මුල් ම රස­ඳුන කව­රය සර­සන්න ලැබීම සතු­ටක් වගේම භාග්‍ය­යක් | සිළුමිණ

මුල් ම රස­ඳුන කව­රය සර­සන්න ලැබීම සතු­ටක් වගේම භාග්‍ය­යක්

 

වසන්ති චතුරාණී ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ඇය මෙරට දේශීය සිනමාවේ අහිංසකාවියයි. පාසල් යන බාලිකාවක සමයේදී සිනමාවට පය තැබූ ඇය ‘ගැහැනු ළමයි’හි දුප්පත් කුසුම්ට ජීවය දුන් සැබවින්ම පියකරු නිළියක්. අද දවසේ රසඳුන කතාබහට ඇය සුවිශේෂියි. එනම් එළැඹෙන නොවැම්බර් 03 වැනිදාට රසඳුන 25 වසර සම්පුර්ණ කරන නිසාවෙන්. රසඳුන ට වසන්ති චතුරාණී සැබැවින්ම වසන්තියක් ම විය. එදා ඇයගේ සුරූපී රුවින් හැඩවුණු මුල් කවරය ද පසෙකින් ඔබට දකින්නට ලැබෙන අතර මේ කතාබහ ඇයගේ ඒ අතීතය සහ වර්තමානය ගැනයි.

 

අපි අතීත මතකයෙන් කතාව පටන් ගමු

ධර්මසිරි ගමගේ මහතා සහ රෝහණ වෙත්තසිංහගේ මුලිකත්වයෙන් පටන් ගත්ත රසඳුන හි මංගල මුල් කවරය මගේ ජයාරූපයකින් පළ කරන්න ඕනේ කියලා වෙත්තසිංහ තමා මට කතා කළේ. මම ඉතින් හරිම කැමත්තෙන් එකඟ වුණා. වෙත්තසිංහ එදා ප්‍රියන්ත හෙට්ටිගේ ජායාරූප ශිල්පියා සමඟ මගේ නිවසටම ඇවිත් ඡයාරූප අරගෙන පළවෙනි රසඳුන අතිරේකයේ එළිදැක්වුණා. අද ඒ ගමනට වසර 25ක් සම්පුර්ණ වෙලා තියෙනවා. එදා පටන්ම රසඳුන බොහොම අර්ථවත් විදියට පාඨකයන් අතට පත්වුණු පත්තරයක්. ඊට පස්සෙත් අවස්ථා දෙක තුනකදී මුල් කවරය මගේ රුවින් පළ වුණා. මට ලොකු සතුටක් තියෙනවා අවුරුදු 25ක් වගේ දීර්ඝ කාලයක් රසඳුන පාඨකයන් අතට පත්වීම ගැන. තව චිරාත් කාලයක් පාඨකයන් අතරට එන්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.

 

මේ කාලේ කලා කටයුතු

ඇතිවෙලා තියෙන වසංගත තත්ත්වය එක්ක නිර්මාණ කටයුතු මේ කාලයේ නොකෙරෙන තරම්. මේ තත්ත්වය නිසා කලාවට බරපතළ දෙයක් වුණා. මෑතක නම් චිත්‍රපටයකට මම සහභාගී වුණේ නැහැ. නමුත් ටෙලි නාට්‍ය කිහිපයක් මම නිෂ්පාදනය කරනවා. ඒ කටයුතු එක්ක තමා කාලය ගත වෙන්නේ.

 

මේ දවස්වල "සකුණ පියාපත්"

ඔව් ස්වාධින රූපවාහිනී නාළිකාවෙන් විකාශය වන "සකුණ පියාපත්" තමා මගේ මේ කාලයේ නිෂ්පාදනය.

ඊට කලින් නිෂ්පාදන හතක් විතර කරලා තියෙනවා. "සකුණ පියාපත්" අරුණ ප්‍රේමරත්නගේ තිර රචනයක් තුළ එය අධ්‍යක්ෂණය කළේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු.

