අනාගත පුහුණු සැලසුමක අවශ්‍යතාව | සිළුමිණ

අනාගත පුහුණු සැලසුමක අවශ්‍යතාව

 

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර යන බව නිවේදනය කළේ යැයි පුවතකට පසුගිය දිනවල තටු ලැබී තිබුණේ ය. කොදෙව් පිලේ ශ්‍රී ලංකා සංචාරය නිමවූ පසු එලෙස මිකී ආතර් ශ්‍රී ලංකා පිලෙන් ඉවත්ව යනු ඇතැයි අදාළ පුවතින් කියැවිණි.

'මිකී' ශ්‍රී ලංකා පිලෙන් 'විසි' වීමට පෙර අදාළ තීරණයට එළැඹුණේ යැයි විශ්වාස කරන්නෝ ද සිටිති. ඒ ඔවුන් විශ්වාස කරන ආකාරයට පුහුණුකරුවකු වශයෙන් මිකීගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවූ සේවය ප්‍රමාණවත් නොවන හෙයිනි. අපි මෙතැනදී කතාකරන්නට යන්නේ මිකී ගේ සේවයේ ඇති ගුණාත්මක භාවය සම්බන්ධයෙන් නොවේ. නමුත් අපි මෙහිදී අවධානය යොමුකළ යුත්තේ කෙටි කාලීනව වෙනස් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරුවාගේ භූමිකාව සම්බන්ධව ය. තොරණක විදුලි පහන් දැල්වෙන හා නිවීයන ආකාරයෙන් විදෙස් පුහුණුකරුවන් බඳවා ගන්නවා වෙනුවට නිශ්චිත කාල රාමුවකට සුදුසු පුහුණුකරුවකුගේ සේවය සලසා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ය. මේ අතර දේශීය පුහුණුකරුවකුගේ සේවය සලසා ගැනීමේ ඇති අවකාශය සම්බන්ධව ද සාකච්ඡා කළයුතුව තිබේ.

අප එසේ කියන්නේ පසුගිය කාලවකවානුව පුරා ඩොලර් දහස් ගණන් ගෙවා විදෙස් පුහුණුකරුවන් බඳවා ගත් නමුත් කණ්ඩායමට ගැලපෙන පුහුණුකරුවකු සම්බන්ධ කරගැනීමට පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් අපොහොසත් වී ඇති බව පෙනෙන්නට ඇති හෙයිනි.

1996 ලෝක කුසලානය දිනාගත්තාට පසුව මෙරට සේවයට ගෙනා පුහුණුකරුවන් අතරින් සාර්ථකත්වයේ ඉහළටම පැමිණියේ ටොම් මූඩි පමණකි. සෙසු විදෙස් පුහුණුකරුවන්ට අත්වූයේ පසුතැවිල්ල හා සේවා ගිවිසුම අතහැර යළි වෙනත් රටක පුහුණුකාර තනතුරක් සොයාගනිමින් නික්ම යාමට ය. එය එසේ වූයේ එම පුහුණුකරුවන්ගේ දුර්වලතාව නිසාම ද? එසේත් නැතහොත් ඔවුනට පුහුණුකිරීමට ලැබුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල වීම හේතුවෙන් ද යන්න වෙනමම විමසා බැලිය යුතු ය.

අපට පෙනෙන ආකාරයට ඊට වඩාත්ම ප්‍රබල හේතුව වූයේ මෑතකාලීන ක්‍රීඩකයන්, විදෙස් පුහුණුකරුවාගෙන් ලබාගන්නා සහයෝගය ප්‍රමාණවත් නොවීම බව ය. ඊට වඩාත්ම ඉවහල් වන්නේ භාෂා අර්බූදයන් ය.

වෙසෙසින් විදෙස් පුහුණුකරුවකු ලබාදෙන බොහෝ යෝජනාවන් ස්වීකරණය කරගැනීමේදී මෙම භාෂා දැනුමේ දුර්වල භාවය අසීරුතා මතුකරයි. එහෙයින් කොතෙක් මිල ගෙවූව ද අවසානයේ විදෙස් පුහුණුකරුවන්ගෙන් ලැබෙන සේවය ප්‍රමාණවත් නැතැයි තක්සේරු කිරීමට සිදුවීම ස්වභාවික ය.

මෙතැන දී දේශීය පුහුණුකරුවකුගේ සේවය ජාතික ක්‍රිකට් කණ්ඩායමට සපයා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන්වත් උත්සහ ගත යුතු බව අපගේ අදහස ය. අවම වශයෙන් කලකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කළ 'ෂැඩෝ කෝච්' ප්‍රතිපත්තිය නිල වශයෙන් අනුගමනය කරන්නට ඉටා ගතයුතුව තිබේ.

එමගින් විදෙස් පුහුණුකරුවා නිසි අයුරින් තේරුම්ගෙන ඔහු ලබාදෙන උපදෙස් දේශීය ක්‍රීඩකයන්ට දැනෙන ආකාරයෙන් සන්නිවේදනය කරන්නට 'ඡායා' නැතහොත් 'සෙවනැළි' පුහුණුකරුවාට එමගින් හැකියාව හිමිවෙයි. අනෙක් අතට එම පුහුණුකරුවාට ලෝකයේ විශිෂ්ට යැයි පිළිගන්නා පුහුණුකරුවන්ගේ විවිධ උපක්‍රම, යම් යම් අවස්ථාවන් හි දී පුහුණුකරුවකු වශයෙන් ප්‍රායෝගිකව ගන්නා ක්ෂණික තීරණ සම්බන්ධයෙන් අවබෝධයක් ගොඩනගා ගැනීමට ද හැකිවෙයි.

යම් අවස්ථාවක විදේශීය පුහුණුකරුවා සිය සේවා ගිවිසුම අවලංගු කර කණ්ඩායම අතහැර පිටත්වයාමට සූදානම් වන්නේ නම් එවැනි මොහොතක අර්බූදයකින් තොරව ජාතික කණ්ඩායමේ පුහුණු කටයුතු කළමනාකරණය කරගෙන යාමට හැකි පරිසරයක් නිර්මාණය කරගත හැකි වේ. එහෙයින් අවම වශයෙන් දේශීය පුහුණුකරුවකුගේ සේවය සලසා ගත නොහැකි නම් ඡායා පුහුණුකරුවකුගේ සේවය සපයා ගැනීමට උපක්‍රමික ඥානයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සතුවිය යුතුව ඇත.

විදෙස් පුහුණුකරුවකුගේ හා ඔහුගේ පරිවාර පුහුණු මණ්ඩලය බඳවා ගැනීමේ දී තමන්ගේ සාක්කුවට වැටෙන ඩොලර් කොමිස් මුදල ගැන නොසිතා රට ගැන සිතන්නේ නම් සිදුකළයුතුව ඇත්තේ එය ය.

මෙතෙක් කාලයක් එවැන්නක් සිදුනොවූයේ නම් මිකී ආතර්ගේ සමුගැනීමෙන් අනතුරුවවත් දේශීය පුහුණුකරුවකු සම්බන්ධයෙන් හෝ දේශීය ඡායා පුහුණුකරුවකුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යළි හඳුන්වාදීමට ක්‍රිකට් පරිපාලනය උත්සුක විය යුතුය. අප එසේ කියන්නේ එය වඩා බුද්ධිමත් හා දීර්ඝ කාලීන ආයෝජනයක් වන හෙයිනි.

*****************

ජාතික යෞවන පිරිමි දැල් පන්දු ශූරතාව යාපනයට

තිස්තුන් වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ ජාතික මට්ටමේ කණ්ඩායම් තරග පසුගිය දා යාපනය නගරයේ දී අවසන් වූයේ පිරිමි දැල්පන්දු ශූරතාව යාපනය දිස්ත්‍රික් කණ්ඩායමට හිමිකර දෙමිනි. එහි අනු ශූරතාව රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙලේ කාන්තා හා පිරිමි දැල්පන්දු තරග පසුගිය 09 හා 10 දිනවල යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවත්විණි. එහි කාන්තා ශූරතාව කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම විසින් හිමිකර ගනිද්දී, කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමිවුණේ අනු ශූරතාව යි. දැල් පන්දු කාන්තා හා පිරිමි තෙවැනි ස්ථාන පිළිවෙලින් කළුතර හා කෑගල්ල දිස්ත්‍රික් වලට හිමිවි ය.

මෙම ක්‍රීඩා උළෙලේ කාන්තා පිරිමි බීච් වොලිබෝල් ක්‍රීඩා තරග පැවැතියේ හම්බන්තොට පාරාවැල්ල වෙරළ ක්‍රීඩා පිටියේ දී ය. එහි පිරිමි ශූරතාව හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනාගනු ලැබීය. අනුශූරතාව මොණරාගල දිස්ත්‍රික් කණ්ඩායමට හිමිවිණි.

බීච් වොලිබෝල් කාන්තා ශූරතාව කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අතර, අනුශූරතාව හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමට හිමිවිය. මෙම තරගාවලියේ කාන්තා හා පිරිමි තෙවන ස්ථාන පිළිවෙලින් ක`ථතර හා කුරුණෑගල දිස්ත්‍රික්ක දිනාගනු ලැබීය.

