සදා අමතක කළ නොහැකි හෙළ ක්‍රිකට් බන්ධූත්වය | Page 2 | සිළුමිණ

සදා අමතක කළ නොහැකි හෙළ ක්‍රිකට් බන්ධූත්වය

'දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු අයියා ඔහු ය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට රැගෙන යාම වෙනුවෙන් මහා මෙහෙවරක නිරතවූ හා ක්‍රීඩක සමඅයිතිය වෙනුවෙන් සටන් වැදි ප්‍රතාපවත් නායකයා සේ සැලකෙන්නේ ද ඔහු ය. හෙළ ක්‍රිකට් පිටියේ සදාකාලික ක්‍රිකට් බන්ධූත්වය සේ සැලකෙන ඒ අප්‍රමාණ මිනිසා වන බන්දුල වර්ණපුරයන් සම්බන්ධව 'ක්‍රීඩා' තබන සංක්ෂිප්ත සටහනකි මේ.

 

ඉතිහාසයක ජීවමාන සාක්ෂියක් පසුගිය දා වියැකී ගියේ ය. ඒ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා, පළමු ටෙස්ට් පන්දුවට මුහුණ දුන් ක්‍රීඩකයා, පළමු එක්දින ජයග්‍රහණයට ශ්‍රී ලංකාව රැගෙන ගිය නායකයා ආදී වශයෙන් වාර්තා රැසක හිමිකරුවෙකු වූ බන්දුල වර්ණපුර ය.

ක්‍රීඩා පුවත්පත වර්ණපුරයන්ගේ ජිවිතය අළලා කොටස් වශයෙන් ඔහුගේ ජීවිත කතාව ලියන්නට තීරණය කළේ මාස එකහමාරකට හෝ දෙකකට පෙර ය. එකී තීරණය අප විසින් ක්‍රීඩා පුවත්පතේ මාණ්ඩලික ලේඛකයකුට පැවරූ නමුත් ඔහුගේ උත්සහය ව්‍යර්ථ වූයේ වර්ණපුරයන් ගේ ජීවිත කතාව විශිෂ්ට සන්නිවේදකයකු වන සමන් ආතාවුදහෙට්ටි විසින් රචනා කිරීම ආරම්භ කර ඇතැයි දැනගත් පසු ය. එය වර්ණපුරයන්ම අප මාණ්ඩලික ලේඛකයාට දන්වා තිබුණු හෙයින් එකී උත්සහය ව්‍යර්ථ විණි.

කෙසේ නමුත් යළි වර්ණපුරයන් ගේ වර්ණවත් මතකය සිහියට නැගුණේ ඔහු ගිලන්ව රෝහල්ගතව සිටින පුවත කණවැකුණු සැණින් ය. අප ගෙවුණු සතියේ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු අයියා’ යන නමින් ලිපියක් පළ කළේ ඔහුට උපහාරයක් වශයෙනි. එහෙත් එය ලියා සතියක් යන්නට මත්තෙන් කණ වැකුණේ අසුබ ආරංචියකි. ඒ බන්දුල වර්ණපුරයන් සදහටම දෙනෙත් පියා ගත් බව ය.

මෙතැනදී වර්ණපුරයන්ගේ හදිසි අභාවය මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැවැන්ත කම්පනයක් ඇතිකර තිබෙන බව පිළිගත යුතු ය. ඒ මේ දිවියෙන් සමුගෙන ඇත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පළමුවැනි විප්ලවවාදියා වන බැවිණි. සබරගමුවෙන් කොළඹ පැමිණ ගෙන්දගම් පොළොවේ හැප්පී සුද්දන්ගෙන් මෙරටට දායාද වූ ඉහළ පැලැන්තියට සීමා වූ ක්‍රිකට් ක්‍රීඩාව ගමේ කොල්ලන්ට ද එකසේ ගැලපෙන බව ඔප්පු කරන්නට පෙරට ආවකු ලෙස ද ඔහු විප්ලවාදියෙකි

මිෂනාරී පාසල් තුළ පමණක් මුල්බැසගෙන තිබූ ඉංගිරිසි බස කතාකරන සමාජය තුළ මහත් අභිමානයෙන් මහත්වරුන්ගේ ක්‍රීඩාව සේ රැඳී තිබූ ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය පංතිය අතරට රැගෙන ගිය මිනිසුන් අතර ප්‍රමුඛයකු ලෙස ඔහු සැලකිය හැකි ය.

දේශීයව ගොඩනැගී ජාත්‍යන්තරය තුළ දක්ෂා දැක්විය හැකි ක්‍රීඩකයන් සිටින බවත් පාලකයන්ගේ අත්තනෝමතික භාවයට එරෙහිව නැගී සිටීමට නොපැකිලිව ඉදිරිපත්විය යුතු බව අභීතව ප්‍රකාශ කරමින් කැරැළි ගැසූ නායකයකු ලෙස ද ඔහු හැඳින්විය හැක. ඇතැම් ක්‍රීඩකයන් සංචාරයට යාම අවසන් මොහොතේ ප්‍රතික්ෂේප කරද් දී නොපසුබටව ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ ක්‍රීඩකයන් අතර බන්දුල වර්ණපුර ඉදිරියෙන් සිටියේ ය. මුදලට නොව සම අයිතිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු තහනම් ක්‍රිකට් සංචාරයට එක් වූ ඔහු මෙරට පාලක පන්තියෙන් අසාධාරණ දඬුවමකට මුහුණ දුන්නේ ය. ඒ සාපරාධී අපරාධකාරයකු සේ වසර විසිපහකට ක්‍රිකට් තහනමකට ලක්වෙමිනි.

