අපේ රංග ප්‍රති­භාව මතු කළ නිර්මා­ණ­ක­රු­වන්ට අද­ටත් මං පින් දෙනවා | සිළුමිණ

අපේ රංග ප්‍රති­භාව මතු කළ නිර්මා­ණ­ක­රු­වන්ට අද­ටත් මං පින් දෙනවා

 

 

දශක ගණනාවක් රංගන ක්ෂේත්‍රය බැබළ වූ ප්‍රවීණ රංග ශිල්පී මැණිකේ අත්තනායක රංග කලාවට අවතීර්ණ වන්නේ ධම්ම ජාගොඩයන්ගේ රංග ශිල්ප ශාලිකාවෙනි. සරච්චන්ද්‍රන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරිය ලෙසින් වසර ගණනාවක් සිය රංග ප්‍රතිභාව ප්‍රතියමාන කළ ඇය සරච්චන්ද්‍රන්ගේ සිංහබාහු, වෙස්සන්තර, ලෝමහංස, මහාසාර නාට්‍යවල ද ප්‍රධාන චරිතවලට පණ දුන්නා ය.

 

ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලමේ රූපාවතී චරිතය බෙහෙවින් ජනප්‍රිය වූ අතර දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා, දික්තල කාලගෝල ආදි නාට්‍යවල ද ඇය රඟපෑවා ය. 1987දී කලාශූරී සම්මානය, 1991 වසරේදී රාජ්‍ය නාට්‍ය උලෙළේ ජූරියේ විශේෂ සම්මානය ද ඇය හිමිකර ගත්තා ය. පළිඟු මැණිකේ, දෙපානෝ, මිහිකතගේ දරුවෝ, සඳගල තැන්න, ඇල්ල ළඟ වලව්ව, යශෝරාවය, පරණ ටවුම, නෙල්ලි ගෙදර වැනි ටෙලි නාට්‍ය පනහකට වැඩි සංඛ්‍යාවක රඟපා ඇති ඇය සෙයිලම, සප්තකන්‍යා, ගින්දරී, පාර්ලිමන්ට් ජෝක්ස් ආදි වශයෙන් වූ චිත්‍රපට බොහෝ සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.

ලෝක වසංගත තත්ත්වය හමුවේ නිවෙසට කොටු වී සිය දරු මිනිබිරියන් සමඟ ජීවිතය බෙදා ගන්නා ඇය අපට හමුවූයේ කලෙකට පසුව ය.

"ගෙදරට වෙලා ඉන්න එක හරිම අමාරුයි. එහෙම එක තැනක හිර වෙලා ඉන්න අපට පුරුදු නැහැ. සහෝදර ශිල්පීන් නිතර හමුවෙලා, නොයෙකුත් වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා ඒ අයත් එක්ක සතුටින් විනෝදෙන් හිටිය මට මේ ගෙදර බිත්ති හතරකට කොටුවෙලා ඉන්න එක නම් මානසික වදයක් වගේ වුණා. දැන් පොඩි සහනයක් ලැබිලා තියෙනවා. අපි අතීතයේ රඟපෑ නිර්මාණ රැසක් ම නැවත විකාශය වන නිසා ඒවා බල බලා ඉන්නවා.

ඇත්තටම ඒ කාලේ ඒවා හරියට බලන්න වත් අපිට වෙලාවක් තිබුණෙත් නැහැ. අද ඒවා බලද්දි පුදුමත් හිතෙනවා. අනේ මම මේකත් රඟපාල තියෙනවානේ, මෙහෙම චරිතයකුත් කරලා තියෙනවානේ, මේ විදිහේ ඒවත් කරලා තියෙනවානේ කියලා දැන් බලද්දි හිතෙනවා. හරි ම සතුටක් දැනෙනවා. ඒවා බලද්දී දැන් තියෙන ඒවා මහා විකාර නේද කියලත් හිතෙනවා. තේමාවක් හැටියට ගත්තත් මේ අලුතින් විකාශය වන බොහෝ දේවල්වල කිසිම ගත යුතු දෙයක් නැහැ. පැරණි නිර්මාණ දකිද්දි අදටත් ප්‍රේක්ෂකයන්ට ගන්න යම් දෙයක් ඒවයේ තියෙනවා."

මහනුවරදී උපන් මැණිකේ අත්තනායකගේ දෙමවුපියන් වන්නේ විල්සන් අත්තනායක සහ රන් මැණිකේ මලවිආරච්චි ය. අසූව දශකයේ දී පමණ ඇය මොරටුව කටුබැද්ද බණ්ඩාරනායක මාවතේ පදිංචියට පැමිණියා ය.

