සුන්ද­ර­ත්ව­යට හානි­ක­රන ඇස් යට කළු­වී­මට මෙන්න ප්‍රති­කාර | සිළුමිණ

සුන්ද­ර­ත්ව­යට හානි­ක­රන ඇස් යට කළු­වී­මට මෙන්න ප්‍රති­කාර

 

 

බොහෝවිට කාන්තාවකගේ සුන්දරත්වයට හානි කරන මනසට පීඩනයක් ගෙනෙන රෝගී තත්ත්වයක් තමයි ඇස් වටා අඳුරු පැහැ ගැන්වීම. සමහර පිරිස් මේ පිළිබඳ වැඩි තැකීමක් නොකළ ද එය රූපයට ගෙනෙන්නෙ අවලස්සනක්. ඔබේ රූ සපුවට හානි කරන විවිධ මාතෘකා පිළිබඳ නිතරම සිළුමිණ - රසඳුන ඔස්සේ දැනුම්වත් කරන අප මෙවර ඔබව දැනුම්වත් කරන්නේ මේ ඇස් වටා කළු පැහැ වීම පිළිබඳවයි. ඉතින් ඒ පිළිබඳ රංගන ශිල්පිනියක් සහ ආයුර්වේද වෛද්‍යවරියක් වන අයෝමි ශානිකා රසඳුන පාඨකයන් දැනුම්වත් කළේ මෙලෙසයි.

 

වර්තමානයේ කාන්තා පාර්ශ්වය මෙන් ම පුරුෂ පාර්ශ්වයද බහුල වශයෙන් මුහුණපාන ගැටලුවක් ලෙස ඇස් යට කළු වීම හඳුන්වන්නට පුළුවන්. ඇස් යට කළු වීම පමණක්ම නොවෙයි ඇස් යට වල ගැසීම සහ ඇස් යට ඉදිමුම වගේ දේවල් නිසා ද අපේ මුහුණට අවලස්සනක් එකතු කරනවා වගේම මුහුණට වියපත්භාවයකුත් එකතු කරනවා දකින්නට පුළුවන්. මේ ගැටලුවට ගැහැණු - පිරිමි, ලොකු - කුඩා කියලා වයස් පරතරයක් දක්නට ලැබෙන්නේ නැහැ. පොදුවේ අපි කාටත් ඇති වන ගැටලුවක් විදියට මෙය හඳුන්වා දෙන්නට පුළුවන්.

මේ සඳහා බලපාන හේතු කිහිපයක් විමසා බැලීමේදී ඇස් යට කළු වීම සඳහා බලපාන ප්‍රධානතම හේතුව විදියට නිදිවැරීම හඳුන්වා දෙන්න පුළුවන්. අපට රාත්‍රී කාලයේදී පැය 6 ත් 8 ත් අතර කාලයක් අනිවාර්යයෙන්ම නින්ද අවශ්‍ය වෙනවා. රාත්‍රී 11ත් උදේ 5ත් අතර නින්ද ලබා ගන්නවා නම් ගොඩාක් හොඳයි වගේම ඊට අමතරව පාසල් යන වයසේ අය සහ අධ්‍යාපනය ලබන පිරිස් වැඩි වේලාවක් පරිගණකවල රැඳී සිටීම නිසාද මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මානසික තෙහෙට්ටුව, විඩාබර බව, මානසික ආතතිය සහ පීඩනය වගේ දේවලුත් බලපාන්නට පුළුවන්. එසේම රංගන ශිල්පීන්, නිරූපණ ශිල්පීන්, රූපවාහිනී නිවේදක නිවේදිකාවන් වගේ නිතර රූපලාවණ්‍ය කටයුතු වල නියැළෙන අය මේකප් ආදිය භාවිත කිරීමේදී සිදුවන වැරදි නිසාද මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේකප් කිරීමේදී ඇස් වටා සියුම්ව උඩු අතට ගල්වන ආලේපන වැරදි අතට ගැල්වීම වගේ පුංචි පුංචි වැරදිවලිනුත් මේ ඇස් යට කළු වීම වගේ දේවල් බොහෝ විට ඇති විය හැකියි.

 

 

නිවෙසේදීම කළ හැකි ප්‍රතිකාර

 

 

ක්ෂණිකව නිදි බර ගතිය නැති කර ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් අපේ අත් දෙක තත්පර 30 ක් වගේ තදින් පිරිමැද ඇගිලි තිබෙන ස්ථානයෙන් හෝ අල්ල තිබෙන ස්ථානයෙන් දෙඇස් වසා සිටින්න.

පොල් තෙල් හා ඔලිව් තෙල් සම ප්‍රමාණයෙන් මිශ්‍ර කර ඇස් දෙක වටේ සහ ඇහැ උඩ ආලේප කර විනාඩි 15- 20 වගේ තබා සෝදා හරින්න.

තක්කාලි යුෂ වලට ලෙමන් යුෂ බිංදු කිහිපයක් මිශ්‍ර කර ආලේප කරන්න.

අර්තාපල් ගෙඩියක් හොඳින් සුද්ද කර කෑලි වලට කපා බ්ලෙන්ඩ් කර යුෂ මිරිකා ගෙන ඒ යුෂ විනාඩි 10 පමණ ශීතකරණයේ තබා ගෙන කපු පුළුන්වල පොඟවා ඇස් උඩ තබා ගන්න.

පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් උඩ තබා ගන්න.

පාවිච්චි කරපු ටී බෑග් දෙකක් පැය එකහමාරක් පමණ ශීතකරණයේ තබා එයින් ඇස් ආවරණය කර ගන්න.

අයිස් කැට දෙකක් රෙදි කෑල්ලකින් ආවරණය කර ඇස් යට තවන්න.

කෝමාරිකා මදයට පිපිඤ්ඤා යුෂ, කහ ස්වල්පයක් සහ ජෙලටින් ස්වල්පයක් එක් කර මාස්ක් එකක් සාදා ගන්න.

හැකිනම් අන්තර්ජාලය, යූ ටියුබ් වැනි තාක්ෂණය පාවිච්චි කර මේ සඳහා ප්‍රතිකාර ක්‍රම මසාජ් ක්‍රම ආදිය අධ්‍යයනය කරන්න.

පුළුන් කැබල්ලක් ගෙන ලෙමන් යුෂවල පොඟවා ඇස් වටා ඉතා පරිස්සමෙන් ආලේපකර මිනිත්තු 10 ක් තබා සෝදා හරින්න.

පොල්තෙල් ඇස් වටා කළු පැල්ලම් ඉවත් කරයි. එපමණක් නොවෙයි ඉතා හොඳ මොයිචර්රයිස් එකක් විදිහටත් ක්‍රියාත්මක වෙනු ලබයි.

අයි පෑඩ් හෝ කපු පුළුන් ගෙන රෝස වතුරේ මිනිත්තු කිහිපයක් හොඳින් පොඟවා ගන්න. ඊළඟට ඒවා ඔබේ ඇස් මත තබා මිනිත්තු 15ක් පමණ සිටින්න. ඉන් පසු ඉවත් කරන්න. දිනකට දෙවරක් මෙය සිදු කරන්න.

සතියකට දවස් 3 ක් 4ක් දවසකට විනාඩි 15 ක් වගේ වෙන් කරලා මේ ප්‍රතිකාර ක්‍රම කිරීමෙන් මාසයක වගේ කාලයක් යනකොට අපිට මේ තත්ත්වය හොඳින්ම සුව කර ගන්න පුළුවන්. ඒ ප්‍රතිකර්ම වගේම ප්‍රමාණවත් නින්දක්, ප්‍රමාණවත් ජලය පානය සහ විටමින් C අඩංගු එළවළු පලතුරු ආහාරයට ගැනීම වගේ දේවලුත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. එවිට අපට පුළුවන් මේ තත්ත්වය ඉතා හොඳින් මඟ හරවා ගන්න.

 

Comments