සටනට සැරසෙන සිංහයෝ විස්සයි20 | සිළුමිණ

සටනට සැරසෙන සිංහයෝ විස්සයි20

 

ක්‍රිකට් ලෝක කුසලානයට එක්වනවිට පසුබැසීමට ලක්ව සිටිය ද ශ්‍රී ලංකාව යනු ස්වර්ණමය ක්‍රිකට් අතීතයකට හිමිකම් කියන්නා වූ ක්‍රිකට් රාජ්‍යයකි.

ඉන්දියාවේ සත්කාරකත්වයෙන් විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ ක්‍රීඩාංගණ සත්කාරකත්වයෙන් පසුගිය දා ආරම්භ විය.

අවාසනාවකට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට එක්වූයේ පළමු වටයට ද තරග වැදිය යුතු කණ්ඩායමක් වශයෙනි.

මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයට එක්වනවිට පසුබැසීමට ලක්ව සිටිය ද ශ්‍රී ලංකාව යනු ස්වර්ණමය ක්‍රිකට් අතීතයකට හිමිකම් කියන්නා වූ ක්‍රිකට් රාජ්‍යයකි. විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා එක් ශූරතාවයකට (2014) හා අනුශූරතා දෙකකටම (2009, 2012) උරුමකම් කීම මෙහිදී අමතක නොකළ යුතුය.

මෙවර කණ්ඩායමේ නායකත්වය තිස්වියැති තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමිව ඇත. ආරම්භක පිතිකරුවන් ලෙස තිස්එක් වියැති ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමඟ එම වියේම පසුවන දිනේෂ් චන්දිමාල් හෝ විසිතුන් වියැති අවිශ්ක ප්‍රනාන්දු දෙදෙනාගෙන් එක් අයෙක් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා පිතිකරන බලඇණියේ සිටින හොඳම පිතිකරුවා ලෙස හැඳින්විය හැකි තරග 52 ක දී ලකුනු 1452ක් රැස් කරගෙන සිටින කුසල් පෙරේරා මේ වන විට කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ම ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් විස්සයි20 තරග 22 ක දී ලකුණු 273ක් රැස් කර ඇති අවිශ්ක ප්‍රනාන්දු මේ දක්වා සාර්ථකත්වයක් පෙන්වා නොතිබීමත්, තරග 59 ක දී ලකුණු 939 ක් රැස් කරගෙන ඇති දිනේෂ් චන්දිමාල් තවමත් නිසි රිද්මයට ප්‍රහාරාත්මක වේගයක් පවත්වා ගෙන නොයාමත් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට මෙහි දී වැඩි වගකීමක් පැටවෙනු ඇත. මෙම කණ්ඩායමේ කඩුලු රැකීමේ භූමිකාව කුසල් හා දිනේෂ් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට පැවරීමට වැඩි ඉඩකඩ තිබේ.

කණ්ඩායමේ අංක තුන පිතිකරු ස්ථානය විසිනවවැනි වියේ පසුවන භානුක රාජපක්ෂට පැවරී ඇත. ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙකු වන ඔහු තරග 10 ක දී ලකුණු 165 ක් රැස් කර තිබේ. එහෙත් මෑතකාලීනව දිගින් දිගටම ඔහු විශ්වසනීය භාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපොහොසත්වීම ශ්‍රී ලංකා පිතිකරණ අංශයට බලපෑමක් වනු ඇත.

තිස්වියැති උපනායක ධනංජය ද සිල්වා පිතිකරණ බල ඇණියේ අංක 4 පිතිකරුවා මෙන්ම 6 වැනි පන්දු යවන්නා වශයෙන් කටයුතු කරනු ලබයි. පිතිකරුවෙකු වශයෙන් ඔහු ද පසුගිය සමයේ කැපීපෙනෙන සාර්ථකත්වයක් පෙන්වීමට අපොහොසත් විය.

අංක 5 ස්ථානය සඳහා විසිහතර වියැති චරිත් අසලංක තරග 3 ක දී ලකුණු 64 ක් රැස් කර ඇති අතර මේ වන විට තරගයක් නිර්මාණය වී ඇත්තේ සංචිතයේ සිටින අනෙක් පිතිකරුවාවන විසිතුන්වියැති පැතුම් නිස්සංක සමඟ ය. පැතුම් තරග 04 ක දී ලකුණු 84 ක් රැස් කර තිබේ. කෙසේ වෙතත් පැතුම් ගේ සහ චරිත්ගේ පිතිකරන ස්ථාන ඕනෑම මොහොතක ඉහළ පහළ යා හැකි ය.

තරග 49 ක දී ලකුණු 611 ක් රැස් කරගෙන සිටින්නේ අංක 6 පිතිකරු දසුන් ශානක යි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බලඇණියේ වැඩි වගකීමක් ඔහු වෙත පැවරී ඇත්තේ නායකත්වයේ බරත් සමඟිනි. දසුන් පිතිකරණය මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස සැලකේ. අවශ්‍ය විටක දී මද වේගපන්දු යැවීමෙන් ද පන්දු යැවීමේ අංශයට යම් දායකත්වයක් ලබාදීමට සමත් අතර දැනට කඩුළු 15ක් දවා ගෙන තිබේ.

කෙසේ වෙතත් විස්සයි20 විශේෂඥයෙකු වශයෙන් දේශීය පිටියේ දී ඔහු දක්වා ඇති දක්ෂතා තවමත් ජාත්‍යන්තර තලයේ ප්‍රකට කර නොමැත. එය එ් දක්වා පරිවර්තනය කරගැනීම ඉතාමත් ඉක්මනින් සිදුකිරීම අනිවාර්යය සාධකයකි. කණ්ඩායමේ දඟපන්දු යැවීමේ අංශය පෙළගැස්වී ඇත්තේ ජාත්‍යන්තර විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේහි දෙවැනි ස්ථානයේ පසුවන දකුණත් පා දඟපන්දු යවන විසිහතර වියැති වනිඳු හසරංගගේ ප්‍රමුඛත්වයෙනි. මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ විශාල ම බලාපොරොත්තුව වන්නේ ද වනිඳුයි. කෙසේ වෙතත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ භූමිකාවට පණපොවන වනිඳු පසුගිය සමයේ දී පිතිකරුවෙකු වශයෙන් තරමක් පසුබෑමකට ලක්විය. එසේම පන්දු යවන්නෙකු ලෙස මෙවර ඉන්දීය ප්‍රිමීයර් තරගාවලියේ ක්‍රීඩා කළ තරග දෙකම අසාර්ථක විණි.

එහෙයින් මේ සියල්ල ඉක්මනින් ම අමතක කර දමා විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අවතිර්ණ විය යුතුව තිබේ.වනිඳු තරග 25 ක දී ලකුණු 200 ක් රැස් කරගෙන සිටින අතර කඩුලු 36 ක් බිඳ දමා ඇත.

වනිඳුට අමතරව මෙම සංචිතයේ සිටින අනෙක් විශේෂඥ දඟපන්දු යවන්නන් වන්නේ දකුණත් දඟපන්දු යවන්නාවන විසිහත් වියැති අකිල ධංනජය යි. ඔහු තරග 31 ක දී කඩුලු 28 ක් දවා ගෙන තිබේ.

දඟ පන්දු යැවීමේ අංශයට තවත් සවියක් එක් කිරීමට එක් වන්නේ විසිඑක් වියැති මහීෂ් තික්ෂණ හැඳින්විය යුතු ය.

ප්‍රධාන දඟ පන්දු යන්නක්නට අමතරව පිතිකරණය මූලික කර ගත් දඟපන්දු යවන්නන් ලෙස ධනංජය ද සිල්වා, චරිත් අසලංක වැන්නන් ද සිටීම ශ්‍රී ලංකා පන්දුකරණයට අමතර ශක්තියකි. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරු දඟපන්දු වන්නන්ට හිතකර වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අවිය බවට පත්වන්නේ ද වනිඳු ප්‍රමුඛ දඟ පන්දු යැවීමේ බලඇණියයි.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය සමන්විත වී ඇත්තේ ප්‍රධාන වේගපන්දු යවන්නන් සිව්දෙනෙකුගෙනි. ඒ වර්තමානයේ තම හොඳම පන්දු යැවීමේ රිද්මයේ සිටින විසිනවවැනි වියේ පසුවන දුෂ්මන්ත චමීර, විසිහතරවැනි වියේ පසුවන ළහිරු කුමාර හා වේග පන්දුව මූලික කර ගත් විසි පස්වියැති තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න තිදෙනා ඒ අතර ප්‍රමුඛය.

ඊට අමතරව වේග පන්දු බල ඇණිය ශක්තිමත් කිරීමට එක්වන්නේ විසිහයවැනි වියේ පසුවන බිනුර ප්‍රනාන්දුයි. ඊට අමතරව දසුන් ශානකට ද වේග පන්දු අංශයට යම් දායකත්වයක් ලබා දීමේ හැකියාවක් ඇත. මොවුන් සියලු දෙනාම දකුණත් වේගපන්දු යවන්නන් ය.

මේ අතරින් අංක 8 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කරන චාමික කරුණාරත්නගේ ප්‍රහාරාත්මක පිතිකරණය ද ශ්‍රී ලංකා පිතිකරණ අංශයට මහත් අස්වැසිල්ලකි.

