පාසල් නැවත ඇර­ඹීම ගැන ජන­තාව කියන කතා | සිළුමිණ

පාසල් නැවත ඇර­ඹීම ගැන ජන­තාව කියන කතා

සිසුන් තවත් කම්මැළි නොකර පාසල් අරඹන්න

කේ.කේ. රසංජලී විශාඛා (56)

මුල්ලේරියාව - ගෘහණියක්

 

මගේ දුව නම් දැන් කැම්පස්. පාසල් පටන් ගන්න තීරණය කළ එක නම් හොඳයි. පහුගිය වසරකටත් වැඩි කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. ළමයිනුත් දැන් කම්මැළි වෙලා. පහ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ සිසුන්ට තමයි වැඩිම අසාධාරණයක් වුණේ. ඈත දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් හුඟාක්ම අසරණ වුණා. මේ දිනවල පාසල් සිසුන් එන්නත්කරණය කිරීම හොඳ දෙයක්. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සියලුම පාසල් විවෘත කිරීම බොහෝ වැදගත්.

 

 

සිසුන් ප්‍රාණ ඇපයට නොගෙන පාසල් විවෘත කරන්න

යූ.ජී. රම්‍යසිරි (55) ගාල්ල

- වෙළෙඳාම

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් කඩාකප්පල් නොකර සෞඛ්‍යාරක්ෂිතව හැකි ඉක්මණින් පාසල් විවෘත කළ යුතුයි. සමහර ගුරුවරු ස්ට්‍රයික්. ඉස්සර ගුරු - ගරු. දැන් ගුරු හොරු. ඇයි මේ වසංගතය අස්සේ එයාලගේ ඉල්ලීම් දිනාගන්න ළමයිව ප්‍රාණ ඇපයට ගන්නේ. සිසුන්ට ඔන්ලයින් උගන්නන්නෙත් නෑ. පාසල් ළමයිට උගන්නන්නෙත් නැතුව විභාග සමත් වෙන්නෙත් නැතුව නිකම්ම ඊළඟ වසරට පාස්. මොන අපරාධයක්ද මේ. ගුරු හොරු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. පාසල් ගුරුවරුත් දැන් ටියුෂන් කරනවා. ස්ටාලින් සේරටම හපන්.

 

 

ගුරුවරුන්ට වගේම රජයට විශාල වගකීමක් ති‌ෙයනවා

ශ්‍රියා දර්ශනී කල්‍යානකුමාරි (46) මට්ටක්කුලිය - ගෘහණියක්

 

මගේ දුව සා.පෙළ ඒ - 9 ගත්තා. උසස් පෙළ විද්‍යා අංශය හදාරන්නේ. පෞද්ගලික පන්ති යන්නවත් පන්ති නෑ. ශිෂ්‍යත්වෙ, සා.පෙළ, උසස් පෙළ ළමයි හරිම අපහසුතාවට පත්වෙලා තියෙන්නේ. උගන්නන්නෙ නැතුව කොහොමද විභාගෙ ලියන්නේ. සමහර ගුරුවරු හරිම ආත්මාර්ථකාමියි. ඒත් තමන් ගැනම නොසිතා දරුවන් ගැන කැපවෙන ගුරුවරුන් නැතුවා නොවෙයි. අතීතයේ එවැනි ගුරු උතුමන් බොහෝ සිටියා. මේ හැම දේටම රජය මැදිහත් විය යුතුයි. කාටත් අසාධාරණ නොවන විදිහට මේවා කළමනාකරණය කරන්න රජයට හැකිවිය යුතුයි. නැත්නම් රටේ අනාගත දරු පරපුර අනාථයි නේද?

 

 

සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව පාසල් අරඹන්න

ලොයිඩ් ෆර්ඩිනන්ඩ් ඊබට් (50) කොටහේන - ත්‍රිරෝද රැකියා

 

මගේ පුතා 9 පන්තියේ ඉගෙන ගත්තේ. උගන්නන්නේ නැතුවම නිකම්ම 10ට පාස් වුණා. මෙහෙම ගියොත් අනාගත දරු පරපුරට දෙයියන්ගෙම පිහිටයි. දරුවොත් නන්නත්තාර වුණා. කොරෝනා හින්දා පාසල් වැහුවාට ගුරුවරුන් ඔන්ලයින්වලින් පවා ඉවත් වුණා. සල්ලිකාර දෙමවුපියන්ගේ දරුවන් සල්ලි බලේට ඉගෙන ගත්තා. දුප්පත් දරුවෝ අසරණ වුණා. වැඩි හරියක් ඉන්නේ රජයේ පාසල්වල ඉගෙනගන්න ළමයි. නිදහස් අධ්‍යාපනය තියන රටක් ලෙස රජය වගකීම භාරගත යුතුයි. සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව හැකි ඉක්මණින් පාසල් විවෘත කළ යුතුයි.

 

 

සිසුන්ට එන්නත් ලබාදීලා පාසල් අරඹන්න මුත්තන්නන් බාල ක්‍රිෂ්නන්

සරසුරේඛා (36)

මාලිගාකන්ද - ගෘහණියක්

ආමර් වීදියේ ගණපති හින්දු මගලෙයි මහා විද්‍යාලයට මගේ දුව පාසල් යන්නේ. ඒ පාසලේ හොඳින් ඉගැන්නුවා.

ගුරුවරු මුදල් පසුපස දුවන්නෙ නැතුව. ඒත් රටේ බොහෝ ගුරුවරු ස්ට්‍රයික්. ඔන්ලයින් පන්තිත් නෑ. අවුරුදු 25 පස්සේ ගුරුවරු තමන්ගේ ඉල්ලීම් ඉල්ලන්නෙත් මේ වෙලාවෙ.

අනික් පැත්තෙන් මේ දේවල් විසඳාලන්න රජයට හැකියාවක් තිබිය යුතුයි.

පාසල් දරුවන් එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙළ හොඳයි. ගුරුවරුන්ටත් එන්නත් දුන්නා. සෞඛ්‍යයත් ආරක්ෂා කරගෙන පාසල් ආරම්භ කිරීම තමයි කළ යුත්තේ.

 

 

ඒ කාලේ ගුරුවරු රාජකාරිය කළේ දේවකාරියක් වගේ

වර්ෂා තුෂන්ත (24) තිඹිරිගස්යාය

- විදුලි කාර්මික

 

අපි පාසල් යන කාලේ නම් මේ වගේ බාධක තිබුණේ නෑ. නොකඩවා ගලාගෙන යන අධ්‍යාපන ක්‍රමවේදයක් තිබුණා. ගුරුවරු තමන්ගේ රාජකාරිය දේවකාරියක් වගේ ඉටු කළා. සිසුන් තමන්ට කැමති ක්ෂේත්‍රවල හැකි පමණින් ඉගෙන ගත්තා.

ඒත් මේ යුගයේ හැම දෙයක්ම වගේම රටේ අධ්‍යාපනයත් උඩු යටිකුරු වෙලා. කොරෝනා හැම දෙයක්ම අවුල් වියවුල් කළා.

ඒ මදිවට ගුරුවරුත් දැන් කොකා පෙන්නනවා. දරුවන්ගේ සෞඛ්‍යයත් රැක දී, ගුරුවරුන්ගේ ප්‍රශ්නත් විසඳලා පුළුවන් තරම් ඉක්මනට පාසල් පටන් ගැනීමේ යුතුකම හා වගකීම රජයට තියනවා.

 


 

Comments