ෙපාත් පුවත් | සිළුමිණ

ෙපාත් පුවත්

•කෘතිය- ඉඩම් සංවර්ධන ආඥා පනත

පිළිබඳ සටහන් කිහිපයක්

කර්තෘ- නීතිඥ සංජය කොඩිතුවක්කු

ප්‍රකාශක- විජිත යාපා පොත්හල

විමසීම්- 077-3624117

මිල - රු 700/ (සිංහල) රු 1,250 (ඉංග්‍රීසි)

 

නීතිඥ සංජය කොඩිතුවක්කු විසින් රචිත මෙම කෘතියෙන් ඉඩම් සංවර්ධන ආඥා පනතේ නෛතික ප්‍රතිපාදන පිළිබඳ විවරණයක් සහ එකී නෛතික ප්‍රතිපාදන සම්බන්ධව ඉහළ අධිකරණවලින් ලබාදුන් නඩු තීන්දු රැසක් සාකච්ඡා කොට ඇත.

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අධිකරණවලදී නිරන්තරයෙන් විවාදයට ගැනෙන ප්‍රතිපාදන සම්බන්ධ කෙටි විවරණයක් සහ එකී නෛතික ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඉහළ අධිකරණයන් විසින් ලබාදෙන නඩු තීන්දු රැසක් පිළිබඳව මෙම කෘතිය තුළින් සාකච්ඡා කර ඇත. නීතිඥවරුන්ට, නීති සිසුන්ට මෙන්ම රජයේ ඉඩම් නීතිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම අයකුට මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. සිංහල බසින් මෙන්ම ඉංග්‍රීසි බසින් රචිත කෘතිය ද නිකුත් කර ඇති අතර ඉංග්‍රීසි කෘතියේ මිල රුපියල් 1250කි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියකු වන නීතිඥ සංජය කොඩිතුවක්කු, දැනට මූලික වශයෙන් දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිවිල් නඩු මෙහෙයවන නිතිඥයකු ලෙස කටයුතු කරයි.

වසර 20ක නීති වෘත්තිය තුළ සිංහල හා ඉංග්‍රීසි බසින් නීති සංග්‍රහ ගණනාවකට ලිපි සම්පාදනය කර ඇති නීතිඥ සංජය කොඩිතුවක්කු නීතිඥවරුන් මෙන්ම රජයේ නිලධාරින් සඳහා දේශන සහ වැඩමුළු රැසක් ද පවත්වා ඇත.

 

•කෘතිය- බල කාම

කර්තෘ - දර්ශන එරංග

ප්‍රකාශක - සුරස ප්‍රකාශන

මිල - 475/ පිටු ගණන - 216

විමසීම්- 077 2092437

 

මෙය යොවුන් මාධ්‍ය‍‌ෙව්දී දර්ශන එරංග විසින් රචිත කුලුඳුල් නවකතාවයි.

බලය සහ කාමය අරමුණු කරගත් මිනිසා ඒ හේතුවෙන් මුහුණ දෙන චෛතසික හා සමාජයීය ගැටුම්වලින් අංශු මාත්‍රයක් ගැන විවරණය කිරීමට කතුවරයා මේ කෘතිය තුළින් උත්සාහ දරා ඇත.

එහෙත් එම අංශුමාත්‍රය තුළ යථා ලෝකයේ අප බොහෝදෙනකු නොදකින සමස්ත චිත්‍රයම වුවත් දැකගැනීමට පාඨකයාට අවස්ථාව ඇත.

 

 

•කෘතිය- ඉරි සහ තවත් ඉරි

කර්තෘ- සුනිල් එස්. සිරිසේන

ප්‍රකාශක- අගහස් ප්‍රකාශකයෝ

මිල - 250/ පිටු ගණන-80

විමසීම්- 071-4535333

 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ සුනිල් එස්. සිරිසේන විසින් රචිත මෙම කාව්‍ය සංග්‍රහය නිදහස්, සඳැස් යන කවි ආර දෙකම භාවිත කර නිර්මාණ කළ කවි 46කින් සමන්විතය.

මෙය ප්‍රකාශයට පත්කළ කතුවරයාගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය වුවත් ඔහු දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණකරණයේ යෙදී සිටී.

කෘතියට පසුවදනක් සපයමින් ප්‍රවීණ නිර්මාණවේදී කපිල කුමාර කාලිංගයන් පවසන්නේ දක්ෂ පළපුරුදු පරිපාලන නිලධාරියකු වන කතුවරයා විසින් රචිත මෙම කෘතිය ඔහුගේ ජීවන දැක්මේ පිළිබිඹුවක් වන බවයි. එමෙන්ම එය ඔහු සහ සමීප සහෘදයන්ගේ ද පීවිත පරිඥානය පුළුල් කරවන සුළු බවය.

 

 

•කෘතිය - පූජාවක් දෝ

කර්තෘ - උදේශිකා සඳමාලි අල්විස්

කතෘ ප්‍රකාශනයකි

මිල - 720/ පිටු ගණන- 252

විමසීම් - 076- 7597696

 

යොවුන් ලේඛිකා උදේශිකා සඳමාලි විසින් රචිත දෙවැනි නවකතාවයි.

පියා අහිමි අංශභාග රෝග තත්ත්වයෙන් පසුවන මවක් සමඟ ජීවත් වන සහේලි නම් යුවතියක් විවාහයෙන් පසුව මුහුණ දෙන අපූරු සිදුවීම් පෙළක් ඔස්සේ මෙම නවකතාව විකාශනය වේ.

ගුප්ත ඇදහිලි සහ මිත්‍යා විශ්වාස මත එල්බ ගනිමින් ජීවත් වන සැමියාගේ මව නිසා ඇයට මුහුණ දෙන්නට සිදුවන ත්‍රාසය, කුතුහලය මුසු සිදුවීම් පෙළක් මෙන්ම ආදරය, බැඳීම් සහ කැපකිරීම් හමුවේ ජීවිතය ගෙන යන අයුරු කියැවෙන මෙම නවකතාව සරල බස් වහරකින් ලියා ඇත.

Comments