍රබන්ධ කතා ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය සමඟ සැසඳීමක් කළ හැකි ද?

අද ලෝකයේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය තියෙන්නේ ඉතා ඉහළ මට්ටමක. වර්ෂයක් තුළ ඉංග්‍රීසියෙන් පමණක් විද්‍යා ප්‍රබන්ධ සිය ගණනක් පළ වෙනවා. අනිත් යුරෝපීය භාෂාවලිනුත් විශාල ප්‍රමාණයක් විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා. චීන, ජපන් ආදි භාෂා වලින් මෙන් ම විවිධ ඉන්දියානු භාෂාවලිනුත් විද්‍යා ප්‍රබන්ධ පළ වෙනවා. අපේ රටේ වර්ෂයකට පළ වන්නේ විද්‍යා ප්‍රබන්ධ අතළොස්සක් පමණයි. ඒ අතින් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අතින් අපි ඉන්නේ ඉතා පහළ මට්ටමකයි.

අනිත් අතට ලෝකයේ ප්‍රධාන ධාරාවේ ලේඛකයන් තම නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවකුත් දැන් දකින්නට පුළුවන්. උදාහරණයක් හැටියට සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ කසුවෝ ඉෂිගුරෝගේ අලුත්ම නවකථාව විද්‍යා ප්‍රබන්ධයක්. ඇත්ත වශයෙන් ම අනාගත ලෝකයේ අපි මුහුණ දෙන ප්‍රශ්න හා ගැටලු සාර්ථක ලෙස ඉදිරිපත් කළ හැකි වන්නේ විද්‍යා ප්‍රබන්ධවලට පමණක් නිසා අනාගත ලෝක සාහිත්‍යයේ ප්‍රධාන ධාරාව වෙන්නේ විද්‍යා ප්‍රබන්ධය බව ලේඛකයන් විශ්වාස කරනවා.

 

ඔබ විසින් පරිවර්තනය කරන ලද විද්‍යා සාහිත්‍ය ප්‍රබන්ධ කතා පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකි ද?

මා පරිවර්තනය කළ පොත් අතර විද්‍යාත්මක ග්‍රන්ථ මෙන් ම විද්‍යා ප්‍රබන්ධත් තියෙනවා. 1960 දශකයේ ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් මිනිසා හා මිනිස් සමාජය විද්‍යාත්මක විමසීමකට ලක් කළ ඩෙස්මන්ඩ් මොරිස් නම් චර්යා විද්‍යාඥයාගේ පොත් දෙකක් (Naked Ape & Human Zoo) ‘නිරුවත් වානරයා’ හා ‘මනුසත් උයන’ නමින් පළ කළා. ඒ වගේම ආතර්.සී ක්ලාක් අනාගතය ගැන ලියූ (Profiles of the Future) ‘අනාගතයේ පැතිකඩක්’ නමින් සිංහලට පරිවර්තනය කළා. මා පරිවර්තනය කළ පළමුවැනි විද්‍යා ප්‍රබන්ධය වන්නේ ආතර් සී ක්ලාක් ලියූ ‘2001- අභ්‍යවකාශ වීර චාරිකාව ’යි. එය විශ්ව සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටයක් ලෙසත් ප්‍රසිද්ධියට පත් වුණා. එය මිනිසාගේ අතීතය හා අනාගතය ගැන මෙන් ම අනාගතයේ අපට මුහුණ දීමට සිදු වන තාක්ෂණයන් හා පිට සක්වල ජීවින් ආදිය පිළිබඳ ව අපේ අවධානය යොමු කරන ප්‍රබන්ධයක්. 2001 සිංහල පාඨකයන් අතර ඉතා ජනප්‍රිය වූ නිසා ක්ලාක් ලියූ එම කථා මාලාවේ අනිත් පොත් තුනත් (2010, 2061,3001) මම පරිවර්තනය කළා.

