හෙළ බස මීයැසියක් කළ දන මුවඟ නාමය රැව් දෙන අරීසෙන් අහුබුදු | සිළුමිණ

හෙළ බස මීයැසියක් කළ දන මුවඟ නාමය රැව් දෙන අරීසෙන් අහුබුදු

 

දිවිසැරිය

උපත - 1920 මාර්තු 18 වැනිදා

නම - දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ

භාවිත නම - අරීසෙන් අහුබුදු

ගම - කොග්ගල මලළගම

පියාගේ නම - තොරෝනිස් දේවමනිමේන්ද්‍ර

මව - ලයිසොහාමි වතුගෙදර

සහෝදරයන් - 2 කි. අමරසේන හා උපසේන

අධ්‍යාපනය - කතළුවේ රජයේ පාසල, හබරාදූවේ අභයදාන විදුහල

උසස් අධ්‍යාපනය - නිට්ටඹුයේ ගුරු ඇබෑසි විදුහල

1936 - කොග්ගල අමද්‍යපාන විදුහලෙහි සිසු ගුරු

මුල්ම පත්වීම - 1937 අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයේ ගුරු

1937 - කුමාරතුංග මුනිදාසයන් හමුවීම

1942 - කීඹියේ රජයේ පාසලට පුහුණුවෙන් පසු ගුරුවරයකු ලෙස පත්වීම

විවාහය- 1953 වසරේ අගෝස්තු 23

බිරියගේ නම- බෙලිදෙණියේ චන්ද්‍රා දේවාලෙගම (භාවිත නාමය - සඳා අහුබුදු)

දරුවන් - 2කි. දුව සමන්ති, පුතු උදම්

 

මුනුපුරු මිනිබිරියන් - 4 කි. මනු, සනු නම් මුනුපුරු දෙ දෙනෙක් හා සඳනි හා හේළි මිනිබිරියන් දෙදෙනෙකි

මී මුනුපුරු මිනිබිරියන් - 2 කි. සෙනු හා සෙනායා ය.

1962 - වසරේ හොඳම පැදි කව ලෙස ‘පරෙවිය‘ සාම අස්නට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබීම

1969 - වසරේ හොඳම පැදි කව ලෙස ‘රස දහර‘ට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබීම

1980 - හඳයා චිත්‍රපටයේ ගී පබැඳුම වෙනුවෙන් සරසවි සම්මානය

1984 - ටවර් හෝල් පදනම මඟින් කලාසූරී සම්මානය පිරිනැමීම

1988 - කලාසූරී සම්මානය ලැබීම

2002 - ජනාධිපති සම්මානය

2009 - වසරේ හොඳම ළමා පොත ලෙස ‘රජ ගොනා‘ ට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබීම

2010 - දේශමාන්‍ය සම්මානය සඳහා ජනාධිපති නිර්දේශය ලැබීම

කෘති සංඛ්‍යාව - 100කට අධිකය

පද්‍ය සංඛ්‍යාව - පනස්දහසකට අධිකය. මුද්‍රිත පැදි ගණන පහළොස්දහසක් පමණ වේ

අභාවය - 2011 මැයි 26

 

 

 

ගඟට දොළට දිය කොහෙන් ද එන්නේ

වලාකුළේ ඉඳලයි එන්නේ

වලාකුළට දිය කොහොමද යන්නේ

අව්වයි දිය බිඳු ඇදගන්නේ

දරුවන්ගේ ලොව විචිත්‍ර ය; නම්‍යශීලී ය; අමු මැටි පිඬන් වන් ළමා මනස ලෝකයට අවැසි ලෙස අඹන්නට ඊට එක්කළ යුතු වෙන්නේ කවරාකාර දේ ද යන්න මේ කවියේ නිමැවුම්කරුවා සාකල්‍යයෙන්ම දැන සිටියේ ය. ළමා ලිවිසැරිය පෝෂණය කිරීමේ ලා ලිහිල් හා සිත්තම් නැඟෙන වදන් භාවිතයේ ලා හේ සුරුවෙක් ලෙස ප්‍රකට වෙන්නේ ඒ නිසා ය. දරුවන්ගේ නම් අරුත්බර නම් වීමේ පදනම සැකසීමේ සිට දොර දොර කියැවෙන නාමයක් වූ අරීසෙන් අහුබුදු නාමය දෙස බස රැස වඩා රස මනස් පොබයනු පිණිස ම උත්පාදනය වූවෙකි. සුවියත් නාම රැසක නිමැවුම්කරුවා වෙන හේ මුව මුව නැඟෙන ආයතන කිහිපයක් නිසා නැවත නැවත ස්මරණය වෙන නාමයෙකි. සෙත්සිරිපාය, සව්සිරිපාය, විසුම්පාය, මිලංකා දර්ශකය, සලාකා, මිහින් ලංකා වැනි නාම තැබූයේ අහුබුදුවන් ය.

