ආයෝ­ජන මණ්ඩ­ලයේ රජ ගැහිලි කෝප් කමි­ටුව හෙළි­ද­රව් කරයි | සිළුමිණ

ආයෝ­ජන මණ්ඩ­ලයේ රජ ගැහිලි කෝප් කමි­ටුව හෙළි­ද­රව් කරයි

නොවැ­ම්බර් 11 වැනිදා පැවැති කෝප් කාරක සභා­වේදී  ආයෝ­ජන මණ්ඩ­ලයේ අවි­ධි­මත් ගෙවීම් සම්බ­න්ධව කරුණු විමසූ අව­ස්ථාව
නොවැ­ම්බර් 11 වැනිදා පැවැති කෝප් කාරක සභා­වේදී ආයෝ­ජන මණ්ඩ­ලයේ අවි­ධි­මත් ගෙවීම් සම්බ­න්ධව කරුණු විමසූ අව­ස්ථාව

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානතම කාර්යය වන්නේ විදේශීය ආයෝජන ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම උදෙසා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙන්ම එම ආයෝජන ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීමයි.

 

ආයෝජන මණ්ඩලයේ දැක්ම වන්නේද ‘ආසියාවේ තිරසාර ආයෝජන සඳහා වඩාත්ම ආකර්ෂණීය ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කිරීම‘ යන්නයි. එමෙන්ම එහි මෙහෙවර ප්‍රකාශයේ සඳහන් වන්නේද,

‘ජාතික ආර්ථික සංවර්ධනයේ වැදගත්ම දායකයා වශයෙන් ස්වභාවිත පරිසරය සමඟ පවත්වා ගත යුතු එකඟතාව ආරක්ෂා කරන අතර ප්‍රබල ප්‍රවර්ධන කටයුතු තුළින් හා ආයෝජන සඳහා විශිෂ්ට මට්ටමින් පහසුකම් සැපයීමෙන් සම්පත් හා සහ කුසලතා ප්‍රශස්ත මට්ටමින් උපයෝජනය කර ගැනීම සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා ආරක්ෂා කර ගැනීම වේ.‘ යනුවෙනි.

කෝප් කමි­ටු සභාපති  මහාචාර්ය චරිත හේරත්  රැස්වීම මෙහෙයවමින්

එවන් ආකාරයේ කාර්යයක් උදෙසා මුල් වී කටයුතු කළ යුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සකස් කිරීම හා ඊට අදාළ යටිතල පහසුකම් සපයා දීමට ප්‍රමුඛව කටයුතු කළ යුතුය. එහෙත් ඒ සියලු කටයුතු කළ යුතු වන්නේ රාජ්‍ය චක්‍රලේඛ, කැබිනට් අනුමැතියන්ට යටත් වූ ව්‍යාපෘති හා මුදල් රෙගුලාසින්ට යටත්වය.

කරුණු එසේ වුවත් විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව විවිධ ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් රුපියල් මිලියන 3352.92 ක් ගෙවා ඇති බව පසුගියදා පැවැති කෝප් කාරක සභාවේදී අනාවරණය වීම පුදුම සහගතය. අන්තර්ජාතික ආයතන පවා ආයෝජනය කර ඇති මහා පරිමාණ ව්‍යාපෘති සහිත මෙවන් සැලැස්මක් වෙනුවෙන් එවන් අනිසි වියදමක් යොදා ගැනීම ශ්‍රී ලංකාව මූල්‍ය අතින් අන්තර්ජාතිකව පවා අපකීර්තියට පත් වන කරුණකි. ඒ සම්බන්ධව කෝප් කමිටුවේදී බොහෝ දේ අනාවරණය විය.

එහිදී අදාළ රුපියල් මිලියන 3352.92 ක මුදල විවිධ ආයතනවලට ගෙවා ඇති බවත් එය කිසිදු ක්‍රමවේදයකට අයත් නොවන බවත් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් 11 වැනිදා පැවැති කෝප් කාරක සභාවේදී අනාවරණය විය.

එදිනද කෝප් කාරක සභාව රැස්වූයේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙනි.

අදාළ මුදල් ප්‍රධාන වශයෙන් මිල්ලනිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් හා බිංගිරිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් වැය කර ඇති බව හෙළි විය.

ඒ අනුව ඒ මුදලින් රුපියල් මිලියන 2300.53 ක මුදලක් මිල්ලනිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් වැය කර තිබූ අතර රුපියල් මිලියන 1052.39 ක මුදලක් බිංගිරිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් වියදම් කර තිබූ බව අනාවරණය විය.

මිල්ලනිය අපනයන සැකසුම් කලාපය යනු යෝජිත අපනයන කලාපයකි. එම භූමියේ හිමිකාරිත්වය පවා නිරවුල් කර ගෙන නොතිබුණු තත්ත්වයක් යටතේ මෙතරම් මුදලක් වැය කිරීම ගැටලු සහගතය. කෝප් කාරක සභාවේද දිගින් දිගටම විමසීම වූයේ එවන් භූමි නිරාකරණයක් පවා නිසි ලෙසින් සිදු නොකර රුපියල් මිලියන 2300.53 ක මුදලක් හෙවත් කෝටි 231ක මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙනි. කාරක සභා සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී.

