රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ මතකාවර්ජනයක් බ්‍රැඩ්මන් වීරකෝන් | සිළුමිණ

රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ මතකාවර්ජනයක් බ්‍රැඩ්මන් වීරකෝන්

 

වරාය පොලීසියේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකුව සිටි එඩ්මන් ඩොනල්ඩ් වීරකෝන් 1930 වර්ෂයේ ඔක්තෝබර් 20 වෙනිදා තම ජිවිතයේ සුවිශේෂ අවස්ථා දෙකකට මුහුණ දුන්නේය. එක් සිද්ධියක් වූයේ ඔහුගේ බිරිය ඊඩිත් ඇලෙක්සැන්ඩර් වීරකෝන්ට දාව මද්දුම දරුවා ප්‍රසූත කිරීම ය. දෙවැන්න වූයේ එදිනම සවස කොළඹ වරායට සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක දොන් බ්‍රැඩ්මන් ගමන් කරමින් සිටි ඕස්ට්‍රේලියාව බලා ගමන් ගත් නැව පැමිණීම ය. තම ප්‍රියතම ක්‍රිකට් තරුව වූ ඩොන් බ්‍රැඩ්මන් දැක බලා ඔහුට අතදී සුබ පතා ඔහු සමරු පොතේ අත්සන ලබා ගැනීමට තිබූ ආසාව එඩ්මන් ඉටුකර ගත්තේය. ඉන්පසු ලහි ලහියේ සාත්තු නිවාසයට ගියේය.

 

“ඊඩිත්, මම අද ඩොන් බ්‍රැඩ්මන් දැක ගත්තා. මගේ සමරු පොතේ ඔහුගේ අත්සනත් ලබා ගත්තා. මේ බලන්න.“

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සර් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් (1908 - 2001) විශිෂ්ට පිතිකරුවෙකු ලෙස 99.94 සීමාව ඉක්මවා දුර ප්‍රමාණයක සාමාන්‍ය වේගයක් පවත්වා ගෙන ගිය ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි.

“ඊඩිත් අපි පුතාට ‘බ්‍රැඩ්මන්‘ කියල නම තියමු.“ එඩ්මන් කීවේය.

“ඔයාගේ කැමැත්තනෙ ඒ නම තියමු. මම හිතන් හිටියේ රොබින් කියලා නම තියමු කියලා.“

“එහෙනං අපි ‘රොබින් බ්‍රැඩ්මන් වීරකෝන්‘ කියල නම තියමු.“

වීරකෝන් පවුලේ බ්‍රැඩ්මන්ට වැඩිමහල් අක්කා කෙනෙකු ද අයියා කෙනෙකු ද, බාල මල්ලී කෙනෙකු ද, නංගී කෙනෙකු ද සිටි.

බ්‍රැඩ්මන් උපන්නේ රයිගම් කෝරළයේ කළු ගඟ දකුණේ පිහිටි පයාගල ය. තාත්තාගේ ගම කළුතර වූ අතර මවගේ ගම නුගේගොඩය. කළුතර හෝලි ෆැමිලි සහ හෝලි ක්‍රොස් විද්‍යාලවල මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය. තාත්තාගේ සිහිනය වූයේ පුතා දොන් බ්‍රැඩ්මන් කෙනෙකු කිරීමට ය. තෝමසුන්ගේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වී රෝයල් තෝමියන් තරගයකදී බ්‍රැඩ්මන් රාජකීයකු වූ ගාමිණී ගුණසේන හා කුසලතා පෙන්වූහ. ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ආර්ථික විද්‍යා ගෞරව උපාධියක් දිනා ගත් ඔහුට අවශ්‍යව තිබුණේ හොඳ ගුරුවරයකු වීමටය. එය ඉටුකරමින් ඔහු ගුරුතලාවේ සාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකු විය. මේ කාලයේ ම ඇමෙරිකාවේ ස්මිත් මන්ඩ්ට් ශිෂ්‍යත්වයෙන් සමත්ව මිචිගත් විශ්වවිද්‍යාලයට ඇතුළු වී එම්. ඒ. උපාධිය ලබාගත්තේ පී. එච්. ඩී. උපාධිය කිරීමට සූදානම් විය.

“මගේ පියා ඒ වන විට සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස්ව සිටියා. තාත්තා මට ලියා එව්වා - සිවිල් සේවා විභාගයට ගාස්තු හැටියට රු. 250ක් බැන්දා ආපසු ලංකාවට එන්න.“ කියලා. 1950 සිවිල් සේවා විභාගයට පෙනී සිටියා. පස් දෙනෙක් තේරුණා. මම මුළු ලංකාවෙන්ම දෙවෙනියා. ශාන්ති කුමාර් පිල්ප්ස්, මා, චාන්දි චන්මුගම්, ලෙස්ටර් පෙරෙයිරා මේ අතර සිටියා. ජ්‍යෙෂ්ඨ දිසාපතිවරුන් දෙදෙනකු යටතේ අතපොත් ලැබූ මා යාපනේ හා අනුරාධපුරයේ කටයුතු කොට 1955 දී අගමැති කාර්යාලයේ සහකාර ලේකම්වරයකු ලෙස පත්වුණා. ඒ අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවලගේ පාලන සමයේය. අග්‍රාමාත්‍ය ලේකම් වූයේ පී. නඩේසන් මහතායි.“ බ්‍රැඩ්මන් වීරකෝන් මතකය ආවර්ජනය කළේය.

බ්‍රැඩ්මන් වීරකෝන් නිදහස් ලංකාවේ අගමැතිවරුන් හත් දෙනෙකුගේ ලේකම් හැටියට කටයුතු කර වාර්තා තැබූ පුද්ගලයෙකු බවත්, ඔහුගේ කතාව එක් පුද්ගලයෙකුගේ කතාවක් පමණක් නොව ශ්‍රී ලංකාවේ දසක තුනක (1955 - 2004) දේශපාලන ඉතිහාසය හැටියට ද හඳුන්වා දීමටද හැකි බව ගුණදාස ලියනගේ පවසා තිබුණේ 1985 දීය. එය අගමැතිවරුන් හා ජනාධිපති ලේකම් දක්වා වසර 19 ක දිගුවක් විය.

සර් ජෝන් කොතලාවල (1953 - 1956), එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (1956 - 1959), ඩබ්ලිව්. දහනායක (1959-1960), ඩඩ්ලි සේනානායක (1960, 1965, 1970 දක්වා), සිරිමාවෝ බණ්ඩාරනායක (1960 - 1965), ජේ.ආර්. ජයවර්ධන (1977 - 1988), රණසිංහ ප්‍රේමදාස (1978 - 1988, 1989, 93), ඩී. බී. විජේතුංග (1993 - 1994), රනිල් වික්‍රමසිංහ (2001 - 2004) යන අගමැති හා ජනාධිපතිවරුන් නව දෙනෙකු යටතේ දැලි පිහියෙන් කිරි කෑ පරිපාලන නිලධාරියෙක් මෙතෙක් නොසිටි අතර එය ගිනස් වාර්තාවක් දැයි නොදනිමි.

අරලිය ගහ මැදුරේ ස්පන්දනය ගැන දැන සිටි බ්‍රැඩ්මන් වීරකෝන් “ඒ සෑම නායකයෙකුට ම පළ කළ යුතු කෘතවේදිත්වය පිළිබඳ විශාල ණය බරක් මා වෙතැයි මම සිතමි“ තමා විසින් ලියූ Rendering Unto Caear කෘතියේ සඳහන් කරයි. මේ කෘතිය සුනේත්‍රා රාජකරුණානායක විසින් “අරලිය ගහ මැදුරේ ස්පන්දනය“ නමින් සිංහලයට පරිවර්තනය කර තිබුණි. දක්ෂ ලේඛකයකු වූ වීරකෝන් විසින් Premadasa of sri lanka නමින් ද කෘතියක් ලියා ඇත.

බ්‍රැඩ්මන් වීරකෝන් නම් මේ කෘතහස්ත පරිපාලන නිලධාරියා මට හමුවූයේ 1976 වසරේ දීය. ඒ නවයුගය පුවත්පතේ ‘චරිත හමුව‘ විශේෂාංගයට එක්වූ 1979 දිනෙක මා ඔහු හමුවුණෙමු. එවකට ඔහු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයා ය. ඊට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, හැටියට කටයුතු කළේය. පසුගිය අතීත සිදුවීම් ආවර්ජනය කරමින් එදා අපට මෙසේ කීවේය.

“සර් ජෝන් කොතලාවලගේ අගමැති ලේකම් හැටියට පත් වී එන විට මට වයස අවුරුදු 25 පමණ ඇති. තරුණ කාලයේ සිටම රටේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කිරීම නිසා මට පුළුල් අත්දැකීම් ලැබුණා. රටේ හැම පැත්තකින් ම එන ප්‍රශ්නයක් අන්තිමට කෙළවර වන්නේ අගමැතිතුමාගේ මේසයෙන්. කොයි ප්‍රශ්නය ගත්තත් වැඩ වර්ජන, කැබිනට් ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, ත්‍රිවිධ හමුදාවල ප්‍රශ්න, විදේශ ප්‍රශ්න මේ ආදි හැම ප්‍රශ්නයක්ම අගමැතිතුමාගේ අන්තිම විසඳුමට ලක්වෙනවා. මේ කොයි ප්‍රශ්න ආවත් මා ලේකම්ව සිටි හැම අගමැතිවරයෙක්ම මේ ප්‍රශ්න දෙස බැලුවේ අපක්ෂපාතිවයි.“

සර් ජෝන් ගැන රටේ ප්‍රචාරව ඇත්තේ රෑ තිස්සේ අඩි ගසමින්, බාල් නටමින් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන මේ මිනිසා සමඟ තමාට වැඩ කිරීමට හැකිවේද ප්‍රශ්නය තමට තිබූ බව පවසා තිබේ. රටේ මොන ආරංචි, ප්‍රචාර තිබුණත් ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු බව පවසා ඇති ඔහු සර් ජෝන් වෙලාවට වැඩ කිරීම ගැන නම් ගත් පුද්ගලයෙකු බවත්, කඳවල වලව්වේ පැවති සාද නිතරම පටන් ගත්තේ රෑ 7ට බවත්, ඒවා අවසන්ව ඇත්තේ රාත්‍රී 8.30 ට බවත් පවසා තිබේ.

“හා පාටිය ඉවරයි. සේරටම යන්න පුළුවන්“ යයි කියා සර් ජෝන් උඩමහලට යාම සිරිතක් ලු.

බ්‍රැඩ්මන් විසින් ගුණදාස ලියනගේට පවසා තිබූ ‘පුටුවක් අහසින් යැව් කතාව‘ “අගමැතිවරුන් හත් දෙනෙකු සමඟ“ නම් පොතේ සඳහන් වෙයි.

“ඒ වකවානුවේ එක් දිනක අරලිය ගහ මන්දිරයට ඇතුළු වීමට මහා සංඝයා වහන්සේලා විශාල පිරිසක් උත්සාහ කිරීම නිසා ගේට්ටුව ළඟ ලොකු කලබලයක් ඇති විය. පොලීසිය මඟ අවුරා ගෙන සිටීම නිසා බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබුණු බව මට පෙනී ගියේය. මම ඒ ගැන සර් ජෝන්ට දැන්වීමි.

“මොකද බ්‍රැඩ්මන් හාමුදුරුවරු ඇවිත් ඉන්නේ?“

“සර්ව හම්බ වෙලා කතා කරන්න.“

“ඉතින් ගේට්ටුව වහගෙන හිටියට හරියන්නෙ නැහැ. ගේට්ටුව ඇරලා පිටි පස්සේ පිට්ටනියේ පුටු තියලා හාමුදුරුවන්ට වාඩි වෙන්න සලස්සනව. මම ටිකකින් පහළට එන්නම්.“ සර් ජෝන් කීය.

සර් ජෝන්ගේ තීරණය ගැන මම මහත්සේ පුදුමයට පත් වූයේ ඒ කාලය වන විට රටේ පැවති නොසන්සුන් වාතාවරණය නිසා ය. යාපනයට ගොස් සිංහලයට හා ද්‍රවිඩයන්ට සම තැන් දෙන බව කීමත් දුසිල් මහනුන්ගේ සිවුරු ගලවා තාර ගාන බව කීමත් මේ විරෝධයට මුල් වූ බව මගේ හැඟීම ය. මේ තත්ත්වය යටතේ අරලිය ගහ මන්දිර භූමියට ඇතුළු වූ සිය ගණන් හාමුදුරුවරු නොසන්සුන් ලෙස අසුන් ගෙන සිටියදී සර් ජෝන් එතැනට ආවේය. හාමුදුරුවන්ගේ ආසන ඉදිරිපිට තවත් විශේෂ පුටුවක් තබා තිබුණු බව සර් ජෝන් ඈත තියාම දුටුවේය.

පුටු පිළියෙල කළ නිලධාරියා ඒ පුටුව තබන්නට ඇත්තේ හාමුදුරුවන් ඉදිරිපිට සර් ජෝන්ට වාඩි වීම පිණිස විය යුතුය. සර් ජෝන් ඒ පුටුව ළඟට ගියේ මද කිපුණු අලියකු මෙනි.

“කව්ද යකෝ මෙතන පුටුවක් තිබ්බේ? හාමුදුරුවරු ඉස්සරහ ගිහියො පුටුවල වාඩි වෙන්නෙ නැති වග දන්නෙ නැද්ද?“ යි හඬ නඟා කිව් සර් ජෝන් වේගයෙන් පුටුවට පයින් ගැසුවේය. පුටුව ටික දුරක් විසි වී මල් පඳුරක් මතට පාත්විය.

ඉන්පසු සර් ජෝන් හාමුදුරුවන්ට වැඳ හිටගෙන ම තොරතුරු විචාළේය. ඔහු එය සිතා මතා කළා ද නැතිනම් එවෙලේම ඇති වූ කෝපයක් නිසා කළාදැයි කීමට බැරි වුවත් පුටුවට පයින් ගැසීමේ සිද්ධිය නිසා හාමුදුරුවන්ගේ වේගය තරමක් අඩු වී තිබුණු බවක් පෙනිණි.“

බ්‍රැඩ්මන් වීරකෝන් හා දමයන්ති ගුණසේකර ගේ විවාහය සිදුව ඇත්තේ 1956 අගෝස්තු 10 වෙනිදා ය. සිය පියා සමඟ වෙස්ලි විද්‍යාලයේ ඉගෙන ගත් හොරණ ගෝනපොල ගුණසේකර නම් මිත්‍ර ශිෂ්‍යයාගේ දියණියක් වූ දමයන්තී සමඟ මිතුරුකම ඇති වී ඇත්තේ මේ මිත්‍රයන් දෙදෙනාම එකට පොලීසියේ සේවය කරන කාලයේ සිට බව බ්‍රැඩ්මන් පවසා ඇත.

ඒ කාලයේ 1956 මහා මැතිවරණයෙන් බලයට පත් වූ බණ්ඩාරනායක තමා ප්‍රිය කළ අගමැතිවරයා බව බ්‍රැඩ්මන් වීරකෝන් පවසයි. අග්‍රාමාත්‍යතුමා තමාට පොඩි ළමයෙකුට මෙන් සැලකූ බව එවකට 26 හැවිරිදි අග්‍රාමාත්‍ය ලේකම් අතීත සිද්ධියක් මතක් කරමින් කියා ඇත.

බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය වීමෙන් පසු අගමැති වූ විජයානන්ද දහනායක තමා දුටු අසාමාන්‍ය චරිතයක් බවයි වීරකෝන්ගේ අදහස.

“දහනායක මහතා අරලියගහ මන්දිරයට එන විට ගෙන ආවේ සූට් කේසයක් පමණයි. විශාල හම් පටියකින් බඳින ලද ඒකෙ ඇතුළේ දහනායක මහතාගේ ඇඳුම් පමණක් නොව සෙරෙප්පු පවා තිබුණි. මම ඒ මහතා අරලිගහ මැදුරේ විසිත්ත කාමර, කෑම කාමරය, අගමැතිගේ නිදන කාමර ආදිය පෙන්වා දුන්නා. ඉහළ මහලේ අගමැති නිදන කාමරයට මා දහනායක මහතා කැඳවාගෙන ගිය විට ඔහු කතා කළේ මවිතයෙන්.