අරීසෙන් අහුබුදු සූරීහු දෑහිතකාමියෙකි; දෙස, බස, රැස තෙරුවන සේ සැලකූවෙකි; සාහිත්‍යධරයෙකි; බස පිරිසිඳ දත් පඬිරුවනෙකි; මහ වියරණ ඇදුරෙකි; හෙළයේ යටගියාව වත්මනට ගෙනා ඉතිහාසඥයෙකි; ජ්‍යොතිෂඥයෙකි; ප්‍රතිභාන්විත කවියෙකි; සමාජ ශෝධකයෙකි; විශිෂ්ටතම ගීත ප්‍රබන්ධකයෙකි. මේ සියලු ක්ෂේත්‍රවල හේ දැක්වූ ප්‍රතිභාව ජනසමාජයේ වියත් සංවාදවලට ලක්වූ අතර, ගීත සාහිත්‍යයේ පර්යේෂණ භූමිකාව වෙසෙසි ව වැදගත් ය. අහුබුදුවන් නිවැරදි ව හා නිරවුල් ව බස භාවිත කරන්නේ ප්‍රකාශන ශක්තිය පෝෂණය කිරීමේ අරමුණිනි. සියුම් අදහස්‌ හා හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා අලුත් වාගුක්‌ති, අලුත් යෙදුම්, අහුබුදුවෝ නිරතුරු ව භාවිත කරති. මෙහි දී ජනවහර, කටවහර හා සේ වහර ද අලුත් භාෂාත්මක පරිසර තුළ යොදා කරන අත්හදා බැලීම් විමර්ශනයට පාත්‍ර විය යුත්තකි.

1920 මාර්තු 18 වැනිදා ජන්මලාභය ලබන අරීසෙන් අහුබුදුගේ පියා වන්නේ තොරෝනිස් දේවමනිමේන්ද්‍ර ය; මව නමින් ලයිසොහාමි වතුගෙදර ය. මාර්ටින් වික්‍රමසිංහයන්ට ජන්ම ලාභය දුන් කොග්ගල මලළගම දී ම උපත ලද ඔහුගේ උප්පැන්න සහතිකයේ ලද නාමය වන්නේ දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ ය. හේ සිය ළමා දිවිය ගෙවූයේ සිය මුත්තණුවන් වූ සලමන් වතුගෙදර ඇසුරෙහි ය. ගැමි උගතකු වූ මුත්තණුවන් වෙතින් ඇසූ කවි, කතා, සිලෝ ආදිය ඔහුන් ගේ පසු කල සාහිත නිමැවුම්වලට බෙහෙවින් පිටු බල සැපැයී ය. උපන් ගම වූ කොග්ගල මලළගම එ කල පැවැති ගැමි පරිසරයත් ජන කලා නැඹුරුවත් ළමා ආශුබෝධයන් ගේ රස හැඟුම් පිබිදැ වූයේ ය. බොරලැස්ගමුවේ රත්තණපිටියේ වෙදැදුරු වූ ඔහුගේ වැඩිමල් සොහොයුරා අමරසේන ආශුතෝෂ නම් වෙයි. බාල සොහොයුරු උපසේන බාල කලදී ම දිවි හැර ගියේ ය. 1927 දී කතළුවේ රජයේ පාසලට ඇතුළු කැරුණු ආර්යසේන ආශුබෝධයෝ 1934 තෙක් එහි ඉගැනීම ලද හ. 1934 දී පාසල් හැරයෑමේ සහතික පත් විභාගයෙන් ඔවුනට පළමු පෙළේ සමත් බව හිමි විය. ඉක්බිති ව හබරාදූවේ අභයදාන විදුහලට 1935 දී ඇතුළත් වූ ඔහු එයින් ප්‍රාරම්භ සහතිකය ලබා 1937 දී කොග්ගල අමද්‍යපාන බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වැ ගුරු සහතිකය ලද හ. 1939 දී නිට්ටඹුයේ ගුරු ඇබෑසි විදුහලට ඇතුළත් වූ ආශුබෝධයෝ 1942 දී පුහුණු ගුරුවරයකු ලෙස එයින් පිට වූ හ. වසර 40කට අධික කාලයක් එතුමා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ සේවය කළේය. තිස් තුන් වැනි වියෙහිදී එනම් 1953 වසරේ අගෝස්තු 23 වැනි දින බෙලිදෙණියේ චන්ද්‍රා දේවාලෙගම සමඟ විවාපත් වෙන ඔහුට දරුවන් දෙදෙනෙකි. ඒ දියණිය සමන්ති හා පුතු උදම් ලෙසිනි. මනු, සනු නම් මුනුපුරු දෙ දෙනෙක් හා සඳනි හා හේළි නමින් මිනිබිරියන් දෙදෙනෙක් ඔවුනට සිටින අතර, ඔවුනගේ මී මුනුපුරු මිනිබිරියන් වන්නේ සෙනු හා සෙනායා ය.

