අංගොඩ ලොක්කාගේ ඩී.එන්.ඒ.තහවුරු වෙයි | සිළුමිණ

අංගොඩ ලොක්කාගේ ඩී.එන්.ඒ.තහවුරු වෙයි

ඉන්දියාවේදී මිය ගිය මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුවන අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
අංගොඩ ලොක්කාගේ සහ ඔහුගේ මවගේ ඩී.එන්.ඒ සාම්පල මගින් සිදු කළ පරික්ෂණයකදී ඉන්දීය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර ගෙන තිබේ.
 
ව්‍යාජ ලිපි ලේඛණ යොදාගනිමින් ඉන්දියාවේ සිට ඩුබායි වෙත පැන යාම සදහා සැඟව සිටියදී පසුගිය වසරේ ජූලි 3 වනදා මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී මිය ගියේය. පසුව ඔහුගේ දේහය ඉන්දීය පොලීසිය විසින් සොයාගත් අතර ඔහු හෘදයාබාධයකින් මිය ගිය බවට අනාවරණය විය.
 
එහෙත් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණි. නමුත් අංගොඩ ලොක්කාගේ සහ ඔහුගේ මවගේ ඩී.එන්.ඒ සාම්පල පරික්ෂා කිරීමෙන් මෙම අනන්‍යතාව තහවුරු වී තිබේ. අංගොඩ ලොක්කාගේ සමීපතයකු වූ චානුක තානානායක ඉන්දීය පොලීසිය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බැංගලෝර් නගරයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්දියාවේ කොයිම්බතූර් නගරයේ අංගොඩ ලොක්කා ප්‍රදීප් සිං යන නමින් ශ්‍රී ලාංකික කාන්තාවක් සමග ජීවත් වූ බව චානක නැමැත්තා අනාවරණය කර තිබේ.
 
එමෙන්ම අංගොඩ ලොක්කා ප්ලාස්ටික් සැත්කමක් මඟින් ඔහුගේ නාසයේ ස්වරූපය වෙනස්කර ගෙන ඇති බව ද අනාවරණය වී ඇත. අංගොඩ ලොක්කා සහ චානුක නැමැත්තා ඉන්දියාවේදී මත්ද්‍රව්‍ය වෙළෙදාමේ නිරත වූයේද යන්න පිලිබද තවදුරටත් පරික්ෂණ සිදු කෙරේ.

Comments