වේදිකාවෙන් ලැබුණු පුහුණුව නැතිවීම අපට විශාල පාඩුවක් | සිළුමිණ

වේදිකාවෙන් ලැබුණු පුහුණුව නැතිවීම අපට විශාල පාඩුවක්

 

 

හරිත වන ලැහැබ්වල, සොඳුරු මංමාවත්, වෙල් නියර, ගං ඉවුරු දිග ඇවිද යන කළු ඇඳගත් සුදු මිනිසා ඔහු ය. සුපුරුදු රංග කාර්යයෙන් ඔබ්බට හඬ රුව චලන මුසු කර ඔහු සරන්නේ කලා ක්ෂේත්‍රයේ දැවැත්තයන් සොයමිනි. ඒ "ලයින්ස් ඇන්ඩ් බියෝන්ඩ්" යූටියුබ් නාලිකාවෙනි. නම කියූ සැනින් සයුරු වළල්ලෙන් මෙහා නොව ඉන් ඔබ්බට ද නාඳුනන කෙනෙක් නැති තරම් ය. ඔහු ජනක කුඹුකගේ නම් වන්නේ ය.

 

“අපි දැන් පරිණත අය හැටියට මේ සමාජයට අපෙන් මීට වැඩි යමක් විය යුතුයි. අපේ ප්‍රවීණ ශිල්පීන්ගෙන් මේ සමාජයට එකතු කරගත යුතු බොහෝ දේ තිබෙනවා. ඒ වටිනා අත්දැකීම් සමාජයට මුදා හරින්න මම කල්පනා කළා. බොහෝ අය සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ ඕපාදූප පතුරවලා රසයක් නැත්නම් අනියම් ප්‍රයෝජන ලබා ගැනීම සඳහා යි. නමුත් වටිනා දේ සමාජගත කරන්න සමාජ මාධ්‍ය ඉතා සාර්ථක ව යොදාගත හැකි බව මේ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාරවලින් පේනවා. ඔක්තෝබර් දෙවැනිදා මේ වැඩසටහනට වසරක් සම්පූර්ණ වුණා.

ඒ නිමිත්තෙන් මං විශේෂ වැඩසටහනක් කළා. සමාජ මාධ්‍යවලට බැන බැන ඉන්නෙ නැතුව සමාජ මාධ්‍ය මිනිසුන්ගේ ඔළුගෙඩි ටික ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා යොදා ගැනීමයි යහපත් වන්නේ. මේ පවතින සමාජ රටාව ඇතුළෙ මිනිස්සු අතරමංවෙලා කළකිරිලා ඉන්න නිසා ඒ අයට යම් කිසි පෝෂණයක්, රසයක් ලබා දීම සමාජමය කාර්යයක් වගේ ම අපෙන් මතු පරපුරට ඉටුවිය යුතු සේවාවක් හැටියටත් මං දකිනවා”

නැඟී එන හොඳ ම නළුවා සුමති ටෙලි සම්මානය හිමිකර දුන් ඉසිවර අසපුව ටෙලි නාට්‍යයේ ඔහුගේ රංගනය අදටත් ප්‍රේක්ෂකයන්ට මතක ය. භීම භූමි සහ ආදරණීය සංවාදයක් යන වේදිකා නාට්‍ය දෙක සඳහා ද රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳ ම නළුවා සම්මාන ඔහුට හිමි විය. හොඳ ම නළුවා ජනාධිපති සම්මානය ගෙන දුන් සරෝජා චිත්‍රපටය ද ජනකගේ රංග ප්‍රතිභාව ලොව පතල කළ විශිෂ්ට සිනමා පටයකි.

'පාදඩ අසපුව, සයනයේ සිහිනය, ඒකාධිපති, මකරාක්ෂ, ධවල භීෂණ, හඳ එළියට වෙඩි තියන්න, පුත්‍ර සමාගම වගේ වේදිකා නාට්‍යවලත්, සිහින දේශයෙන්, බව කර්ම, මන්දාකිණි, පුංචි සුරංගනාවි, උදුම්බරා වගේ චිත්‍රපටවලත්, ඉසිවර අසපුව, ආදරණීය නයඟරා, මායා අග්නි, මායා මංසල, මොණරවිල, පොදු, වංසක්කාරයෝ වගේ ටෙලිනාට්‍යවලත් මගේ රඟපෑමවලට තවමත් ආදරණීය ප්‍රතිචාර ලැබීම ගැන නම් විශාල සතුටක් තියෙනවා.'

