අය­වැ­යෙන් ග්‍රාමීය ආර්ථිකයට ප්‍රමුඛතාවක් | සිළුමිණ

අය­වැ­යෙන් ග්‍රාමීය ආර්ථිකයට ප්‍රමුඛතාවක්

 

මෙවර අයවැය සමස්තයක් ලෙස සලකා බැලීමේදී රජය සෑම ක්ෂේත්‍රයක්ම ආමන්ත්‍රණය කර ඇති බව පෙනෙයි. එසේම බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඇති ගැටලු විසඳීමට යම් උත්සාහයක් ද ගෙන ඇති බව පැහැදිලි කරුණකි. ඇතැම් ප්‍රශ්න හඳුනාගෙන ඇති බවක් දක්නට ලැබෙයි. යම් යම් ව්‍යාපෘති සහ සේවා සඳහා මුදල් වෙන් කර ඇත. එහෙත් මෙහි අවසාන විග්‍රාහය විය යුත්තේ මේ සියලු යෝජනාවන් සාධනීය ලෙස ක්‍රියාත්මක කිරීමයි. එසේම කෙටිකාලීන හෝ දිර්ඝකාලීන ව්‍යාපෘතීන් වූ සමස්ත යෝජනාවලිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ඉතා වැදගත් වෙයි.

 

ඇතැම් ක්ෂේත්‍රයන් සඳහා ගෙන ඇති යහපත් පියවර හඳුනා ගැනීමේදී රජයේ අයවැයට අදාළව එක් පැත්තකින් ආදායම් වැඩිකර ගැනීමට අලුත් බදු හඳුන්වාදීමත් අනෙක් පැත්තෙන් වියදම් කපා හැරීම් සඳහා යම් පියවර ද ගෙන ඇත. ඊට අදාළ වියදම් කළමනාකරණයට පියවර ගෙන ඇත. එහෙත් මේ තීරණ ආදායම් වියදම්වලට ප්‍රමාණවත් නොවෙයි . බදු ආදායම වැඩි කිරීමට රජය ගත් පියවර හොඳ පියවරක් වුවද අවසන් වශයෙන් ගත්විට බදු අය කිරීම සිදුවී ඇත්තේ කිනම් පාර්ශ්වයන්ට ද යන්න පිළිබඳව සලකා බැලීමේදී වක්‍ර බදු හරහා එහි අවසාන බරත් පැටවෙන්නේ සාමාන්‍ය ජනතාවටයි. කෙසේ වෙතත් රටක් ලෙස මේ අවස්ථාවේ මුහුණ දී ඇති අයවැය අතර පරතරය පියවා ගැනීමට පවතින අභියෝගවලට ප්‍රමාණවත් පිළිතුරු ලබාදීමට මේ අයවැයෙන් සම්පූර්ණ විසඳුම ලැබී නැත.

ඉන්ධන භාවිතය, දුරකතන 25% අඩු කිරීම නව කාර්යාල ගොඩනැඟිලි භාණ්ඩ මිලදී ගැනීම, සන්නිවේදනය වැනි අංශවල අනවශ්‍ය වියදම් කපා හැරීම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වසර දහයක් දක්වා වැඩි කිරීම සම්බන්ධ ක්‍රියාවලිය යම් ආකාරයක නිවැරදි පියවරයන්ය. එහෙත් නාස්තිය අවම කරගැනීමේදී ඊට වඩා බරපතළම කාරණාව ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන හඳුනාගත හැකියි. එම ආයතනයන් හි පාඩුව අවම කරන්නේ කෙසේද? යන කාරණාව කෙරෙහි රජයේ අවධානය නිසි ලෙස යොමුවී නැත. යම් අධ්‍යයනයකින් පසුව ඒ සම්බන්ධයෙන් පියවරක් ගනු ලබන බව පමණක් සඳහන් කරයි. එම පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