ශ්‍රී ලංකා සංචිතය මුල් වරට පසුගිය මාසයේ දී නම් කරනු ලැබුව ද අනතුරුව එහි වෙනස්කම් කිහිපයක්ම සිදු කරනු ලැබුවේ ක්‍රීඩකයන් 19 දෙනෙක්ම ඒ සඳහා ඇතුළත් කරමිනි. මීට පෙර සංචිතයේ සිටි තුන්ඉරියව් ක්‍රීඩක ලහිරු මධුසංඛ ආබාධයකට ලක් වීම නිසා සංචිතයෙන් ඉවත් කෙරිණි.

කෙසේ නමුත් මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව එක්වන්නේ ඉතිහාසයේ පැවති අනෙක් තරගාවලිවල දී මෙන් නොව අසීරු අඩියක පසුවෙමිනි. ලොව අනෙක් මුල් පෙළේ කණ්ඩායම්වලට සාපේක්ෂව වර්තමානයේ දී ශ්‍රී ලංකාව සිටින්නේ සැලකිය යුතු මට්ටමකින් පහළ අඩියක ය. නමුත් ඕනෑම මොහොතක අළු ගසා දමා යළි නොසිතූ විරූ දක්ෂතා දැක්වීමට හැකි කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි ය.

මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයට යන දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, වනිඳු හසරංග, බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අකිල ධනංජය, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ , පැතුම් නිශ්ශංක

බන්ධුල ජයමාන්න

************************************

ලෝක කුසලාන සුපිරි වටයේ තරග කාලසටහන

ඔක්තෝබර් 23- ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර ෂෙයික් ෂෙයිඩ් ක්‍රීඩාංගණය - අබුඩාබි

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

ඔක්තෝබර් 24- ඒ් 1 හා බී 2 අතර සාජා පිටියේ දී ඉන්දියාව හා පාකිස්තානය අතර ඩුබායි හි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී

ඔක්තෝබර් 25 ඇෆ්ගනිස්ථානය හා බී 1 අතර සාජා පිටියේ දී

ඔක්තෝබර් 26- දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය හා නවසීලන්තය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

ඔක්තෝබර් 27- එංගලන්තය හා බී 2 අතර ෂෙයික් ෂෙයිඩ් ක්‍රීඩාංගණය අබුඩාබි

ඔක්තෝබර් 28- ඔස්ට්‍රේලියාව හා ඒ් 1 අතර ඩුබායි ජාත්‍යන්තර පිටියේ දී

ඔක්තෝබර් 29- බටහිර ඉන්දීය කොදෙව් හා බී 2 අතර සාජා ක්‍රීඩාංගණයේ දී

ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී

ඔක්තෝබර් 30- දකුණු අප්‍රිකාව හා ඒ් 1 අතර සාජා ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී

ඔක්තෝබර් 31- ඇෆ්ගනිස්ථානය හා ඒ් 2 අතර ෂෙයික් ෂෙයිඩ් ක්‍රීඩාංගණය අබුඩාබි

ඉන්දියාව හා නවසීලන්තය අතර ඩුබායි හි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී

නොවැම්බර් 01- එංගලන්තය හා ඒ් 1 අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

නොවැම්බර් 02- දකුණු අප්‍රිකාව හා බී 2 අතර ෂෙයික් ෂාවෙඩ් ක්‍රීඩාංගණය අබුඩාබි

පාකිස්තානය හා ඒ් අතර ෂෙයික් ෂාවෙඩ් ක්‍රීඩාංගණය අබුඩාබි

නොවැම්බර් 03- නවසීලන්තය හා බී 1 අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී

ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අතර ෂෙයික් ෂෙයිඩ් ක්‍රීඩාංගණය අබුඩාබි

නොවැම්බර් 04- ඔස්ට්‍රේලියාව හා බී අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

බටහිර ඉන්දීය කොදෙව් හා ඒ් 1 අතර ෂෙයික් ෂෙයිඩ් ක්‍රීඩාංගණය අබුඩාබි

නොවැම්බර් 05- නවසීලන්තය හා ඒ් 2 අතර සාජා ක්‍රීඩාංගණය

ඉන්දියාව හා බී 1 අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

නොවැම්බර් 06- ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර ෂෙයික් ෂෙයිඩ් ක්‍රීඩාංගණය අබුඩාබි

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර සාජා ක්‍රීඩාංගණය

නොවැම්බර් 07- නවසීලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර ෂෙයික් ෂෙයිඩ් ක්‍රීඩාංගණය අබුඩාබි

පාකිස්තානය හා බී 1 අතර සාජා ක්‍රීඩාංගණය

නොවැම්බර් 08- ඉන්දියාව හා ඒ් 2 අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

නොවැම්බර් 10- පළමු අර්ධ අවසන් පූර්ව තරගය ෂෙයික් ෂෙයිඩ් ක්‍රීඩාංගණය අබුඩාබි

නොවැම්බර් 11- දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

නොවැම්බර් 14- අවසන් මහා තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

කාන්ති ජයසිංහ

Comments