වෙනත් ගමක සිට අලුත් ගමක් සොයා පදිංචියට පැමිණෙන පවුලක් වටා ගෙතුණු ඒ කතන්දරය තුළ මම ඇතුළුව ග්‍රේස් ආරියවිමල්, මේනකා පීරිස්, ජෙහාන් අප්පුහාමි වගේ තරුණ පරම්පරාවේ රංගවේදීන් ප්‍රධාන චරිත රඟපානවා. අපේම ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබීම සහ හොඳ නිර්මාණයකට නිෂ්පාදනයෙන් දායක වෙන්න ලැබීම ගැන මම තෘප්තිමත්.

 

එදා ට වඩා කාලයත් එක්ක නිර්මාණ

පසුබිමත් සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා,

අද කාලය දකින්නේ කොහොමද?

අද වෘත්තීය රංගන ශිල්පින් ට පවතින්න නිර්මාණ දෙක තුනක් එකවර බාර ගන්න වෙලා තියෙනවා. ඉස්සර නම් අපි එක නිර්මාණයක් ඉවර කරලා තමා බොහෝ දුරට තව නිර්මාණයක් එක්ක වැඩ කළේ. අපේ කාලයේ බොහොම හෙමින් වැඩ කළේ.

සමහර වෙලාවට රූප ගත කිරීම් අවසන් වුණත් විසිරිලා යන්න දුකක් තියෙනවා. අද එහෙම නැහැ තමන්ගේ කොටස කරලා එතනින් ඉක්මනින්ම යන්න තමා බලන්නේ.

 

එදා වගේම අදත් ප්‍රේක්ෂක ආදරය ලබන එක ගැන කතා කළොත්

ඇත්තටම සතුටක් තියෙනවා. ප්‍රේක්ෂක ආදරය මම දකින්නේ පෙර පිනක් විදියට. කලාකරුවන් ලබන ඉහළම සම්මානය ජනතා සම්මානය.

ඉතින් ඒ නිසා ප්‍රේක්ෂක ආදරයට මම හැමදාමත් ආදරෙයි. ඒ ආදරය නිසා මට හිතෙනවා අපි ජිවිතේ තනිවෙලා නැහැ කියලා.

 

 

වසන්තිගේ රුව රැගත් පළමු රසඳුන කවරයට

ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා

 

ප්‍රවීණ ඡායා­රූප ශිල්පී ප්‍රියන්ත හෙට්ටිගේ

 

 

රසඳුන අතිරේකයේ මුල් ම කවරය සඳහා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන වසන්තිගේ රුව කැමරාවට හසු කරගත් ඡායාරූප ශිල්පියා ප්‍රියන්ත හෙට්ටිගේ ය. මේ ඔහු සිය මතකය අවදි කළ ආකාරයයි.

‘එදා අපි රසඳුන පළමු කවරය ගන්න වසන්තිගේ ගෙදර ගියේ රෝහණගේ වාහනෙන්මයි. මම මේ පළමු කවරය ගන්න වසන්තිගේ ගෙරදට ගියේ සවස 5ට වගේ. කොහොම හරි 5.30 වෙද්දී රාස්සිගේ අව්ව එක්ක අවශ්‍ය කරන ජායාරූප ටිකත් අරන් ඉවර වුණා. සොබාදහමේ එන ස්වභාවික ආලෝකය එක්ක ජායාරූප ගත්තේ. ඒ කාලේ නෙගටිව්නේ තියෙන්නේ. ගත්ත පින්තුරේ කොහොමද කියලා අද වගේ බලන්න බෑනේ. හැබැයි මට මගේ ගැන විශ්වාසයක් තියෙනව මම ගත්ත පින්තුරය හරියටම හරි කියලා. ආලෝකය අඳුර කියන එක බොහොම හොඳට පාවිච්චි කර ලබාගත් ඒ ජායාරූපය යොදා ගත් රසඳුන මංගල කවරයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. වසන්ති හරිම සතුටින් අගය කළා ඒ කවරය ලස්සනට ගත්තට. එදා වසන්තිගේ ජායාරූප 12ක් වගේ ගත්තා.

 

 

Comments