මේ අයවැයේදී රජය අපනයනය අංශයට අදාළව යම් පියවර ගෙන ඇත. ඇඟලුම් ක්ෂේත්‍රය , කෘෂිකාර්මික අංශය ප්‍රවර්ධනයනට සහ කෘෂි කාර්මික අපනයනයන් ප්‍රවර්ධනයන්ට, සංචාරක ක්ෂේත්‍රය වැනි අංශවලට අදාළව ඇතැම් වරායන් සංවර්ධනය කිරීමට යෝජනා ද වෙයි. එහෙත් අද ඇති ඩොලර් ප්‍රශ්නය සහ රටේ මූලික ගැටලුවට හේතුව වී ඇති ඩොලර් හිඟයට ශක්තිමත් ආකාරයට ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් මෙහිදී සාකච්ඡා නොකෙරෙයි. විශේෂයෙන් පවතින අර්බුදයන් සඳහා අපනයන දශකයක් නම් කිරීමක් සහ අපනයන අංශය පුළුල් කිරීමට අදාළව රාජ්‍ය මැදිහත් වීමක් ද එමෙන්ම ව්‍යවසායන් සහ භාණ්ඩ හඳුනාගෙන දැවැන්ත ආකාරයේ ක්‍රියාවලියක් රජය විසින් දියත් කිරීම මේ අවස්ථාවේදී කාලෝචිතය. ඩොලර් ඉපයීම ආසාර්ථක වීම නිසා අද ආර්ථික ගැටලු විශාල ප්‍රමාණයක් නිර්මාණය වී ඇත.

රජය ඒ සඳහා ද ඇතැම් ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් යම් පියවර ගෙන ඇති බව පෙනෙයි. නමුත් අද මතුවී ඇති ගැටලුවට අදාළව ගත්විට එම පියවර ද යම් ආකාරයකට ප්‍රමාණවත් නොවෙයි. අදාළ අංශ පිළිබඳව ඉදිරියේදී සලකා බැලීම ඉතා වැදගත් වෙයි.

අනෙක් විශාල ගැටලුව ලෙස විදෙස් ණය ප්‍රශ්න හැඳින්විය හැකිය. මේ ප්‍රශ්නයට අදාළව රජය විසින් විදෙස් ණය ගැනීමේ අපේක්ෂාවක් නොමැති බව පෙනෙයි. ආයෝජන දිරි ගැන්වීම් අරමුණු කරගන්නා බවක් දක්නට ලැබෙයි. එහෙත් කෙටිකාලීනව ණය කළමනාකරණය කරන්නේ කෙසේද යන කරුණ සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු වී නැති බව පෙනෙයි.

විශේෂයෙන් අයවැයේදී අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණාව නම් වසංගතය හමුවේ පීඩාවට පත්වී ඇති සියලු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාධාරණ පියවරයන් ගෙන තිබේද යන්නයි. එහිදී පීඩාවට පත් පිරිසකට යම් සහනයක් සැලසී ඇති නමුත් පාඩුව අවම කර ගැනීමේදී එම මුදල් ප්‍රමාණවත් නොවෙයි. විශේෂයෙන් බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් වෑන්රථ, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, කලා කටයුතුවල නිරතවී සිටින පුද්ගලයන් අදාළ කර ගනිමින් අයවැයෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත. මෙය යහපත් පියවරක් වුවද ගැටලුව වන්නේ එක් අයකුට හිමි වන මුදල්වලින් ලැබෙන ප්‍රතිලාභය ඉතාමත් අඩු වීමයි.

උදාහරණ ලෙස ත්‍රිරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් ගත්විට ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ සංඛ්‍යා ලේඛනවලට අනුව පන්ලක්ෂ හතළිස් හතරදහසක් පමණ ත්‍රිරෝද රථ රියදුරන් වෙයි. මේ අය සඳහා මිලියන පන්සියක මුදලක් වෙන්කර ඇත. මේ වෙන් කර ඇති මුදල එක් පුද්ගලයකුට රුපියල් 1000 වැනි අවම මුදලක් වේ නම් දැනෙන බලපෑමක් වෙයිද? යන්න යන්න ගැටලුවකි. මෙවර අයවැයේ සුවිශේෂ අවධානයක් යොමුවී ඇති සහ මේ රජයේ ආර්ථික දැක්මේ පෙරගමන් කරු වන ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සඳහා ‘ගම සමඟ පිළිසදර’ වැනි ව්‍යපෘති වෙනුවෙන් සහ යටිතල පහසුකම් මංමාවත්, වාරිමාර්ග සඳහා විශාල ආයෝජනයක් කර ඇත. රජය ගම සම්බන්ධයෙන් විශාල ප්‍රමුඛතාවක් ලබා දී ඇත.

