විදුලි සැරෙන් නිමා වූ ඔන්ලයින් ප්‍රේමය | Page 2 | සිළුමිණ

විදුලි සැරෙන් නිමා වූ ඔන්ලයින් ප්‍රේමය

වල් ඌරන්ට බැඳි අනවසර විදුලි රැහැනට බිලිවූ කොලොන්නේ හංසිකා සහ දික්වැල්ලේ සුරාජ්ගේ සිරුරු කුරුඳු ඉඩමෙන් හමුවූ අයුරු සහ අනවසර විදුලි රැහැන සිරුරේ පැටලී තිබූණේ මෙසේය. දකුණු පස දැක්වෙන්නේ පෙම් යුවළගේ ජායාරූපය.

 

තරුණ කාලය කියන්නෙ ජීවිතයක සොඳුරු ම අවදියයි.ඒ කාලයට තරුණ තරුණියන් ආදරය වෙනුවෙන් කරන සමහර කැපකිරීම් පුදුමසහගතයි. අභියෝගාත්මකයි. ඒ වගේම අනතුරුදායකයි. එහෙම හිතෙන කතාවකට පසුගියදා මුළු රටේ ම අවධානය යොමුවුණා. එය ළාබාල ආදරවන්තියකට හා ආදරවන්තයකුට අත් වූ ඛේදනීය ඉරණමක් කියා පැවසීමත් නිවැරැදියි. එම දුක්මුසු පුවතක් අසන්නට ලැබෙන්නේ පසුගිය 17 දා කොළොන්න පිටවෙල ගමෙන්ය.

කුරුඳු වත්තක් වන සතුන්ගෙන් ආරක්ෂා කිරීමට ඇද තිබූ අනවසර විදුලි රැහැනකට හසු වී කොලොන්න පිටවෙලගම පදිංචි දාහත් හැවිරිදි කංකානම්ලාගේ හංසිකා සඳමාලි රාජපක්ෂ සහ දික්වැල්ල පතන වඩුමඩුව පදිංචි මතකධීර කංකානම්ගේ සුරාජ් ප්‍රසන්න නැමැති විසිහය හැවිරිදි තරුණයෙක් ජීවිතයෙන් සමුගත්තේය. මොවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්ව ඇත්තේ ෆේස්බුක් පිටුවක් හරහාය.

මෙම තරුණයා මාතර දික්වැල්ල ප්‍රදේශයේ සිට ඔක්තෝබර් 16 දා රාත්‍රී කොලොන්නේ සිය පෙම්වතිය බැලීමට පැමිණ තිබෙනවා. ඇයගේ නිවසේ අය නින්ද ට වැටුණ පසු තරුණිය නිවසේ කිසිවෙකුටත් නොදැ­‍ෙනන පරිදි එළියට පැමිණ තම පෙම්වතා හමු වී ඇති බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත..

සිද්ධියේ සුලමුල සොයා කොලොන්න ට ගිය අපට මුලින් ම හමුවූයේ කොලොන්න පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. වී. රෝහණ ය.

මියගිය හංසිකා සඳමාලි ගේ පියා වන කංකානම්ගේ තිලකරත්න පොලිසියට පවසා තිබූ ආකාරයට සිද්ධිය මෙසේය.

"මගේ වයස අවුරුදු 53 යි. බිරිඳ බුළුතොට ගමගේ හේමලතා. මට දරුවො තුන්දෙනයි. පුතාල දෙන්නයි. එකම දුවයි. ලොකු පුතා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ ඉගෙන ගන්නවා. පොඩි පුතා ඇඟලුම් කම්හලේ සේවය කරනවා. දුව පාසල් ගියේ කොලොන්න ජාතික පාසලට. ඇය පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා හොඳ ට සමත් වුණා. උසස්පෙළ ට පාසල් පටන් ගන්නකම් හිටියේ. දුව නිදා ගන්නෙ අම්මා ළඟ. 16 රාත්‍රී 12.30 ට විතර මගේ බිරිඳ අවදිවෙලා බලද්දි ළඟ හිටපු දුව නැති නිසා මාව ඇහැරවලා ගේ ඇතුළෙ බැලුවා. නැති නිසා එළියට එන ගමන්ම ලයිට් එක දැම්මා. දානකොට එළියෙ හිටපු දෙන්නෙක් දුවනවා දැක්කා. හරියටම හඳුනා ගන්න බැරි වුණා. ඒ සමඟම අපි හැමතැනම හෙව්වා. හමු වුණේ නැහැ.

පහුවදා උදේ 7.30 ට විතර අපේ ඥාතියෙක් වන රූපසේනගේ කුරුඳු වත්තේ වයර් එකක් පැටලිලා හංසිකා වැටිලා ඉන්නවා කියලා දැන ගන්න ලැබුණා. ගිහින් බලද්දි තව තරුණයෙකුත් ඒ අසල වැටිල හිටියා. අපට තේරුම් ගියා කුරුඳු ඉඩමට දාල තිබුණු කරන්ට් කම්බියට හසුවෙලා ඔවුන් මියගිහින් ඇති බව."

අනතුරුව අප ගමන් කළේ හංසිකා සඳමාලි ගේ නිවස⁣ සොයාගෙනය. බුළුතොට - කොලොන්න මාර්ගයේ නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය අසලින් වැටී ඇති අලුතින් කාපට් ඇතිරූ මාර්ගයේ කිලෝමීටරයක් පසු කළ තැන ඇයගේ නිවස හමුවෙයි.

එහි යද්දී සිය දියණිය ගේ වියෝව දරා ගත නොහැකි ව පියා විලාප දෙමින් සිය වේදනාව පැමිණි පිරිසට විස්තර කරමින් සිටියේය.

"පණ යනකම් අව්වේ වැස්සේ දහදුක් විඳල ගොවිතැන් කරලා තමයි මම දරුවන්ට ඉගැන්නුවෙ. දරුවො ලොකු වුණාම සමාජෙට යනවා. එයාලගේ යළුවෝ ආවම දරුවන් ට ආඩම්බරෙන් ඉන්න ඕන නිසයි මේ නිවසත් ටිකෙන් ටික වැඩ අවසන් කරගෙන ආවෙ. මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුණෙ නෑ. මම ජීවිතේටම කෝට්ටකින් වත් දුවට තළල නෑ. දහය වසරට යනතුරු ම ඇයට බත් ටික කැව්වෙත් මමයි. මං ඇයට හරි ආදරෙයි. ඇයි මෙහෙම දෙයක් ගැන ගෙදරට නොකීවෙ. කිව්වා නම් මේ වගේ අපරාධයක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ." කිසි දවසක ⁣දැක නොතිබූ දියණියගේ පෙම්වතා ගේ මෘතදේහය ද කොලොන්නේ එකට භූමදාන කරන්න වුණත් කැමති බව පියා ඔහුගේ දෙමාපියන් ට දන්වා තිබුණි.

මෙම සිද්ධියෙන් දැඩි කම්පාවට පත් මියගිය හංසිකාගේ සොයුරු කංකානම්ගේ දිනේෂ් ප්‍රියංකර (22) අප සමඟ මෙසේ පැවැසුවේය.

 

“මිය ගොස් ඇ⁣ත්තේ මගේ එකම නංගි. නංගීයි මමයි හොඳම යාළුවෝ වගේ හිටියේ. මගෙ නංගි බොහෝම විනෝදෙන් ජීවත් වුණ කෙනෙක්. නංගි තරුණයකු සමඟ සම්බන්ධයක් තියෙනවා කියලා මටවත් කියා තිබුණේ නැහැ.

ඔක්තෝබර් 14 දා නංගිත් සමඟ මිය ගිය තරුණයා මට දුරකථන ඇමතුමක් ලබා ගෙන තිබුණා. නමුත් මම කවුද කියලා අදුරන්නේ නැති නිසා නැවත කතා කරන්න ගියේ නැහැ. සමහර විට ඒ තරුණයා ගන්න ඇත්තේ දෙන්නාගේ සම්බන්ධය ගැන කියන්න වෙන්න ඇති. එහෙම කතා කරන්න වුණා නම් මෙහෙම දෙයක් නොවෙන්න ඉඩ තිබුණා.

නංගී ෆෝන් පාවිච්චි කළේ නෑ. එයා යාළුවෙක් ගෙ ෆෝන් එකෙන් තමයි මේ ආදර සම්බන්ධය ගොඩ නගාගෙන තියෙන්නෙ. ගෙදරට ආව ගමන් එයා මගේ දුරකථනය ඉල්ලගෙන ගේම් සෙල්ලම් කරනවා.

නමුත් මීට මාස තුනකට විතර කලින් ගෙදර තිබිලා ෆෝන් එකක පෙට්ටියක් හමුවුණා. ඒක යාළුවෙලා හිටපු තරුණයා ගෙදරට ම ගෙනල්ලා දීලා කියල තමයි ආරංචිය. ඒක අපි දැනගෙන හිටියෙ නෑ.

නංගි ගෙදර කට්ටියම එක්ක විනෝදයෙන් සතුටින් ඉන්නවා. නංගි හැම දවසකම එක මල් පැළයක් ගානෙ හිටවනවා. නංගි සාමාන්‍ය පෙළ විභාගයටත් ලිව්වා. විභාගෙ ප්‍රතිඵල ඇවිත් වැඩි කලක් යන්න මත්තෙන් අැයට අවසන් ගමන් යන්න වුණා.

මේ ගැන දැඩි වේදනාවෙන් සිය හැඟීම් ප්‍රකාශ කළේ හංසිකා සමඟ පළමුවැනි වසරේ සිට එකට පාසල් ගිය මිතුරියක් වන කොලොන්න පදිංචි මධුනි දිලංකාය.

“හංසිකා කියන්නෙ මගේ හොඳම මිතුරිය. ඇය හරිම කැමතියි යාළුවන් ට උදව් කරන්න. දවසක් මට පාඩම් කරන්න පොතක් ඕන වෙලා එයාගේ අයියත් එක්ක මගේ නිවසට ම ඇවිත් ගෙනත් දුන්නා. ඒ වගේ හොඳ පරිත්‍යාගශිලී හිතක් තිබුණු කෙනෙක්. හැබැයි හරිම ඉක්මනට තරහා යනවා. ඒ තරහා තියෙන්නෙ පුංචි වෙලාවයි.

හංසිකා මට කිව්වා 2023 උසස්පෙළ ලියන්න ක්ලාස් හොයමු කියලා. යාළුවෝ එක්ක එකට පන්ති යන්න පුළුවන් කිව්වා. එයා කැම්පස් ගිහින් නීතිවේදය හෝ ටීචින් කරන්න ආසාවෙන් හිටිය. කොච්චර යාළුවෙක් වුණත් මෙවැනි සම්බන්ධයක් ගැන අපට කියල නැහැ. එහෙම දෙයක් තියෙනව ද කියල ඇහුවමත් අපට බනිනවා. හංසිට මේ වෙච්ච දේ මට නම් දරා ගන්න බෑ.“

හංසිකා සඳමාලි ගේ වැඩිමහල් සහෝදරයා කේ. මහේෂ් ප්‍රියංකරගේ වයස අවුරුදු 22කි. ඔහු මීට අදාළ අපට තවත් සිදු වීමක් විස්තර කළා.

මේ ගෙදර කට්ටිය වත්ත ට කරන්ට් එක දාන බව අපි දන්නවා. ඒ නිසා නංගි නැති බව දැන ගත් වහාම මම ඒ ගෙදර අයට කෝල් කරල කිව්වා," අපේ නංගි ගෙදර නැහැ. විදුලිය දාල තියෙනව නම් විසන්ධි කරන්න. අපි හොයන්න එහෙ මෙහෙ යනවා" කියලා. නමුත් ඔවුන් ඒක ගණන් අරන් නැහැ. මේ විදිහට තමන්ගේ කුරුඳු වත්තට විදුලිය දාපු කෙනා මගේ නංගි නැතුව හොයන අතරතුර හතර වතාවක් අපේ ගෙදරට ආවා. මේ ගැන කිසිම දෙයක් දන්නා බව ඇඟෙව්වේ නැහැ. මම ඒ පිළිබඳවත් පොලීසිය කිව්වා.

සැකකරු ද මෙම පවුලේ ම ඥාතියෙකි. ඔහු මියගිය හංසිකාගේ මහප්පාගේ පුතාය.

පොලීසිය පිහිටා ඇත්තේ මෙම සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර් එක හමාරක් වැනි කෙටි දුරකි. ඔහු සැලකළ තොරතුර ඔස්සේ නැවතත් පරීක්ෂණ මෙහෙයවූ කොලොන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. වී. රෝහණ හමු වීමට ගියෙමි. ඔහු ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවැනි අදහසකි.

"මෙම අනවසර විදුලි රැහැන් ඇදීම පිළිබඳව මා වෙත මීට පෙර නිර්නාමිකව කිහිප දෙනෙකුම දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෑතක දීම අවස්ථා ⁣දෙකක් පොලිසිය ට ගෙන්වා සැකකරු ට දැඩි ලෙස අවවාද කළා මෙවැනි නීතිවිරෝධී වැඩ නොකරන ලෙස. සමහර වෙලාවක තමන්ගේම පවුලේ කෙනෙකුට වුණත් අනතුරක් සිදුවිය හැකි බව සැකකරු ට තරයේ අවවාද කළා. ඔහු මට පොරොන්දු වුණා එම වරද නැවත නොකරන බවට.

නමුත් එය ක්‍රියාත්මක වෙලා නැහැ. අහිංසක ජීවිත දෙකක් මේ සාහසික ක්‍රියාව නිසා රටට නැතිවුණා. සැකකරු 17 දා උදේ පොලීසිය ට බාර වුණා. ඇඹිලිපිටිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් සහ සහකාර පොලිස් අධිකාරී නිමල් විජිමුණිආරච්චිගේ උපදෙස් පරිදි සැකකරු පසුගිය 18 දා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ඒඅනුව දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.“

හංසිකා දහම් පාසල් ගියේ නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම දහම්පාසලටය. එහි විහාරාධිපති සහ කොලොන්න ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය කුඹුරුගමුවේ රතනසිරි හිමි හමුවූයෙමු. උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ "මේ පවුලේ දරුවන් තුන්දෙනාටම හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඔවුන්ගේ පියා ඉතා දුක්මහන්සියෙන් ගොවිතැන් වැඩ කරල තමයි මේ දරුවන් උස් මහත් කළේ. දරුවො ලොකු වුණාම ගෙයක් දොරක් හදාගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන් කියලයි හංසිකාගේ තාත්තා අපට නිතරම කව්වේ. කොහොම වුණත් දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. අහිංසක ජීවිත දෙකක් අකාලයේ රටට නැති වුණා.

කොච්චර හොඳින් ජීවත් වුණත් දරුවො දෙමව්පියන් ට හොරෙන් මුරණ්ඩු වෙලා තියෙනවා. අද දෙමාපියන් තමන්ගේ දරුවො ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න ඕන. ඉස්සර පාසල් දරුවන්ගෙන් ඈත් කරලා තියන්න කියපු දුරකතන හා රූපවාහිනී යන්ත්‍රය අද ඒ අයට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් කරලා.

එහි අනිසි ඵලවිපාකයක් හැටියටයි මේක දකින්නෙ. අපේ රටේ දරුවන් තාම අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලිය ට හරිහැටි හුරුවෙලා නෑ. මම හිතන්නෙ අපේ දරුවො අද අපි හිතනවාට වඩා දුර ගිහිල්ලා. ඒ අය අම්ම තාත්ත ට මොනව කිව්වත් කියන්න ඕනම දේවල් හංඟාගෙන ඉදලා. ඒ නිසා තමයි මේ අපරාධයත් සිද්ධ වුණේ. මේ හරහා සමාජයේ අලුත් පරම්පරාවට හොඳ පණිවිඩයක් ලැබෙනවා. ඒක අවබෝධ කරගෙන ජීවත් වීම කාලෝචිත වන බවයි මගේ හැඟීම.

 

Comments