ඇයි මෙහෙම සංස්කෘතිය ප්‍රශ්න කළේ කියලා මිසක් ඇගයුම් ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ | සිළුමිණ

ඇයි මෙහෙම සංස්කෘතිය ප්‍රශ්න කළේ කියලා මිසක් ඇගයුම් ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ

2021 Uruvatti International Film

Festival හි හොඳ ම ප්‍රථම කෙටි චිත්‍රපටය, හොඳ ම තිරරචනය හා හොඳම නිෂ්පාදනය ලෙස සම්මාන ලැබූ නවයුගා කුගරාජා

ශ්‍රී ලාංකික දමිළ කලාකාරියක වන නවයුගා කුගරාජා විසින් අධ්‍යක්ෂණය කළ ”පොට්ටුට්’’ දමිළ භාෂිත කෙටි චිත්‍රපටය පසුගිය කාලයේ ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ගත්තා. ඒ ඉන්දියාවේ Golden Leaf International Film Festival 2021 සම්මාන උළෙලේ කෙටි චිත්‍රපට අංශයෙන් හොඳම නිළිය, හොඳම ප්‍රථම අධ්‍යක්ෂණය, හොඳම ප්‍රථම කෙටි චිත්‍රපටය, හොඳම තිරරචනය හා හොඳම නිෂ්පාදනය ලෙස හා 2021 Uruvatti International Film Festival උළෙලේ කෙටි චිත්‍රපට අංශයේ හොඳ ම කාන්තා කෙටි චිත්‍රපටය හා හොඳම ප්‍රථම කෙටි චිත්‍රපටය ලෙස.

ඊට අමතරව කැනඩාවේ 4th Multinational Film Festival Toronto 2021 උළෙල, පෘතුගාලයේ CLIT International Film Festival 2021 උළෙල, එක්සත් රාජධානියේ Lift-Off Global Network First Time Film Maker sessions 2021 උළෙල කෙටි චිත්‍රපට අංශයේ නිල නියෝජනය ලෙස හා කැනඩාවේ Montreal Feminist Film Festival 2021 උළෙලේ කෙටි චිත්‍රපට අංශයේ අවසන් වටය හා තුර්කියේ Crossroads International Short Film Festival 2021 උළෙලේ අර්ධ පූර්ව අවසන් වටය සඳහා ද මේ ”පොට්ටුට්’’ දමිළ භාෂිත කෙටි චිත්‍රපටය තෝරා ගෙන තිබුණා.

අධ්‍යක්ෂිකා නවයුගා කුගරාජා විසින් ප්‍රධාන චරිතයට පණ පොවන "පොට්ටුට්" කෙටි චිත්‍රපටයේ සෙසු චරිතවලට රංගන දායකත්වය සපයන්නේ ශැරොන් ප්‍රේසි, ප්‍රියා ඩැනියෙල්, ගීතානි සෙනවිරත්න, මනුජිතා දිමන්සා, යශෝධා රාධාක්‍රිෂ්ණන්, ජුලියානා ජෝන්ෆිලිප් විසිනි. අද මේ කතා බහ ”පොට්ටුට්’’ දමිළ භාෂිත කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලාංකික දමිළ කලාකාරියක වන නවයුගා කුගරාජා සමඟ.

 

කොහොමද ඔබ කලාවට ආරම්භය ලබා ගන්නේ

මගේ තාත්තා යාපනේ දමිළ කලාකරුවෙක්. තාත්තට නාට්‍ය වෙනුවෙන් ජාතික සම්මාන පවා ලැබිලා තියෙනවා. ඒ ආභාසය තමයි මම හිතන්නේ මට ඇවිත් තියෙන්නේ.

 

පාසල් ගියේ

වවුනියා රම්බේකුලම් කාන්තා මහ විදුහලට.

 

දැන් ගුරු වෘත්තීයේ ඉන්න ගමන් ද මේ කලා නිර්මාණවලට දායක වෙන්නේ

නැහැ. මේ වෙද් දී මම ගුරු වෘත්තියට සමුදීලා පූර්ණකාලීනව කලාව එක්ක ඉන්නේ. මුල් කාලයේ වෘත්තීන් දෙකම කරගෙන ගියා. ඒ කාලයේ මම පොත් ලිව්වා, රඟපෑවා. නමුත් ඒ දෙකම කරන්න ටිකක් අපහසුයි. 2018 දී ගුරු වෘත්තීයට සමු දුන්නා; දැන් කලාව පමණයි කරන්නේ.

 

මේ වෙද්දී කලාවේ ඔබේ භූමිකාව

රංගනය, පරිවර්තන කටයුතු සහ අධ්‍යක්ෂණය කියන පැතිකඩවලින් මම වැඩ කරනවා.

 

ඔබේ පළමු නිර්මාණය "පොට්ටුට්" එය අන්තර්ජාතික සම්මාන රැසක් දිනා ගන්නවා.

