සජබ මන්ත්‍රී පිරිසක් රනිල් රහසේ හමුවෙති | සිළුමිණ

සජබ මන්ත්‍රී පිරිසක් රනිල් රහසේ හමුවෙති

පාසල් යළි විවෘත කිරීම පසුගිය 21 වැනිදා සිදුවීමත් සමඟම දේශපාලන ක්ෂේත්‍රයේ ද බොහෝ දෙනෙකුගේ අවධානය ඒ දෙසට යොමුවිය. පසුගිය සති අන්තයේ සුපුරුදු පරිදි කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා සුපුරුදු පරිදි සහභාගීවන සෞඛ්‍ය අංශ බලධාරීන් හා නිලධාරීන් සහභාගී වී සිටි අතර දේශපාලනඥයන් ලෙස බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මධුර විතානගේ සහභාගී වී සිටියහ. ඊට අමතරව ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග, හමුදාපති, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු ද එතැන සිටියහ.

ජනාධිපති ගෝඨාභය සාකච්ඡාව පටන් ගත්තේ රට තුළ තිබෙන අලුත් තත්ත්වය ගැන කතා බහ කරමිනි.

ඉන් පසුව රට තුළ එන්නත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය ගැන කරුණු විමසන්නට විය. 

ජනපති ගෝඨාභයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම්

"කොහොමද දැන් ෆයිසර් එන්නත ලැබෙන විදිය එහෙම."

ෆයිසර් එන්නත දැන් දිගෙන් දිගට ම ලැබෙනවා. ලබන සඳුදා ලක්ෂ හයක් එනවා. වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එන්නත ලැබෙන ආකාරය ගැන ලොකු විස්තරයක් කරන්න පටන් ගත්තේය.

"අපිට දැන් පාසල් දරුවන්ට අඩුපාඩුවක් නැතුව ෆයිසර් එන්නත ලබා දෙන්න පුළුවන් නම් එච්චරයි." ජනාධිපති කීවේය.

පාසල් මට්ටමින් ආරම්භ කරපු එන්නත්කරණය ඉතාම සාර්ථකයි. දරුවො දැන් නියමිත දිනවල ඇවිල්ලා එන්නත ගහන් යනවා.

"පාසල් ළමයින්ව ළඟම තියෙන පාසලින් එන්නත් කරනවා මිස දුර පාසල්වලට අරගෙන යන්න එපා." ජනාධිපති කීවේය.

"පාසල් ළමුන්ට එන්නත් කීයක් දෙන්න සැලසුම් කරල තියෙනවද."

"දැනට නම් එක එන්නතක් දෙන්න තමයි කමිටුව තීරණය කරලා තියෙන්නේ. හැබැයි 12 - 19 අතර සංකූලතා තිබෙන ළමයින්ට නම් එන්නත් දෙකක් දෙන්න කමිටුව යෝජනා කරලා තියෙනවා." සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පෙන්වා දුන්නේය.

"මම මේ සාකච්ඡා කරන්න හිටියේ. තවමත් රටේ කොවිඩ් අනතුර අඩු වුණා කියලා සතුටු වෙන්න බැහැ. දවසකට හයසීයක් විතර තවමත් ලෙඩ්ඩු හමුවෙනවා. විස්සක් විතර දවසකට මැරෙනවා. මේවා ගැන හොයලා බලන්න තියෙන සැලකිල්ල අඩු කරන්න එපා." ජනාධිපති උපදෙස් දුන්නේය.

"දැන් මේ දේශපාලන පක්ෂයි, වෘත්තිය සමිතියි ආයෙත් පාරක් දාස් ගණන් පාරට බස්සලා උද්ඝෝෂණ කරගෙන යනවා. මේවා ඇතුළෙන් ආයෙ පාරක් රැල්ලක් ඇති වෙන්න පුළුවන්." බන්දුල ගුණවර්ධන පැහැදිලි කළේය.

"ගියපාර අපි කොවිඩ් හොඳටම පැතිරුණු වෙලාවේ නිවාස මූලික කරගෙන ආරම්භ කරපු කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙළ ඉතාම සාර්ථකයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කතාබහ කරල තිබුණා." "ඒ විතරක් නෙවෙයි. අපි එන්නත්කරණ වැඩසටහන ඉතාමත්ම සාර්ථකයි, සතුටුදායකයි කියලත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා." දොස්තර පාදෙණිය විස්තර කළේය.

ජනපති ඉදිරියේ සජිත්ට මහින්දානන්දගෙන් උත්තර

පසුගිය 21 වැනිදා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කාර්ය බහුල දිනයක් විය. උදේ වරුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා උදේ 10.45 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට යනවිට සභාවේ කතා කරමින් සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. රසායනික පොහොර හිඟය හා පොහොර කලට වේලාවට ලබා නොදීම නිසා ගොවියා පත්ව ඇති අසරණභාවය ගැන ඔහු මහත් විස්සෝපයෙන් කථා කරමින් සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එම අවස්ථාවේ පාර්ලිමේන්තුවට ආවේ ජනාධිපති පැමිණෙන්නට මොහොතකට පෙරය. සජිත්ගේ ප්‍රශ්න කිරීම ජනාධිපතිවරයාත් අගමැතිත් දෙදෙනාම හොඳින් අසා සිටියහ.

එම අවස්ථාවේ ඊට උත්තර දෙමින් කතා කළේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාය.

අගමැතිත් ජනාධිපතිවරයාත් දෙදෙනාම සබා ගැබේ සිටින බැවින් මහින්දානන්ද වෙනදාට වඩා උනන්දුවකින් හා සටන්කාමිත්වයකින් විපක්ෂ නායකවරයාට උත්තර දුන්නේය.

මේ තත්ත්වය කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට නියමිතව තිබුණේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඉදිරිපත් කරන ලද අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට අයත් වෙන වෙන ම පනත් හතරකි.

ජනාධිපති ගෝඨාභය මේ ආකාරයෙන් විනාඩි විස්සක් පමණ පාර්ලිමේන්තු සභා ගැබේ රැඳී සිටියේය. ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ද එම අවස්ථාවේ එතැන සිටියහ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු කිහිප දෙනෙක්ම ජනාධිපති කාර්යාලයට පැමිණි ජනාධිපතිවරයා හා ඉතා කුලුපගව කතාබහ කරමින් සිටින අයුරු දක්නට ලැබිණි. මේ අවස්ථාවේ තව නොබෝ දිනකින් ඇමරිකාවේ මෙක්සිකෝවට තානාපතිවරයා ලෙස යාමට නියමිත මහින්ද සමරසිංහ ද පැමිණ ජනාධිපතිවරයා හා කතා බහ කරමින් සිටියේය.

මේ අතරතුර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ද ජනාධිපතිවරයා හමුවන්නට පැමිණියහ.

"අපිට ජනාධිපතිතුමා මුණගැහිලා කතා කරන්න වුවමනායි." මන්ත්‍රීවරු නිලධාරීන්ට එසේ කියන විට ජනාධිපතිවරයාට එය ශ්‍රවණය විය.

"එන්න කියන්න. එතුමන්ලාට මොනවද කතා කරන්න තියෙන්නේ." ජනාධිපතිවරයා එසේ කියමින් මන්ත්‍රීවරුන් පිරිස ගෙන්වා ගනිමින් ඔවුන් සමඟ සැලකිය යුතු වේලාවක් කතාබහ කරමින් සිටියේ ය. ඉන්පසුව පාර්ලිමේන්තුවෙන් පිටත්ව එන විට දහවල් 12.00 ට ද ආසන්න විය.

වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ කපිලවස්තු සර්වඥ ධාතුන්වහන්සේලා, මහා සංඝරත්නයේ සියක් නමක් සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් පළමු වරට ගොඩබැස්සවීමත් සමඟ ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපොළෙහි අන්තර්ජාතික ගුවන් මෙහෙයුම් පසුගිය (20) උදෑසන ආරම්භ විය.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සහ නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර 2020 සැප්තැම්බර් 20 වැනි දින සූම් ඔස්සේ පැවති ද්විපාර්ශ්වික සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඓතිහාසික ගමන සැලසුම් කෙරිණි.

අගමැති මහින්ද ඉන්දීය අගමැති මෝදි හමුවේ ප්‍රතිඵල

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටි කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපළ එරට 29 වැනි අන්තර්ජාතික ගුවන් තොටුපොළයි.

අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි 20 වැනිදා පෙරවරුවේ කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපළ නිල වශයෙන් විවෘත කළ අතර අනතුරුව පැවැති උත්සව අවස්ථාවේ දී බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූ කුසිනාරා නුවර (කුෂිනගර්) හි බෞද්ධයන්ට ඇති වැදගත්කම සහ මහා සංඝරත්නය පෙරටු කොටගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් පළමු ගුවන් යානය ලෙස එහි වැඩමවීමේ ඓතිහාසික වැදගත්කම පෙන්වා දුන්නේය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් මෙම ඓතිහාසික ගමනට වැඩම කළහ. වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරයෙහි කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේ සමඟ එම විහාරාධිපති වස්කඩුවේ මහින්ද වංශ හිමියෝ ද ඒ අතර වූහ.

මෙම ඓතිහාසික අවස්ථාවට එක්වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් කුෂිනගර් හි දී පැවැත්විණි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙම හමුවේ දී භගවත් ගීතාවේ සිංහල, දෙමළ සහ ඉංගිරිසි පරිවර්තන ග්‍රන්ථය පළමු පිටපත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පිළිගැන්නුවේය.

"ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ශ්‍රේෂ්ඨතම ත්‍යාගය බුදු දහමයි. අපි සැම විටම දෙරටේ ජනතාව අතර සමීප සබඳතා පවත්වා ඇත්තෙමු. එය අතිගරු ජනාධිපතිතුමාගේ ද දැක්ම" යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙම හමුවීමට අදාළව අදහස් ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අදහස් පළ කරමින් කුෂිනගර් හි දී අමාත්‍ය නාමල් රාජපක්ෂ හමුවීම සතුටට කරුණක් බවත් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වෙමින් පවතින බවත් සඳහන් කරමින් එය දෙරටේම ජනතාවට යහපතක් උදාකරනු ඇති බවටත් විශ්වාසය පළ කර ඇත.

ප්‍රසන්නට ජනපතිගෙන් හා අගමැතිගෙන් පණිවිඩ

ප්‍රංශයේ පැවති සංචාරක අලෙවි ප්‍රදර්ශන වැඩසටහනකට සහභාගීවීම සඳහා ගිය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉකුත් සඳුදා නැවතත් ලංකාවට පැමිණියේය. ඇමතිවරයා ලංකාවට පැමිණෙන බව දැන සිටි ගුවන් තොටුපළ බලධාරින් VIP පිටවීමේ දොරටුව හරහා ඇමතිවරයා පැමිණේ යැයි බලාපොරොත්තු වුවත් ඇමතිවරයා පැමිණියේ සාමාන්‍ය මඟින් පිටවන දොරටුවෙනි.

Online ක්‍රමවේදය හරහා වීසා ලබා ගන්නා සංචාරකයන්ට ඉක්මනින්ම ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අදාළ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඇමතිවරයා උපදෙස් දී තිබුණේ ලංකාවෙන් පිටත්වීමට පෙරයි. ඇමැතිවරයා ලංකාවෙන් පිටත්වීමට පෙර උපදෙස් දුන් පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇද්දැයි පරීක්ෂා කිරීමට අමාත්‍යවරයා මෙලෙස කටයුතු කර තිබිණි. ගුවන් තොටුපළ සමාගමේ සභාපතිවරයා සහ ඩී.වී. චානක අමාත්‍යවරයා සංචාරක අමාත්‍යවරයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටි අතර පිරිස විනාඩි 45 ක් පමණ කාලයක් ගුවන් තොටුපළ පරිශ්‍රයේ නිරීක්ෂණය යෙදිණ.

ගුවන් තොටුපොළේ ඒ වන විටත් සංචාරකයෝ පිරිසක් රැඳී සිටියහ. ඇමැතිවරයා ඔවුන් සමඟ කතා කළේය.

"ශ්‍රී ලංකාවට ඔබලා සාදරයෙන් පිළිගන්නවා. ඔබලා ගුවන් තොටුපළ සේවය ගැන සෑහීමකට පත් වෙනවාද?"

"ශ්‍රී ලංකාව ලස්සන රටක්. අපිට හොඳ පිළිගැනීමක් ලැබුණා. ඉක්මනින්ම සේවා සැපයීම සිද්ධ වෙනවා." අමාත්‍යවරයා සහ සංචාරකයන් අතර මෙම සංවාදය ඇති වුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලැබිණි.

"කොහොමද ප්‍රසන්න"

"හොඳින් ඉන්නවා. මේ දැන් තමයි ජනාධිපතිතුමා මම ලංකාවට ආවේ"

"ප්‍රසන්න ගිය වැඩ කටයුතු සාර්ථකයි ද"

"සෑහෙන්න සාර්ථකයි"

"ඇමතිතුමාට මම කතා කළේ තවත් වගකීමක් බාර දෙන්න. ඉන්දියාවෙන් අද පොහොර එනවා. ඒ වැඩේ සංවිධානය කරන්න ඕනේ"

"හරි ජනාධිපතිතුමා, මම ඒකට අවශ්‍ය සියලු වැඩකටයුතු සූදානම් කරන්නම්"

දුරකථන සංවාදය අවසානයේ එදින සවස ඉන්දීයාවේ සිට මෙරටට පැමිණෙන පොහොර තොගය භාර ගැනීමේ කටයුතු සංවිධානය කරන ලෙස ඇමැතිවරයා ගුවන් තොටුපළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

"පොහොර තොගේ භාරදෙන්න ඉන්දියානු මහකොමසාරිස්වරයා එනවා. ඒ වගේම පොහොර තොගේ බාරගන්න බන්දුල ඇමතිතුමයි, ශෂින්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමායි එනවා. මේක රටේම පොහොර ගැන කතා කරන වෙලාවක්. ඒ නිසා ඒ වැඩේ හොඳට කෙරෙන්න ඕනෙ" ඇමතිවරයා උපදෙස් දුන්නේය.

ඒ අතර දුරකථන සංවාදයක යෙදී සිටි ඩී.වී. චානක රාජ්‍ය අමාත්‍යවරයා" නාමල් ඇමැතිතුමාට ඔබතුමාට කතා කරන්න ඕනේ කියනවා" කියමින් දුරකථනය ප්‍රසන්න රණතුංග ඇමතිවරයා වෙත දිගු කළේය.

"ඔව් ඇමතිතුමා"

"ප්‍රසන්න ඇමතිතුමා ලංකාවට ආවා කියලා දැනගත්තා"

"මේ දැන් ආවා විතරයි"

"අගමැතිතුමාට ඔබතුමාව හම්බවෙන්න ඕනේ කියනවා"

"මම පී.සී.ආර්. එක කළා. ඒක නෙගටිව්. ප්‍රශ්නයක් නැත්නම් මට දැන් එන්න පුළුවන්"

"ප්‍රශ්නයක් නැහැ ඇමැතිතුමා."

"මම දැන් කොළඹ ගෙදරට එනවා. ඊට කලින් අගමැතිතුමාව හම්බවෙනවා"

ඒ මොහොතේම අගමැතිවරයා මුණගැසීම සඳහා පිටත්ව ගිය සංචාරක ඇමතිවරයා හා අගමැතිවරයා අතර පැයක පමණ සාකච්ඡාවක් පැවතියේය.

30,000 කට රැකියා ලබාදීමට නාමල් සූදානම් වෙයි

අතිශය කාර්ය බහුල තත්ත්වයක් මැද වුවද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රමුඛතාව දී ඇත්තේ තරුණ සංවර්ධන වැඩසටහන්වලටය. එහි තවත් එක් පියවරකි තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහන. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා හා ඊ-සොෆ්ට් ආයතනයේ සභාපති දයාන් රාජපක්ෂ පසුගිය දිනක කරන ලද සාකච්ඡාවකින් අනතුරුව තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය ආශ්‍රිතව තරුණ තරුණියන් 30,000 කට රැකියා පුහුණු ශිෂ්‍යත්ව ලබාදීමට වැඩකටයුතු සකස් විණි.

අදාළ රැකියා වැඩසටහන මෙහෙයවීම හා ඒ සඳහා තරුණ පිරිස සූදානම් කරවීම අමාත්‍යවරයා විසින් බාරදෙන ලද්දේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහට ය.

ඒ අනුව ඉකුත් දා අමාත්‍යාංශ පරිශ්‍රයේ දී රැකියාලාභීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ පළමු අදියර සිදු වූ අතර, එහි දී ඊ-සොෆ්ට් සභාපතිවරයා නාමල් රාජපක්ෂ ඇමතිවරයාට මෙන් ම තරුණ සේවා සභාපති දමිත වික්‍රමසිංහට ද සිය ප්‍රශංසාව එක් කළේ අන් යමක් නිසා නොව සතියක් වැනි කෙටි කලක් ඇතුළත වැඩසටහන මනාව සම්බන්ධීකරණය කිරීමෙන් පමණක් නො නැවතී උත්සවය ද මනා කොට සංවිධානය කර තිබූ හෙයිනි.

වසරකට අධික කාල සීමාවක් වසා තැබුණු සිසුන් 200කට අඩු පාසල් සියල්ලම පාහේ ඉකුත් 21 දා විවෘත වූ අතර, නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ සංකල්පයකට අනුව යෞවන සමාජවල තරුණ තරුණියන් පසුගිය 18 දා පාසල් පිරිසිදු කිරීමට එක්කාසු වීමද කාගෙත් කතාබහට ලක්විණි. ඇමති නාමල්ගේ අදහසකට අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන දිවයිනේ ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි පැවැත්විණි. ඒ යටතේ පාසල් 300 කට වැඩි සංඛ්‍යාවක් පිරිසිදු කළ අතර වැඩසටහන සඳහා තරුණ පිරිස මෙහෙයවීමේ වගකීම භාර ගත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවති ශ්‍රමදාන වැඩසටහනකටද එක්වීය.

රනිල් හෙළි කළ රහස

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් සතිය පුරාම සිය කාලය වෙන් කළේ පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙනි. ඔහු නියෝජ්‍ය නායක රුවන්ටත්, මහලේකම් රංගේට හා සභාපති වජිර ඇතුළු කණ්ඩායමට දුරකතන ඇමතුම් ලබා දෙමින් මේ ගැන සොයා බැලුවේය. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ ඡන්ම දිනය දා ඩිජිටල් සාමාජික කාඩ්පත් නිකුත් කිරීමේ වැඩසටහන සාර්ථක කරගැනීමට ඔහු උනන්දු වූවේය.

ඒ අතරවාරයේ නායකයා පක්ෂය සමඟ ගනුදෙනු කරන තරුණයන් කිහිපදෙනෙකු පස්වැනි පටුමගේ නිවසට කැඳවූවේ ඉකුත් අඟහරුවාදාය.

"ලෝකයම අද තරුණයන්ගේ අතට පත්වෙලා. තාක්ෂණ දියුණුවත් සමඟ සැවොම තරුණයන් දෙස තමයි බලන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදාම තරුණයන්ට ඉදිරියට එන්න අත දුන්නු පක්ෂයක්. මෙවරත් මම අපේක්ෂා කරනවා අපේ පක්ෂය යළිත් තරුණයන් අතට බාර දෙන්න. ඔයාලා ඒ වගකීම් ගන්න ඕනේ." නායකයා කීවේ හැඟුම්බරවය.

පැමිණ සිටි තරුණ පිරිස් විසින් ඩිජිටල් සාමාජික බඳවා ගැනීමේ ඇප් මෘදුකාංගය සකස් කොට තිබු අතර පක්ෂය නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළත් ඔවුන්ටම භාර කිරීමට නායකයා එහිදී පියවර ගත්තේය.

නවීන තාක්ෂණික මෙවලම් ඔස්සේ සාමාජිකයන් බඳවා ගැනීමේ ක්‍රමවේදය ඇතුළත් නව මෘදුකාංගය ඉකුත් 20 දා සවස සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. "හෙට දකින හෙට හදන පක්ෂය" ලෙස එය නම් කර තිබුණි. ඊට නියෝජ්‍ය නායකයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එදින පෙරවරුවේ ඩිජිටල් සාමාජිකත්වය ලබාගත හැකි මෘදුකාංගය සම්බන්ධයෙන් විස්තරයක් දිනුක් කොළඹගේ පක්ෂ නිලධාරී මණ්ඩලයට ලබා දුන්නේය.

"පළමු පියවර ලෙස මේ මෘදුකාංගය මඟින් පක්ෂය සමඟ එකතුවෙන පිරිසට අපේ පක්ෂයේ සාමාජිකත්වය ගන්න පුළුවන්. ඉන් පසුව ඔවුන්ගේ විස්තර අපට දෙන්න ඕනේ. ඊට පස්සේ එම සාමාජිකයාව අපි අදාළ කොට්ඨාසය යටතේ ලියාපදිංචි කරනවා. මොකද මේ ඩේටා බේස් එක ඇතුළේ ඒ හැම දත්තයක්ම තැන්පත් වෙලා තියෙනවා." දිනුක් කීවේය.

නියෝජ්‍ය නායක රුවන් මෙහිදි කීවේ නව කණ්ඩායමක් යටතේ මෙම නව තාක්ෂණික ක්‍රමවේදය පවත්වාගෙන යා යුතු බවය. එම කණ්ඩායම නම් කොට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස ද නායකයා රුවන්ට උපදෙස් දුන්නේය.

ඉන්පසුව නායකයා තවත් රහසක් එහි සිටි නිලධාරී කණ්ඩායමට දැනුම් දුන්නේ සියලු දෙනා මවිතයට පත් කරමිනි. "අද මම මේ පක්ෂය තරුණයන්ට බාර දෙනවා." එසේ කියූ නායකයා සිනහසෙමින් උත්සව සභාව වෙත යද්දී සියලු දෙනා මුහුණට මුහුණ බලාගත්තේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිවය.

නායකයා ප්‍රධාන පීඨිකාවට ගොඩවී රැස්ව සිටි සැමට ඉතිහාසය පුරා පක්ෂය තරුණයන්ට ඉඩ වෙන් කළ ආකාරය අතීත සිද්ධීන් ද සිහිපත් කළේය. අනතුරුව නායකයා පුද්ගලයන් තිදෙනෙකුගේ නම් කියා වේදිකාවට ගොඩවන ලෙස ඉල්ලා සිටියේය. දිනුක් කොළඹගේ, ෂෙහාර හේරත් හා කනිෂ්ක රාජපක්ෂ එම තිදෙනා වූහ.

"මම නාමිකව මේ තුන් දෙනා නම් කළත් මේ තුන් දෙනා ඇතුළු සියලු තරුණයන්ට මම අද මේ පක්ෂය භාර දෙනවා. ජ්‍යෙෂ්ඨයෝ ලෙස අපි පිටුපසින් ඉඳන් මෙයාලට උපදෙස් දෙනවා." එසේ කියු එජාප නායකයා ප්‍රධාන පීඨිකාවෙන් බැස ගියේ පැමිණ සිටි සියල්ලන්ගේ අත්පොළසන් හඬ මධ්‍යයේය.

ඉකුත් බ්‍රහස්පතින්දා එජාප නායකයා පාර්ලිමේන්තුව වෙත ගියේ එම සතියේ පාර්ලිමේන්තුව රැස්වූ පළමු දිනය එදින වූ නිසාවෙනි. මෙහිදි විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තු ලොබියේදී සුළු වේලාවක් කතා බහ කරන්නට ද නායකයාට අවස්ථාව උදාවිය. සජබයේ මන්ත්‍රීවරුන් හතර පස්දෙනෙකු වටපිට බලමින් රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. නායකයා සමඟ කතාබස් කළේය.

පාර්ලිමේන්තු කටයුතු නිමවා නායකයා පස්වැනි පටුමඟේ නිවසට එන විට පක්ෂ නිලධාරීන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීහු රැසක් එහි පැමිණ සිටියහ. එහිදි ගුරු ප්‍රශ්නය, තෙල් මිල ඉහළ යාම, සහල් මිල හා භාණ්ඩ මිල ඉහළ යාම මෙන්ම පොහොර ප්‍රශ්නය ගැන ද දීර්ඝ ලෙස පිරිස සාකච්ඡා කළහ.

සජිත් විරෝධතාවල

බිම් මට්ටමේ සජබ දේශපාලනය අරඹමින් විපක්ෂ නායක ඇතුළු පිරිස් සජිත් ප්‍රේමදාස සක්‍රියවී තිබේ. පිළියන්දල හා දොම්පේ දී බඩුමිල පොහොර, ගෑස්, කිරිපිටි, සිමෙන්ති හා ගුරු ගැටලුව මෙන්ම තවත් කරුණුවලට එරෙහිව විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබුණි.

සජිත්ගේ උපදෙස් මත මහලේකම් රංජිත් ගොවීන්ගේ අයිතීන් රැකදෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ද ක්‍රියා කොට තිබේ.

පසුගිය වප් පුර පසළොස්වක පෝදා සුපුරුදු දහම් දෙසුම සජිත් ජලනි දේපළගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අතර තිස්ස එය සංවිධානය කළේය. "සදහම් යාත්‍රා" දීප ව්‍යාප්ත වැඩසටහන ද තිස්ස සාර්ථකව ඉදිරියට ගෙන යමින් තිබේ.

මොනරාගල හා බුත්තල දී සජිත් එක්වූ රැස්වීම් කිහිපයක් පැවැත්විණ. රංජිත් හා වෛද්‍ය රාජිත ද ඊට එක්වූහ.

"අපි විපක්ෂයේ ඉඳ බොහෝ ජනතා සේවා කරනවා. කරාපිටිය රෝහලට ලක්ෂ 30 ක හා රටපුරා ලක්ෂ 1,000 ඉක්මවන උපකරණ දුන්නා. ලක්ෂ 28 ක ජල පෙරණයක් බුත්තලට අද දෙනවා. ආණ්ඩුවේ අය විපක්ෂයේ දී කළේ විවේචන විතරයි" සජිත් කීය.

සරත් ෆෝන්සේකා ඇතුළු මන්ත්‍රීවරු රන්ජන් බැලීමට ගියහ. නලින් බණ්ඩාර ගියේ ඊට පසු තනිවමය. රන්ජන් වැලිකඩට මාරු කිරීම හා සමාව දීම සඳහා ඔවුහු අරගල කරති. පැන්ඩෝරා සිද්ධිය ගැන සාක්ෂිදීමට අවශ්‍ය බව රන්ජන් නීතීඥයන් මඟින් උසාවියට දැනුම් දීම ද විශේෂත්වයකි.

වජිර, ඩී.එස්. සිහිපත් කරයි

එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමන්ගේ 137 වැනි ඡන්ම දිනය පසුගිය බදාදා (20) ට යෙදී තිබුණ අතර එදින ඒ වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ගුණ සමරු වැඩසටහනක් ගාල්ල ඉඳුරන්නාවිල දී පැවැත්වුණේ වජිරගේ ප්‍රධානත්වයෙනි.

ඉඳුරන්නාවිල සිරි සුදර්ශී විහාරස්ථානය ඉදිරිපිට ඉදිකර තිබූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමන්ගේ පිළිරුව වජිරගේ උපදෙස් පරිදි ප්‍රතිසංස්කරණය කළ අතර එම පිළිරුව යළි නිරාවරණය කොට එයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ගුණසමරු වැඩසටහන ආරම්භ විය.

Comments