මෝනාලිසා : දෘශ්‍ය සන්නිවේදනයේ අග්‍රඵලයක් ද? | සිළුමිණ

මෝනාලිසා : දෘශ්‍ය සන්නිවේදනයේ අග්‍රඵලයක් ද?

 

 

සන්නිවේදන අධ්‍යයනයේ දෘශ්‍ය සන්නිවේදන පාඩම සඳහා පන්තිකාමරයට ඇතුළුවූ ගුරුතුමිය මේසය මත රැඳවූයේ අපූරු චිත්‍රයකි. සිසු දරුවන්ට එය විශ්මය ජනක මොහොතක් විය.

“ආයුබෝවන් දරුවනි“

“ආයුබෝවන් ගුරුතුමියනි“

“මේ චිත්‍රය දැකලා තියනවද?“

“ඔව්“

“කවුද මේ රූපයේ ඉන්නේ?“

“මෝනාලිසා“

“කවුරුන්ද මෝනාලිසා කියන්නේ?“

“කාන්තාවක්“

“මොන වාගේ කාන්තාවක්ද?“

“ලස්සන කාන්තාවක්“

“මොනතරම් ලස්සන කාන්තාවක් ද?“

“කියන්ට බැරිතරම්“

කවුරුත් හිනා නඟන්නට වූහ.

“ඇයි අපි හිනාවෙන්නේ?“

පන්තිය නිශ්ශබ්දය.

“මොනාලිසාගේ මුහුණේ හිනාවක් තියෙනවා නේද?“

“ඔව්“

“ඒ හිනාව මොනවාගේ හිනාවක්ද?“

“කියන්ට බැරි තරම් ලස්සන හිනාවක්“

“ඒ අතරේ මුහුණේ දුකක් පේනවාද?“

“පේනවා“

“මොනවාගේ දුකක්ද?“

පන්තිය යළිත් නිශ්ශබ්දය.

“කීමට අපහසු දුකක් නේද?“

“ඔව්“

“එහෙම නම් එකම මුහුණක අපූරු හිනාවක් හා අපූරු දුකකුයි තියෙනවා නේද?“

“ඔව්“

“මේ වාගේ තවත් චිත්‍ර දැකලා තියනවද?“

“නැහැ“

“එහෙමනන් මේ චිත්‍රය අනුකරණය කිරීම අපහසු බවයි පේන්නේ නේද?“

“ඔව්“

“කවුරුන්ද මේ චිත්‍රයේ නිර්මාතෘවරයා?“

“ලියනාඩෝ ඩා වින්චි (leonardo da Vinci)“

“මේ චිත්‍ර ශිල්පියා ජීවත් වුනේ කොයි කාලේද?““

“හරියට දන්නේ නැහැ“

“මෙතුමා ජීවත් වුණේ ඉතාලියේ, 1452 සිට 1519 කාලයෙදි. මේ චිත්‍ර ශිල්පියා ගැන අපි වෙනත් මොනවගේ තොරතුරුද දන්නේ. අපට සිද්ධ වෙනව මේ මොනාලිසා චිත්‍රය ගැන කතා කරනවා වාගේම, ඒ චිත්‍රය බිහිවුණු හැටි ගැනයි, ඒ චිත්‍ර ශිල්පියාගේ වෙනස් දක්ෂතා ගැනයි, මේ චිත්‍රයේ දැක්වෙන සන්නිවේදන ලක්ෂණ ගැනයි සියුම් විදිහට හදාරන්නට. ඒ සඳහා අපට සිද්ධ වෙනවා මුලින්ම මේ චිත්‍රය ප්‍රදර්ශනය වෙන පැරිසියේ ලුවර් (louvre) නමින් හඳුන්වන මහා කලාගාරයට යන්නට. මම මේ විෂය ඉගෙනගන්න කාලේ වතාවක් එතැනට ගිහින් තියනව. මම කැමතියි මගේ ඒ අත්දැකීම ඔබ හැම දෙනෙකු සමඟම බෙදාහදා ගැනීමට.

අපට, අපේ ගුරුතුමා කියල දුන්නා මොනාලිසා චිත්‍ර නිර්මාණයත්, වෙනත් බොහෝ චිත්‍ර නිර්මාණත් අතර පවතින වෙනස්කම් හා සමානකම්. (differences and Similarities) මුලින්ම කියන්නට වෙන්නේ මොනාලිසා චිත්‍රය දිහා හුඟ දෙනෙක් බලාඉන්න හැටි. ඒකෙත් අමුත්තක් තිබෙනවා. මොකක්ද අමුත්ත? අමුත්ත තමයි කොච්චර වේලාවක් හරි බලාගෙන ඉන්න පුළුවන්. සමහර චිත්‍ර රසිකයන් මේ චිත්‍රය දිහා බලාගෙන ඉන්නේ භාවනානුයෝගිව. තමන්ගේ හිත එකලස් කර ගැනීමක් ලෙසින්. තවත් සමහරු මේ චිත්‍රය විවිධ කෝණවලින් (different angles) බලනවා. ඒ අය කියනවා, ඔවුන්ට විවිධ ඉරියව් (ways and manners) හඳුනාගැනීමට පුළුවන් වෙනවා කියලා. ඒ කාරණය ඉතාමත්ම ප්‍රබල සෞන්දර්යාත්මක මතයක් (an aesthetic opinion) ලෙස සැලකෙනවා. ඒ මතයේ දෙයාකාර මතයන් රැඳී පවතිනවා. ලෝකයේ පවතින දුක (Sense of Worldly Sorrow) සහ ලෝකයේ පවතින සන්තුෂ්ටිය (Sense of Worldly happiness) මේ එකම චිත්‍රයකින් එකවිට දෙයාකාරයකින් පේනවා කියන කාරණය.

මේ කාරණා නිසා ඩාවින්චි නම් වූ මහා චිත්‍ර ශිල්පියා, මූර්ති ශිල්පියා, රංග ශිල්පියා, කවියා, සෞන්දර්යවේදියා එකම නිර්මාතෘවරයකු ඇතුළත සිටින බවක් පෙන්නුම් කරනවා. ඩාවින්චි (da vince) නිර්මාතෘවරයාගෙන් බිහිවූ වෙනත් චිත්‍ර නිර්මාණ අතරින් කැපී පෙනෙන්නේ අන්තිම භෝජනය (The Last Supper) නමින් හැඳින්වෙන නිර්මාණය. ඒ නිර්මාණය ආගමික සන්නිවේදනයේ (Religious Communication) අග්‍ර ඵලයක් ලෙසින් පිදුම් ලබනවා. මේ චිත්‍රය මගින් යේසුස් වහන්සේ සහ අනුගාමිකයන්ගේ මුහුණ පෙන්නුම් කරනු ලබනවා. අන්තිම භෝජනය පිළිබඳ හුදු මතුපිට චිත්‍රයක් වෙනුවට, යටිතලයක් ද ඇති චිත්‍රයක් වශයෙන් සලකන අන්තිම භෝජනය ඇඳලා තිබෙන්නේ 1495 දි වන අතර මෝනාලිසා ඇඳලා තිබෙන්නේ 1514දි. මේ අතර කාලයේදී මේ මහා නිර්මාතෘවරයාගේ ජීවිතය ගෙවීගිය ආකාරය පිළිබඳ විවිධාකාර සටහන් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.“

Comments