අහං­ගමෙන් මතු වූ දඬුවම් මුදලාලි මෙන්න! | Page 3 | සිළුමිණ

අහං­ගමෙන් මතු වූ දඬුවම් මුදලාලි මෙන්න!

ජාවාරම සිදුකළ අහං­ගම තිත්ත­ගල්ල ප්‍රදේ­ශයේ නිවස
ජාවාරම සිදුකළ අහං­ගම තිත්ත­ගල්ල ප්‍රදේ­ශයේ නිවස

 

තැන්පතු මුදල් සඳහා වැඩි පොලී මුදලක් ලබාදෙන බව පවසමින් අහංගම තිත්තගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළකු විසින් අහංගම තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකගෙන් ලබාගත් රුපියල් කෝටි 04ක පමණ මුදලක් යළි ලබා නොදී විශ්වාසය කඩකර ඇති බව අහංගම තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසක් පවසති. මුදල් වංචා කළ බව කියන පුද්ගලයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවේ ගැමුණුහේවා බළකායේ සේවය කළ කොමිසම් නොලත් නිලධාරියෙකි.

 

මොහු ක්‍රියාන්විත රාජකාරියේ යෙදි සිටියදී ත්‍රස්තවාදීන් විසින් අටවනු ලැබු පුද්ගල නාශක බිම් බෝම්බයකට හසුවී තුවාල ලබා ඇත. කොප්‍රල්වරයකු වන රෝෂාන් ප්‍රියරංජක නැමැති මෙකී පුද්ගලයා වෛද්‍ය හේතු මත විශ්‍රාම ගන්වා ඇත්තේය. ඉන්පසු මොහු සිය උපන්ගම වන අහංගම තිත්තගල්ල ප්‍රදේශයට පැමිණ තම බිරිය සමඟ එක්වී දවසේ පොලියට ණය මුදල් ලබාදීමේ ව්‍යාපාරයක් කරගෙන ගියේය.

මේ අතරතුරේ මෙකී විශ්‍රාමික යුද හමුදා සෙබළා වයිටි ලයිට් නමින් පුද්ගලික සමාගමක් ලියාපදිංචි කරනු ලැබීය. තමන් මැණික් ව්‍යාපාරයක් පවත්වා ගෙන යන බව ගම්මුන්ට කීවේය. ඒ විතරක් නොව එකී ව්‍යාපාරයේ කොටස්කරුවන් වන ලෙස ගම්මුන්ගෙන් ඉල්ලා සිටියහ. මුදල් තැන්පතු සඳහා මාසයකට සියයට අටක පොලී මුදලක් ලබා දෙන බවත්, රුපියල් ලක්ෂ 06ක මුදලක් තැන්පත් කළහොත් මාස දෙකට ලක්ෂ 02ක පොලී මුදලක් ලබා දෙන බවත් මොහු තම හිතවත් ගනුදෙනුකරුවන්ට කීවේය. එපමණක් නොව මොහු මුදල් තැන්පත්කරුවන් සමඟ ගිවිසුම්ගත විය. ලක්ෂ 06ක මුදලක් තැන්පත් කළ පසු මාස දෙකක කාලය අවසානයේ ලක්ෂ දෙකක පොලී මුදල සමඟ ලක්ෂ 08ක මුදලක් තැන්පත්කරුට ගෙවීමට ගිවිසුම්ගතවී ඇත.

මාස කිහිපයක් යනතෙක් මොහු සිය තැන්පත්කරුවන්ට නියමිත අයුරින් පොලිමුදල් ගෙවීමට කටයුතු කරනු ලැබීය. තැන්පතු මුදල් සඳහා එසේ වැඩි පොලී මුදලක් ගෙවා තැන්පතුකරුවන් අතර විශ්වාසය තහවුරු කර ගැනීමට හේ කටයුතු කළේය. විශ්‍රාමික යුද හමුදා සෙබළා කෙරෙහි ඇතිවූ විශ්වාසයත් සමඟ ඇතමුන් ත්‍රිරෝද රථ අත්ට්‍රැක්ටර් විකුණා මුදලක් ලබාගෙන වැඩි පොලී මුදලක් අපේක්ෂාවෙන් මොහුට ලබා දුන්හ.

ඇතමුන් විදේශතව ඉතා දුක් මහන්සියෙන් උපයා ගනු ලැබූ මුදල් ද වැඩි පොලියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මොහුගේ සමාගමේ තැන්පත් කළහ. ඇතමුන් වෙනත් බැංකුවලින් ණය මුදල් ලබාගෙන මෙකී පුද්ගලයාට ගිවිසුම්ගතව ලබා දුන්හ. එහෙත් මුදල් තැන්පත්කරුවන්ගේ සියලු බලාපොරොත්තු බිඳ දමමින් මොහු සිය දරුපවුල සමඟ හිටිහැටියේම අතුරුදහන් විය. දෙදරු පියකු වන මෙකී විශ්‍රාමික යුද හමුදා සෙබළාගේ බිරිය වන දිගොඩ ගමගේ ශානිකා සඳමාලි මුදල් තැන්පතුකරුවන් සමඟ චෙක්පත් සම්බන්ධව කටයුතු කරනු ලැබීය.

මෙකී විශ්‍රාමික යුද හමුදා සෙබළාගේ අතුරුදහන් වීමත් සමඟ මොහුගේ සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ ඉහමොළ රත්විය. තමන් වංචාකාරයකුට රැවටී ඇති බව පසක්වන වනවිට සියල්ල සිදුවී හමාරය. පසුව තැන්පත්කරුවන් පිරිසක් අහංගම පොලිසියට ගොස් මේ පිළිබද පැමිණිලි කරනු ලැබීය. පසුව පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ පිළිබඳ ලිඛිතව පැමිණිලි කිරිමට තැන්පත්කරුවන් කටයුතු කරනු ලැබීය.