ඔව්, මිනිත්තු 12ක් පුරා දිවෙන "පොට්ටුට්" කෙටි චිත්‍රපටය තමයි මගේ පළමු නිර්මාණ අධ්‍යක්ෂණය. ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික දමිළ වැන්දඹු ස්ත්‍රිය මුහුණ දෙන සමාජයීය හා ආර්ථික ගැටලු පිළිබඳව තමා මම "පොට්ටුට්" ඔස්සේ කතා කරන්නේ. මෙහි ප්‍රධාන භූමිකාව තිරරචනය සහ නිෂ්පාදනය කියන භූමිකා තුනම සම්මාන ලැබුවා. ඒ තුන ම මමයි කළේ. මේ වෙද්දී සම්මාන ඔක්කොම ගත්තම 11ක් විතර ලැබිලා තියෙනවා.

 

පළමු නිර්මාණය මෙතරම් ජාත්‍යන්තර ඇගයුම් සම්මාන ලැබීම ගැන මොකද හිතෙන්නේ

ඇත්තටම මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නම් නැහැ. නමුත් මේ "පොට්ටුට්" ඔස්සේ කතා කරන කන්සෙප්ට් එක ප්‍රබල එකක්. අපේ දෙමළ සමාජයේ කුංකුම පොට්ටු කියන එක කසාඳ බැඳපු හැමෝම තියනවා. ගැහැනු ළමයි වුණත් පොඩි කාලේ ඉඳන් හරිම ආසයි ඒකට. දැන් අපි වුණත් කසාදයක් ගැන හීන මවන්නේ පොට්ටු තියන එකට ලස්සනට ආභරණ පලඳන එකට මල් තියන එකට. නමුත් පොට්ටු කියන එක හස්බන්ඩ් නැති වුණාට පස්සේ තියන්න බැහැ. ඒක පොත්වල ලියලා තියෙන නීතියක් නෙවෙයි. නමුත් සමාජීය රීතියක්. එහෙම කවුරු හරි තිබ්බම හැමෝම කතා වෙනවා ආ දැන් ආයෙත් මිනිහෙක් හොයාගෙන, මිනිහා මැරිලා මාස කියද ගියේ තව කෙනෙක් හොයාගෙන ඒවගේ දේවල් තමා සමාජයේ අනෙකුත් අය කතා වෙන්නේ.

වැඩියෙන්ම කාන්තාවක් විවේචනය කරන්නේ මේ සමාජයේ ගැහැනු විසින්මයි. ගැඹුරෙන් හිතුවොත් ගැඹුරු අදහසක් තියෙනවා. නමුත් සරලව වුණත් බලන්න පුළුවන් කෙටි නිර්මාණයක්. ඒ නිසා ඇයි මෙහෙම දෙයක් සංස්කෘතිය ගැන කළේ කියලා මගෙන් අහයි කියලා හිතුවා මිසක් මේ ඇගයුම් ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ.

 

දෙවැනි නිර්මාණය මොන වගේ එකක් ද?

"පෙට්ටකෝලි කුවී" මේකත් මම ගොඩක් කැමැති තේමාවක්. අපි පොඩ්ඩක් සංසන්දනය කරලා බැලුවොත් සිංහල සහ ටැමිල් කියලා නැහැ ගැහැනු අයට නීතිරීති තියෙනවා. fb එකට ෆොටෝ එකක් දානවා කියන තැනේ ඉඳන් ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ ගැහැනිය එයා කැමති දේවල් එයා ආස කරන දේවල් ඒ සමාජයේ ඉන්න පිරිමින්ට ඕනේ විදියට තමා ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒක පොඩි ෆැන්ටසි කතාවක් එක්ක යන ඩ්‍රාමා එකක්. ඒ වගේම මේ වගේ දෙයක් වුණා කියලා ජීවිතේම පස්සට යන්න ඕනේ නැහැ කියන මොටිවේෂන් එකක් මෙමඟින් දෙන්නේ.

 

ඒ ඔබේ අධ්‍යක්ෂණ භූමිකාවනේ,

එතකොට රංගනය පැත්ත කතා කළොත්

දැනට දමිළ චිත්‍රපට දෙකක ප්‍රධාන චරිත කරලා තියෙනවා. තව සිංහල චිත්‍රපට කිහිපයකට දායක වුණා. ඒ නිර්මාණ ඉදිරියේ දී තිරගත වෙයි. මේ වෙද්දීත් චිත්‍රපට කිහිපයකට ආරාධනා කරලා තියෙනවා. තව මම මගේම සිනමා නිර්මාණයක් කරන්න ඉන්නවා. එකෙත් ප්‍රධාන චරිතය මම ම කරන්න හිතාගෙන ඉන්නේ.

 

Comments