1944 කුමාරතුංග මුනිදාසයන් විසින් හෙළ හවුල ඇරැඹූ මොහොතේ සිට දිවමන් වෙනතාක් ම හෙළ හවුලත් සිය දිවියත් අහුබුදුවන්ට එකක් මැ වී ය. කුමාරතුංග මුනිදාස, ජයන්ත වීරසේකර, රැයිපියෙල් තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු මෙන්ම සිය ගුරු වූ වෙල්ලාල ජයමහ වැනි දෙටු සුබැසි වියතුන් ඇසුරෙහි කල් ගෙවූ අහුබුදුවෝ හෙළ හවුලෙහි අටවැනි නයුවාණෝ වෙති.

අහුබුදුවන් ඇසුරේ බිහි වූ කෘති රාශියකි. දෙස බස රැස තෙරුවන සේ ගුරු කොට හෙළ දැයේ අබිමන වෙනුවෙන් බිහි කළ මේ නිර්මාණ රැස සරු බසක් සහිත සරු බිමක සරු පරම්පරාවක් ගොඩනැංවීමේ ආධ්‍යාශයෙන් ම නිමැවුවෙකි.

වෙසක් පඬුර (1938), කව් මඟ (1944), හදිය (1945), ඔවය (1948), අඩුව (1952), රස නිදසුන (1960), ග‍ඟේ ගිය මිණ (1962), දනවත් වීමේ මඟ (1962), පරෙවිය සාම අස්න (1962), රස දහර (1969), බෝ පුද (1982), කඳදෙව් උපත (1983), බුද්ධ වංසය (1984), සිංහල වංස කතාව (1985), සෙත් වතුර (1985) ආදි රස පිපාසා නිවන මිහිර පිරි කවි පොත්ද, වෙට්ටපිත්තලය හා පෙරැළිය (1945), හෙළ හැතිරිය (1952), රාජ යෝගය - රිදී රේඛාව (1987) ආදි නළුද, අලවු විනය (1952), පරෙවිය (1963), අබිනික්මන (1965), මඟුලේ මඟුල (1968), ඇසළ සඳ (1969), බලාපොරොත්තු (1972), සීගිරි හබය (1967) ආදි ඉඟි නළුද, අතු අගැ දිලි වන මල් (1987), සක්විති කිත් රැස (2013 - වියොවින් පසු පළ කැරැවිණි) ආදි ගීත රස මංජුසාද රසවතුනට තිළිණ කළ අරීසෙන් අහුබුදු සූරීහු, කුමරතුඟු ඇසුර (1957), කිවිසුරු පවත (1964), මිතුරු වියොව (1965) යන අනගි සිරිත්ද, කතන්දර පොත් 23ක්ද, සිප් වදන් සැකැසුම්, වියරණ, සඟරා ආදී හෙළ දැය දැනුම්වත් කරන්නා වූ සරු ගත් රැසක් ඒ අනුව දැයට දායාද විණි.