පවතින අර්බුදයන් සම්බන්ධයෙන් ග්‍රාමීය සංවර්ධනයට විශාල පිරිවැයක් යෙදවීමෙන් අපේක්ෂිත අරමුණ ඉටුකරගැනීමට සානුබලයක් ලැබේදැයි විශාල ගැටලුවක් පවතී. ඒ අනුව ග්‍රාමීය භාණ්ඩවලට ගමේ සැපැයුම්වලට ඉල්ලුමක් ඇති වීමක් සිදුවන්නේ සමස්ත ආර්ථිකය ලෝක ආර්ථිකයත් සමඟ ගැටගැසුණහොත් පමණි. ගමට ප්‍රතිපාදන වෙන් කළ පමණින් ගමේ සංවර්ධනයක් ඇති කිරීමට නොහැකිය. විදෙස් වෙළෙද පොළ භාණ්ඩ සැපයීමෙන් අපිට ඉහළ මිල ගණන්වලට අලෙවි කළ හැකි වෙයි. ඒ හරහා අපිට ඉහළ ආදායමක් ලැබිය හැකියි. එසේ ඉහළ ආදායමක් ලැබුවොත් අපේ දේශීය භාණ්ඩයකට ඉහළ මිලක් ලබාදීමට හැකිවෙයි. මේ ක්‍රියාවලිය එකදාමයක ගැටගැසී ඇත.

අපි විදෙස් වෙ‌ෙළද පොළ සහ ලෝක ආර්ථිකයත් සමඟ ගැටගැසෙන්නේ නැතුව දේශීය ආර්ථිකයක්, ග්‍රාමීය ආර්ථිකයත් දියුණු කළ නොහැකිය. මේ ක්‍රමවේදයක් යටතේ විදෙස් විනිමයේ ඇති අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අපනයන දශකයන් නම් කර ඵලදායිතා වර්ධනයට ප්‍රමුඛත්වයට දී තරගකාරීත්වයට ඉල්ලුමට සැපැයුම ලබාදීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම අවශ්‍ය වෙයි. ඒ අනුව ව්‍යසායකයන් හඳුනාගෙන ලාංකේය ආර්ථිකය ගෝලීය ආර්ථිකයත් සමඟ ගැටගැසීමට විශාල විප්ලවයක් කළ යුතු අවස්ථාවක් වර්තමානය වන විට ඇතිවී තිබෙයි.

ග්‍රාමීය ප්‍රතිපාදන සහ යටිතල පහසුකම් දියුණු කළද ගමේ භාණ්ඩවලට ඉල්ලුම හිමිවන්නේ කෙසේද යන තර්කයක් මතුවෙයි. ගමේ සිටින තරුණයන්ට රැකියා අවස්ථා සැලසෙන්නේ කෙසේද යන ගැටලුවද මතුවෙයි. තිරසාර සංවර්ධනයට නම් ගෝලීය ආර්ථිකයත් සමඟ දේශීය ආර්ථිකය ඒකාබද්ධ කළ යුතුයි. පසුගිය දශකවලදී ග්‍රාමීය තරුණ තරුණියන්ට රැකි රක්ෂා අවකාශය හිමි වුයේ ග්‍රාමීය ඇඟලුම් ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනය වීමත් සමඟයි. ජාතික ආර්ථිකය ගෝලීය ආර්ථිකයත් සමඟ ගැට ගැසී ආර්ථිකයක සාධකවල ඇති අවශ්‍යතාව රටට අවශ්‍ය වෙයි. එසේ නම් ගමට අදාළ ගමේ සම්පත්වලට අදාළ ශ්‍රමිකයන් සහ භාණ්ඩවලට ඉල්ලුමක් ඇති වෙයි. ගමට ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අපේක්ෂා කරන තිරසාර ආර්ථික සමෘද්ධියක් ඇතිවෙතැයි සැක සහිත වන්නේ ඒ හෙයිනි.

