සැමී සක්විති රජෙකු කළ ලෝක කුසලාන නායක වගතුග | සිළුමිණ

සැමී සක්විති රජෙකු කළ ලෝක කුසලාන නායක වගතුග

'රජුන් අතර රජු සක්විති රජු ය. ලෝක කුසලානය දිනාගැනීම රජ වීමක් නම් එය දෙවරක් දිනාගත්විට සක්විති රජකු හා සමකළ හැකි ය. එය එසේ සැලකිය හැකි නම් විස්සයි විස්සේ සක්විති රජු ඩැරන් සැමී ය. ඒ කොදෙව්වන් වෙනුවෙන් දෙවරක් ලෝක ශූරතාව දිනාගැනීමට නායකත්වය සපයා දුන් හෙයිනි. මේ විස්සයි විස්සේ ලෝක ශූරතාව ඉසිලූ නායකයන්ගේ වගතුග ය.'

2005 ජාත්‍යන්තර මට්ටමින් ඇරැඹුණ 20/20 ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වුණේ 2007 වසරේ දී ය. එම තරගාවලිය සඳහා සත්කාරකත්වය දකුණු අප්‍රිකාව විසින් සපයා තිබිණි. කණ්ඩායම් 12 ක් සහභාගී වූ එම තරගාවලියේ දී ප්‍රථම වරට ලෝක ශුරයින් වශයෙන් අභිෂේක ලැබූවේ ඉන්දියාව ය. එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඔවුන් අතින් පරාජය වූයේ පකිස්තානය යි.

2007 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය ජයග්‍රහණයට නායකත්වය දුන්නේ මහේන්ද්‍ර සිං දෝනීය. නායකයකු සේම පිතිකරුවකු ලෙස ද තම කණ්ඩායමට ස්ථාවර තත්වයක් ලබා දීමට දෝනිට හැකිවිණි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට මහේන්ද්‍ර සිං දෝනි 20/20 තරග 98 ක ට සහභාගී වී ලකුණු 1617 ක් රැස් කොට තිබුණේ ය.

දෙවැනි විස්සයි විස්ස ලෝක කුසලානයේ පැවැත්වුණේ 2009 වසරේ දී එංගලන්තය කේන්ද්‍ර කරගනිමිනි. එම තරගාවලියෙන් ශූරතාව පළමු වර අනු ශූරයන් වූ පාකිස්තානය විසින් හිමිකරගනු ලැබිණි. විශිෂ්ට පිතිකරුවකු වූ යුනිස් ඛාන් එම ජයග්‍රාහී පකිස්තාන කණ්ඩායමේ නායකයා විය. එම තරගාවලියේ අනුශූරතාව හිමිවූයේ ශ්‍රී ලංකාවට ය.

යළිත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් පැවැත් වුණේ 2014 වසරේ දී යි. එම වසරේ තරගාවලිය වෙනුවෙන් සත්කාරකත්වය බංගලාදේශය දැරී ය. එහි දී ශ්‍රී ලංකාව ශූරතාවට හිමිකම් කියද්දී අනුශූරයින් බවට පත්වුණේ ඉන්දියාව යි.

මෙම තරගාවලියේ විශේෂත්වයක් ලෙස අවසන් මහා තරගයට පෙර පැවති තරග වලදී කණ්ඩායම මෙහෙය වූ දිනේෂ් චන්දිමාල් හට අවසන් තරගයට නායකත්වය දීමට නොහැකිවීම දැක්විය හැක. ඒ අනුව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අවසන් තරගයේ දී පැවරුණේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග ට ය. ‍

එම තරගයේ දී තමාට පැවරුණ නායකත්වය නිසි ලෙස ඉටු කළ මාලිංග කණ්ඩායම මෙහෙයවා ශූරතාව දිනා ගැනීමට සමත් විණි.

ඉන් අනතුරුව පැවැති තරග වලදී විස්සයි විස්ස ක්‍රිකට් කිරුළ ආසියාවෙන් ගිලිහී ගියේ ය. 2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව් හි පැවැති තරගාවලියේ දී ශූරතාව දිනා ගැනීමට සමත් වුණේ එංගලන්තය යි. ඒ පෝල් කොලින්වුඩ් ගේ නායකත්වය යටතේ ය.

2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියේ දී ශුරතාව කොදෙව් කණ්ඩායම සතුවිණි. එවර කොදෙව් පිල මෙහෙයවූයේ ඩැරන් සැමී විසිනි. එම සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට රැගෙන ගිය කොදෙව්වෝ 2016 වසරේ ඉන්දියාවේ පැවති තරගාවලියේ දී ද ශුරතාව දිනාගැනීමට සමත්විණි. එවරත් කොදෙව් නායකත්වය හිමිවූයේ ඩැරන් සැමි ට ය. ඒ අනුව 20/20 ලෝක කුසලානය දෙවරක් දිනූ ලොව එකම ක්‍රිකට් නායකයා ලෙස නමක් තබා ඇත්තේ ඩැරන් සැමී ය. එ් හේතුවෙන් ඔහු අමරණීය නායකයෙකු වී ඇත්තේ කොදෙව් යකඩයන් රෑන මුල් ලෝක කුසලාන තරගාවලි දෙකම ජයගත්තාට පසු එවන් දස්කමක් කළ එකම කොදෙව් ක්‍රිකට් නායකයා ලෙසය.

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments