වේදිකා නාට්‍ය කලාව පවතින්නේ දිළිඳු සංස්කෘතික ක්‍රියාකාරකමක් විදියට | සිළුමිණ

වේදිකා නාට්‍ය කලාව පවතින්නේ දිළිඳු සංස්කෘතික ක්‍රියාකාරකමක් විදියට

 

 

වේදිකා, ටෙලිනාට්‍ය, සිනමා රංගන ශිල්පියකු, අධ්‍යක්ෂවරයකු, පිටපත් රචකයකු ලෙස භූමිකා ගණනාවක් නිරූපණය කරන ප්‍රසාද් හේමන්ත අන්තර්ජාතික සහ ජාතික වශයෙන් ඇගයීමට පාත්‍රවූ අපට සිටින දක්ෂ කලාකරුවෙක්. වේදිකාව අතනොහැර එදා පටන් අද දක්වාම වේදිකා නාට්‍යයේ ප්‍රගමනය උදෙසා කටයුතු කරන හේමන්ත ප්‍රසාද් සමඟ වේදිකාව ගැන කළ කතා බහක් මේ.

 

වේදිකා නාට්‍ය පැත්තෙන් කතාව පටන් ගත්තොත් සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කරපු ලෝරන්ස්ගේ මනමාලි නාට්‍ය හොඳින් ප්‍රදර්ශනය වෙමින් තිබුණේ. අපි විදෙස් සංචාරයකට පවා ගිහින් ඇවිත් ලංකාවේ දර්ශන කිහිපයක් පමණයි කරන්න වුණේ; මේ කොවිඩ් ප්‍රශ්නය ඇති වුණා. ඒ අතරතුර වැඩ කරන්න පුළුවන් කාල ආවම අපි නැවත වේදිකාව වෙනුවෙන් ටවර් හෝල් රඟහලත් මැදිහත් වෙලා ප්‍රේක්ෂා නමින් නාට්‍ය උළෙලක් කළා.

අපි හිතුවේ මේ වසංගතය ඉවරයි කියලා. ඒ නිසා අවුරුදු ගාණකට පස්සේ මම මගේම රචනයකින් නාට්‍යයක් නිර්මාණය කළා; අසුරයන් නමින්. දින 20ක් වගේ පෙර පුහුණුවීම් කළත් තුන්වෙනි රැල්ලත් ආව නිසා ප්‍රායෝගික ගැටලු මතු වුණා. වේදිකා නාට්‍යයකදි අපිට ඈත් වෙලා මුව ආවරණ දාගෙන කරන්න බැරි නිසා සහ ශිල්පීන් කලාව වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න සුදානම් වුණත් ඒ අය පවුලේ දෙමාපියන් දරුවන් ගැනත් හිතන්න ඕනේ නිසා ගොඩක් අයගේ අදහස වුණේ කෙටි කාලයකට පුහුණු වීම් නතර කරමු කියලා. ඒ නිසා මේ දිනවල වේදිකාව පැත්තෙන් නම් කිසිවක් වෙන්නේ නැහැ.

 

අපි අද කොවිඩ් නිසා මේ තත්ත්වය උදාවීම ගැන කතා කළත්, වේදිකා නාට්‍ය කලාව ගැන වර්තමානයේ කතා කරද්දී නම් කොවිඩ් ආවත් නාවත් යම් අර්බුදකාරී තත්ත්වයක නේද තිබුණේ.

ඔව්; ඇත්තම කියනවා නම් කොවිඩ් රෝගය පැතිරෙන්නට වසර ගණනාවකට කලින් පවා යම් අර්බුදයකට ලක් වෙමින් තිබුණා. පසුකාලයකදී කාටවත් සෘජුව කියන්න බැහැ වේදිකා නාට්‍ය කලාවට ප්‍රශ්නයක් වුණේ කොවිඩ් කියලා. ඒ වෙනකොටත් ලංකාවේ වේදිකා නාට්‍ය කලාව යම් විදියකට කඩා වැටීමකට ලක්වෙලා තිබුණා. දැන් ක්‍රමයෙන් කොවිඩ් පහව ගිහින්; යථා තත්ත්වයට පත් වුණත් අවම වශයෙන් තව වසරක්වත් යනකම් රඟහලට ප්‍රේක්ෂකයන් ගෙන්න ගන්න බැරිවෙයි. එකක් තමා රටේ පවතින සමාජ ආර්ථික තත්ත්වය එක්ක මිනිසුන්ගේ අතමිට හිඟකම. ඒ නිසා ඒ අය නාට්‍යයක් බලන්න පෙලඹෙයි ද කියන එක ප්‍රශ්නාර්ථයක්. නමුත් චිත්‍රපට මාධ්‍ය ගත්තම තාක්ෂණයේ දියුණුව එක්ක වෙන වෙන ෆ්ලැට්ෆෝම් නිර්මාණය වෙමින් පවතිනවා. වේදිකා නාට්‍ය කියන්නේ සියයට සීයක්ම සජීවී මාධ්‍යයක්. වේදිකා නාට්‍ය ඉදිරියේදී රූපවාහිනී නාලිකාවල හෝ යූ-ටියුබ් නාලිකාවල පෙන්වන්න පුළුවන් වුණත් එතකොට ඒ්වා වේදිකා නාට්‍යය ද කියන ප්‍රශ්නය එනවා. ඇත්තටම මේ වෙනකොට නම් වේදිකා නාට්‍යය කලාව ඉතා බරපතළ තත්ත්වයක තියෙන්නේ.

ඒ එක්කම අපි දකින කාරණයක් තමයි වේදිකාව තුවෙන් බිහිවෙන දක්ෂ නළු නිළියන් හෝ අධ්‍යක්ෂවරුන් පුංචි තිරයට හෝ සිනමාවට ආවට පස්සේ ඒ අයගෙන් වේදිකාව කියන දේ අතහැරෙනවා කියන දේ, මේ තත්ත්වය ගැන කතා කළොත්

මේක ඉතාම බරපතළවම කියවා ගන්න ඕනේ කාරණයක්. ලංකාව වගේ රටක වේදිකා නාට්‍ය ශිල්පියෙක්ගේ ආර්ථික සුරක්ෂිතාව ඇත්තෙම නැහැනේ. ඒකට විශාල කාරණා ගණනාවක් එකතු වෙනවා. ඒක වෙනම විශ්ලේෂණයට සහ සංවාදයට බඳුන් කර ගන්න ඕනේ කාරණයක් තමයි. ඇයි වේදිකා නාට්‍යයක ශිල්පියෙක්ට ටෙලි නාට්‍යය ශිල්පියෙක්ට දිනකට ලැබෙන ආදායම ලැබෙන්නේ නැත්තේ 2000 වසර වගේ වෙනකම් සාරවත් පසුබිමක් තිබුණා වේදිකා නාට්‍යය කලාව තුළ. ඒ අතීතයේ වේදිකාව එක්ක හිටියේ රජයේ රැකියාවක් හෝ යම් රැකියාවක් කරන අතරේ නිර්මාණ කරන අය. ඒ නිසා ඒ අයට යම් අතිරේක ආදායමක් තිබුණා. ඒ නිසා පවතින්න පුළුවන් වුණා. ලංකාවේ රංග පාසල් නැති නිසා පුහුණු ශිල්පීන් හැදෙන්නේ වේදිකාවෙන්. ඒ නිසා අත්දැකීම් ඇති නළු නිළියන් ටෙලි නාට්‍යය වලට සම්බන්ධ කර ගන්න ටෙලි නාට්‍ය නිෂ්පාදකවරු වැඩි කැමැත්තක් දක්වනවා. වර්තමානයේ කලාව පමණක් වෘත්තීය ආදායම කරගත් අයට ටෙලි නාට්‍යවලට ගියාම එන ගැටලුව තමා දීර්ඝ මාලා නාට්‍යවලට සම්බන්ධ වුණාම නැවත වේදිකාවට එන්න කාලයක් නැතිවීම. මම නම් කාවදාවත් වේදිකාවෙන් ටෙලි නාට්‍යයවලට යන ශිල්පීන්ට දෝෂාරෝපණ කරන්නේ නැහැ. වේදිකා නාට්‍ය ශිල්පීන්ව වේදිකාව ඇතුළත ම රඳවා ගන්න නම් සරු ආදායම් ලැබිය හැකි කර්මාන්තයක් විදියට වේදිකා නාට්‍යය කලාව ගොඩනැගෙන්න ඕනේ. මම එදා සිට අද දක්වාම වේදිකා නාට්‍යය කලාව එක්ක ඉන්නේ මගේ ආදායම් ලබන වෘත්තීය කලාව පමණක් නොවීම නිසා.

 

නව පරපුරේ ශිල්පීන් කැමැත්තක් දක්වනවා වේදිකාවේ අත්දැකීම් ලබන්න. වේදිකා ශිල්පියෙක් වීමෙන් ලබන්නට හැකි

අත්දැකීම් මොනවද?

වේදිකා නාට්‍ය ශිල්පින් සතු රූපණවේදය, මුහුණේ ඉරියව්, හඬ පාලනය, සතතාභ්‍යාසය, සාමුහික වැඩ කිරීම සහ වෙලාවට වැඩ කිරීම වැනි සියල්ල ඉගෙන ගන්නවා. එවැනි නළු නිළියන් හෝ ශිල්පීන් එක්ක වැඩ කිරීම පහසු නිසා තමා ටෙලි නිර්මාණවලට සහ සිනමාවටත් ඒ අයව සම්බන්ධ කර ගන්නේ. කෙලින්ම ටෙලි හෝ සිනමාවට ආව අය කියන කතාවක් තමා වේදිකා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ආසාවෙන් ඉන්නවා බාර ගන්න කියන එක. හැබැයි මම එය දකින්නේ අර්ධ සත්‍යයක් ලෙසින්. මගේ අත්දැකීම නම් ටෙලි නාට්‍යය ශිල්පීන්ට ආරාධනා කරත් ඒ අයට වෙලාවක් නැහැ වේදිකා නාට්‍ය වෙනුවෙන් කාලයක් කැප කරන්න. වේදිකා නාට්‍යය කියන එක දීර්ඝ කාලයක් පුහුණු වෙන්න ඕනේ, එහෙම නැතුව ආවට ගියාට කරන්න බැහැනේ. ඒ නිසා වේදිකාවට කාලය වෙන් කරන එක ඒ අයට ප්‍රායෝගිකව කරන්න අමාරුයි.

 

නාට්‍ය කලාවේ හෙට දවස ගැන අපි කතා කළොත්, නාට්‍ය කලාව ගැන සුබවාදීව දකින්න නම් මොන වගේ දේවල් ද විය යුත්තේ

මම නම් විශ්වාස කරන්නේ නැහැ නාට්‍ය ශිල්පීන්ට පමණක් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා. මේකට අනිවාර්යෙන්ම රාජ්‍ය මට්ටමින් මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. අපි ශත වර්ෂ ගණනාවක් තිස්සේ නාට්‍යකරුවන් විදියට ඉල්ලා සිටින කාරණා කිහිපයක් පවා තියෙනවනේ. නමුත් පේන තෙක් මානයක ඒ දේවල්වලට ඇහුම්කම් දීමක් පෙන්න නැහැ. උදාහරණයක් විදියට කියනව නම් නට්‍යකරුවන්ගේ හදවත බදු ලුම්බිණි රඟහල, ජෝන් ද සිල්වා රඟහල නැවත පාවිච්චි කරන්න පුළුවන් විදියට හදලා දෙන්න කියන එක. දැන් වසර 10කට වැඩි කාලයක් ඒ දේවල් අලුත් වැඩියා වෙමින් තියෙනවා. ඒ වගේ මූලික දේවල්වත් නාට්‍ය කලාව වෙනුවෙන් ඉටු නොවන පසුබිමක නාට්‍යය කලාවේ අනාගතය නම් අඳුරු තැනක තියෙන්නේ. ඒ නිසා සියයට සීයක්ම රජය මෙහි වගකීම ගන්න වෙනවා; නැත්නම් නාට්‍ය කලාව බොහෝ දුරට අතුරුදහන් වෙයි. සියයට සීයක්ම නැතිවෙලා යන එක නැහැ බොහොම දිළිඳු සංස්කෘතික ක්‍රියාකාරකමක් විදියට පවතියි.

 

ඔබ සිනමා නිර්මාණයක් කරා "උළලේනි" නමින්, තව අලුත් නිර්මාණ ගැන හිතලා නැද්ද?

උළලේනි අධ්‍යක්ෂණය වගේම මම ම නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්. චිත්‍රපටය ඒ වසරේ තිරගත වුණු චිත්‍රපට අතරින් සාර්ථක වෙනවා සහ යම් විදියකට මම ලාභත් ලබනවා. නමුත් අද වෙද්දී වේදිකාවට වෙලා තියෙන දේ ම තමා සිනමාවට වෙලා තියෙන්නේ. කවදා සිනමාශාලාවක චිත්‍රපට පෙන්වන්න පුළුවන් වෙයිද කියලා කාටවත් කියන්න බෑනේ. නමුත් සිනමාවට විකල්ප මාධ්‍ය බිහිවෙලා තියෙන නිසා නිර්මාණ කරන්නට ඉඩ ප්‍රස්ථා තියෙනවා. මටත් නාලිකාවකින් ආරධනා කරා ටෙලි සිනමාපට කිහිපයක් කරන්න. මේ කාලය මම වැය කරලා තියෙන්නේ ඒ දේවල් වෙනුවෙන්.

Comments