විශ්වයේ සිටිය හැකි බුද්ධිමත් ජීවීන් පිළිබඳ ව ආතර් ක්ලාක් ලියූ ‘රාමා’ සිවු ඈඳුතු විද්‍යා ප්‍රබන්ධ මාලාවත් පසුව මම සිංහලට පරිවර්තනය කළා. මම පරිවර්තනය කළ ක්ලාක්ගේ තවත් වැදගත් කෘතියක් වන්නේ (Fountains of Paradise) ‘පාරාදීසයේ උල්පත්’ නම් විද්‍යා ප්‍රබන්ධයයි. ආතර් සී ක්ලාක් මේ රට පදනම් කරගෙන ලියූ එකම කථාව වන මෙය ශ්‍රි ලංකාවේ ඉතිහාසයත් ජනප්‍රවාදත් අනාගත තාක්ෂණයත් මුසු කළ නිර්මාණයක්. ක්ලාක් මෙම විද්‍යා ප්‍රබන්ධය තුළින් මිනිස් ආසාවන්, මිනිස් හැකියාවේ සීමාවන් මෙන්ම ඒවායේ අරුතද විමසුමට ලක් කරනවා. මේ වන විට මම ආතර් ක්ලාක්ගේ ප්‍රබන්ධ 15ක් සිංහලට පරිවර්තනය කර තියෙනවා.

 

විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයෙන් අධ්‍යාපනයට ලබා ගත හැක්කේ කුමන ආකාරයේ අනුග්‍රහයක් ද ?

ලෝකය දැන් වේගයෙන් ගමන් කරමින් සිටින්නේ තාක්ෂණය ප්‍රධාන තැන ගන්නා සමාජයකටයි.

අනාගත ලෝකයේ අප මුහුණ දෙන ගැටලු බොහෝ දුරට තාක්ෂණික හා විද්‍යාත්මක ඒවා වෙන්නට පුළුවන්.

අපට, විශේෂයෙන් ම අපේ දරුවන්ට, අනාගත සමාජය හුරු පුරුදු තැනක් කිරීමට විද්‍යා ප්‍රබන්ධ ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා වර්තමාන අධ්‍යාපනය තුළ විද්‍යා ප්‍රබන්ධයට මීට වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යයි.

කාල් සේගන් වැනි ඉහළම පෙළේ විද්‍යාඥයින් ගණනාවක් ම විද්‍යාව හැදෑරීමට ඔවුන් පෙලඹුණේ විද්‍යා ප්‍රබන්ධ කියවීම නිසා බව කියා තිබෙනවා.

ශිෂ්‍යයින් විද්‍යාවට නැඹුරු කිරීමට විද්‍යා ප්‍රබන්ධවලට විශාල මෙහෙවරක් කළ හැකි බව මෙයින් පැහැදිලි වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ බොහෝ විට ලියැවෙන්නේ පවතින තාක්ෂණයෙන් ඔබ්බට ගිය තාක්ෂණයන් හා නිපයුම් ගැන නිසා ඒවා කියවීමෙන් දරුවන් සාම්ප්‍රදායික රාමුවෙන් පිට සිතන්නට යොමු වෙනවා.

************************

ශ්‍රී ලංකාවට ආවේණික විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයක් අවශ්‍යයි

ප්‍රවීණ විද්‍යා ලේඛක නාලක ගුණ­ව­ර්ධන

 

විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද?

විද්‍යා ප්‍රබන්ධ (science fiction) ගැන ලොවම පිළිගත් තනි අර්ථකතනයක් නැහැ. විද්‍යාත්මක සංකල්පයක්, තාක්‍ෂණයක් හෝ විද්‍යාත්මක මූලධර්මයක් පදනම් හෝ පසුබිම් කර ගෙන ගෙනෙන අතීත, වර්තමාන හෝ අනාගත කථාවක් විද්‍යා ප්‍රබන්ධයක් හැටියට පිළිගැනෙනවා.

විද්‍යාත්මක සොයා ගැනීමක හෝ නව තාක්ෂණයක සමාජයීය, ආර්ථිකමය සහ දේශපාලනමය බලපෑම් ගැන පුරෝකතනය කිරීම සහ ඇතැම් විට අහිතකර විය හැකියාවන් ගැන අනතුරු ඇඟවීම ද විද්‍යා ප්‍රබන්ධවල තවත් පොදු ගුණාංගයක්.

එහෙත් ඕනෑම හොඳ නිර්මාණාත්මක ප්‍රබන්ධයක මෙන්ම විද්‍යා ප්‍රබන්ධවලත් නිසි පරිදි කතා රසයක් තිබීම සහ හුරුබුහුටි ලෙස බස හැසිරවීමත් වැදගත්. ගැජට් එකක් දෙකක් ඇතුළත් වූ පමණටම යම් කථාවක් විද්‍යා ප්‍රබන්ධයක් වන්නේත් නැහැ.

 

විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ වර්තමාන ස්වරූපය ඔබ දකින්නේ කොහොම ද?

“අද වන විට විද්‍යා ප්‍රබන්ධ යනු හුදෙක් සාහිත්‍යාංගයක් පමණක් නොවෙයි. එය උප සංස්කෘතියක් (sub-culture). විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට, ටෙලිවිෂන් නාට්‍ය මාලා, චිත්‍රකථා, පරිගණක ක්‍රීඩා හා වෙබ් අඩවි තිබෙනවා. විද්‍යා ප්‍රබන්ධ නිර්මාණකරුවන් සහ රසිකයන් එක්තැන් කරන විද්‍යා ප්‍රබන්ධ උළෙලවල් සමහර රටවල පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය පෝෂණය වන ධාරාවන් දෙකක් තිබෙනවා. එනම් විදෙස් කෘතීන් දේශීය භාෂාවලට පරිවර්තනය වීම සහ ස්වතන්ත්‍ර නිර්මාණ සිංහල හා දෙමළ බසින් බිහි වීම. දෙමළ සාහිත්‍යය ගැන මා නොදන්නා නිසා, සිංහල විද්‍යා ප්‍රබන්ධ ගැන පමණක් විග්‍රහ කරන්නම්.

රහස් පරීක්ෂක කතා, මාරක කතා, ප්‍රේම කතා ආදී සාහිත්‍යාංගවලට සාපේක්ෂව සිංහල විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය එතරම් දියුණු වී නැහැ.

විද්‍යා ප්‍රබන්ධ නිර්මාණකරුවන් මෙන්ම ඔවුන්ගේ නිර්මාණ සඳහා පාඨකයන් ද සිටින්නේ සීමිත සංඛ්‍යාවක්. විද්‍යාව හුදෙක් පාසලේ උගන්නා විෂයමාලාවට පමණක් කොටු වී තිබීම සහ විද්‍යාත්මක චින්තනය ඇති තරම් ලක් සමාජය තුළ ප්‍රචලිත නොවී තිබීම මෙයට හේතුවක් විය හැකියි.

උත්ප්‍රාසයට කරුණක් වන්නේ විසි වන සියවසේ ලොව පහළ වූ දක්‍ෂතම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකු හැටියට පිළිගැනෙන ආතර් සී. ක්ලාක් (1917-2008) සිය ජීවිතයේ වැඩි කලක් නිත්‍ය පදිංචිකරුකු හැටියට (පුරවැසියකු නොවේ ) ශ්‍රී ලංකාවේ වාසය කොට තිබීමයි.

එස්. එම්. බන්දුසීල සූරීන් ක්ලාක්ගේ ප්‍රකට නවකථා හා කෙටිකථා ගණනාවක් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. සිරිල් සී. පෙරේරා හා තත්සරණී බුලත්සිංහල වැනි පරිවර්තකයන් ද මේ කාර්යයට දායක වී තිබෙනවා.

එසේ වූවත් ක්ලාක් ලියූ විද්‍යා ප්‍රබන්ධවලින් අඩක්වත් තවම සිංහලට පෙරැළී නැහැ.

 

මෙම සාහිත්‍යයේ විදේශික නිර්මාණ මෙරටට පරිවර්තනය වී ඇති ආකාරය ගැන ඔබේ අදහස කුමක් ද?

රේ බ්‍රඩ්බරි, අයිසැක් ඇසිමෝව්, රොබට් හයින්ලයින් හා ෆිලිප් කේ. ඩික් වැනි අමෙරිකානු ලේඛකයන්ගෙත්, ඉංග්‍රීසි බසින් ප්‍රබන්ධකරණයේ යෙදෙන බ්‍රිතාන්‍ය ජාතික සහ සෙසු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ලේඛකයන්ගේත් විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා විටින් විට මෙරට පුවත්පත් හා සඟරාවල පරිවර්තනය වී පළවනු අප දකිනවා.