කෙසේ වෙතත් මෙතෙක් අත්දැකීම් සම්බන්ධයෙන් ගත්විට සැම අයවැයක් ම ඉදිරිපත් වීමෙන් අනතුරුව ඒ යෝජනාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කළත් ඉතිහාසයේ පුරා ක්‍රියාත්මක වීමේදී යම් ප්‍රමාදයක් හෝ අතරමැද නතරවීමක් හෝ ව්‍යාපෘති අඩපණවීමක් ප්‍රතිපාදන නොයෙදීමක් වැනි අත්දැකීම් අපට වෙයි. ඇතැම් විට ව්‍යාපෘතිවලට ප්‍රාග්ධන වියදම් වැය වී නැත.

මේ වන විට රටේ ජනතාවගේ ආර්ථිකයට සාපේක්ෂව සලකා බැලීමේදී විශාල ජීවන වියදමකින් යුතුව භාණ්ඩ මිල ඉහළ යාමක් දක්නට ලැබෙයි. රජය මිල පාලනය ඉවත් කරනු ලැබීය. අවම ආදායම් ලබන පිරිස් සඳහා යම් ජීවන වියදම පහසු කිරීමට යම් වැඩසටහනක් දියත් කළේ නම් වඩා වැදගත් වෙයි. සැබැවින්ම පහළ ආදායම් ලබන පිරිස්වලට යම්තාක් සහනයක් ගෙන එන පැහැදිලි යෝජනාවක් අයවැය තුළ අන්තර්ගත විය යුතුව තිබුණි. වියදමට සාපේක්ෂව ආදායම අඩුවීම සහ රැකිරක්ෂා අඩුවීම නිසා ජනතාව අසරණ භාවයට පත්වී ඇත.

පොහොර ගැටලුව තුළ විශාල සමාජ ආර්ථික අර්බුදයක් බවට පත්ව ඇත. මේ අයවැය තුළ කෙටිකාලීන විසඳුමක් මේ ගැටලුවට ලැබී නැත. යම් මට්ටමකට වගාවන් සම්බන්ධයෙන් රජය ගත් තීන්දු තීරණයන් සාර්ථක වෙනතෙක් විසඳුමක් ලබාදීමට නොහැකි වීම ගැටලුවකි. අයවැය යෝජනා පසෙකට තල්ලු වීමක් මේ ගැටලුවෙන් මතු වීමට යම් හේතු කාරණාවක් විය හැකිය. කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ගත් පියවර ඉතා වැදගත් වෙයි. එය වඩා යහපත් පියවරකි. සමස්ත රාජ්‍ය සේවය සම්බන්ධයෙන් යම් තීන්දු තීරණයන් ගෙන ඇති අතර එහිදී රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීමට යම් පියවර ගැනීම සේම වසර 65 දක්වා සේවා කාලය දීර්ඝ කිරීම එක් පැත්තකින් යහපත් පියවරක් ලෙස හැඳින්වීමට හැකි වුවත් තරුණ තරුණියන්ට රජයේ රැකියා අහිමිවීම මේ හරහා වන විශාල අර්බුදයකි. අනෙක් අතින් රාජ්‍ය සේවය 65 දක්වා පුළුල් කළහොත් ඒමඟින් රාජ්‍ය ‍සේවයේ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු මතුවෙයි. ඒ අදාළ අංශයන්හි යම් සුදුසුකම් අනුව තෝරාගත් පිරිසක් මේ සේවා දිඟුව ලබා යුතුයි. උපාධිධාරී උගත් පිරිසට විරැකියාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවාව හැරෙන්නට ඇති සාධනීය විසඳුම සහ විකල්පය කුමක්ද? ‍පෞද්ගලික අංශයේ සුදුසුකම්වලට සරිලන වැටුප සහ රැකියාවක් ලැබෙන අවස්ථා සීමාසහිතය. අද උගත් පිරිසට විරැකියා ගැටලුවක් මතුවී ඇත. ඵලදායිතාවයේ දැඩි අවශ්‍යතාව සහ විරැකියාවක් ඇති මේ අවස්ථාවේදී මේ ක්‍රියාමාර්ග තාර්කික නැත. එවැනි සේවා දිඟුවකදී ආර්ථීකය විශාල වේගයකින් ප්‍රවර්ධනය වේ නම් පමණක් එවැනි තීන්දු ගත යුතුයි.