1984 ගාමිණී හත්තෙට්ටුවගමගේ නාට්‍ය වැඩමුළුවට එකතුවෙමින් ඔහුගේ වීදි නාට්‍ය කණ්ඩායමට එකතු වූ ජනක ඉන් පසුව ධර්මසිරි බණ්ඩාරනායක, සෝමලතා සුබසිංහ, අශෝක හඳගම, වැනි ප්‍රවීණ ශිල්පීන්ගේ ද ජර්මානු ජාතික නාට්‍ය රචක කූසන්බර්ග්ගේ ද නිර්මාණවලින් ලද පුහුණුව සුවිශේෂ විය. ඔහු අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර අත්දැකීම් ද ලබා ගෙන ඇත.

"මේ දවස්වලත් නිර්මාණ කිහිපයක ම වැඩ කරනවා. තුර්කි කතාවක් වන කිසා නාට්‍යයේ චරිතයකට හඬ කවනවා, චන්දන හේවාපතිරණගේ අධ්‍යක්ෂණය කළ සැප්තැම්බරයේ තවත් දවසක්, චාමර ජයවීරගේ දිවිතුරා, සඳුන් රාජකරුණාගේ නීල පබලු, තුෂාර තෙන්නකෝන්ගේ මල් පිපෙන කාලේ, සංජය නිර්මාල්ගේ අලුත් නිර්මාණයක මං මේ දවස්වල ඉන්නවා."

කොවිඩ් වසංගතය නිසා වේදිකාවට ගොඩවන්නට නොහැකි වීම පිළිබඳ ව ජනකට ඇත්තේ දැඩි පසුතැවීමකි.

"වේදිකාවෙන් ලැබුණු පුහුණුව නැති වීම අපට විශාල පාඩුවක්. වේදිකාවට නම් තව අවුරුදු දෙකකටවත් ගොඩ වෙන්න බැරි වෙයි. එකක් සෞඛ්‍ය ප්‍රශ්න නිසා, අනික ආර්ථික ප්‍රශ්න නිසා. කොහොමටත් මිනිස්සුන්ට ටිකට් එකක් අරගෙන නාට්‍යයක් චිත්‍රපටයක් බලන්න කොයි කාලෙක එන්න පුළුවන් වෙයිද කියලා හිතාගන්නවත් බැහැ. නමුත් ජාත්‍යන්තර චිත්‍රපට, ටෙලිනාට්‍ය බලන්න, ඒවා අධ්‍යයනය කරන්න ගෙදර සිටිය කාලය මට උදව්වක් වුණා.

ඒ දේවල් බලද්දි මට පෙනුණෙ මනුස්සයෝ විදිහටත්, රටක් හැටියට ගත්තත් හැම දෙයක් ම තිබුණට වඩා විශාල ප්‍රමාණයකින් පහළට කඩාගෙන වැටිලයි තියෙන්නේ. මේ හැම දෙයක් ම දරාගෙන අපි ජීවත් වෙන්නේ ළිං මැඩියෝ වගේ කියලයි මට නම් හිතෙන්නෙ. මේ තත්ත්වෙන් ගොඩ එන්න නම් අලුත් ස්වර පරාසයක් තියෙන අලුත් තනුවක් වයන්න ම වෙනවා. නමුත් ඒ තනුව වයන්නෙ කවුද කියන එක ගැටලු සහගත යි. දේශපාලනයටවත් සමාජයටවත් ඇඟිල්ලක් දික් කරලා වැඩක් නැහැ. මිනිස්සු බුද්ධිමය වශයෙන් පිරිහිලායි තියෙන්නේ. පුංචි ම තැන ඉඳලා මිනිසුන්ගේ බුද්ධිය වර්ධනය කරගෙන ඉස්සරහට නොගියොත් රටක් හැටියට ජාතියක් හැටියට මේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටයටත් වඩා පුංචි වෙලා දිය වෙලා නැති වෙලා යන්න ඉඩ තියෙනවා.

මේ ප්‍රශ්නය දැන් ඉතා ම සංකීර්ණ තැනකයි තියෙන්නේ. මිනිස්සු සෑම පැත්තකින් ම කළකිරිලා. මේ කළකිරීම් උඩුදුවලා බැරි ම තැනට ආවා ම පුපුරලා විසිරුණොත් විශාල අවුලක් වෙනවා මිසක් යහපතක් වෙන්නේ නෑ. නමුත් මේ රට දියුණු කරන්න තවමත් බැරි නැහැ. සුබවාදි අනාගතයකට අපේ ඊළඟ පරපුර රැගෙන යාමට කලාකරුවන් හැටියට අපටත් වගකීමක් තියෙනවා. මං පුළුවන් උපරිමයෙන් ඒ ගැන හිතලා කටයුතු කරනවා. චරිත තෝර ගනිද්දිත් ඒ ගැන හිතනවා."

Comments