හදවත් රෝගීන් රැසකට ජීවිතය දුන් විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක | සිළුමිණ

හදවත් රෝගීන් රැසකට ජීවිතය දුන් විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක

 

මහනුවර ත්‍රිත්ව (ටිනිටි) විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනීම ලැබූ දහතර හැවිරිදි ශිෂ්‍යයෙක්, පන්තියේ එකට ඉගෙන ගත් තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ එක්ව අතින් ලියූ සඟරාවක් සංස්කරණය කළහ. සඟරාවේ නම “ජාතික ජීවය“ ය. සඟරාවේ එක සංස්කාරකවරයෙක් වූයේ අ. සමරනායක ය. අනිත් සම සංස්කාරකවරුන් දෙදෙනා වූයේ රු. අ. ඉ. ඒකනායක හා ජ. ල. ශ. ප්‍රනාන්දු යන ශිෂ්‍යයන් ය. සමරනායකගේ පැහැදිලි ලස්සන අත් අකුරින් මේ සඟරාවේ හැම ලිපියක් ම ලියා තිබුණි. කවුද මේ සංස්කාරකවරු? තිදෙනාගෙන් දෙදෙනෙක් පසු කලෙක ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ද වෛද්‍ය ක්ෂේත්‍රයේ ද දැවැන්තයෝ වූහ.

 

අ. සමරනායක හෙවත් අජිත් සමරනායක “ඩේලිනිවුස්“, “දි අයිලන්ඩ්“ පත්‍රවල ප්‍රධාන කර්තෘවරයා ලෙස ද, කලා විචාරකයකු ද වූ ප්‍රවීණ මාධ්‍යවේදියකුව සිට අකල් හි වියෝ විය. අනිත් සම සංස්කාරකවරයා වූයේ රු. අ. ඉ. ඒකනායක හෙවත් අජේය ඉලංකෝන් ඒකනායක ය. රුවන් ඒකනායක නමින් ප්‍රකට ඔහු ජ්‍යෙෂ්ඨ හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයා ය. අනිත් සම සංස්කාරකවරයා වූ හවින්ද්‍රනාත් ප්‍රනාන්දු පසු කලෙක ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිව සිට තායිලන්ත රැජිනියගෙන් සම්මාන ලැබූ ඔහු විශ්‍රාම සුවයෙන් පසුවෙයි.

අජිත් හා රුවන් ත්‍රිත්ව විද්‍යාලයේ කුමාරතුංග මුනිදාසයන්ගේ හෙළ බස් ආරට නැඹුරු වූ ශිෂ්‍යයන් වූහ. ‘ජාතික ජීවය‘ නම් අතින් ලියා සුසින් අතින් අතට ගිය මේ සඟරාව විදුහල්පතිතුමා හා ගුරු භවතුන්ගේ ප්‍රශංසාවට බඳුන් වූහ. වාර ප්‍රකාශන කලාප හතක් මේ සඟරාව නිකුත් වී ඇත. රුවන් ඒකනායක විසින් කෙටිකතා, විද්‍යා ලිපි, ජාත්‍යාලය කවි, ග්‍රන්ථ විචාර, භාෂාව ගැන ලිපි හා ප්‍රහේළිකා ආදිය ලියූ බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් ලියූ ‘වෙද රුවන් වත‘ නම් නූතන වෛද්‍යවරයකුගේ අතීතාවර්ජන හා ප්‍රත්‍යවේෂණ ඇතුළත් සංවාදාත්මක අපදාන කෘතියේ සඳහන් කර ඇත.

‘ජාතික ජීවය‘ සඟරාවට දහහතර හැවිරිදි රුවන් ඒකනායක ශිෂ්‍යයා විසින් 1968 දී ලියූ ලිපි අතර “රුපියලේ වටිනාකම අඩු කිරීම“ කැපී පෙනෙයි. එහි කොටසකි මේ.

“මුදල් වටිනාකම අඩු කිරීමෙන් ආදායම වැඩි වන බව අර්ථ ශාස්ත්‍රඥයකු වන යු.ඇන්. ජයවර්ධන මයා කියයි. ඒ නිසා බ්‍රිතාන්‍ය අගමැති විල්සන් කර තිබෙන්නේ පවුම් ස්තාලිනයේ වටිනාකම අඩු කිරීමයි. පවුම් ස්තාලිනය නම් පවුමට වැඩිය වඩා ස්වල්පයකින් වැඩිය. ඇමරිකාවේ ඇත්තේ ඩොලර් ය. ආසියාතික රටවල්වල බොහෝ සෙයින් ඇත්තේ ස්තාලින් ය. ස්තාලින් ක්ෂේත්‍රය යයි කියන්නේ මෙයට ය.

ඒකනායක ශිෂ්‍යයා ලිපිය අවසන මේ පාඨය දක්වා තිබුණි.

“අපේ ආහාරය අපම වගා කර ගනිමු! පිටරටවල්වලට ගැති නොවෙමු.“

“ජාතික ජීවය“ සාහිත්‍ය පිටුව සකස් කළ රු.අ.ඉ. ඒකනායක හංස සන්දේශය ග්‍රන්ථ විවේචනයක් ද ලියා ඇත. ඒ අතර ලාල් ප්‍රේමනාත් ද මැල්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ‘ නවකථාව ගැන ය. මීට අමතරව ‘ලංකාවට වන විනාශය‘, ‘පැරණි සිංහල භාෂාව‘, ‘ෂෙලා ජිස්ටික් වාදය‘ ලිපි ද ‘අපූරු බල ඇති කමිස‘ අනුවර්තනය ද ලියා තිබුණි.

කුමාරතුංග මුනිදාස මහතාගේ පොත පත නොතිත් ආසාවෙන් කිය වූ රුවන් ඒකනායක සිසුවා තුළ සිංහල සාහිත්‍ය ගැන උනන්දුව ඇති කර ඇත්තේ එස්පරන් රත්වත්ත නම් ගුරුවරයා ය. මේ පිළිබඳ මතකය වෛද්‍ය රුවන් ඒකනායක විජිත් කුමාර් සේනාරත්නට කියා තිබුණි. සේනාරත්නයන් “රුවන් හද අසපුවෙහි මියැසි භාවනා“ නමින් ‘රාවය‘ පත්‍රයට ලිපියක් ලියා තිබුණි.

වෛද්‍ය රුවන් ඒකනායක ගේ පියාට දක්ෂ ලෙස පියානෝව වාදනය කළ හැකි අතර මව බියට්‍රිස් නෙයෙලින් නිවසේ බටහිර පන්ති පවත්වා ඇති බවත්, කුඩා කාලයේ සිට තමාට අසන්නට ලැබී ඇත්තේ බටහිර සංගීත කෘති රසවිඳීමට අවස්ථාව ලැබී ඇත.

එස්පරන්ස් රත්වත්ත සිංහල ගුරුතුමා නිතරම අපිව දේශීයත්වයට නැඹුරු කළා. එතුමා කුමාරතුඟුන්ගේ පත පොත කියවීමට අප යොමු කළා. ඔය අතරේ හත්වැනි පන්තියේ පාඩම් පොතේ එක්තරා පාඩමක් තිබුණා “කුකුළු හැවිල්ල“ නමින්. යටින් තිබුණා රැ. තෙන්නකෝන් කියලා. ඒ පාඩමේ අගට තවත් විස්තරයක් තිබුණා. ගීතය ගන්නේ සුනිල් සාන්ත කියලා. දැන් මගේ සිත ගියේ ඒ ගීතය ගුවන් විදුලියෙන් අහන්න. ඒ ගීතය ශ්‍රවණය කළ පසු මට සුනිල් සාන්තගේ ගායනා කෙරෙහි හිත ගියා. රැ. තෙන්නකෝන් කවියාට මගේ හිත කොයිතරම් ඇදී ගියා ද කිවහොත් එතුමන් විසින් රචිත “සක් පුබුදුව“ සොයා ගෙන කීපවරක් ම කියවා රස වින්දා. ඊට පස්සේ මම එතුමා ලිව්ව “රුප්පෙ අන්දරය“, “මුළු තැන් අන්දරය“, “කෝපි අන්දරය“, “පඬුර“, “තොටු අන්දරය“ පුස්තකාලයෙන් අරං කියවලා තියෙනවා. සුනිල් සාන්තයන්ට මගේ හිත මුලින්ම ගියේ ‘හඳ පානේ‘ ගීතයට. මම සුනිලුන්ගේ කැමති ගීත දෙකක් තියෙනවා. එකක් ‘වංකගිරි වැලැපිල්ල‘ (රචනය - ගුණපාල සේනාධීර). භාරතීය රාගාශ්‍රයෙනුලු සුනිලුන් “සුමිහිරි සුවඳැති මල් ඇයි“ ගැයුවේ මම ඉපදෙන්නටත් පෙර මියගිය විශිෂ්ට ගායන ශිල්පි සූර්ය ශංකර් මොල්ලිගොඩ කලාකරුවා මිය ගිය අවස්ථාවේ.“ වෛද්‍ය රුවන් ඒකනායක කියයි.