එඩිය, සුබස, ශිෂ්‍යෝපකාරය හා සංවර ඈ සඟරා කිහිපයෙක ම අහුබුදුවෝ සකසූවෝ වූ හ. හෙළ දිව මුල් ම ළමා සඟරාව වූ එඩිය අහුබුදුවන් සැකැසුවේ මිහිඳු විදුහලේ උගන්වන සමයෙහි ය. ඉංගිරිසි හා හෙළ දෙ බසින් පළවූ 'සංවර' සඟරාව සිය දිවි අවසන තෙක් ම අහුබුදුවෝ සැකැසූහ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සන්නිවේදකයකු වූ අහුබුදුවෝ මෙකී නිර්මාණ ඔස්සේ දේශීය චින්තනය අවදි කිරීමේ ලා සුවිසෙස් බලපෑමක් කිරීමට සමත් වූහ. කුමරතුඟුවන්ගේ ආභාසය ලැබ තමාටම ආවේණික භාෂාත්මක රීතියක්‌ මෙන් ම විශේෂිත ශෛලියක්‌ ද ගොඩනඟා ගැනීමට අහුබුදුවෝ සමත් වූහ. ඔහුගේ රීතිය හා රිද්මය අප දර්ශනයට හා සංස්‌කෘතියට ද අනුරූප ව ඊට වඩාත් හැඩයක් එක් කරමින් සකස්‌ වූවකි. සිය භාෂා රීතිය ඔස්සේ ගේය කාව්‍ය රීතිය වඩාත් ඔප මට්ටම් කළ හේ පද, පද සංඝටන විධි හා පද සංයෝජන රටා මඟින් තම රීතිය රිද්මය හා ශෛලිය ද ගොඩනඟා ගත්තේ ය. ඔහු එකී ක්ෂේත්‍රයේ කළ පර්යේෂණ යුග යුග ගණන් තිස්සේ සම්භාවනාවට පාත්‍ර වන්නකි. නිරවුල් ව්‍යාකරණානුකූල බස, සම්භාව්‍ය සාහිත්‍යයේ ඇසුර, නිසර්ග සිද්ධ කවිත්වය ඔහුගේ ගේය කාව්‍යයේ ඉෂ්ට සිද්ධ සලකුණු ය. අහුබුදුවන් පද්‍ය චින්තාවලියේ රිද්මීය ගැඹුර ගැන සමාජගත කළ මතවාදය ගීයක පද මාලා සාහිත්‍යයක් ගොඩනැඟීමේ ලා උපස්ථම්භක විය.

මල්ගොමු ගුමු ගුමු ගන්වන්නී

මී වදවලැ පැණි පුරවන්නී

කුරුලු සරින් කන් පිනවන්නී

මුළු ලොව උයනක්‌ කරවන්නී....

 

අමරදේවයන්ගේ සුගායනීය හඬට පෙර පදවල ඇති මාධූර්යය රිද්මීය ආත්මීයභාවයක් අපට ඇති කරයි. මේසා මීබිඳු වැනි මාධූර්යයක් මේ වදන් අතර ආලේප කරන්නට කෙතරම් භාෂා නෛපුණ්‍ය බවක් තිබෙන්නට ඇත් ද යන්නට මේ පද සාක්ෂි සපයයි. අර්ථය ගලා යන බවත් ශබ්දය අතරමඟ නවතින බවත් චීන කියමනක සඳහන් වේ. අහුබුදුවන්ගේ ගී නිර්මාණ සාහිත්‍ය ඇසුරේ එය සනාතනයකි. ඒවායේ අර්ථය යුග යුග ගණන් තිස්සේ මුව මුව රාව නංවන්නේ ය. ප්‍රේමකුමාර එපිටවෙලගේ ‘පරෙවිය‘ ඉඟි නළු වේ සාම අස්න රැගෙන අමෙරිකාව බලා යන පරෙවියා යන අතරමඟ අප්‍රිකා චීන අහස් කුස තරණය කරයි. පරෙවියා චීන අහසේ පියාසර කරද්දී ගැයෙන ගීය අරුම ගීයකි. චීන ගීයක් සේ ඇසෙන ඒ ගීතය ලියැවෙන්නේ පිරිසුදු හෙළ බසෙනි. එහෙත් ඇසෙන්නේ චීන ගීයක් ලෙසිනි. මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන පරිදි මේ නම් බස් පෙළහරකි. භාෂා විශාරදයකු අත භාෂාව සුමට මැටි පිඬක් වන්නේ තම අවැසි පමණින් එය විවිධාකාරයෙන් යොදා ගනිමිනි.

