පොඩි හාමුදුරුවන්ගේ අධ්‍යාපනය ගැන, සලාක දානය ගැන, පිරිවෙනේ අඩුපාඩු ගැන ඔහු විමසයි. 2020 මාර්තු 17 වැනි දා ඔහු රෑ කෑම කෑවේ රූපවාහිනී ප්‍රවෘත්ති නරඹමිනි. චීනය ඉතා බරපතළ ලෙස කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව ප්‍රවෘත්තිවලින් දැක්විණ. ඔහු ගල් ගැසී ගියේය.
අඩක් හිස් වූ බත් පිඟාන බිම වැටිණ. යමක් කීමට සැරසුණ ද සිදු වූයේ දෙතොල සෙලවීමට පමණි. හඬක් නොනැඟිණ. දකුණු පස අත්, පා, වහා අප්‍රාණික විය.
චින්තා දුව ඒ රැයේ ම ඩැනියෙල් නාගොඩ රෝහලට ගෙන ගියා ය. ඔහු ගොදුරුව සිටියේ අංශභාග රෝගයටයි. රෝහලෙන් ප්‍රතිකාර ලබා දින කීපයකට පසු ඩැනියෙල් යළි නිවසට කැඳවාගෙන එනු ලැබිණ.
දේශීය වෛද්‍ය ප්‍රතිකාර ද, බටහිර වෛද්‍ය ප්‍රතිකාර ද ලබමින්, ඇඳේම වැතිර සිටින ජීවිතයකට හුරුවීමට ඔහුට සිදුවිය. සාලයේ ඇඳේ වැතිර සිටින ඩැනියෙල්ට මිදුලේ ඇති පරණ පා පැදිය පෙනේ. ඔහුගේ දුව චින්තා එය ඉවත් කළේ එය දැකීමෙන් ඔහුට දුකක් ඇතිවේයයි සිතමිනි.
නිහඬ ඩැනියෙල් ගේ ඇස් ඉදිරියේ සිය දහසක් දෙනා පෙනී නොපෙනී යති. ඒ මැලැවුණු මුහුණේ සිනාපොදක් යම්තමට නැඟුණ ද ඇතැම් විට දෑසට කඳුළක් ද මෝදු වනු පෙනේ.
මාස නවයකට පසු ඔහු තොල් මතුරනු ඇසිණ. හීන් හඬින් වචන කීපයක් පිට විය.
“ලෙනින් සහෝදරයා, මාඕ සහෝදරයා, ප්‍රේමලාල් කුමාරසිරි සහෝදරයා“
මඳක් දුරින් සිටි චින්තා ඒ හඬ ඇසී ආවාය.
“මෙන්න තාත්තා කතා කරනවා....“
ඇය සතුටින් කෑ ගැසුවාය.
ඔහු ගේ තොල‘ඟට කවි පද ද නැඟිණ.
“මින් පැරදුණොත් මේ දුටුගැමුණුගෙ මල් ලී
බැන් ටිස් රණවීර ඇත අත්තක එල් ලී...“
“1936 මැතිවරණයේ දී හම්බන්තොට ඩී.ඇම්. රාජපක්ෂ දිනවන්න බැන්ටිස් රණවීර කියපු කවියක පද දෙකක් ඔය“ ඔහු කියයි.
එස්. මහින්ද හිමියන්ගේ සහ කුමාරතුංග මුනිදාසයන්ගේ කවි ද ඔහුගෙන් නිතර කියැවිණි. ගුණේ, ගුණේ කියමින් ඔහු ඉබ්බාගමුවේ පී.ඩී. ගුණතිලක දුරකථනයෙන් අමතයි.
ඩැනියෙල්ට තෙල් සාත්තු ලබා දීමට ගමේ තරුණයෝ කීප දෙනෙක් පැමිණියහ. ගමේ කාන්තාවන් ඔහු කැමති ආහාර, පානවර්ග පිළියෙළ කර දුන්හ.
මේ අය අතර ඔහුට වඩාත් සමීප වූ දුවක් වූවාය. විසි පස් හැවිරිදි, සම්මානි ලියන ගේ නම් වූ ඇගේ සැමියා රජයේ වෛද්‍යවරයෙකි. ඇය ඩැනියෙල්ට සැලකුවේ පියකුට මෙනි, ගුරුවරයකුට මෙනි. ඇය ඔහුට හොඳින් සවන් දුන්නා ය. මාඕසේතුං ගැන, හෝ චි මිං ගැන, පිදෙල් කැස්ත්‍රෝ ගැන, චේගුවේරා ගැන ඔහු රසවත් කතා කීවේය. ඔහු අංශභාග රෝගයෙන් මිදෙන්නට යන බව පෙනිණ. මේ අතර සැප්තැම්බර් 8 වැනි දා කොරෝනා ඔහු හමුවට ආවාය. ඔහු කොරෝනා රෝගියකු වූ බව දැනගත් මොහොතේ සම්මානී සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් පිළිපදිමින් ඒ නිවසට රැකවරණ සැලැස්සුවාය. ඩැනියෙල් රැක ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නාය. දියණියන් දෙදෙනකු සිටිය ද ඩැනියෙල්ට ආහාරපාන ළඟටම ගොස් දීමට පවා සම්මානී ඉදිරිපත් වූවාය.
“ඔබත් අනතුරේ“ ගමේ ඇතැමකු කී බසට ඇය කන් දුන්නේ නැත. සැප්තැම්බර් 15 වැනිදා බලපිටිය රෝහලට ඇතුළු වූ ඔහු සැප්තැම්බර් 23 වැනිදා මෙලොවින් සමුගත්තේය.
ආදාහනයට පෙර මළසිරුර හඳුනාගැනීමට මෘත ශරීරාගාරයට ගියේ ද සම්මානිය. දේහය රැගත් මිනී පෙට්ටිය පසුපසින් ආදාහනාගාරයට ගියේ ද ඇයය.
“තමා වෙනුවෙන් පෞද්ගලික කිසිවක් කැර නොගත්, මිනිසුන්ට ආදරය කළ මෙබඳු උතුම් මිනිසෙක් මා දැක නැහැ. ඔහු මට පමණක් නොවෙයි. සියලු මිනිසුන්ට, විශේෂයෙන් නැති බැරි මිනිසුන්ට පියෙක් වූ උදාර මිනිසෙක්“
ඇය ඩැනියෙල් නැති, ඩැනියෙල් ගේ නිවසට පැමිණ චින්තා තුරුළු කැර ගනිමින් හඬ හඬා කීවාය.
සිය අනූ එක්වන උපන්දිනය ළං ව තිබියදී ඔහු ගේ සමුගැනීම සිදු විය.
සෑම වසරකම ඔහු ඔක්තෝබර් මාසය සිහි කළේ ආඩම්බරයෙනි.
ඒ රුසියාවේ ශ්‍රේෂ්ඨ විප්ලවය සිදු වූ මාසය නිසා ය. “මා උපන්නේත් ඔක්තෝබර් මාසයේ“
කියමින් ඔහු දරුවකු සේ සතුටු විය.
එහෙත් මේ අවුරුද්දේ ඒ සතුට ලැබීමට ඔහුට නොහැකි විය. 2021 ඔක්තෝබර් 25 ඔහුගේ අනූඑක්වන උපන් දිනයය. ඊට මාසයකට පෙර ඔහු අප හැර ගියේ ය.