රුවන් අජේය ඉලංගකෝන් ඒකනායක උපත ලැබුවේ 1954 ඔක්තෝබර් 27 වැනිදා මහනුවර දීය.

“මගේ තාත්තා කොළඹ බ්‍රවුන් සමාගමේ ට්‍රැක්ටර් අංශය භාර විධායක නිලධාරියෙක් හැටියට සේවය කළේ. තාත්තාට විවිධ අංශවල දක්ෂතා රැසක් තිබුණා. බටහිර සංගීත ප්‍රස්ථාරයක් නැතිව තාත්තාට මැනවින් පියානෝව වාදනය කරන්න දක්ෂතාවයක් තිබුණා. තාත්තාගේ වාදන ශෛලිය synchopation යැයි හඳුන්වනු ලැබුවා. තාත්තාගේ කාර්මික අංශයේ දැනුම ඉහළයි. ඔහු කිසිදා තමාගේ EN 3589 දරන ෆෝර්ඩ් ප්‍රිෆෙක්ට් මෝටර් රථය ගරාජයකට ගෙන ගිහින් නෑ. රථයේ ඇන්ජිම සම්පූර්ණයෙන් ගලවලා ඒ ඒ කොටස් ඉටි රෙද්දක් එළලා එහි පිළිවෙළින් තබලා ඒවා පිරිසිදු කරලා තියලා තිබූ විදිහට සවි කරලා ඇන්ජිම යථා තත්ත්වයට පණ ගන්වනවා. ඒ විතරක් නෙවෙයි විදුලි පංකා, ඉස්තිරික්ක, ගෑස් ලිප්, විදුලි ලිප් තාත්තාම පිළිසකර කළා. තාත්තා විවේක දවස්වල ගෙදරදි පියානෝවෙන් ඕලු පිපීලා, හඳපානේ, මිහිකත නළවාලා යන ගීත වාදනය කළා.“

අධික ලෙස දුම්බීම නිසා තම තාත්තාට 48 වැනි වියේදී හෘදයාබාධයක් (Heart Attack) හැදුණ බවත්, එය අසා අම්මා හඬා වැටුණ හැටි දැක ඔහු කම්පා වී ඇත. ඒ වන විට රුවන් සාමාන්‍ය පෙළ ශිෂ්‍යයෙකි. සුව වී ගෙදර පැමිණි පියා තව වසර 35ක් ජීවත් වී 2007 මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86ක් බව වෛද්‍ය රුවන් කීය.

ට්‍රිනිටි විද්‍යාලයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයට ගිය රුවන් ඒකනායක 1975 එම්. බී. බී. එස්. විභාගයෙන් භෞතවේදයට විශිෂ්ට සාමාර්ථය ලබා ගත්තේය. වයස අවුරුදු 29 දී එම්. ඩී. උපාධිය ලැබීය. ශිෂ්‍යත්වයක් ලැබ මහා බ්‍රිතාන්‍යයේ ගයිස් රෝහලේ පුහුණුව ලබා ලංකාවට පැමිණ ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥයෙකු ලෙස ප්‍රතිකාර කළ හෙතෙම ගාල්ලේ කරාපිටිය රෝහලේ හෘදරෝග ඒකකයක පිහිටුවීමට මූලික විය.

වෛද්‍ය රුවන් ඒකනාකට සිය බිරිය නිශාලි දැන හැඳිනගෙන වසර තුනකට පසු විවාහ වූහ. ඇය ලුවිෂම් රෝහලේ සාහය ව්‍යාධිවේදී විශේෂඥවරියක්ව සිටියාය. ඔහු නිවාඩුව අවසන්ව ලංකාවට පැමිණි පසුවය ඇයගේ මේ පත්වීම ගැන දැන ගත්තේ. “නිශාලිගේ සාර්ථකත්වය ගැන උදම් වූ මම ඒ තනතුර බාර නොගෙන ආපසු ලංකාවට පැමිණෙන ලෙස ඉල්ලා සිටියා. අවංකව කීවොත් ඇය ලුවිෂම් රෝහලේ තනතුර භාර ගත්තා නම් අයත් වන්නට තිබුණු වාසි රැසක් තිබුණා.“

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රට වෛද්‍ය රුවන් වරක් පවසා තිබුණේ,

“ඒ වාසි සියල්ල අතහැර වෛද්‍ය නිශාලි ලංකාවට ආවා. අපේ එකම දියණිය මේධානි කාංචනා මාලා පිටරටක වැඩෙනවට මම කොහෙත්ම කැමති වුණේ නෑ. මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වෛද්‍යවරියක්.“

විශේෂඥ රුවන් විසින් ලියූ මුල්ම කෘතිය වූයේ "Be true to your heart" නම් ඉංග්‍රීසි කෘතියයි. ඉන්පසු සිංහල භාෂාවෙන් හෘදරෝග ගැන පුස්තිකා රැසක් ලියා ඇත. හෙතෙම කලා රසිකයෙකි. සහෘදයෙකි. සුනිල් සාන්ත නම් තමාගේ ප්‍රියතම ගායක සංගීතඥා ගැන පර්යේෂණ පවත්වා ඇත. 2007 වසරේ නොවැම්බර් 23 වෙනිදා ගුරු දෙවි සුනිල් සාන්ත සමරු දෙසුම පැවැත් වූයේ ඔහු විසිනි. එදින කළ දේශනයේ මැය වූයේ “සුනිල් සාන්ත සංගීතයේ සිංහලත්වයට පාදක වූ මාත්‍රා වින්‍යාසය සහ තාන ව්‍යුහය පිළිබඳ මූලික විමර්ශනයක්“ යන්න ය.

ඉංග්‍රීසි බස මෙන් ම හෙළ බස ද ඇතැඹුලක් සේ දත් මේ වෛද්‍යවරයාගේ විශ්ව සංගීත දැනුම මේ දේශනයෙන් මොනවට පැහැදිලි වෙයි.

රෝගීන්ට තම ගත මෙන්ම සිතත් සන්සුන් කරවා ගැනීමට සංගීත චිකිත්සාවෙන් (Music therapy) කළ හැකි මෙහෙවර පිළිබඳ දැක්මක් රුවන් ඒකනායක වෛද්‍යතුමා පැවසීය.

“හෘදරෝගාබාධවලට එක් සුදුසු පිළියම සංගීත චිකිත්සාව අනුමත කරන්නෙකි.“ ඔහු පවසයි. අමරදේවයන් ප්‍රමුඛ සංගීතඥයන්, ප්‍රවීණ ගායකයන් ඒ සඳහා සහභාගි කර ගත්තේය.

රුවන් ඒකනායකයන් ගැන සුනන්ද මහේන්ද්‍රයන් ලියූ ‘වෙද රුවන් වත‘ දොරට වැඩීමේ උලෙළ මෙහෙයවීමට වෛද්‍ය රවිඳු මහේන්ද්‍ර සමඟ මට ද අවස්ථාව ලැබිණ. එදා ඒ අවස්ථාවට පැමිණ සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙන් මම රුවන් වෙද දුරු ගැන ප්‍රසිද්ධ සභාවේදී අදහස් විමසිමි.

“රුවන් මගේ ගෝලයෙක්. මට හෘද රෝගයක් ඇති වූ අවස්ථාවේ මාව මරණයෙන් බේර ගත්තේ රුවන්.“ යැයි කඳුළු පිරි දෙනෙතින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැවසීය. විශේෂඥ වෛද්‍ය ඒකනායක තම වෛද්‍ය ජීවිතයේ අමතක නොවන සිද්ධියක් මෙසේ විස්තර කරයි.

“එක් කාලයක දී ත්‍රස්තවාදී තරුණයෝ ද ඇතැම් විට හෘද රෝග ඒකකයට ඇතුළත් වුණා. ‘විමුක්තිය‘ උදෙසා සටන් කළ පක්ෂයක එක්තරා නායකයෙක් කීප විටක්ම හෘද රෝග ඒකකයට විවිධාකාර පපුවේ වේදනා පරීක්ෂා කර ගැනීම සඳහා ඇතුළත් වුණා. හෘදරෝග විනිශ්චය පිළිබඳව රෝගියා සිටියේ මහත් භීතියකින්. නිතර ම පපුවේ තැන තැන රිදෙන බව කීම ඔහුගේ ඒ මානසික කඩා වැටීමේ ලකුණක් හැටියට සලකන්න පුළුවන්. එවකට ජ්‍යෙෂ්ඨ විශේෂඥව සිටි වාලුපිල්ලෙයි මහතා මේ රෝග විනිශ්චය භාර ගත්තේ නැහැ. එය ගණනකට නැති තරමේ සාමාන්‍ය ECG විකෘතියක් බව එතුමාගේ නිගමනය වුණා. එබැවින් රෝගියා පරීක්ෂා කොට අවසන් වූ විගස ම “ටිකට් කැපීම“ ඔහුගේ සිරිත.

තමාගේ රෝගය මෙසේ සුළුකොට තකා ටිකට් කැපීම රෝගියා නිරිස්සුවා. තමාට නිසිරි පරිදි ප්‍රතිකාර නොකොට වාට්ටුවෙන් පිටත්කොට යැවීම ගැන ජ්‍යෙෂ්ඨ විශේෂඥවරයාට එරෙහිව බලවත් අමනාපයක් මේ විමුක්ති සටන්කාමියා තුළ තිබුණේ. වරක් මෙසේ ටිකට් කපා ඊළඟ ඇඳට වාලුපිල්ලෙයි මහතා හැරී යනවාත් සමඟ මෙම දේශපාලන පක්ෂ නායකයා අතින් අවඥා සහගත ඉරියව් පාමින් වෛද්‍යවරයාට වාට්ටුව තුළ දීම නින්දා වනසේ ඇද කළා.

මෙයින් මම එකක් තේරුම් ගත්තා. තමාගේ ආත්ම ප්‍රෞඩත්වය හා ගරුත්වය හා රැකෙන පරිදි හැසිරෙන්නට නොදන්නා ළාමකයෙකු රටේ නායකයා වූවා නම් බිහිසුණු තත්ත්වයක් රටට උදා වන්නට පුළුවන් යනුයි. රට හසුරුවන්නට පෙර තමාගේ සිත හසුරුවන්නට පුළුවන් විය යුතුය. නැතිනම් හදිසි කෝපය, අස්ථාන වෛරය ආදි රාජ්‍ය නායකයෙකුට නුසුදුසු ගුණාංග ඉස්මතු වී නස්පැත්තියක් උදා විය හැකිය.

තමාගේ වෛද්‍ය ජීවිතයේ රෝගීන් ගේ පූර්ව චරියා හා මරණාසන්න අත්දැකීම් රැසකට මුහුණ දී ඇත.

වයස අවුරුදු 70ක් පමණ හීන්දෑරී සිරුරක් ඇති තරමක් උස ගොවියෙකුට හෘදයාබාධයකින් අමාරු වී වෛද්‍ය ඒකනායකගේ වාට්ටුවට ඇතුළත් වී ඇත. රුධිර පීඩනය ඉහළට ම බැසගොස් මොළයට ලේ සැපයුම අඩාළ වී ඇති බව වෛද්‍යවරයාට පෙනිණි. රෝගියා මහ හඬින් කෑ ගසයි. මේ පිළිබඳව වෛද්‍ය ඒකනායක මෙසේ කීවේය.

රෝගියා කෑ ගසමින් කියන්නේ ශාරීරික වේදනාවක් හෝ අපහසුවක් ගැන නොවෙයි. මේ වගේ වේලාවට අනෙක් රෝගීන් හඬන්නේ පපුවේ වේදනාව හෝ හුස්ම ගන්නට බැරිබව ප්‍රකාශ කරමින්.

එහෙත් මේ ගොවියා මහ හඬකින් මිරිකි මිරිකි පවසන්නේ තමාගෙන යන්නට ආ මාතලි දිව්‍ය පුත්‍රයා පිළිබඳ දර්ශනයකි. රනින් පිරණ මහා දිව්‍ය රථයක් බැබළෙමින් තමා වෙතට එනු ඔහුට පෙනෙනවාලු. රථය අදිනා අශ්වයන් හසුවනුයේ ඒ මාතලී ලු.

දැඩි නිද්‍රා ඖෂධ දී රෝගියා සන්සුන් කළ මා පැයකට පසු දැන ගත්තේ ඔහු අවසන් සුසුම් හෙළූ බව ය. එක්තරා ක්‍රිස්තු භක්ති කාන්තාවකගේ මරණාසන්න අත්දැකීමක් ද මට මතකයි. හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයත් ශ්වසනයත් හදිසියේ නැවරුණු විට විනාඩි දෙකකට පමණ ඇය මරණාසන්නව සිටියාය. යළිත් ප්‍රතිකාරයෙන් ප්‍රකෘතිමත් කැරුණු විට තමා යළිත් මේ ලෝකයට ගෙන ආ පුද්ගලයන්ට ඕ දොස් කීවා. ඇය අති රමණීය මල් උයනක ඇවිදිමින් සිටියාලු. පලතුරු ගස්වල බර බලමින් මල් විහාර විඳිමින් ඒ උයනේ ඇය සක්මන් කරමින් සිටිය දී ලු. යළි ඇස් ඇරැ බලන විටලු මේ ලෝකය පෙනුණේ. ඇයට අර මල් උයනේම සිටින්නට ඉඩ දෙන ලද්දේ නම් කොතරම් හොඳ ද යනු ඇගේ තීරණයයි.

ශීල තේජසින් පිරි බැබැළුණ එක්තරා බෞද්ධ ස්වාමීන්වහන්සේ නමක් මරණාසන්න අත්දැකීමක් මට කිව්වා. මරණ මොහොතේදී උන්වහන්සේට මුළු පෘථිවි ගෝලයේ ම වාසය කරන මනුෂ්‍ය සංහතිය එකවර පෙනී ගිය බව ය. අසංඛ්‍යාත වූ ජනප්‍රවාහය මහා ගංගාවක් සේ ගලා අවුත් අතු තුනකට බෙදී ලියලා ගියේලු. එක් අත්තක් ඉහළට නැඟ දිව් ලොවට පිවිසි බවකී උන්වහන්සේ තවත් අත්ත නරකාදියට ඇදී ගිය බවයි. මැද අත්ත බඹරයක් සේ භ්‍රමණය වෙමින් සංසාරය දැක්ක බවය.

ඇතැම් අය මරණාසන්න අත්දැකීම් එළියේ පවසන්නට මැළිවෙනවා. මැදපෙරදිග හෝටලයක සේවයක කළ මගේ රෝගියෙක් එහිදී හෘදයාබාධයකට ලක්වී මරණාසන්න වී යළිත් සුවය ලැබුණා. එහි දැඩි සත්කාර ඒකකයේදී මරණින් මතු පැවැත්ම පිළිබඳ අත්දුටු පුදුමාකාර බව මට කීවත් ඒවා හෙළි කිරීමට කැමති නෑ.

වෛද්‍යවරයා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට ගොස් අමාරුවේ වැටුණු අවස්ථා ද නැත්තේ නොවේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ වසර 10ක සේවයෙන් පසු වෛද්‍යවරයාට කොළඹ ජාතික රෝහලට මාරුවක් ලැබුණු පසු වෛද්‍ය පිරිස සමුගැනීමේ සංග්‍රහයක් ලෙස යාල වනෝද්‍යානයට විනෝද ගමනක් සංවිධානය කොට තිබුණි. එහි ගතකොට කොළඹට පැමිණීමට වෛද්‍යවරයා පිටත්ව ඇත්තේ තවත් දෙදෙනෙකු සමඟය. වාහනය ඉදිරියට පැමිණි තරුණයකු එකවරටම ගමන් ගත් වාහනයට එක එල්ලේ මුහුණලා පියවර තැබීය. රියේ තරුණයාගේ ඇඟ වැදීම නිසා ඔහු බිම වැටී ඇත. තරුණයා මග හැරීමට ගත් උත්සාහයේදි පාර හරහා ගිය රිය අනෙක් පැත්තේ ගැඹුරු කානුවකට වැටී අංශක 70ක පමණ ඇලයට සිටින රිය තුළින් බිමට බැස්සේය. “සර් බහින්න එපා. මේ හාදයා මැරිලා වගෙ. මෙහෙ මිනිස්සු බොහොම දරුණුයි.“ වාහනයේ සිටි එක් අයෙක් කියා ඇත.

වෛද්‍යවරයකු වශයෙන් මිනිසෙකු පාරේ වැටී සිටින විට ගම්වැසියන්ට බියෙන් රියේ සිටීමට නොහැකි නිසා බිමට බැස්සේය. සෙනඟ ද එහි රොද බැඳ ගත්හ. ‘පුදුමයකි!‘ තරුණයාගේ නාඩි වැටේ.

“මම කරාපිටිය රෝහලේ හෘද රෝග වෛද්‍යවරයා. මේ ළමයට තවම පණ තියෙනවා. වහාම රෝහලට ගෙන යා යුතුයි.“ වෛද්‍යවරයා කීවේය. වාසනාවකට මෙන් ගිලන් රියක් ඔවුන් අසලින් ගොස් වෛද්‍යවරයා හැඳින සේවකයෝ එහි පැමිණියහ. රෝගියා බලපිටිය රෝහලට ගෙන යන ලද්දේ ගිලන් රථයෙනි.

රෝගියා මුහුදු වෙරළේ සංචාරකයන් හා ගැවසෙන යුරෝපයෙන් පැමිණි කාන්තාවක් හා විවාහ වී බිරියට දරු ගැබක් පිහිටා ඇති බව අනාවරණය විය. මේ යුවළ මත්කුඩුවලට ඇබ්බැහි බවද අනාවරණය විය. පසුව රෝගියාගේ තත්ත්වය ගැන සලකා කොළඹ මහරෝහලට එවීය. වෛද්‍යවරයා මේ සිද්ධිය ගැන මෙසේ පවසයි.

“පසුදින මම උදයේ කොළඹ ස්නායු ශල්‍ය ඒකකය අමතා රෝගියාගේ සුවදුක් විමසුවා. තත්ත්වය සතුටුදායක නොවීය. රෝගියාගේ සහෝදරයෙක් මට කතා කොට “මගේ සහෝදරයා ජීවත් විය යුතුයි.“ කීවා. එය හිට්ලර් හෝ ස්ටාලින් හෝ තම අසල්වැසියාට එල්ල කළා වැනි සිතිය නොහැකි දරුණු නියෝගයකි. ඔහු ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බව හෙදියක් මට කීවා. එයින් පසු මම රෝගියා ගැන විමසීම නවතා දැම්මා. රෝගියා රෝහලින් පිටව ගිය බව පසුව දැන ගත්තේ. එහෙත් ඉතිරි වූ ස්නායු දුර්වලතා කෙබඳු වී දැයි මට දැන ගැනීමට අවශ්‍ය වූයේ නැහැ.“

ඊට බොහෝ කලකට පසු ප්‍රබල දෙමළ ත්‍රස්ත නායකයකු හෘද රෝග ඒකකයට පරීක්ෂණ සඳහා එව්වා. එවකට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂතුමා විසින් මට රහසිගතව එවන ලද මොහුගේ නම වෙනස් විධියකට ලේඛන ගන්වා තිබුණ බැවින් වාට්ටුවෙන් පිට වී යන තුරු වාට්ටුවේ හෙදියෝ රෝගියාගේ අනන්‍යතාවය දැන හිටියේ නැහැ. මොහුගේ ඡායා පුවත්පත්වල පළ වූයේ නැහැ. එහෙත් ඔහු ප්‍රභාකරන් නම් ත්‍රස්ත නායකයාගේ සමීපතමයෙක්. කිසිම කලබලයක් නැතිව වාරය පැමිණෙන තුරු වාට්ටුවේ බංකුවක ඔහු වාඩි වී සිටියා. සියලු රෝගීන්ට ඇඳන් පහසුව තිබුණේ නැහැ. පරීක්ෂණය කිරීමේදී පවා උපශාන්තව සිටි බව කැතීටර් පරීක්ෂණාගාරයෙන් වාර්තා වුණා. සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු හමුදා සාමාජික ආරක්ෂකයෝ කීප දෙනෙක් වාට්ටුවේ සිටියා. මෙබඳු රෝගීන් හඳුනා ගන්නා හෙදියන්ට පවා මොහුගේ වතගොත හෙළි වුණේ ඔහු වාට්ටුවෙන් පිටව ගිය පසුවයි.“ වෛද්‍ය රුවන් පවසා සිටියේ කවර දේශපාලන දර්ශනයක් දැරුවත් ජනතාවට නායකකම් කරන්න කැසකවා ගන්නවුන් අඩු තරමේ ස්ථානාන්තරයේ ගෞරවය රැකෙන හැටියට හැසිරීම ප්‍රගුණ කළ යුතු බව ය.

Comments