පොදුවේ ගත්විට ධනාත්මක අංශයක් මේ අයවැයේ වෙයි. වරායන් හඳුනාගෙන ඒවා වෙළෙඳාම, කර්මාන්ත, සංචාරක වරායන් ලෙස වෙන් කර ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම ඉතා සුදුසුයි.

අයවැය පරතරය රජයේ බදු ආදායම අඩු වීම, වියදම් වැඩිවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගෙන ඇතත් ඒවා ප්‍රමාණවත් නොවේ. උදාහරණ ලෙස බදු වැඩිකිරීම සම්බන්ධයෙන් ගත් තීරණය හොඳ තීන්දුවක් වුවත් එය වක්‍රබදු වීම ගැටලුවකි. කාර්යාල, දුරකන බිල් අඩු කිරීම, විදුලි බිල් අඩු කිරීම, කාර්යාල නවීකරණය නොකිරීම, නව ගොඩනැඟිලි ඉදි නොකිරීම, බඳවා ගැනීම් නැවැත්වීම්, රාජ්‍ය සේවය විධිමත් කිරීම, ගුරු ගැටලුව විසඳීම, පාසල්වලට ඉන්ටනෙට් ලබාදීම, කොවිඩ්වලට යම් සහනයක් ලබාදීමට ගත් පියවර පොදුවේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර වේ.

සිගරට් සහ මත්ද්‍රව්‍යවලට අය කර ඇති බද්ධ අවසාන වශයෙන් පැටවෙන්නේ මහජනතාව පිටයි.

රජයේ අයවැයට අදාළව ආදායම් වැඩි කරගන්න අලුත් බදු හඳුන්වා දී ඇත. නමුත් අද අයවැය හිඟය පියවා ගැනීම සඳහා ආදායම් සහ වියදම්වලට අදාළව ගෙන ඇති තීරණ ප්‍රමාණවත් නොවීම ගැටලුවකි. උදාහරණ ලෙස ගත් විට බදු ආදායම් වැඩි කිරීමට රජය ගත් තීරණ සාධනීය වු නමුත් මේ බදු අවසාන වශයෙන් අය කෙරෙන්නේ වක්‍ර බදු ලෙසයි. නමුත් වක්‍ර බදු ප්‍රතිශතය ආදායමේ ප්‍රතිශතයක් ලෙස 80% සිට 60% දක්වා පහත හෙළිය යුතු බවයි. ඒ ගැන සඳහනක් නැතිව තවදුරටත් සිදුවී ඇත්තේ වක්‍ර බදු හරහා සාමාන්‍ය පුද්ගලයන්ට බරක් පැටවෙන ආකාරයට මෙය සැකසී ඇති බව පෙනෙයි. මේ ක්‍රමවේදයන් නිවැරදි විය යුතුයි.

අවසාන වශයෙන් සඳහන් කළහොත් මේ යෝජනාවලට පරිබාහිරව රජය යම් රටේ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් විශාල පියවර සහ තීන්දු තීරණ ගනිමින් පවතින බව පැහැදිලියි. වරාය නගරය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත සම්බන්ධයෙන් ඇති කරනු ලබන වෙනස්කම් කිසිවක් අයවැය සඳහා ඇතුළත් කර නැති බව පෙනෙයි. එහෙත් එමඟින් රටේ ආර්ථික සංවර්ධනයට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි රජයේ අපේක්ෂාවක් විය හැකියි. රටක් ලෙස රජය ආර්ථිකය සම්බන්ධයෙන් අයවැයට පරිබාහිරව යම් තීන්දු තීරණයන් ගැනීමට යම් අපේක්ෂාවන් බොහෝ දුරට ඇතැයි විශ්වාස කරමු.

විශේෂයෙන් එයට හේතුව ඩොලර් සහ ණය ප්‍රශ්නය සඳහා පැහැදිලි පිළිතුරක් සෙවිය යුතුයි. අයවැයේදී එවැනි පියවර පිළිබඳව නිශ්චිතව සඳහන් නොකළත් ඉදිරියේදී රටේ ආර්ථික ගැටලු සලකා බැලීමේදී ඒ සඳහා යම් පියවරක් රජය ගෙන ඇතැයි පැහැදිලිව විශ්වාස කළ හැකිය.

Comments