 

***************************

මේ පරාජය ගැන කාටවත් ඇඟිල්ලක් ඔසවන්නේ බෑ!

-බාබර් අසාම්

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ අපූරු ගමනක් ගිය ප්‍රබලම කණ්ඩායම ලෙස සැලකෙන්නේ පාකිස්තානයයි. ඔවුන් තරගාවලියෙන් ඉවත් කළේ ඔස්ට්‍රේලියාව විසිනුයි.

ඩුබායි හි දී පැවැති අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේ දී පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව තරග වැදුණු අතර එහි දී පාකිස්තානය කඩුලු 5 කි න් පරදවමින් ඔස්ට්‍රේලියාව අවසන් තරගයේ සිය ස්ථානය වෙන් කර ගත්තා. මේ ලෝක කුසලාන ගමනේදී පකිස්තානය ඉතා හොඳින් දස්කම් දක්වමින් ආරම්භයේ සිට අවසන් පුර්ව තරගය දක්වා පැවති සියලුම තරග ජයග්‍රහණය කළා. එ්ත් ඔස්ට්‍රේලියාව ඉදිරියේ පාකිස්තානයේ ගමන නතර වීමෙන් දෙවැනි වරටත් ලෝක කුසලානය දිනා ගැනීමේ පාකිස්තානයේ සිහිනය බිඳ වැටුණා.

මේ තරගයෙන් පස්සේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර උද්යෝගයක් ඇති කිරීමට පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් කටයුතු කර තිබුණා. ඒ පරාජයෙන් ශෝකයට පත්ව සිටි ක්‍රීඩකයින් ඉදිරියට යාමට පොළඹවා ගනිමින්. සිය විවේකාගාර කාමරය මැද සිටගෙන සිටින බාබර් අසාම් සහය කාර්ය මණ්ඩලය සහ කණ්ඩායම් සාමාජිකයින් විසින් වට කරගත් ඡායාරූපයක් පාකිස්තාන ක්‍රිකට් ට්විටර් ගිණුම සමඟ බෙදාගත් වීඩියෝවක් වුණා. එහි දී බාබර් අසාම් මිනිත්තු 2-3 ක් පමණ අඛණ්ඩව ක්‍රීඩකයින් ඉදිරියේ තම අදහස් ප්‍රකාශ කරමින් සිටිනු දැකගත හැකියි.

එහි දී මුලින්ම බාබර් සියලුම ක්‍රීඩකයින්ට ස්තුතිවන්ත වුණා. තම කණ්ඩායමට පරාජය ගැන කතාකරන ඔහු කණ්ඩායමේ කිසිවෙක් මේ පරාජයට වගකිවයුතු නැති බව පවසා තිබුණා. එය තරමක් දැඩි ස්වරයෙන් ඔහු පවසා තිබුණේ පරාජය පිළිබඳ තවකකුට ඇඟිල්ල දිගුකරනවා නම් තමන් ඔහුට තදින් කටයුතු කරන බවයි.

එවැනි සිදුවීමක් තම කණවැකුණහොත් තමන් එම ක්‍රීඩකයාට කතාකරන ආකාරය පවා වෙනස්වන්නට හැකියැයි ඔහු පවසනවා. එතකොට මේ පරාජයෙන් පස්සේ ගොඩක් දුකෙන් හිටපු හසන් අලි විතරයි. 19 වැනි පන්දුවාරයේ අගභාගයේ දී වේඩ්ගේ සැලකිය යුතු උඩපන්දුවක් හසන් අලි අතහැර දැමීමත් සමඟ තරගය කනපිට හැරුණා.

එය ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට සහ පාකිස්තානයේ පරාජයට ප්‍රධාන හේතුවක් ලෙසින් කරළියට පැමිණියා. ෂහීන් ෂා අෆ්රිඩිගේ ඊළඟ පන්දුවලට පිට පිට හයේ පහර 3 ක් එල්ල කරමින් වේඩ් තරගය සම්පූර්ණයෙන්ම තමන්ගේ කර ගත්තේ මෙයින් පසුවයි. ඒ වගේම කණ්ඩායම අවසන් මහා තරගය දක්වා ගෙන ගියා.

මෙවැනි ප්‍රකාශයක් කරන්න බාබර් අසාම් පෙළඹුණේ තරගයෙන් අනතුරුව ක්‍රීඩක කාමරයේ මුල්ලකට වුණු හසන් අලි අත් දෙකෙන් මූණ හංගාගෙන සිටිනවිට බවයි පැවසුණේ.

බන්ධුල ජයමාන්න

Comments