තුසිත සුදේෂ් සම්පත් (32) විදේශතව රැකියාවක් කොට මෙරටට පැමිණි තරුණයෙකි. ඔහුගෙන් දෙවරකට ලක්ෂ 14ක මුදලක් මෙකී පුද්ගලයා රැගෙන ඇත.

‘මාස පහක් විතර යනකම් පොලී මුදලක් දුන්නා. ලක්ෂ 14ට ලක්ෂ 07ක විතර පොලී මුදලක් දුන්නා‘

අහංගම තිත්තගල්ලේ පදිංචි කේ.එච් සෝමදාස (64) නැමැත්තාද රෝෂාන් ප්‍රියරංජක නැමැත්තාගේ සමාගමට අයත් ගිණුමේ මුදල් තැන්පත් කළ අයෙකි.

මම වරාය අධිකාරියේ විශ්‍රාමිකයෙක්. රෝෂාන් ප්‍රියරංජක නැමැත්තා මා හොඳින් දන්නා අයෙක්. පොඩිකාලයේ අපේ ගෙවල්වල තමයි හැදී වැඩුණේ. මොහු විශ්‍රාම ගොස් ගමට ඇවිත් දවසේ පොලි වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මුලින්ම මා රුපියල් ලක්ෂ 07ක මුදලක් තැන්පත් කළා. ඒ සඳහා මට මාසයකට සියයට අට බැගින් පොලිමුදල් ගෙව්වා. ටික දිනක් යනවිට ලක්ෂ 10ක් නැවත ඉල්ලුවා. එම මුදලද ලබා දුන්නා. මේ ආකාරයට මොහු වසරක් තිස්සේ ගනුදෙනු කරගෙන ගියා. මාසයකට රුපියල් 80000 බැගින් මාස කිහිපයක් යන තෙක් පොලි මුදලක් ගෙව්වා. මොහු සමඟ තිබු සම්බන්ධතාව වැඩි වුණා. පසුව අපිට දුන් පොලි මුදලත් මොහු ඉල්ලා ගත්තා. මම ලක්ෂ 50ක් විතර ලබාදීලා තියෙනවා. විදේශතව සිටින මගේ මද්දුම පුතා ලක්ෂ 14ක් විතර ඔහුට දීලා තියෙනවා. අහංගම ගමේ ගොඩක් අය වැඩිපොලියට මෙම පුද්ගලයාට මුදල් ලබා දී තියෙනවා‘

අහංගම තිත්තගල්ල කඩේගෙදර පදිංචිකාරියන්වන කේ.එච් මාලා නිමන්ති (45) කියන්නේ මෙවැන්නකි.

‘අපි සතුව තිබු ත්‍රිරෝද රථය විකුණලා රුපියල් ලක්ෂ 06ක මුදලක් මොහුට අයත් වයිට් ලයිට් සමාගමේ ගිණුමේ තැන්පත් කළා. ඒ මුදල සඳහා මාස තුනක් යනතෙක් අපිට පොලී මුදලක් ලබා දුන්නා. ඊට පස්සේ අත්ට්‍රැක්ටරය විකුණා ලබාගත් මුදල්, මහත්තයාගේ කොන්ත්‍රාත් වැඩකිරීමෙන් ලැබු මුදල, කුරුදු වගාවෙන් ලබාගත් මුදල් ඇතුළුව ලක්ෂ 40ක පමණ මුදලක් රෝෂාන් ප්‍රියරංජන විසින් පවත්වාගෙන යනු ලබන වයිට් ලයිට් පුද්ගලික සමාගමේ නමට ඇති ගිණුමේ තැන්පත් කළා.

මුදල් ගිවිසුමක් අත්සන් කරලා තමයි මෙම මුදල් ලබා දුන්නේ. නමුත් ගිවිසුම් ප්‍රකාරව වාචිකව එකඟවූ ආකාරයට රෝෂාන් නැමැත්තා ලක්ෂ 40ක මුදල මේ දක්වා ලබා දුන්නේ නැහැ. ඔහු මේ වනවිට පදිංචිය හැරගොස් තියෙනවා. මොහු වයිට් ලයිට් පුද්ගලික සමාගම වෙනුවට වෙනත් සමාගම් ද ලියාපදිංචි කර ඇති බව දක්වමින් ප්‍රදේශයේ විශාල පිරිසකගෙන් රුපියල් කෝටි 04 පමණ මුදලක් එකතු කරගෙන තියෙනවා. මේ දක්වා අපිට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට මෙකී මුදල ගෙවා නැහැ. මගේ මල්ලිත් ණය මුදලක් අරගෙන මොහුගේ බැංකුවේ තැන්පත් කළා.

2021 05.02 වැනිදින අංක සි (03)157/143 දරන පැමිණිලි අංකය යටතේ අහංගම පොලිසියට ද මේ ගැන පැමිණිලි කළා. මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියා පොලිස්පතිවරයාට ද ලිඛිතව පැමිණිලි කළා. පොලිස්පතිවරයාට කරනු ලැබු පැමිණිල්ලට අනුව මම ගාල්ල පොලිසියේ වංචා විමර්ශන අංශයට ඉකුත් 05 වැනි දින කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත්තා යැයි ඇය කීවාය. අහංගම පොලිසියට විශ්වාසය කඩකිරිමේ චෝදනා මත මේ සම්බන්ධව පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

Comments