හෙළ බසට කපුටෝ කොටත් නම් වියතුන් කුමක් කළ යුතු ද? | සිළුමිණ

හෙළ බසට කපුටෝ කොටත් නම් වියතුන් කුමක් කළ යුතු ද?

 

සිංහල භාෂා ශාස්ත්‍ර විෂයක වාද විවාද බොහොමයක ට සිළුමිණ’ වේදිකාවක් වූයේ අදෙක ඊයෙක නො වේ. ඒ ඉතිහාසයි සිළුමිණේ’ ඉතිහාසය තරම් මැ පැරැණි සිළුමිණේ’ ඇති වූ අලුත් මැ වාදය සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායක - හෙළ හවුල් නයු ශ්‍රීනාත් ගණේවත්ත දෙවියතුන් අතර පසු ගිය දා ඇති වූවෙකි.

 

ඒ වනාහි 1941 දී සිදු වූ රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන් ගේ අභාවය නිමිත්තෙන් එවකැ සරසවි කුලාජියේ සිසුවකු විසින් ලියන ලද බව කියැවෙන පැදි පෙළක වියරණය පිළිබඳිනි. එහි ආමින් පසු අපේ සාහිතයට කපුටො කොටයි’ යන යෙදුම වාද නිමිත්ත වී තිබේ. එබැවින් මේ වාදයිකපුටු වාදය’ යනුවෙන් හැඳින්විය හැකි බවක් අප හා කීවෝ ද වියත් කෙනෙකි. කෙසේ වුව අසූ වසරක් පැරැණි මේ වාද නිමිත්ත පිළිබඳින් දිසානායකයන් ද ගණේවත්තයන් ද ලියූ වාද ලිපි දෙකක මැ අප ගැන ද සඳහන් වැ තුබුණු බැවින් අපටත් මේ වාදයට සම්මාදම් වන්නට සිදු වේ.

මින් පසු අපේ සාහිතයට කපුටො කොටයි’ යන්න ලේඛන සිංහල ව්‍යාකරණය අනුව වැරැදි බවට ගණේවත්තයන් හා දිසානායකයන් අතර මත බිඳුමක් නැති බව පැහැදිලි ය. භාෂණ සිංහල ව්‍යාකරණය අනුව එය නිවැරැදි බවට ද වාදීන් දෙදෙනා අතර මත බිඳුමක් ඇති බවෙක් නො පෙනේ. එහෙත් මත බිඳුම ඇත්තේ ඒ 1. ඒ වැකියේ ආඛ්‍යාතය වසයෙන් යොදා ඇති පදය අනතීත ආඛ්‍යාතයක් ද යන්නත් 2. ඒ කවි පෙළ කට වහරින් ලියන ලද්දක් ද යන්නත් ගැන ය. මේ පැදි පෙළ සසඳුවට ගත් මුළුවේ දී අදහස් දක්වමින් අප කීවේ භාෂණ සිංහලයේ ව්‍යාකරණය අනුව නම් මෙහි වරදක් නැති බව ය. එහෙත් ඔය කියන කාලයේ සරසවි කුලාජියේ ඇත්තන් භාෂණ සිංහලයෙන් ලිවීම ගැන කවර හෝ උනන්දුවක් දැක්වූ බවක් නොපෙනෙන බවකුදු අපි එදා කීයෙමු. එබැවින් අප කීවේ මේ වැකිය භාෂණ සිංහලය අනුව මැ ලියන ලද්දක් දැ යි විමැසිය යුතු බව යි. ඒ විනා ඒ වැකිය ඉඳුරා මැ නිවැරැදි බවෙක් නො වේ.

අප කොතෙක් වෙහෙස ගත්ත ද පොදු ජන වහර ලේඛන සිංහලයේ ව්‍යාකරණය අනුව හික්මැවීම ප්‍රායෝගික නො වේ.

එබැවින් කපුටො කොටයි ’ලෙඩ්ඩු මැරෙයි ’තාත්තා එයි’ වැනි යෙදුම් භාෂණයේ දී ඉවසන්නට සිදු වේ. මෙබඳු වැකිවලැ ඇති කොටයි, මැරෙයි, එයි යන පද අනාගතය අඟවන ප්‍රථම පුරුෂ ඒක වචන ආඛ්‍යාත බව දිසානායකයෝ පවසති. එහෙත් එය වැරැදි ය. ගණේවත්තයන් ද පෙන්වා දී ඇති පරිදි ඒ පද නිපැයෙන්නේ කොටා > වි, කොටයි, මැරේ > වි, මැරෙයි, ඒ වි > එයි යනුවෙන් ආඛ්‍යාත සමඟ අනිශ්චිතාර්ථ වි නිපාතය සන්ධි වීමෙනි. ඒ සන්ධි කාර්යයේ දී ව > ය විකල්පනය වී තිබේ. ව > ය වීමත් ය > ව වීමත් භාෂණ සිංහලයේ ශබ්ද ධර්මයක් බව උය(වනවා) > ඉවීම ලිය(වනවා) > ලිවීම ආදිය දෙස බැලීමෙනුදු පෙනේ. එබැවින් පදකයෝග විචාරයේ (morphology) දී පද සිද්ධිය නො තකා හුදු රූපීය සාම්‍යය පමණක් සැලැකීම මුළාවේ වැටීමට හේතුවක් බව දිසානායකයනට මතක් කළ යුතු ය'

එමතු ද නො වේත වැකියක් තනි වැ ගෙන ඒ ගැන කවර හෝ විමැසුමෙක යෙදීම ද වාග්විද්‍යා සම්ප්‍රදයයට විරුද්ධ බව භර්තෘහරීන් ගේ පටන් ජේ. ආර් ෆර්ත් (J. R. Firth), බී. මැලිනොවුස්කි (B. Malinowsky) ආදි පෙරපර දෙදිග මැ භාෂාඥයන් පිළිගත්තෙකි. ඒ අනුවිමින් පසු අපේ සාහිතයට කපුටො කොටයි’ යන්න විමැසීමට නම් එය අයත් සහපාඨයේ (co-text) ද ප්‍රකරණයේ (context) ද එය බහාලිය යුතු යග පසු ගිය සැප්තැම්බර 12 වැනි දා ලිපියෙහි අදාළ පැදි පෙළෙන් උපුටන දක්වමින් ගණේවත්තයන් කරන්නේ ඒ කාරිය යි. ඔවුන් පෙන්වා දෙන පරිදි ඒ පැදි පෙළ ලේඛන ව්‍යාකරණයත් භාෂණ ව්‍යාකරණයත් දෙක ම කවලම් කරමින් ලියූවෙකි. ඇතැම් තැනෙකැ ලේඛන ව්‍යාකරණයේ එක මැ නීතියට දෙවිදියකට සලකා ඇති අයුරු ගණේවත්තයෝ සිය ලිපියෙන් පෙන්වා දෙති. ඒ අනුව අපට පෙනෙන්නේ ප්‍රස්තුත පැදි පෙළ කිසි දු ව්‍යාකරණයක ඉඳුරා පිහිටමින් ලියූවක් නොවන බව යි.

හෙළ හවුලේ සම - සකසුරුවකු වුව ද කලෙකැ වාග්විද්‍යා ශිෂ්‍යයකු ද වූ බැවින් වියරණය පිළිබඳින් මහාචාර්ය දිසානායකයන් ගේ අදහස් අපි වෙසෙස් සැලැකිල්ලට ගනුමු. සම්භාව්‍යල සමකාලීනල සමතික්‍රමණ යනුවෙන් සිංහලයෙහි ව්‍යාකරණ රීති (මේවා ඇත්තෙන් ම රීති නො ව ව්‍යාකරණ පද්ධති ය) තුනක් ඇති බවත් ආධුනිකයන් කළ යුත්තේ ඉන් එකක් තෝරාගෙන නොවෙනස් වැ එහි පිහිටා සිටීම බවත් “සමකාලීන සිංහල ව්‍යාකරණය “ - 1- ව්‍යාකරණ ප්‍රවේශය” පොතෙහි ලා දිසානායකයෝ නියම කෙරෙති. ප්‍රස්තුත පැදි පෙළ ලියූ සරසවි කුලාජි සිසුවා මේ නියමය උල්ලංඝනය කොටැ ඇති බව ගණේවත්තයන් ගේ ලිපිවලින් පැහැදිලි වැ පෙන්වා දී තිබේ.

එනම් එය සම්භාව්‍ය ව්‍යාකරණයත් සමතික්‍රමණ ව්‍යාකරණයත් කවලම් කොට ලියූවෙකි. එබැවින් දිසානායකයන් ගේ උක්ත වාග්විද්‍යා නියමය උල්ලංඝනය කරන මේ පැදි පෙළ ගැන වියතුන් තව දුරටත් වාද වීම නිරර්ථක ය.

වාදයට ගත යුතු යටි පෙළෙක් නම් මෙහි තිබේ. 1971 දී “සම්ප්‍රදාය හා විචාරය” පොතේ මාර්ටින් වික්‍රමසිංහයන් කීවේ “සරසවි හතරෙන් උපාධි ලබන්නන් අතර කට බසත් ගත් බසත් දෙක ම මරමින් ලියන්නෝ කෙමෙන් බහුල වෙති” යි කියා ය. ඊට තිස් වසරකට පෙර පැවැති සරසවි කුලාජියට ද මේ ප්‍රකාශය අදාළ බව 1941 දී එහි සිසුවකු ලියූ ප්‍රස්තුත පැදි පෙළෙන් පෙනේ. පසු ගිය කාලයේ පුවත්පත්වලැ පළ වූ හැටියට නම් වත්මන් සරසවි දාහතෙන් (17) උපාධි ලබන්නවුන් පමණක් නො ව ඉන් ඇතැමෙක සිංහල උගන්වන්නවුන් අතර ද “ගත් බසත් කට බසත් දෙක ම මරමින් ලියන්නෝ” බොහෝ ය.

ඔවුන් ගේ වැරැදි වනාහි සරසවියෙකින් සිංහල උපාධියක් තබා සිංහල මාධ්‍යයෙන් වත් උපාධියක් නො ලද අප වැන්නවුන් පවා විස්මයයට පත් කරනසුලු ය. එබැවින් සරසවිය සියවසක් සපුරන මෙකලැ කපුටු වාදයට වඩා බසට වැදැගත් වන්නේ මේ අවුල ලිහන හැටි ගැන වියතුන් වාද කළ හොත් නො වේ ද?

 

Comments