"මම අන්තිමට ම රඟපෑවේ හිරු නාළිකාවෙන් විකාශය වුණු "හතේ කල්ලිය" නාට්‍යයේ යි. ඊට පස්සේ කිසි ම නිර්මාණයකට ඇරයුමක් ලැබුණේ නෑ. මං දන්නේ නෑ අපිව අමතක වෙලා ද කියලා. ඇත්තට ම හොඳ නිර්මාණයකට දායක වෙන්න අදටත් මම කැමතියි. අද ගොඩාක් වෙලාවට මුදල තමයි ඉස්සර වෙන්නේ. ඒත් අපි කවදාවත් මුදලට ඉස්සර වුණේ නැහැ. ලැබෙන මොන චරිතය වුණත් උපරිම කැපවීමෙන්, චරිතයට සාධාරණත්වය ඉටු කළා. ඒ ගැන සෑහීමකට පත් වෙනවා. අපව හරියට මෙහෙයවලා, අපේ රංග ප්‍රතිභාව මතු කළ අපේ පැරණි නිර්මාණකරුවන්ට අදටත් මං පින් දෙනවා."

නව පරපුර ගැන මැණිකේ කතා කළේ විටෙක සතුටිනි; විටෙක දුකකිනි.

"අලුත් ශිල්පීන් ඉන්නවා ඉතා ම දක්ෂයි. නමුත් මට හිතෙනවා මේ අලුත් අය ව කිසිම වැඩකට නැති චරිතවලට කොටු කරලා කියලා. ඒ චරිතවලින් එයාලට එයාලගේ දක්ෂතා පෙන්නන්න විදිහක් නැහැ. මේ සමාජයට ආදර්ශයක් ලබා දෙන, රටට සමාජයට යමක් කියා දෙන නිර්මාණ අද අඩුයි. වෙඩි තියන, ගහගන්න, අපහාස කරන ඒවා වැඩියි. ළමයින්ටත් බලන්න කියලා කියන්න පුළුවන් කමක් නෑ. මට වුණත් සමහර නාට්‍ය බලන්න අප්පිරියා හිතෙනවා.

ඒ අතර හොඳ නිර්මාණ තියෙනවා. බොරළු පාර කියන නිර්මාණය ඉතාමත් ම හොඳ නිර්මාණයක් විදිහට මම දකිනවා. නරක වැඩි නිසා හොඳ නිර්මාණත් මේ කාලේ මග හැරෙනවා. තෑගි දෙමින්, විවිධ වෙළෙඳ උපක්‍රම යොදමින් නිස්සාර දේ දිගින් දිගට ම මිනිස්සුන්ට බලහත්කාරයෙන් බලන්න පොළඹවනවා. අද ටෙලි නාට්‍ය හරියට මත්ද්‍රව්‍ය වගෙයි. බලෙන් පෙන්වනවා. පසුව ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ කට ඇරගෙන බලන් ඉන්නවා. හොඳ, නරක, වටිනාකම් ගැන ප්‍රේක්ෂකයන්ට අවබෝධයක් නැහැ. ඔහේ බලාගෙන ඉන්නවා. මේ නිසා බුද්ධිමත්මතුන් ගෙදර රූපවාහිනියේ ස්විචය වසා දැමුවා. කොවිඩ් නිසා රට වැහුවා ම ගෙවල්වල ඉන්න සිදු වුණු නිසා නැවත රූපවාහිනී යන්ත්‍රය දිහා බලද්දි පරණ නිර්මාණ නැවත දකින්න ලැබුණා.

මට මතකයි පළිඟු මැණිකේ නාට්‍යයට ධම්ම ජාගොඩ ගමේ මිනිස්සු පවා එකතු කරගත්තා. නමුත් ඒ අය තුළත් හොඳ දක්ෂතා දැකලා ධම්ම ජාගොඩ ඉතාමත් දක්ෂ විදිහට ඔවුන් ව මෙහෙයවූවා. තමන්ගේ නිර්මාණ කාර්යය හරියාකාරයෙන් නිර්මාණශීලීව කර ගැනීම සඳහා අධ්‍යක්ෂවරයාට, නිෂ්පාදකවරයාට නිදහස තියෙන්න ඕනේ. බලෙන් විකුණන්න නිර්මාණ කරවන්න හොඳ නැහැ. එහෙම වුණා ම ගුණාත්මක බව නැති වෙනවා. අද සමහර අය දුවගෙන ඇවිල්ලා මොකක්ද තියෙන දෙබස කියලා අහගෙන දෙබස කියලා යනවා. හරියට මේසන් බාස්ලා ගෙවල් හදනවා වගේ. චුට්ට චුට්ට හැමතැනම වැඩ බාර ගන්නවා. එක දෙයක්වත් හරියට කරන්නෙ නෑ. ඇත්තට මේවා දකිද්දි හරියට දුක හිතෙනවා." ඇය කීවා ය.

Comments