විස්සයි විස්ස පිටියේ නැඟෙන යශෝ­රාවේ ‘අපේ කොල්ලෝ’ | Page 2 | සිළුමිණ

විස්සයි විස්ස පිටියේ නැඟෙන යශෝ­රාවේ ‘අපේ කොල්ලෝ’

 

 

7 වැනි වරටත් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) දී සහ ඕමානයේ දී පැවැත්වෙන බැවින් මේ දිනවල ක්‍රිකට් ලෝලීන් සිටින්නේ මහත් උනන්දුවෙන් සහ දෙගිඩියාවෙන්.

 

මෙවර 20යි 20 ලෝක කුසලානය හිමිවෙන්නේ කාටද? ක්‍රීඩා ලෝලීන් ගේ සිතෙහි මතුවන පොදු ප්‍රශ්නය වන්නේ එයයි.

කොහොම වුණත් සිය රටේ ක්‍රිකට් කණ්ඩායමට ශක්තියක් වෙන්න හැමෝම තම තමන්ට පුළුවන් ආකාරයෙන් ආශිර්වාද කරනවා. ඒ අතරේ හැම සැරයකම වගේ ක්‍රිකට් තරග වෙනුවෙන් නිර්මාණය වන නිල ක්‍රිකට් ගීතය මෙවරත් 20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වුණා.

මෙවර එය නම් වෙන්නේ "අපේ කොල්ලෝ" (Ape Kollo’ T20 World Cup Song) නමින්. ඩයලොග් ආසිආටා සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව, පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට, සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ ජාතික පැතුම් එක් කිරීමේ අරමුණින් නිර්මාණය කළ ‘අපේ කොල්ලෝ' ගීතය ශ්‍රී ලාංකේය ජනප්‍රිය ගායන තරු වන භාතිය -සන්තුෂ්, යොහානි, උමාරියා සිංහවංශ, සනුක වික්‍රමසිංහ, සංක දිනෙත් සහ සජිත ඇන්තනිගේ හඬින් මේ වෙද්දී එළිදක්වා තියෙනවා.

මුළු පිටියම දෙවනත් කර

ජයගමු නොසැළී...

පසු නොබසින අදිටන ගෙන

හැප්පෙමු පෙර සේම...

ධජය ලෙලෙවන සිංහයෝ

හදවතේ අපේ වීරයෝ...

අපේ කොල්ලෝ///

 

කාලෙන් කාලෙට මෙවැනි නිල තේමා ගීත එක්වනවා සේම අපේ රටේ ආදරණීය කලාකරුවන් තුළින් නිර්මාණය වුණු ජනප්‍රිය ක්‍රිකට් ගීත රැසක් තිබෙනවා. ඒ සින්දු ක්‍රිකට් තරගාවලියක් පවතින කාලයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් අපිට වැඩි වශයෙන් අහන්න දකින ලැබෙන ගීත කිව්වත් නිවැරදියි.

අද අපි ඔබට සමීප කරන්නේ එදාමෙදා තුර නිර්මාණය වුණු ජනප්‍රිය ක්‍රිකට් ගීත කිහිපයක්...

"තණ නිල්ල දිගේ ඇදිලා යනවා

සිත මා පිරිලා

දහසක් නෙතු මා දෙස යොමු වෙනවා

සිත මා පිරිලා..."

ගායන ශිල්පී සමන් ද සිල්වා ගැයූ අසූව දශකයේ මුල් භාගයේ බිහිවුණු මේ ගීතය අදටත් එකසේ ජනප්‍රිය ගීතයක්. මෙහි පද රචනය වර්නන් පෙරේරා වන අතර සංගීතවත් කරන්නේ ක්ලැරන්ස් විජේවර්ධන. මේ ගීතයත් සමඟ සමන් ද සිල්වාගේ නාමය මෙරට ගී ලොව අමරණීය නාමයක් බවට පත් වූ බව ද නොරහසකි.

"පුන්සඳ පායා මගේ රට දිලෙන්නා

ප්‍රීති ඝෝෂා නිතර ඇසුනදා

තණ නිල්ලට ක්‍රිකට් තරගේ වැදුණදා

මුළු ලෝකෙට අප බැබලුණදා..."

1996 ලෝක කුසලාන ජය වෙනුවෙන් බොහෝ ගීත නිර්මාණය වුණා. නමුත් ඒ අතර අදටත් මතකයේ රැඳුණ ලස්සන ගීතයක් වෙන්නේ ගායන ශිල්පී ඇන්ටන් සිල්වා විසින් ගායනා කරන ලද "පුන්සඳ පායා මගේ රට දිලෙන්නා.." ගීතය.

මේ ගීතය නිර්මාණය වෙන්නේ එකල ජනප්‍රිය සිංහල බයිලා ගිතයක්ව තිබුණු ඒ.ඊ මනෝහරන් ගැයූ

"පුන්සඳ පායා මොරටුව දිලෙන්නා

මොරටුව නම් උපන් ගම අපේ

මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා (ගයන්නා)

ලංකාවම ඩාන්ස් කරන්නා" ගිතයේම තනුවට ගායන ශිල්පී ඇන්ටන් සිල්වා විසින් රචනා කර ගැයූ ගීතයක්.

”කොදෙව් රටේ පොල්ගස්වල කරටි කඩන්න

නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු ගලවන්න

ඉන්දියාවෙ කඳුවල හිම දියකරවන්න

කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න... එන්න..

රොත්ත පිටින් චට්නි හදන් එන්න

ටොනික් කඩන් වඩේ හපන් එන්න

බෙර සද්දෙට කන් වහගෙන එන්න

සිංහ පැටව් රඟ දෙනවා මෙන්න...

මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වෙසෙන සෑම ශ්‍රී ලාංකිකයකුම එක්කර ගනිමින් එකට ගයන්නට හැකි ගීතයක් ලෙසින් 2011 ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ගීතය ලෙස එළිදැක්වූ ගීතයි.

එකම ජයග්‍රාහී ඉලක්කය වූ ක්‍රිකට් කිරුළ යළි ශ්‍රී ලංකා මාතාවගේ හිසෙහි පලඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවනට ශක්තිය ධෛර්යය, පතා එක්වෙමු යන්න මෙහි තේමාව විය. නව පරපුරේ පොප් ගායකයකු වූ ළහිරු පෙරේරා ගායනා කළ මෙම ගීතය ගීත රචනා කර ඇත්තේ මනුරංග විජේසේකරය.

 

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි

යකඩ බෝල දෙකට පලයි

එක පාරක් අපි දුන්නා බැටේ

මේ පාරත් අපි දෙනවා බැටේ…

මේ ගීතය නිර්මාණය වෙන්නේ මෑතක අප අතරින් වියෝ වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම විසින්. වසර ගණනාවක් අතීතයට දිව ගියත් මේ ගීත අහන සැනින් ක්‍රිකට් ලෝලීන්ගේ උනන්දුව වැඩි වෙන්නේ එකල ක්‍රිකට් ක්‍රීඩකයන් පෑ පෙළහර මේ ගීත වලින් මැනවින් ඉස්මතු වී තිබෙන හෙයිනි.

Comments