 

‍ලෝකෙන් ජන බලයෙන් වැඩි බිම් නම්

චීනුන්ගේ වෙයි මා බිම් මවු බිම්

පීකිං, නැංකිං, ක්වාතුං, ෂැංහයි...

මේ වන් පුර අන් කොයි වෙයි දෝ, හොයි...

හෝවැංහෝ, යැංසිකියැං, සිකියැං ගං

චීනේ ගොයියන්නේ දෙයියන් වන්

මාඕ සේතුං, චූ එන්ලායි තුම්

නාවන් සන්දයි චීනුන් නැංගේ...

 

ඔහු අත ගේය කාව්‍ය සාහිත්‍යය නිරන්තර පර්යේෂණාත්මක කාර්යයකි. නව පරිසරයක් ඇතුළත පවා හේ මෙලෙස පළපුරුදු බවක් නිරායාසයෙන් ඇති කරගන්නේ එපැරිද්දෙනි. සියුම් අදහස්‌ හා හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා අලුත් වාගුක්‌ති, අලුත් යෙදුම්, අහුබුදුවෝ නිරතුරු ව භාවිත කරති. මෙහි දී ජනවහර හා කටවහර ද අලුත් භාෂාත්මක පරිසර ඇතුළත යොදා කරන අත්හදා බැලීම් ද විශ්මයජනක ය. හෙළ හවුලේ භාෂා රීතිය පොදු ජනයා අතරට ගෙන යෑමේ ලා උපස්ථම්භක මෙහෙයක් කරන්නන් අත ප්‍රමුඛයකු වන්නේ අහුබුදුවන් ය. සන්දේශය චිත්‍රපටයට ඔහු ලියූ ප්‍රතිකාල් සෙබළුන් ගේ මුවින් ගැයෙන 'පුරුතුගීසිකාරයා' නමැති ගීතය මේ සඳහා මනා නිදර්ශනයකි.

ඔහු ට ස්වකීය ජීවිත කාලය පුරාම සද්ගුණවත් මිතුරෝ හමු වූහ. ඒ අයට අහුබුදු නිවෙස පිට නිවෙසක් වූයේ නැත. සද්ජන ඇසුර තරම් ජීවිතයේ අන් සැපතක් නැත. අහුබුදුවන්ට එය නොඅඩුව තිබිණි. අලවු ඉසි සැබිහෙළ, ගුණපාල සේනාදීර, හියුබත් දිසානායක, වෙ.වි. අභයගුණවර්ධන, ශ්‍රී චාල්ස් ද සිල්වා, අ.දො. චන්ද්‍රසේකර, සඳදස් කෝපරහේවා, සවිමන් ගුණතිලක, දො.දෙ. මොහොට්ටි වැනි විද්වත්හු, භාෂා ප්‍රේමීහු ඔහු දිවිමඟ නිරන්තර සුමුදු කළ වූවෝ වූහ.

දනඟ රැව් දෙන නාමයක් වීම පහසු නොවේ. භාෂා පඬිවරයකු ලෙස හෙළ හවුල සිය දිවි මෙන් රැකි සුලවතකුගේ සුවිසල් දායකත්වය භාෂා ක්ෂේත්‍රයේ ලකුණකි. අරුත් සුන් නාමකරණය ඔහුගේ මැදිහත්වීමෙන් නව වියත් මඟකට පිළිපන්නේ ය. පුරුද්දා භාෂා මිශ්‍ර කරන නාමකරණයක් වෙනුවට ඔහු සිදත් මඟක් හඳුන්වා දීම ලොකු කුඩා සැමට අනන්‍යතාවක් සහිත නමක් ලැබීමට හේතු විය. මුවඟ රැව් දෙන නමක් අමරණීය ය. එය බලෙන් ලබා ගත හැක්කක් නොවේ. අමරණීය හා ආදරණීය නමක් තබා නික්ම ගිය අරීසෙන් අහුබුදුවෝ තව පරම්පරා ගණනකට වැඩ ඉෂ්ට සිද්ධ කළෝ ය.

 

Comments