මිල්ලනිය අපනයන සැකසුම් කලාපයට අදාළව ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් මිලියන 91.61 ක මුදලක් ගෙවා ඇති අතර, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2088.39 ක මුදලක් සේවා ආයතන වෙත ගෙවා තිබුණු බවද එහිදී හෙළි විය.

ගිවිසුම්වලට ඇතුළත් වීමකින් තොරව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙපමණ විශාල මුදලක් වැය කළේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.

එදින කෝප් කමිටුව හමුවේ කරුණු පැහැදිලි කිරීමට ආ නිලධාරීන් අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාලද සිටි අතර ඔහු පෙන්වා දුන්නේ මේ වන විට එම අදාළ ආයතන සමඟ ගිවිසුම් වලට එළඹ ඇති බවයි. එය ඇත්තක් වන්නට පුළුවන. එහෙත් ගිවිසුම් ගත වීමටත් පෙර අතිවිශාල මුදලක් එසේ යෙදවූයේ කුමන හේතුවක් මතද යන්න ගැන තවම පැහැදිලි අනාවරණයක් නැත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාලගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව මෙම මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා කෝප් කාරක සභාවට මාස 03 ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් විසින් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

එමෙන්ම බිංගිරිය අපනයන සැකසුම් කලාපයට අයත් ප්‍රවේශ මාර්ග ඉදිකිරීමේ කටයුතු මන්දගාමි වීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. අදාළ මුදල් ගෙවා ඇති පසුබිමක කාර්යයන් ඉටු නොවීම ගැන විශේෂ අවධානය එහිදී යොමු විය.

ඊට අමතරව 2020 වසරේ දෙසැම්බර් 31 වැනි දිනට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අපනයන සැකසුම් කලාප හා කාර්මික උද්‍යාන 12 ක්, වසා දමන ලද හෝ අත්හිටුවන ලද හෝ ගිවිසුම් අවලංගු කළ හෝ ව්‍යාපෘති සංඛ්‍යාව 484 ක් බවද මෙම කාරක සභාවේදී අනාවරණය විය.

ඊට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමත බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගනිමින් විශාල මාසික වේතනයක් ගෙවා පුද්ගලයන් 07 දෙනෙකු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ සභාපතිවරයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් විමසීමක් කළේය.

මේ අය අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක, උපදේශකවරියක ලෙස බඳවා ගෙන 2020-2021 කාලයේදී ඇයට රුපියල් කෝටියකට වැඩි මුදලක් වැටුප් ලෙස ගෙවීම සම්බන්ධව ද කෝප් කමිටුවේ අවධානය යොමුවූ අතර ඒ සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙසින් සාකච්ඡා කරන ලදී. ඇයට එක් මාසයකදී ගෙවා ඇති වැටුප රුපියල් ලක්ෂ 10 ක් බවද මෙහිදී හෙළි විය.

ඊට අමතරව විධායක අධ්‍යක්ෂකවරුන් සිවු දෙනකු සඳහා රුපියල් තිස් එක් ලක්ෂ අසූදහසක් ගෙවා ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු රුපියල් අට ලක්ෂ විසිදහසක මාසික වැටුපකට බඳවා ගෙන ඇතැයිද වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මීට දශක දෙකකට පෙරද මේ ලෙසින්ම අධික වැටුපකට නිලධාරිනියක් බඳවා ගැනීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක් විය. ආයෝජන මණ්ඩලයේ හා ආයෝජන කලාපවල සේවකයන් ඉතා අවම වැටුප් ලබද්දී හා කොවිඩ් වසංගත තත්ත්වයන් යටතේ කර්මාන්ත පුර හා ආයෝජන කලාපවල සේවක සේවිකාවන් රුපියල් 14,500.00ක අඩ වැටුපක් ලබද්දී මේ ලෙසින් මසකට රුපියල් මිලියනකට අධික වැටුප් ලබමින් මෙසේ නිලධාරිනියන් පත් කිරීම සමස්ත ජාතියටම කරනු ලබන හානියකි. එමෙන්ම ආයතනික සේවක සේවිකාවන් අතරම යම් කනස්සලු ස්වභාවයක් හා දැඩි පීඩනයක් ඇතිවීමට බලපානු ඇත.

කෝප් කමිටු සභාපතිවරයාද ඒ බව කමිටුවේදී අවධාරණය කරන ලදී. කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් විසින් පෙන්වා දුන්නේ රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් බවත් මේ පිළිබඳව වහාම සොයා බැලීමට කටයුතු කළ යුතු බවයි. එමෙන්ම

එවැනි සිදුවීම් මඟින් ආයතනයේ අභ්‍යන්තර ගැටුම් ඇතිවන බවද ඔහු පෙන්වා දුන්නේය.

නොවැම්බර් 11 වැනිදා පැවැති මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, නාලක ගොඩහේවා, ඩි.බී හේරත් , ඩී.වී චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, ආචාර්ය හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත, එස්.එම් මරික්කාර්, එස්.රාසමාණික්‍යම් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද , රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද එකව සිටියහ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ලයට එල්ල වන මේ චෝදනාවන් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජෙනරාල් පසන් වනිගසේකර විසින් කරුණු පැහැදිලි කරන ලදී.

‘‘2017 අයවැය යෝජනාවලට අනුව, ආර්ථික කළමනාකරණය සඳහා වූ කැබිනට් කමිටුවේ (CCEM) මඟපෙන්වීම අනුව එවකට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය විසින් මිල්ලනියේ හා බිංගිරියේ අපනයන සැකසුම් කලාප දෙකක් ස්ථාපිත කිරීමට කටයුතු කළා. අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පිළිවෙළින් 2017 දෙසැම්බර් 15 සහ 2018 ඔක්තෝබර් 10 යන දිනවල අදාළ කැබිනට් පත්‍රිකාත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව තෝරාගත් කලාප සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට අනුමැතිය ලබා දී තියෙනවා. ඒ අනුව 2017, 2018 සහ 2019 වසරවලදී අමාත්‍යාංශයට ප්‍රතිපාදනත් ලබා දී තියෙනවා.

අපනයන කලාප පිහිටුවීම සඳහා හඳුනාගෙන ඇති ඉඩම් කොටස්වලින් පිටත යටිතල පහසුකම් සංවර්ධනය සහ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධ කටයුතු අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කළා.

ඒ අනුව ජලය, විදුලිය, මහා මාර්ග වැනි සැපයුම් පහසුකම් ලබා දීමට අදාළ කටයුතු සඳහා පහසුකම් සැලසීම සහ ප්‍රගතිය අමාත්‍යාංශයට වාර්තා කිරීම සහ කලාප සඳහා හඳුනාගෙන ඇති ඉඩම් කොටස් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි ආයෝජන මණ්ඩලයට අයත් වූයේ. රුපියල් මිලියන 3,352.92 ක ගනුදෙනු සිදු කිරීම පිළිබඳව එවකට රජය විසින් අදාළ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද 2017-19 අයවැය යෝජනා හරහා සිදු කරන ලද්දක්. අදාළ ආයතන සමඟ යටිතල පහසුකම් සංවර්ධන නියෝජිතායතන සමඟ සාකච්ඡා කර අමාත්‍යාංශය විසින් සෘජුවම මූල්‍ය විසර්ජන සැලසුම් කිරීම සිදු කර තියෙනවා.

ආයෝජන මණ්ඩලය විසින් සිදු කර ඇත්තේ අමාත්‍යාංශයේ නියෝග අනුව පහසුකම් සපයන්නෙකුගේ කාර්යභාරය පමණයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ගිණුම් වලින් කිසිදු ගෙවීමක් සිදු කර නැහැ.

ඊට අමතරව අපනයන සැකසුම් කලාප 12ක් යටතේ ඇති ව්‍යාපෘති 484ක් ගිවිසුම් අවසන් කර හෝ මෙහෙයුම් අත්හිටුවා හෝ වසා දමා ඇති බව කාරක සභාව විසින් දක්වා ඇතත් ඒ කුමන කාලයේද යන්න ගැන කෝප් කමිටු වාර්තාවේ සඳහනක් නැහැ.

ආයෝජන මණ්ඩලය ආරම්භ වන්නේ 1978 අවුරුද්දේ මේ දක්වා වසර 43ක කාලය තුළ විවිධ කොන්ත්‍රාත් 484 අවසන් කිරීම හෝ අත්හිටුවීම් සිදුව තිබෙනවා. ‘

ඒ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ කරුණු පැහැදිලි කිරීමයි. ඔහු විසින් මේ වන විට මේ බව පාර්ලිමේන්තුවේ අදාළ අංශ වෙත දන්වා ඇත්තේ නිසි තොරතුරු ප්‍රචාරය නොවුණහොත් ආයෝජන මණ්ඩලයේ ප්‍රතිරූපයට හානි විය හැකි බවද සඳහන් කරමිනි.

ඒ කරුණු එසේ වුවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කිසිදු විටක රුපියල් මිලියනක මාසික වැටුප් ගෙවීමට උපදේශිකාවක් ඇතුළු ලක්ෂ ගණනක අධික වැටුපකට නිලධාරීන් බඳවා ගැනීම ගැන කිසිවක් පවසන්නේ නැත.

ආයෝජන මණ්ඩලයේ ආයෝජන සමස්ත ශ්‍රී ලංකාවේම යහපතට මිස එක් අයෙකුගේ හෝ දෙන්නෙකුගේ යහපතට කරනු ලබන ආයෝජනයක් නොවිය යුතුය. පසුගිය කාලයේ අමාත්‍යාංශය විසින් මේ ගෙවීම් සිදු කර ඇත්නම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා හෝ ගණකාධිකාරිවරයා විසින් ඒ සම්බන්ධව වගකීම දැරිය යුතුය. ඒ සම්බන්ධවද කෝප් කමිටුවේ අවධානය වහාම යොමු විය යුතුය.


 

Comments