හද බස ජයග්‍රහණය පහසු කරයි | සිළුමිණ

හද බස ජයග්‍රහණය පහසු කරයි

 

පුද්ගලයකුගේ හද බස යනු ඔහුගේ හදවතේ භාෂාව ය. සැබැවින්ම හද බස යනු තමන්ගේ මවු බස ය. ලොව භාවිත වන කවර බසකටත් වඩා හැඟීම් නැමැති රසය ජනිත කරවන්නේ හද බසෙනි. එය අන් බසකින් යම් පමණකට දැනුණද එය වඩාත් හොඳින් විඳ ගැනීමට හැක්කේ මවු බසින් විඳින විට ය. මෙම භාෂා අර්බූදය සංස්කෘතිය සමඟ ආබද්ධවී ඇතැයි සිතා සෙසු ක්ෂේත්‍රවලට ගැටලුවක් නොවේ යැයි සිතන්නට කිසිවකුටත් නොහැකි ය.

කලාව, දේශපාලනය හෝ වෙන යම් විෂයක් පසෙකලා බැලූවද මෙම තත්ත්වය වඩා හොඳින් අවබෝධ කරවන ක්ෂේත්‍රයක් ලෙස ක්‍රීඩාව දැක්වීමට පිළිවන. ක්‍රීඩාව තුළ විභවතා මතුකරගැනීමේ දී එහි න්‍යායාත්මක දැනුම ලබා ගැනීමට විදේශීය විද්වත් ඥානය යොදා ගැනීම පහසුකම ක්‍රමය ය. ඊට විදෙස් දැනුම ලබාගැනීම සිදුවන්නේ දීර්ඝ කාලයක සිට ය. එහෙත් ඉන් ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණවත් ද යන්න දැන් සිතා බැලිය යුතුව තිබේ.

ඉන් නිවැරදිව ප්‍රතිඵල ලබාගත හැකියැයි තර්ක නගන්නෝ මෙම අවස්ථාවේ දී සිය සහයට ඉදිරිපත් කරන ප්‍රමුඛ සංසිද්ධීන් දෙකක් වෙයි. ඉන් පළමු වැන්න 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ ය. දෙවැන්න වනුයේ සුසන්තිකා ජයසිංහ 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ දිනූ රිදී පදක්කම යි. එහෙත් එය අපක්ෂපාතීව නිරීක්ෂණයට ලක් කරන්නේ නම් අපට දක්නට ලැබෙන්නේ ඒ පිටුපස ස්වදේශීය දැනුම උපරිමයට භාවිතවී ඇති බවයි.

උදාහරණයක් වශයෙන් 1996 ලෝක කුසලානය දිනාගැනීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර හට අටක සිට එකම කණ්ඩාමක් ලෙසින් බොහෝ තරග ගණනකට ක්‍රීඩාකර අත්දැකීම් ගොනුකර ගෙන සිටියේ ය. එහිදී ඩේව් වට්මෝර් පුහුණුකරුවා කළේ කණ්ඩායමේ දක්ෂතා නිවැරදි දිශාවකට රැගෙන යාමට අවශ්‍ය ගොනුකිරීම සිදුකිරීම ය. ඊට ඔහු සොයාගත් භෞත චිකිත්සක ඇලෙක්ස් කොන්ටෝරි ප්‍රබල ශක්තියක් විණි. එසේ නැතහොත් එම කණ්ඩායම සමඟ බන්දුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස් වැනි දැවැන්තයෝ යටිතලය ශක්තිමත් කරමින් රැඳී උන් හ.

සුසන්තිකාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ද කිවහැක්කේ එයම ය. වරකාපොළින් ආ සුසන්තිකා අමෙරිකාවට ගොස් ලබාගත් ලොකුම දායාදය ‘සුසී’ වීම ය. ඒ හැරුණු කල ඇයට වේගයෙන් දිවීමේ ජාන සම්පත්තිය නොඅඩුව තිබිණි. දරාගැනීමේ හැකියාව පුහුණුව ඔස්සේ වැඩිදියුණු කෙරිණි. එහිදී මෙරට වේගවත්ම ක්‍රීඩකයන් බිහිකිරීමේ විශිෂ්ට පුහුණුකරුවා ලෙසින් සැලකිය යුතු දිවංගත ඩර්වින් පෙරේරා මහතා ඇයට උපරිම පිටුබලය ලබාදුන්නේ පුහුණු ක්‍රමවේද සකස් කරමිනි. එම පුහුණු උපදෙස් යටතේ ඇය ලෝක ශූරතා මලල ක්‍රීඩා රිදී පදක්කම දිනාගත්තා ය. එහෙත් ඇගේ ඔලිම්පික් රිදී පදක්කමේ ගෞරවය සම්පූර්ණයෙන්ම අත්පත් වූයේ අමෙරිකාවේ ටෝනි කැම්බෙල්ට ය.

අප දකින්නේ මේ සියලු විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගන්නට අවශ්‍ය මූලික පදනම සකස් කර ඉන් ඉදිරියට ඔවුන් රැගෙන ගියේ ස්වදේශීය ඥානය බව ය. තාක්ෂණය අලුතින් විදේශයන්ගෙන් ලබාගත්තාට ඒවා හද බසට පෙරැළා ක්‍රීඩකයන්ට එන්නත් කිරීම ප්‍රතිඵල ලබාගැනීම වේගවත් කරන්නේ යැයි පිළිගැනීමට සිදුවේ. එය වඩාත් හොඳින් තහවුරු කරන්නේ වර්තමාන ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක ශූරතාවයේ දී දක්වන දක්ෂතා සඳහා වැඩිවශයෙන් උපස්ථම්භක වන්නේ මහේල ජයවර්ධනගේ සැලසුම් හා චමින්ද වාස්ගේ පන්දුයැවීමේ උපක්‍රමික හැකියාව බව ය.

මේ සියල්ලෙන් අප කියන්නට යන්නේ හද බස වන මවු බස යොදා ක්‍රීඩක මනස නිවැරදිව උද්දීපනය කරන්නේ නම් ඔවුන්ගේ දක්ෂතා නිසි පරිදි ජයග්‍රහණය උදෙසා එක්කරගන්නට හැකි බව ය. අවශ්‍ය වන්නේ විශිෂ්ට පුහුණුකරුවන් යටතේ දේශීය වශයෙන් වඩා කැපී පෙනෙන පුහුණුකරුවකු ඊට යොදා ගනිමින් කටයුතු කරන්නට උත්සුකවීම ය. එවිට අපට මීට වඩා ජයග්‍රහණ සම්බන්ධයෙන් උදම් ඇනීමට හැකියාව හිමිවනු ඇත.

Comments