‘මොකක්? මේක නිදන කාමරයක්?‘ මේකෙ නිදා ගත්තොත් පාර හොයා ගන්න බැරිව අතරමං වෙයි. ඇත්තටම බ්‍රැඩ්මන් මීට වඩා පුංචි කාමරයක් හොයා ගන්න බැරිද? එහෙම නොවෙයි බ්‍රැඩ්මන්, මම කියන්නද වැඩක් වඩු බාස් කෙනෙකුට එන්න කියල මෙන්න මේ අතට ස්ක්‍රීන් එකයි මේ අතට තවත් එකයි, අනික් අතට තවත් එකක් ගහල පොඩි කාමරයක් හදන්න කියන්න.“

“එතකොට සර් කාමරේ ඇතුළේ කාමරයක්.“

“ඔව් පොඩි කාමරයක්.“ දහනායක කියා ඇත. වීරකෝන් කියා ඇති ආකාරයට ඩඩ්ලි සේනානායක අගමැතිතුමා කොතරම් සැහැල්ලු හා විනෝදකාමී ලෙස සිටියත් ඉඳහිට දිනෙක දැඩි මුරණ්ඩු, පෙරළිකාර ගති මතු වූ බවය.

එසේ වූයේ යමකු තමාට බොරුවක් වංචාවක් කළාය යන හැඟුම දැනුන විට ලු. බලංගොඩ සිරිමෝගේ වලව්වට ගෑනු ළමයෙකු බැලීමට ඩඩ්ලිගේ දෙමාපියන් ඔහුව රැගෙන ගිය කතාවක් ද වීරකෝන් විසින් ‘අරලිය ගහ මැදුරේ ස්පන්දනය‘ කෘතියෙන් අනාවරණය කරයි. ඩඩ්ලි ආහාර පාන වලට ප්‍රිය වූ හෙයින් මනමාලිය විසින් සංග්‍රහ කළ ආහාර පාන දුටු විට ඔහුට වෙනත් කිසිවකට අවධානය යොමු කළ නොහැකි වී ඇත.

ආපසු එන ගමනේදී ඔහු ගෑනු ළමයා ගැන සිතන්නේ මොනවාදැයි අම්මා ඇසූ විට ඔහු පවසා ඇත්තේ “මොන ගෑනු ළමය ද? මම එහෙදි කිසි ගෑනු ළමයෙක් දැක්කේ නෑ“ කියා ය.

දැඩි අර්බුදකාරී දුෂ්කර අවස්ථාවල ජේ. ආර්. ජයවර්ධන ඉතා සන්සුන්ව සිටිය හැකි බව තමා දැකීමෙන් කිසියම් පැහැදීමක් ඇති වූ අතර 1983 ජූලි 25 සහ 26 වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ දේශපාලන සිරකරුවන් 52ක් මරා ඇති බව දැන ගත් වේලේ ජේ. ආර්. කෝපයෙන් වෙව්ලනු දැක ගත හැකි වූ බව වීරකෝන් දැක ඇත. අගමැති ආර්. ප්‍රේමදාස හා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගැන ද වීරකෝන් තුළ ඇත්තේ මතක ගබඩාවකි. ප්‍රේමදාසට තමා ඉටු කළ පුළුල් වැඩකටයුතු සඳහා විශ්වාසී ව ඇප කැප වූ පිරිසක් සිටි බව ඔහු පවසයි.

බ්‍රැඩ්මන් වීරකෝන් කුඩා කාලයේ සිටම පොත් කියවීමට කැමති බවත් තමා කොපමණ පොත් කියෙව්වා ද යත් වයස අවුරුදු 10 වන විට ඇස් කණ්ණාඩි දැමීමට පවා සිදු වූ බව මට කියා ඇත.

බ්‍රැඩ්මන් ගේ ආදරණීය බිරිය දමයන්ති 2008 වසරේ මිය ගියා. තමාට එය දරාගත නොහැකි සිද්ධියක් බව පැවසුවේය.

මේ දෙපළට සිටි එකම පුතා ඇසල රුවන් වීරකෝන් විදේශ ලේකම් ලෙස සේවය කොට SAARC හි Secretary General ලෙස සේවය කරයි. ඔහුගේ බිරිඳ ක්‍රිෂාන්ති ය. මේ යුවළට අවන්ති හා රවීන් නම් දියණියක් හා පුතෙකු සිටී.

Comments