විස්සේ ගැටුමට සැරසුන පිට්ටනි වරුණ | සිළුමිණ

විස්සේ ගැටුමට සැරසුන පිට්ටනි වරුණ

 

'විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් මෙවර සත්කාරකත්වය පිරිනමන ඩුබායි හා ඕමානයේ ක්‍රීඩාංගණ හතරක දී තරග පැවැත්වේ. මීට පෙර මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පවත්වන්නට නියමිත වූ අතර පසුව එහි සත්කාරකත්වය ඉන්දියාවට පිරිනැමුණු නමුත් කොවිඩ් ව්‍යසනය හේතු

වෙන් තරගා වලියේ ක්‍රීඩාංගණ සත්කාරකත්වය මැදහත් ක්‍රීඩාංගණයකට පිරිනැමිණි. ඒ අනුව තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ ඕමානය හා ඩුබායි රාජ්‍ය කේන්ද්‍ර කරගනිමිනි. ඒ අනුව එම රටවල ක්‍රීඩාංගණ හතරක දී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙයි.මේ ඒ ක්‍රීඩාංගණ පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.'

මූලික වටයේ සත්කාරකත්වය

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග 6 ක් ඕමාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් මූලික වටයේ පළමු තරගය පැවැත්වෙන්නේ ද මෙම ක්‍රීඩාංගණයේයි.

2012 වසරේ විවෘත කෙරුණු මෙහි පළමු වරට විස්සයි20 තරගයක් පවත්වා ඇත්තේ 2019 වසරේ ය. ඒ කුවේට් රාජ්‍යය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර යි. මේ වනවිට මෙහි පවත්වා ඇති විස්සයි20 තරග සංඛ්‍යාව 24 කි.

එම තරග 24 න් තරග හතරක් හැර සෙසු තරග ජයග්‍රහණය පළමුව පන්දුවට පහරදුන් හා පළමුව පන්දු යැවූ කණ්ඩායම් අතර සමානව බෙදී ගොස් ඇත්තේ තරග දහය බැගිනි.

මෙම ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව කුවේට් කණ්ඩායම වාර්තාකර ඇත. ඒ 2020 වසරේ දී බහරේනයට එරෙහිව පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4 ක ට ලකුණු 210 ක් ලබා ගනිමිනි.

මෙහි අඩුම ලකුණු සංඛ්‍යාව රැස්කර ඇත්තේ නේපාලයයි. ඒ 2019 වසරේ දී ය. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සත්කාර ඕමානය යි. ඔවුන් ඉදිරියේ ලකුණු 64 ක ට සීමාවීමට සංචාරක නේපාල කණ්ඩායමට සිදුව තිබිණි. 2019 වසරේ දී නෙදර් ලන්තයට එරෙහිව ලකුණු 182 ක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම මෙම ක්‍රීඩාංගණයේ හොඳම ලකුණු හඹා යෑමේ වාර්තාවට හිමිකම් කියයි. ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාව 3000 කි.

 

ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණය

ෂෙයික් සයීඩ් ක්‍රීඩංගණය ඉදිකෙරුණේ 2004 වසරේ දී ය. ප්‍රේක්ෂක ධාරිතාව 20000 ක් වන ‍මෙහි පෙරහුරු තරග 4 ක් ද සහිතව ලෝක කුසලාන තරගාවලියට නියමිත තරග 19 ක් පැවැත්වීමට නියමිත විණි.

ඉතිහාසයේ පළමුවරට මෙහි විස්සයි20 තරගයක් පැවැත්වුණේ 2010 වසරේ දී ය. ඒ අනුව මේ වන විට පවත්වා ඇති විස්සයි20 තරග සංඛ්‍යාව 47 කි. එයින් තරග 25 ක් ම ජයගෙන ඇත්තේ පළමුව පන්දු යැවූ කණ්ඩායමයි. ඉතිරි තරග 22 පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම විසින් ජයගෙන තිබේ.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 225 ක් ලබාගෙන ඇති අයර්ලන්තය මෙහි කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියයි. ක්‍රීඩාංගණයේ අඩුම ලකුණු වාර්තාවට හිමිකම් කියන්නේ ඕමානය ඉදිරියේ ලකුණු 87කට දැවීගිය හොංකොං කණ්ඩායමයි. 2015 වසරේ දී ඇෆ්ගනිස්ථානයට පිළිතුරු ලෙස ලකුණු 162 ක් හඹාගිය හොංකොං කණ්ඩායම මෙහි හොඳම ලකුණු හඹා යෑමේ ගෞරවයට හිමිකම් කියයි.

 

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය

සාජා ක්‍රීඩාංගණය ඉදි කෙරුණේ 1982 වසරේ දී ය. එහි ප්‍රේක්ෂක ධාරිතාව 27000 කි. සාජාහි ‍‍මෙවර ලෝක කුසලානයට අදාළව පැවැත්වෙන තරග සංඛ්‍යාව 11 කි.

මෙහි පළමුවරට විස්සයි20 තරගයක් පවත්වා ඇත්තේ 2013 වසරේ දී ය. ඒ ඇෆ්ගනිස්ථානය සහ ස්කොට්ලන්තය අතරයි.

මේ වනවිට මෙහි විස්සයි20 තරග 13 ක් මෙම ක්‍රීඩාංගණයේ පවත්වා තිබේ. එයින් තරග 9 ක ජය පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමට හිමිව ඇත. ඉතිරි තරග 4 හි ජය පළමුව පන්දු යැවූ කණ්ඩායම් සතු කරගෙන තිබේ.

සාජාහි කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව, අඩුම ලකුණු සංඛ්‍යාව මෙන්ම හොඳම හඹායෑම යන වාර්තා ත්‍රිත්වයේම හිමිකරුවා වනුයේ ඇෆ්ගනිස්ථානයයි. ඔවුන් සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු 6 ක් දැවී ලකුණු 215 ක් ලබා ඇත්තා සේම තවත් වතාවක දී නෙදර්ලන්ත පිල ඉදිරියේ ලකුණු 90 ක ට දැවී ගොස් ඇත. ඔවුන් වැඩිම ලකුණු හඹා ගොස් ජයගැනීමේ වාර්තාව පිහිටවූයේ 2013 වසරේ දී ය. ඒ ස්කොට්ලන්ත කණ්ඩායම ලබා දුන් ලකුණු 139 ක ඉලක්කය සාර්ථකව හඹාගොස් ජයගනිමිනි.

 

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

මෙම ක්‍රීඩාංගණය ඉදි කෙරුණේ 2009 වසරේ දී ය. එම වසරේ දී ම පකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ජාත්‍යන්තර විස්සයි20 තරගය පවත්වා ඇත. එතැන් පටන් මේ දක්වා පවත්වා ඇති විස්සයි20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 61 කි. ඉන් තරග 34 ක ජයග්‍රහණයේ හිමිකරුවා වී ඇත්තේ පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම යි. තවත් තරග 26 ක ජය දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම සතුව ඇත.

සාජා පිටියේ වැඩිම ලකුණු වාර්තාවට හිමි කියන්නේ ශ්‍රී ලංකාව යි. ඒ 2013 වසරේ දී පාකිස්තානයට එරෙහිව කඩුලු 3 ක ට ලකුණු 211 ක් ලබාගෙන තිබේ. මෙහි අඩුම ලකුණු වාර් තාවට කෙන්යාව හිමිකම් කියන්නේ ය. ඒ ඔවුහු 2012 දී අයර්ලන්තය ඉදිරියේ ලකුණු 71 ක ට දැවී යාම හේතුවෙනි.

සාජා පිටියේ පැවැති විස්සයි විස්ස තරගයක හොඳම හඹායෑමට හිමිකම් කියන්නේ ඇෆ්ගන් කණ්ඩායම යි. ඒ 2016 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය රැස්කළ ලකුණු 179 ක ඉලක්කය ඇෆ්ගනිස්ථානය විසින් සාර්ථකව සම්පූර්ණ කිරීමෙනි. මෙවර ලෝක කුසලානය යටතේ මෙහි පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 15 කි. ඊට අවසන් මහ තරගය ද ඇතුළත් ය.

 

 

පසිඳු මිහිරාන් රැටියල

Comments