හැම විදුතැන් දැන හැම තැන් විය පසිඳූ | සිළුමිණ

හැම විදුතැන් දැන හැම තැන් විය පසිඳූ

 

වීසීලා පීසීලා වන අවස්ථා සුලබ වුවත් පීසී කෙනෙකු වීසී කෙනෙකු වූයේ එකම එක අවවස්ථාවක පමණි. ඒ පොලිස් කොස්තාපල් සිරිමල් රණවැල්ල උපකුලපති සිරිමල් රණවැල්ල බවට පත් වීමෙනි. මහාචාර්ය සිරිමල් රණවැල්ල ජන්ම ශත සංවත්සරය මේ වසරේ (2021) සැප්තැම්බර් 16 වෙනි දිනට යෙදී තිබිණි. මෙයින් සිය වසකට පෙර 1921 දී එතුමන්ගේ උපත සිදු වූයේ ගාල්ලට නුදුරු කොග්ගලදීය. 2020 දෙසැම්බර් 26 වෙනි දින එතුමන් අභාවයට පත්වූයේ අනූ නව වෙනි විය සපුරා සපුරා සිටියදීය. එළඹෙන දෙසැම්බරයේ යෙදෙන්නේ ප්‍රථම මෘත සංවත්සරයයි.

මිනිසුන්ගේ උපත, පවත, විපත නියත ලෝ දහමකි. එබැවින් විපත ගැන අප සසල විය යුතු නැත. එසේ වුවද පෙනෙන තෙක් මානයක නික්ම ගිය තැනැත්තාගේ ඡායාවක් තරම් දෙයක් වත් බිහි වන බවට ලකුණක් නැති රටක ශ්‍රේෂ්ඨයන්ගේ නික්ම යාම මහත් සංවේග දනවයි. මහාචාර්ය සිරිමල් රණවැල්ල ඉතිහාසඥයකු මතු නොව අභිලේඛන විෂයයෙහිද ප්‍රාමාණිකයෙකි‍‍; අභිලේඛන හා පුරාක්ෂර විද්‍යාව විෂයයෙහි ලංකාවේ පහළ වූ විබුධයන් සිවු දෙනාගෙන් කෙනෙකි. පළමුවැන්නා ආචාර්ය ඩී. ඇම්. ද ඉසෙඩ්. වික්‍රමසිංහය; දෙවැන්නා මහාචාර්ය සෙනරත් පරණවිතානය; තෙවැන්නා මහාචාර්ය පී. ඊ. ඊ. ප්‍රනාන්දුය; සිවු වැන්නා හා අවසානයා මහාචාර්ය සිරිමල් රණවැල්ලය.

මහාචාර්ය සිරිමල් රණවැල්ල ඉතිහාසය විෂයයෙහි සහ අභිලේඛන විෂයයෙහි විබුධයකු බවට පත් වූයේ දහසකුත් එකක් බාධක සහ අභියෝග අබිමුව නොසැලෙන අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමෙනි. රණවැල්ල පවුල එදවස මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සිරිමල්ට වයස අවුරුද්ද සම්පූර්ණ වන විට හදා වඩා ගැනීම සඳහා රොස්ලින් අමරසිංහ නම් වූ නැන්දණියන්ගේ රැකවරණයට පත් කෙරිණ. නැන්දණියන්ගේ නිවසේ සිට ආසන්නයේ පිහිටි උණවටුන මිශ්‍ර බෞද්ධ පාඨශාලාවට ගොස් සත් වන ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලැබූ සිරිමල් යෞවනයා ආර්ථික දුෂ්කරතා ජය ගැනීම සඳහා ජීවිකා වෘත්තියක නියැළීමට අදහස් කෙළේ බළංගොඩ ව්‍යාපාර කටයුතුවල නියැළුණු මාමා කෙනෙකුට අයත් ව්‍යාපාරික ස්ථානයේ ලිපිකරුවකු ලෙස කෙටි කලක් ගත කළේය. 1944 වර්ෂයේදී ඔහුට කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට ඇතුළත් වීමට ඉඩ සැලසිණි. මුල් පත්වීම ලැබුණේ කොළඹ කුරුඳුවත්ත පොලිස් ස්ථානයටය. එහි දූරකථන ක්‍රියාකරු ලෙස කටයුතු කළ සිරිමල් තරුණයාට අතරමග නතර වුණු අධ්‍යාපනය නැවත ඇරඹීමේ අදහසක් පහළ වූයේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ සිට දිනක් සේවා ලැගුම්හල කරා තර්ස්ටන් පාර ඔස්සේ ඇවිද යන විට තමා සමඟ පාසලේ එක පන්තියේ සිටි මිතුරකු හමු වීමෙනි. ඒ මිතුරා ඒ වන විට කොළඹ ලංකා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි එඩ්වින් ආරියදාස යි. මිතුරා අහම්බෙන් හමු වීමෙන් තව දුරටත් අධ්‍යාපනය ලැබ විශ්වවිද්‍යාලයට පිවිසීමට ඇත්නම් යන සිතුවිල්ල සිරිමල්ගේ සිතේ පැලපදියම් විය.

කුරුඳුවත්ත පොලීසියේ වසර පහක් පමණ සේවය කළ මේ තරුණ කොස්තාපල්වරයාට බම්බලපිටිය පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලැබිණ. ස්ථානාධිපතිවරයාගේ ලිපිකරු ලෙස රාජකාරී වගකීම් පැවරුණු බැවින් එය තම ඉදිරි අධ්‍යාපන අරමුණු සපුරා ගැනීමට කදිම තෝතැන්නක් විය. බම්බලපිටිය පොලිස් ස්ථානයේ රැකියාවේ නිරත වන අතරේම වැඩිදුර අධ්‍යාපනය පිළිබඳ තම අදහස මස්තකප්‍රාප්ත කර ගනු වස් කොළඹ බගතලේ පාරේ පිහිටි හාවර්ඩ් අධ්‍යාපන ආයතනයට බැඳී ජ්‍යේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගට පෙනී සිටි සිරිමල් 1950 වර්ෂයේදී සාර්ථක ලෙස විභාග කඩඉම තරණය කිරීමට සමත් විය. ඒ අධ්‍යාපන ආයතනයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශ විභායට පෙනී සිට 1952 වර්ෂයේ ඉන් උත්තීර්ණව 1953 වර්ෂයේදී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සිරිමල්ගේ නොපසුබස්නා වීර්යය මග පෑදීය. වැඩි පිරිසක් විද්‍යාර්ථින් විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ විසි වයසේදී වුවත් සිරිමල් විශ්වවිද්‍යාලයට පිවිසෙන විට වයස අවුරුදු තිස් දෙකක් විය. පේරාදෙණියේ සහෝදර විද්‍යාර්ථින් සිරිමල් ඇමතුවේ ‘රාලහාමි’ නමිනි. ප්‍රථම වර්ෂාවසානයේ පැවැත්වෙන සාමාන්‍ය කලා යෝග්‍යතා පරීක්ෂණයෙන් ලද සාමර්ථ්‍යය අනුව ඉතිහාසය විෂයයෙන් විශේෂ උපාධි පාඨමාලාව හැදෑරීමට සිරිමල්ට වරම් ලැබිණ. අවසාන පරීක්ෂණයෙන් දෙවන පෙළ ඉහළ සාමර්ථ්‍යයක් සහිතව උපාධිය හිමි කර ගත් සිරිමල් 1957 වර්ෂයේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උපගුරුවරයකු ලෙස වෙනත් වෘත්තීය මාර්ගයකට අවතීර්ණ විය.

අභිනවයෙන් ආරම්භ කෙරුණු සිංහල විශ්වකෝෂ කාර්යාලය මේ කාලය වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කොට තිබිණ. විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවිය හොබවන ලද්දේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි විසිනි. පක්ෂපාතකම්වලින් සහ අගතියෙන් තොර වූ මහාචාර්ය හෙට්ටිආරච්චි විවිධ ගුරුකුල සම්ප්‍රදායන්ට අයත් විද්වතුන්ගේ සේවය විශ්වකෝෂයට ලබා ගැනීමට තරම් දූරදර්ශී මනසකින් යුත් ශාස්ත්‍රඥයෙක් විය. 1958 වර්ෂයේදී සිරිමල් රණවැල්ල තරුණ විද්වතා සිංහල විශ්වකෝෂයට සහාය සංස්කාරකවරයකු ලෙස බඳවා ගැනිණ. ඉතිහාසය විෂය සම්බන්ධයෙන් ලිපි සිය ගණනක් සිරිමල් රණවැල්ල අතින් විශ්වකෝෂයට සම්පාදනය කෙරිණ. මේ අතරතුර කාලයේ අභිනවයෙන් ස්ථාපනය කෙරුණු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාය පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ කීර්තිමත් ශාස්ත්‍රඥයකු වූ හේමචන්ද්‍ර රාය විද්වතාය.

ඉතිහාය විෂයයෙහි කුශාග්‍ර බුද්ධි පාඨවයක් ප්‍රකට කළ ස්වකීය ශිෂ්‍ය සිරිමල් රණවැල්ල 1959 වර්ෂයේදී විද්‍යාලංකාර විශ්වවිද්‍යායේ ඉතිහාස අධ්‍යයනාංශයේ සහාය කථිකාචාර්ය තනතුරට බඳවා ගැනීමට මහාචාර්ය රාය කටයුතු‍ කෙළේය. 1964 වර්ෂයේදී පශ්චාද් උපාධි අධ්‍යයනය සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයට බැඳුණු සිරිමල් රණවැල්ල A Political History of Ruhuna මැයෙන් යුත් පර්යේෂණ නිබන්ධය ලන්ඩන් විශ්වවිද්‍යාලයට සමර්පණය කොට 1966 වර්ෂයේදී දර්ශනසූරී (Ph.D) උපාධිය උත්තීර්ණ විය. පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කළ ආචාර්ය සිරිමල් රණවැල්ල 1978 වර්ෂය තෙක් කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සේවය කෙළේය. 1978 වර්ෂයේ අභිනවයෙන් ස්ථාපනය කෙරුණු රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත් කෙරුණු සිරිමල් රණවැල්ල දශකයක් තිස්සේ ඉතිහාස අධ්‍යයනාංශ ප්‍රධාන, ශාස්ත්‍ර පීඨාධිපති, වැඩබලන උපකුලපති තනතුරු හොබවා 1989 වර්ෂයේ විශ්වවිද්‍යාල සේවයෙන් ඉසිඹු ලැබීය. එතුමන් වැඩබලන උපකුලපති පදවිය උසුලන ලද්දේ මුළු රටම භීෂණයෙන් ඇලළී ගිය 1988-1989 කාල වකවානුවේදීය.

එසමයෙහි ආරක්ෂක අංශවල ග්‍රහණයට පත් වූ විද්‍යාර්ථින්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කිරීමට එතුමන් කටයුතු කිරීම නිසා තරුණ විද්‍යාර්ථීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට හැකි විය. විශ්වවිද්‍යාලයේ විවිධ පරිපාලන තනතුරු හෙබවුවද ශාස්ත්‍රීය භූමිකාවෙන් මොහොතකටවත් බැහැර නොවුණු මහාචාර්ය සිරිමල් රණවැල්ල අතින් ඉතිහාස අධ්‍යයනය සහ අභිලේඛන යන විෂය ක්ෂේත්‍රවලට ඉටු වූයේ අමිල මෙහෙයකි. එකී ශාස්ත්‍රීය මෙහෙය විශ්වවිද්‍යාල සේවයෙන් ඉසිඹු ලද පසුවද ජීවිතයේ අවසාන කාලය තෙක්ම අඛණ්ඩව ඉටු කිරීම තවද විශේෂත්වයකි.

මහාචාර්ය පරණවිතාන විසින් ආරම්භ කරන ලද ලක්දිව ශිලාලේඛන සංහිතාව සම්පූර්ණ කිරීමේ වගකීම් සම්භාරය සිය උර මතට ගත් මහාචාර්ය රණවැල්ල අනුරාධපුර සමයේ අවසානයෙහි සිට කෝට්ටේ රාජධානි සමය තෙක් කාලයට අයත් සෙල් ලිපි කාලානුක්‍රමිකව පළ කිරීමේ වගකීම ඉටු කළේ ඒ මහා විෂයයේ සදාතනික ගෞරවයද සුරක්ෂිත කරමිනි.

ජීවිතයේ අවසන් කාලයේදී තමන් සන්තකව පැවති ග්‍රන්ථ සම්භාරය රුහුණ විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කිරීමට තරම් මහාචාර්ය රණවැල්ල කෘතවේදී වුවද ඒ් මහාර්ඝ සම්පත මේ වන තෙක් විශ්වවිද්‍යාලයීය පුස්තකාලයට නොලැබීම ඛේදයකි.

Comments