පූජාසනයේ හිඳුවා පිදුම් ලැබූ ඔහු පසුව චෞරයකු, කැරළිකරුවකු ලෙස සලකා මිනිසුන්ගේ පරිහාසයට ලක්වද්දී වර්ණපුරයන් නිහඬව පසෙකට වී බලා සිටියේ ය. තමන් හා තම සගයන් නොලැබුණු වරදාන, වරප්‍රසාද ටිකෙන් ටික බිඳෙන් බිඳ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවනු බලා ඔහු අකම්පිතව සිනාසීමට තරම් දයාර්ද්‍ර විය. යළිත් වසර ගණනාවකට පසු තම ක්‍රිකට් ක්‍රීඩාව අවසන්ව ඇති මොහොතක තහනම ඉවත්කළ පසු දේශීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තම දැනුම බෙදා දීමට ඉදිරිපත්වන්නට තරම් ඔහු වර්ණවත් භාවයෙන් හෙබියේ විය.

විශිෂ්ට සන්නිවේදකයකු වූ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ගම් නියම්ගම් සිසාරා ව්‍යාප්ත කිරීමට රූපවාහිනියේ විශේෂඥ විස්තර විචාරකයකු සේ ගෙනආ නිරවුල් හා නිවැරදි ක්‍රීඩා දැනුම කිසිදා කිසිවකුටත් අමතක කළ හැකි නොවේ. තණතීරුවේ ස්වභාවය අනුව එහි දූලි නැගීම හෝ තෙතමනය එසේත් නැතහොත් තණකොළ පවතින ස්වභාවය, එක් එක් කණ්ඩායමේ පන්දුයවන්නන්ගේ විභවතා, දඟකැවීමේ හෝ දෝලනයේ කුසලතා සලකා බලා තරගය තුළ කටයුතු කළ ආකාරය ගැන ඔහු ලබාදුන් විශේෂඥ දැනුම අතිවිශිෂ්ට ප්‍රායෝගික ස්වභාවයකින් යුක්ත විය.

එහෙත් දැන් ඒ සියල්ල අවසන් කරමින් බන්දුල වර්ණපුරයන් නික්ම ගොසිනි. ඇතැම් අවස්ථාවල රජ, සිටු, මැති ඇමැතිවරුන් ඉදිරියේ අහේතුවක, අසාධාරණ හේතු දකිමින් මෙන්ම වරදාන, වරප්‍රසාද උදෙසා හිස නැමීමට උත්සුක නොවූ වර්ණපුරයන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සදා වර්ණවත් මතකයකි.

1996 ලෝක කුසලානය දිනාගැනීමට අවශ්‍ය ශක්තිය කණ්ඩායමට එන්නත් කිරීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ ඔහු තම ජීවිත කාලය තුළ ක්‍රිකට් පුහුණුකරුවකු වශයෙන් විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයට දායාද කර තිබේ. සැබැවින්ම පසුගිය දා ක්‍රිකට් ලෝකය හැර ගියේ මහා පතාක යෝධයෙකි. සරල මිනිසකු ලෙස ජීවත් වූ වද ප්‍රතාපවත් මිනිසෙකි. ඉතිහාසයේ කිසිදු දිනක අමතක නොවන පුද්ගල නාමයකි.

සාධාරණ, යුක්තිගරුක ක්‍රීඩාවක් උදෙසා ජයග්‍රහණය, අභිමානය, තරගකාරිත්වය සහිත විනයවත් ක්‍රීඩාවක් අරභයා දහසකුත් එකක් කැපකිරීම් කළ බන්දුල වර්ණපුරයන් ක්‍රිකට් ලෝකයෙන් සමුගන්නේ ඔහු සමුගත යුතු කාලයේ නොවේ. ඒ ඔහුට තවත් බොහෝ දේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ හැකි යුගයක ඔහු සමුගෙන යාම දැරිය නොහැකි පාඩුවක් ලෙස සැලකෙන්නේ එහෙයිනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු අයියා බන්දුල වර්ණපුරගේ සමුගැනීමට සැබැවින් ගෞරවය කිරීමේ වගකීම දැන් ඉතිරිව ඇත්තේ හිච්චි මල්ලිලා අතේ ය. ඔවුන් මල්ලිලා යැයි කීවාට බන්දුල වර්ණපුරයන්ගේ දරුවන් හා සමාන ය. එය වඩා හොඳින් ඉටුකිරීමට ඔවුනට හැකියාව ඇත්තේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ය. ශූරතාවය කෙසේ වෙතත් සැබෑ තරගකාරිත්වයක් උත්පාදනය කර අනාගතයේ යළි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලෝකය තුළ දිග්විජය කිරීමට තරම් ප්‍රබල බව පෙන්වීමට ඔවුනට මෙම ලෝක ශූරතාව අවස්ථාවක් කරගත හැකි ය. එමගින් වර්ණපුර නම් පතාක යෝධයාට, දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය මිනිසා ගේ නාමයට සැබෑ ගෞරවාදරය පිරිනැමීමට හැකියාව පවතින බව කිවයුතු ය.

 

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments