ස්වභාවික පොහොර භාවිතය සාර්ථක කරගැනීම රටේ ජාතික වගකීමක් | සිළුමිණ

ස්වභාවික පොහොර භාවිතය සාර්ථක කරගැනීම රටේ ජාතික වගකීමක්

තබුලතින් සරුසාර වූ සාඩම්බර ජාතියක් වූ අපේ රට එදා සහලින් ස්වයංපෝෂිත පෙරදිග ධාන්‍යාගාරය විය. අපටම ආවේණික වගා ක්‍රමවේද සහ අපේම බීජ වර්ග රැසක් තිබියදී අප පිටරටින් එන බීජ කිහිපයකට සහ රසායනික පොහොර සඳහා යොමු විය. නැවත රට ස්වයංපෝෂිත කරවීමට නම් අපට නුහුරු ක්‍රමවේදවලින් අප ඈත් විය යුතුමය. වර්තමාන රජය රසායනික පොහොර අධෛර්යය කර ස්වභාවික ගොවිතැන හුරුකරවීම යන සංකල්පය හඳුන්වා දී ඇත. එම ක්‍රමවේදය ප්‍රචලිත කිරීම ඉතාම වැදගත්ය. එය ජාතික වගකීමකි.

අපේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට මෙන්ම එය ආරක්ෂා කිරීම ගොවියාගේ ආදායම වැඩි කිරීම, පරිසරය ආරක්ෂාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව වැදගත් වෙයි. ආණ්ඩුව ගත් නිවැරැදි, නිර්භීත සහ සුවිශේෂී තීන්දුවක් ලෙස එය ඉතිහාසගත වෙයි. මේ නිවැරදි ක්‍රියාමාර්ගයක් වැරදි පිළිවෙතකට අනුව අනුගමනය කිරීමත් මෙහිදී දක්නට ලැබෙයි. විශේෂයෙන්ම මේ බිමේ තත්ත්වයන් නොහඳුනන ඇතැම් දේශපාලඥයන් පිරිසක් මෙ ක්‍රමවේදයන් අවුල් කිරීමට ගොවියා සහ මහජනතාව පෙලඹවීමට සැරසෙයි. එහෙත් සමාජය මහ පරිවර්තනයකට පූර්ව සුදානම් කිරීමේදී අසාර්ථක වූ අවස්ථාවක් ලෙස ඉතිහාසගත නොකර ස්වභාවික පොහොර භාවිතය සාර්ථක කරගැනීමට උරදීම සමස්ත රටේ ජාතික වගකීමකි.

මෙම තීන්දුවේ ඇති වැදගත්කම නිවැරදිව තේරුම් නොගෙන ගොවියාට උපදෙස් දුන් පිරිස මේ ගොවි විරෝධාකල්ප ඇති කරමින් මේ ක්‍රමවේදයන් නොවිය යුතු දෙයක් බවට සමාජගත කිරීමට උත්සාහ කරයි. ගොවි උද්ඝෝෂණ ඇතිවීමේ හේතුව එයයි. ගොවියා උද්ඝෝෂණයට උනන්දු නොකර සියලු දේශපාලන පක්ෂ අවංකව රජය සමඟ සාකච්ජා කරමින් මෙය සාර්ථකව කර ගැනීමට සහාය දිය යුතුයි. සටන් පාඨය නොව ස්වභාවික ක්‍රමවේදයන්ට අනුගත වෙමින් නිවැරදිව කළ හැකි ආකාරයක් පිළිබඳව කථිකාවන් ගොඩනොනැඟිය යුතුය.

මේ ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාත්මක කළ යුතු ආකාරය නිවැරදිව ගොවියා තේරුම් නොගැනීම විශාල ගැටලුවකි. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරවලින් වගා කිරීම යන තර්කය නොව ගොඩනැඟිය යුත්තේ රසායනික පොහොර වෙනුවට ස්වභාවික ක්‍රමවේදයක් ප්‍රචලිත කිරීමයි. රසායනික පොහොර විශාල වශයෙන් යොදා ගැනීම මහජන සෞඛ්‍යයට විශාල තර්ජනයකි. අප කළ යුතු වන්නේ කෘෂි නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීමයි. අපි බීජ, රසායනික පොහොර, වල්නාශක ඒ මත ඇති තාක්ෂණය මත යැපෙන ජාතියක් වී සිටිමු. පළිබෝධ නාශක මත යැපෙන ඒ පරාධීන නිෂ්පාදන පද්ධතියෙන් අප මිදිය යුතුය.

මේ පරාධීනත්වයෙන් ගලවා ගන්නට නම් වසර දහස් ගණනක් පුරා අපේ රටේ අනුගමනය කළ ස්වභාවික ක්‍රමවේදය යළි අනුගමනය කළ යුතුය. මේ පොහොර සහ පළිබෝධ නාශක සහ වල් නාශක පිටරටින් ආනයනය කිරීම ආරම්භ කිරීම සිදුවන්නේ 50 දශකයේ අවසාන භාගයේ හරිත විප්ලවය සමඟිනි. ඉතා මෑත ඉතිහාසයේ අපේ ක්‍රමවේද වෙනස් කළද අපි යළි යා යුතු වන්නේ පැවැති පැරණි වගා ක්‍රමවේදයන්ටය. හරිත විප්ලවය සමඟ තෝරාගත් බීජ කිහිපයක අස්වැන්න වැඩි කිරීමට රසායනික පොහොර යෙදවූ නිෂ්පාදන ක්‍රියාවලියකට රට හුරු විය. අපේ රටේ වී වර්ග 1500ක් පමණ සංඛ්‍යාවක් අතීතයේ පැවතුණි. පරිසර පද්ධතිය ඔරොත්තු දෙන ස්වභාවික ක්‍රමවේදයන් අනුගමනය කරමින් ආරක්ෂා කළ ස්වභාවික ගොවිතැන් ක්‍රම විය. තෝරාගත් ආහාර වර්ග 800ක් පමණ අපේ රටේ විය. සශ්‍රික නැති රටවල ධාන්‍ය වර්ග 10ක් එළවළු වර්ග 20කට පමණ මේ වනවිට අප සීමා වී ඇත.

වසර ගණනාවක් ගොවියා රසායනික පොහොර මත යැපෙයි. ස්වාභාවික පස මරා කෘත්‍රිම ලෙස රසායනික මත වගා කිරීම සිදුවිය. පස නොසලකා හැරීම සිදු විය. මරා දැමූ පස යථාවත් කිරීම මෙන්ම ගොවියාගේ මනස වෙනස් කිරීමද අසීරු කාරියකි. ඒ නිසා මේ සංකල්පය සමාජගත කිරීම නිවැරදිව කළ යුතුය. බොරු මතවාද නිවැරදි කළ යුතුය. නිෂ්පාදන පද්ධතිය ස්වාධීන කිරීමට පරාධීනත්වයෙන් ගලවා ගැනීමට කටයුතු කළ යුතුයි. ආණ්ඩුව මේ සඳහා මැදිහත් විය යුතුය. තුන් වසරක කාලයක් ක්‍රමානුකූලව මේ ක්‍රමවේදය සකස් කළ යුතුය. ගොවියාගේ මනස වෙනස් කිරිමට නිවැරදි උපදේශයන් ලබා දිය යුතු වන්නේ මෙය සංකල්පයන් ලෙස සහ ආර්ථික උපාය මාර්ගයන් ලෙස පටලවා නොගැනීමෙනි.

පොළොවෙන් ලබාගන්නා සියල්ල කාබනික ද්‍රව්‍ය ලෙස පොළොවට එකතු කරන්නේ නම් පස රැකීම, පසට ආදරය කිරීම සහ ආරක්ෂා කිරීම කළ යුතුයි. ජීවී වස්තුවක් ලෙස පස රැකිය යුතුයි. කෘෂිකර්මාන්ත නිෂ්පාදන පද්ධතිය නඟා සිටුවීමට මෙය අත්‍යවශ්‍ය වේ. කාබනික පොහොර සම්බන්ධයෙන් උපදෙස් දෙන කිසිවෙක් පස රැකීම වැදගත් වන බව නොපවසති. අපේ රටේ උසස්ම පාංශු සංරක්ෂණ පනතක් වෙයි. අපේ රටේ පළිබෝධ නාශක පනතක් වෙයි. මේ සියල්ල යථාවත් කර ක්‍රියාවට නැංවීමට යම් සංශෝධන කළ යුතුයි. පොස්පරස් පොහොර, නයිට්‍රජන් පොහොර පිටරටින් ආනයනය නොකළ යුතුය.

රසායනික පොහොර, පළිබෝධවලට වඩා බීජ ඉතා වැදගත් වෙයි. අපි ආරම්භ කළ යුත්තේ රටට ගැළපෙන බීජ වගාවයි. ඒ සඳහා නැවත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ වැඩසටහන ආරම්භ කර දේශීය බීජ නිෂ්පාදනය කළ යුතුය. ඒ සඳහා බීජ ගොවියන් විද්‍යාඥයන් යොදවා දිරිගැන්වීම් කළ යුතුය. පළිබෝධ නාශක පාලනය කළ යුතුය. අත්‍යවශ්‍ය පළිබෝධ නාශක ලැයිස්තුවක් සැකසිය යුතුය. පාලනය කිරීමට අසීරු පළිබෝධක ඉතා ස්වල්පයක් වෙයි. ඒ සඳහා හානිය අඩුම පලිබෝධනාශක යෙදිය යුතුයි. ඒ සඳහා පලිබෝධ ලැයිස්තුවක් සකසා රජයේ පාලනයට යටත්ව විකිණීම් සහ පාලනය ලියාපදිංචි කිරීමේ වැනි පාලනයක් ඒ වෙනුවෙන් යෙදවිය යුතුය. මෙහිදී රජය ද ගොවීන් සමඟ සමගාමීව කටයුතු කළ යුතුය.

පසට මහ පරිමාණ­‌ෙයන් හානි කරන අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුය. පස පොදු දෙයක් ලෙස සලකා පස විනාශ කරන ක්‍රමවේද නැවැත්විය යුතුය. පස යනු පොදු වස්තුවකි. සත්ත්වයාට ආහාර සැපයීමට ඇති පොදු මාධ්‍යයකි. එහෙයින් පස සංරක්ෂණය ඉතාමත් වැදගත් වෙයි.

ගොවියා මෙතෙක් සිදු කළ රසායනික පොහොර අවභාවිතය වැළැක්විය යුතුය. වගාවේ ප්‍රමාණයට පොහොර සඳහා මුදල් ලබාදිය යුතුය. රජය පොහොර ලබාදීමේ මැදිහත් කරුවකු වීම නිසා ගොවියෝ උද්ඝෝෂණ කරති. පොහොර සඳහා මුදල් ලබා දීම කළයුතු අතර මුදල් නිදහස් කළ යුතු වන්නේ බීජ සහ පොහොර ලබා ගැනීමට පමණකි. මෙය සීමාසහිතව පොහොර යෙදීමේ එක් මාර්ගයක් වෙයි. මෙය සහනාධාරය කපා දැමීමට, පොහොර නොදීමට උත්සාහ කිරීමක් බවට ඇති ඉවත් කළ යුතුය. මේ රජය අපේක්ෂා කරන්නේ කුමක්ද යන කරුණ පිළිබඳව අනවබෝධයක් ගොවියාට වෙයි.

ගොවි ජනතාව සහ රජය අතර විශ්වාසය තහවුරු කළ යුතුය. අවබෝධය ලැබුණහොත් විපක්ෂයට සහ වෙනත් දේශපාලනික බලවේගයන්ට ගොවීන් පාරට බස්සවා නොයෙක් අරගල කිරීමට හැකියාවක් නැත.

පොහොර සහනාධාරයට අමතරව ගොවියා මුහුණපාන ගැටලු රැසකි. ගොවි පවුල් ලක්ෂ 20ක අති බහුතරයක් මුල්‍ය වහල් භාවයේ ගිලී ඇත. සමාගම් කිහිපයක් 60% පොලියට ණය ලබා දෙයි. ගොවියෝ ඒ සමාගම්වල වහල්ලු බවට පත්වීම නොපෙනෙන ඛේදනීය තත්ත්වයකි. ගොවින් සහ ගොවි පවුල්වල කාන්තාවන් පවා සියදිවි නසා ගන්නා අවස්ථා වෙයි. අවුරුද්දේ කන්න දෙකම වගා කළද දිනකට රුපියල් 750 පමණ ආදායමක් හිමි වෙයි. සියල්ල මිල වැඩි කළද හාල් මිල පමණක් වැඩි නොකරයි. මහ මොල් හිමියකුට කියමින් අප මේ පහර ගහන්නේ කුඩා ගොවියාට ය. අසාධාරණයට ලක්වී ඇත්තේ ආණ්ඩුව සමඟ අමනාප වී සිටින කුඩා ගොවියා ය. අනවබෝධ නැති කිරීමට කුඩා ගොවියාගේ වී මිලට සහනයක් ලබා දිය යුතුය. ආණ්ඩුව ගොවි ජනතාවගේ විශ්වාසය ඇති කර ගත යුතුය.

ගොවිජන බැංකුව නැවත ආරම්භ කර ගොවින්ට ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබා දීමට කටයුතු කළ යුතුය. ගොවියා ණය බරින් නිදහස් කළ යුතුය. පස සංරක්ෂණය කරන ක්‍රමවේද, බීජ වැඩසටහනක් සහ අවම පළිබෝධ නාශක වැඩසටහන් ගොවියාට සකස් කරදිය යුතුය.

එවිට ගොවියාට ස්ව කැමැත්තෙන් ස්වාභාවික වගා ක්‍රමවේදයන්ට නැවත ගමන් කළ හැකිය. ආණ්ඩුව කෙරෙහි ඇති විරෝධතාව ද නැතිවී යයි. කෘෂිකර්ම පර්යේෂක නිලධාරින්, ගොවි සමිති සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරින් යන රජයේ වගකිව යුතු පාර්ශ්ව ගොවියා දැනුම්වත් කළ යුතුය.

අපේ පැරණි වගා ක්‍රමවේදයන්ට ගොවියා හුරු කළ යුතුයි. ස්වාභාවික නයිට්‍රජන් පසට යහපත් ජිවීන් වර්ධනය කළ යුතුය. ගොවිතැන් ක්‍රමවේදයක් ලෙස ස්වභාවික ක්‍රමවේදය පුරුදු පුහුණු කළ යුතුය. සෑම ගොවි භුමියකම එම භූමියේ ඇතිවන අපද්‍රව්‍ය අදාළ භූමියේම කාබනික පොහොර ලෙස සැකසිය හැකිය.

ගොවියාගේ අනවබෝධය සහ ගොවියා සහ පාලකයා අතර ඇති දුරස්ථ බව නැති කර මේ පිළිබඳව නිසි දැනුම්වත් කිරිම කළ යුතුය. මෙවැනි තීන්දුවක් රජය ගනු ලැබුයේ අපේ ශරිරික සෞඛ්‍ය වෙනුවෙන් යන කාරණාව පිළිබඳ ජනතාට දැනුම්වත් කළ යුතුය. රෝග රාශියකට මුල වන රසායනික පොහොර භාවිතයෙන් අප ඉවත් විය යුතුය. විපක්ෂ පක්ෂ සියලු දෙනා මේ ක්‍රමවේදය සාර්ථක කරගෙන යෑමට සහාය දිය යුතුය.

ඒ සඳහා මතයක් ගොඩනැඟිය යුතුය. රක්ෂණයක් ලබාදිය යුතු අතර ස්වාභාවික පොහොර අත්හදා බැලීම සඳහා යම් කාලයක් දිය යුතුය. අලුත් අත්දැකීමක් නිසා අනතුරක් සහ අභියෝගයක් වෙයි. එය භාරගැනීමට සහාය දීමෙන් ගොවියා ඒ අභියෝගයට සුදානම් වෙයි. වැඩිපුර බලපෑමක් ඇති දෙයට වැඩිපුර වෙහෙසක් දැරිය යුතුය.

ඝන කාබනික අපිට නිපදවා ගැනීමට හැකියාවක් ඇත. ශාකවලට හානි නොවන දේ විය යුතුය. ජෛව පොහොර වර්ග නිපදවා ගැනීම සඳහා වායුගෝලයේ ඇති නයිට්‍රජන් ශාකයට උරාගැනීමට කටයුතු කළ යුතුය. ශාක වැඩීමට අවශ්‍ය වන්නේ ජීව අපද්‍රව්‍ය සහ බැක්ටීරියා ආදී පෝෂක ද්‍රව්‍යයයි. කාබනික පොහොර තමන්ගේ ඉඩමේ සකස් කරගත හැකිය. මියගොස් ඇති පසට යළි ජීවය එකතු කිරීමට යම් කාලයක් ගත වෙයි.

බෝග වර්ග, ප්‍රදේශ, කාල රාමුවක්, ගොවියාට පුහුණුවක්, රක්ෂණයක් ඇතිව ස්වාභාවික ගොවිතැන් ක්‍රමවේදයක් හුරු කළ යුතුය. ස්වභාවික ක්‍රමවේදයකදී කාබනික ද්‍රව්‍ය යෙදීම පමණක් නොව පස ආරක්ෂා කිරීම, පසේ ජීවීන් ආරක්ෂා කිරීම, පසට සුදුසු බීජ යන ක්‍රමවේද භාවිත කළ යුතුය.

මහජන සෞඛ්‍යය වෙනුවෙන් ගත් මේ තීන්දුව සමස්තයෙන් නොබැලීම නිසා වැරදි මතවාද සමාජගතවී විරෝධාකල්ප මතුවී ඇත. මෙය දීර්ඝකාලීනව ඉතා වැදගත් ක්‍රමවේදයක් නිසා එය මග හැරීම අනාගත පරපුර වෙනුවෙන් විශාල ජාතික වගකීමක් පැහැර හැරීමක් වනු ඇත. ඒ නිසා මෙය සමස්ත ජාතියේ වගකීමක් ලෙස සලකා ක්‍රියාවට නැංවීමට සහාය විය යුතුය.

Comments