එහෙත් ඉංග්‍රීසියෙන් තිබෙන විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට අමතරව ප්‍රංශ, ජර්මන්, රුසියානු, ජපන් සහ චීන වැනි භාෂාවලින්ද කලක් තිස්සේ දියුණුව ආ විද්‍යා ප්‍රබන්ධ සම්ප්‍රදායයන් තිබෙනවා. සිංහල පාඨකයන්ට මේවා ග්‍රහණය වී ඇත්තේ ඉතා අඩුවෙන්.

1980 දශකයේ රුසියානු විද්‍යා ප්‍රබන්ධ පරිවර්තන කළ ජේ. ඊ. ගුණසේකර සූරීන්ගේ අකල් මරණය නිසා තවත් රුසියානු විද්‍යා ප්‍රබන්ධ අපට හඳුනා ගත නොහැකි වුණා. අලෙක්සැන්දර් බෙලායීෆ්, ව්ලැඩිමියර් සව්චෙන්කෝ වැනි රුසියානු සෝවියට් ලේඛකයන්ගේ විද්‍යා ප්‍රබන්ධ ස්වල්ප වශයෙන් හෝ මෙරට පාඨකයාට කියවන්නට ලැබුණේ ගුණසේකරයන් නිසයි.

කෙසේ වෙතත් පරිවර්තනවලින් පමණක් දේශීය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයක් දියුණු කළ නොහැකියි. පරිවර්තනවල ආභාසය ලබමින් අපේ ඉලක්කය විය යුත්තේ ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයක් සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසි බසින් මෙරට බිහි කිරීමයි. ශ්‍රී ලංකාවට ආවේණික වූ අදහස් මෙන්ම ගෝලීය මට්ටමේ පරිකල්පනය මනාව සංයෝජනය කරමින් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයක් කෙමෙන් ගොඩ නගන්නට අපේ ලේඛකයන්, ප්‍රකාශකයන් හා පාඨකයන් අත්වැල් බැඳගත යුතුයි.

ඒ සඳහා ලෝකයේ වෙනත් රටවල විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය සම්ප්‍රදායන් ඇසුරු කිරීම ප්‍රයෝජනවත්. එහි දී හුදෙක් බටහිර රටවල ලියැවී ඇති විද්‍යා ප්‍රබන්ධ පමණක් නොවේ, රුසියාව, චීනය, ජපානය හා ඉන්දියාව වැනි රටවල විද්‍යා ප්‍රබන්ධත් ආභාසයට ගත හැකියි.

මේ වන විට ඉන්දියාවේ විවිධ භාෂාවලින් ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයක් පැන නැ‍ඟී තිබෙනවා. එහි එක් වැදගත් ගුණාංගයක් නම් ප්‍රධාන ප්‍රවාහයේ ගත්කතුවරුන් ඇතැම් දෙනකු පවා උසස් ගණයේ විද්‍යා ප්‍රබන්ධ ඉංග්‍රීසියෙන් ලිවීම.

දැන් ඇමරිකාවේ ජීවත් වෙමින් ඉංග්‍රීසියෙන් ප්‍රබන්ධකරණයේ යෙදෙන අමිතාව් ඝෝෂ් (Amitav Ghosh) 1995 දී මැලේරියාව පදනම් කර ගෙන කල්කටා ක්‍රෝමසෝම් (Calcutta Chromosome) නම් ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ නවකථාවක් ලිව්වා. මහා සිනමාකරු සත්‍යජිත් රේ ඉංග්‍රිසියෙන් මෙන්ම වංග බසින් ද විද්‍යා ප්‍රබන්ධ කෙටිකථා ලියා තිබෙනවා. එරට ඇතැම් විද්‍යාඥයන් පවා විද්‍යා ප්‍රබන්ධකරණයට යොමු වී සිටින බවට උදාහරණයක් වන්නේ කීර්තිමත් තාරකා විද්‍යාඥ ආචාර්ය ජයන්ත් විෂ්ණු නාලිකාර්.

ඉංග්‍රීසියෙන් ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ ලියන තරුණ ලාංකික ලේඛකයන් කිහිප දෙනෙක් පසුගිය දශකය තුළ මතු වී තිබෙනු දැකීම සතුටට කරුණක්. යුධන්ජය විජේරත්න, නවීන් වීරරත්න, වජ්‍ර චන්ද්‍රසේකර හා අමැන්ඩා ජයතිස්ස වැනි ලේඛක ලේඛිකාවන් මේ නව රැල්ලට අයත්.

මේ අය අපේ දිවයිනේ සිට සිය නිර්මාණ හරහා ගෝලීය පාඨක ප්‍රජාවම අමතනවා. ලොව මුල් පෙළේ ප්‍රකාශන සමාගම් මේ සමහර ලාංකික ලේඛකයන්ගේ නිර්මාණ පළ කරන්නට ඉදිරිපත්ව සිටිනවා. සිංහල පාඨකයා අපේම ඉංග්‍රීසි විද්‍යා ප්‍රබන්ධකරුවන්ගේ නිර්මාණ හඳුනා ගන්නේ කවදාද?

 

පුවත්පත් සහ වෙනත් ප්‍රකාශන ඇසුරේ පළවෙන විද්‍යා ප්‍රබන්ධ ගැන ඔබට විවේචනයක් තිබෙනවා ද?

මේ අතර අපේ රටේ සිංහල පුවත්පත් හා සඟරාවල පළ වන ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ ගැන මා කලක පටන් අවධානය යොමු කරනවා. මේ නිර්මාණවල පොදු සාධක කිහිපයක් තිබෙනවා. ඒවා බොහොමයක කථා රසය, කථාවේ ආකෘතිය මෙන්ම බස හැසිරවීමත් දුර්වලයි. එමෙන්ම විද්‍යාවට අදාළ සංකල්පීය පදනම හා තර්කානුකූලව කථාව ගොඩනැඟීම ද හරියාකාරව සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට දකින්නට ලැබෙන්නේ ගතානුගතික හා වට්ටෝරුගත කථා ශෛලියක්.

මෙබඳු කථා බහුතරයක් දෙන්නට තැත් කරන පණිවුඩය ලෙස මට නම් පෙනෙන්නේ ‘විද්‍යාව යනු විජ්ජාවක් හෝ බොළඳ ප්‍රයත්නයක්’ බවයි. බොහෝ විට එවන් කථාවල කථා නායකයා ධනය, බලය හෝ තනතුරු හඹා යන විද්‍යාඥයෙක්.

තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවක් කරන්නට ඔහු සූදානම්. එබඳු බලලෝභී විද්‍යාඥයන්ට අනුග්‍රහය සපයන දේශපාලකයන් හෝ ව්‍යාපාරිකයන් ද ඇතැම් කථාවල සිටිනවා.

මෙබඳු කථාවක මුල ඡේද කිහිපය කියැවූ පසු එය අවසන් වන්නේ කෙසේද යන්න ලෙහෙසියෙන් අනුමාන කළ හැකියි. වැරදි මාර්ගයේ ගිය විද්‍යාඥයා එක්කෝ මහා විනාශයක් කර ගෙන මරණයට පත් වෙනවා. නැතිනම් මහත් සේ පසුතැවිලි වී අන්තිමේ දී ආගමක සරණ පතා පූජාසනයක් අබියස ඇද වැටෙනවා!

සැලකිය යුතු කථා ගණනක් යන්ත්‍ර සූත්‍ර, රසායනාගාර ආදියන් පටන් ගෙන බුද්ධාගමින් හමාර වෙනවා. බුදු දහමත් විද්‍යාවත් දෙකම පටලවා ගත් මෙකී ලේඛකයන් කරන්නේ මේ චින්තන සම්ප්‍රදායන් දෙකටම නිගරු කරමින් පාඨකයන් ද මුලා කිරීමයි.

සිංහල විද්‍යා ප්‍රබන්ධ කෙටිකථා මෙන් ම ටෙලි නාට්‍යවලත් තවත් ජනප්‍රිය තේමාවක් නම් ‘බටහිර’ විද්‍යාව හා පෙරදිග ආගම් අතර ‘තරග දිවීම’. විද්‍යාඥයන් පිරිසක් යමක් ගැන පර්යේෂණ හෝ අත්හදා බැලීම් කරනවා. එතැනට පැමිණෙන යෝගියකු හෝ සෘෂිවරයකු ඔවුන් මවිතයට පත් කරමින් ‘ප්‍රාතිහාර්ය’ පානවා.

තාවකාලික ප්‍රමෝදයක් මේ සරල කථාවලින් ලැබෙන්නට හැකි වූවත්, එතැනින් ඔබ්බට යන බුද්ධිමය වින්දනයක් ලබා දෙන්නට ඒවා අසමත්. විද්‍යාව වෙනුවට විජ්ජාව ආදේශ කිරීම විද්‍යා ප්‍රබන්ධයක කාර්යය නොවෙයි. ඒ සඳහා මායාරූපී කතා හෙවත් ෆැන්ටසි (fantasy) නම් තවත් සාහිත්‍යයක් තිබෙනවා. ෆැන්ටසි සහ විද්‍යා ප්‍රබන්ධ දෙක පටලවා නොගත යුතුයි.

මෙවන් විද්‍යා ප්‍රබන්ධ නිර්මාණ මා දකින්නේ ‘විද්‍යා විරෝධී ප්‍රබන්ධ’ හැටියටයි (anti-science fiction). ප්‍රබන්ධ කථා ලිවීමේ දී ලේඛකයන්ට විශාල නිර්මාණාත්මක නිදහසක් තිබෙනවා. ඒත් ඔවුන් ලියන දේ පාඨකයාට විශ්වසනීය වීම හා රසාස්වාදයක් ලබා දීමත් අවශ්‍යයි. කියවන්නා කුල්මත් නොකරන, ඉච්ඡාභංගත්වයක් ඇති කරන නිෂ්පල කථාවලින් කාටවත් ප්‍රයෝජනයක් නැහැ.

විද්‍යා ප්‍රබන්ධ සඳහා පාදක කර ගත හැකි බොහෝ සංකල්ප හා ප්‍රවේශයන් තිබෙනවා. කාල තරණය (time travel), විකල්ප ඉතිහාසයන් (alternative histories), උප-පරමාණුක මට්ටමේ පවතින ලෝක, පරිණාමයේ මෑත හා ඈත අනාගතය, කෘත්‍රිම බුද්ධිය හා මානවයන් අතර ගනුදෙනුව ඒ අතරින් කිහිපයක්.

සාගර පතුල හා ග්‍රහලෝක ගවේෂණය මෙන්ම මිනිස් සිරුරේ තවමත් නොදන්නා රහස් සොයා යාමත් ලෝකයේ වෙනත් රටවල විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන් ප්‍රිය කරන තේමා කිහිපයක්. ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයක් සිංහලෙන් දියුණු නොවීමට පාඨකයන්ගේ හා ප්‍රකාශකයන්ගේ දැක්මේ සීමාවන් ද දායක වෙනවා. විද්‍යාව නොවන වෙනත් විෂය ක්‍ෂේත්‍රයන්ගෙන් උසස් අධ්‍යාපනය ලැබූ අයට විද්‍යා ප්‍රබන්ධ ගැන එතරම් උනන්දුවක් හෝ අවබෝධයක් නැහැ. මේ නිසා කථා රසයෙන් හීන, සාහිත්‍යමය ගුණාංගයන්ගෙන් දුර්වල, විද්‍යා විරෝධී කථා කිසිදු විචාරයකින් තොරව එළි දකිනවා. එවන් පොත් සමහරකට සාහිත්‍ය සම්මාන පවා පිරිනැමෙනවා!

හොඳ කෙටිකථාවක හෝ නවකථාවක තිබිය යුතු මූලික ගුණාංග සියල්ල විද්‍යා ප්‍රබන්ධයකත් අඩංගු විය යුතුයි. විද්‍යාවේ තිරයට මුවා වී දියාරු කථා ලියන ප්‍රවණතාවයෙන් ඔබ්බට අප ඉක්මනින් පරිණාමය විය යුතුයි.

Comments