ලේඛි­කා­වක් වෙන්න කලින් මම හොඳ පාඨ­ක­යෙක් | සිළුමිණ

ලේඛි­කා­වක් වෙන්න කලින් මම හොඳ පාඨ­ක­යෙක්

කලා අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි දිල්රුක්ෂි ගමගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි. රාජ්‍ය නොවන සංවිධානයක වැඩසටහන් නිලධාරිනියක ලෙසත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් වෙන්වූ පාසලක මනෝ උපදේශිකාවක ලෙසත් කලක් කටයුතු කළ ඇය පසුව වෘත්තීය ජීවිතයට සමුදී පූර්ණකාලීනව ලේඛනයේ නිරත වී සිටින්නී ය. ඇය විසින් රචිත මුල්ම නවකතාව ‘අකල් වැස්ස’ එළි දකින්නේ 2012 වසරේදී ය.

 

කුඩා කල සිට කියවීමට ඇලුම් කළ දිල්රුක්ෂි ගමගේ පවසන්නේ කියවීමට තිබූ අසීමිත ආශාව නිසාම ලිවීමට පෙලඹුණු බවයි. පළමු නවකතාවට ලැබුණු පාඨක ප්‍රතිචාර හේතුවෙන් නවකතාකරණය තුළ දිගු ගමනක් යෑමට උනන්දු වූ ඇය මේ වන විට නවකතා 31ක් රචනා කර ඇත. ඒ අතර කාන්තා පුවත්පත් වෙනුවෙන් ලියූ නවකතා මෙන්ම ටෙලි නිර්මාණ ලෙස එළි දැක්වීමට නියමිත නවකතා කිහිපයක් ද වේ. 2018 වසරේදී ඇය ‘සිතුවිලි ප්‍රකාශන’ නමින් ප්‍රකාශන ආයතනයක් ද ආරම්භ කළා ය.

 

1. මගේ

නවකතා අතරින් මා වඩාත්ම ප්‍රිය කරන නවකතාව සහ එය ලිවීමට හේතුව

මගේ නවකතා අත­‍රෙන් මේ වසරේදී ප්‍රකාශයට පත්කළ‘හිනැහෙන්න වස්සානයේ’නවකතාවට මා වඩාත් ප්‍රිය කරනවා. වර්තමාන තරුණ පරපුර ශීඝ්‍රයෙන් නවීන තාක්ෂණය සහ අන්තර්ජාලය තුළ තිබෙන මෙවලම් වැලඳ ගන්නවා. එහි හොඳ සහ නරක යන දෙපැත්තම තිබෙනවා. යමකු බුද්ධිමත්ව නවීන තාක්ෂණය වැලඳගන්නවා නම් යා හැකි දුර බොහෝමයි. මේ නවකතාවේ ප්‍රධාන චරිත තුනක් ගැන සාකච්ඡා වෙනවා. ඒ, නවීන තාක්ෂණය භාවිතයෙන් තම ජීවිතය සාර්ථක කරගන්නා තරුණයෙක්, මත්ද්‍රව්‍යට ඇබ්බැහිවී ජීවිතය විනාශ කරගන්නා තරුණයෙක් සහ ජීවිත අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන තරුණියක් ලෙසටයි.

 

 

 2. ඒ නවකතාවේ මා වඩාත් සිත්ගත් සහ සංවේදී වූ අවස්ථාව

ලේඛිකාවක් කියන්නේම සංවේදී හිතක්. මේ නවකතාවේ මාව ගොඩක් සංවේදී කළ චරිතය සහස්...ඔහු කලාවට හිතැති තරුණයෙක්. එහෙත් ඔහුගේ පවුලේ අය ඔහුගෙන් අපේක්ෂා කරන්නේ කලාකාරයෙක් වනු දැකීම නොවෙයි. ඒ නිසාම කාලයක් ඔහු තමන්ගේ පවුලෙන් ඉතා අකාරුණික ලෙස ප්‍රතික්ෂේප වෙනවා. බොහෝවිට ඇතැම් දෙමවුපියන්ගෙන් නොදැනුවත්වම සිදු වන වරදක් තමයි තමන්ගේ සිහින දරුවා තුළින් දකින්න, සැබෑ කරගන්න උත්සාහ කිරීම. මේ නවකතාවේ එන සහස් නම් යෞවනයා සටන් කරන්නේ දෙමවුපියන්ගේ සිහින සහ තමන්ගේ සිහින සමඟයි. එහිදී ඔහු මුහුණ දෙන ප්‍රතික්ෂේප වීම් මගේ දෑස්වලට කඳුළු නංවන තරම් සංවේදී වුණා.

 

3. මෙතෙක් මට ලැබුණු හොඳම පාඨක ප්‍රතිචාරය

2015 වර්ෂයේදී මම එක්තරා පුවත්පතකට නවකතාවක් ලිව්වා ඔටිසම් රෝගී තත්ත්වයකින් පෙලෙන දරුවකු සහ ඒ දරුවා සමඟ ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන මවක් ගැන. මේ කාලයේදී එක්තරා තරුණියක් ඒ පුවත්පත් ආයතනයට නිරතුරුවම දුරකතන ඇමතුම් ලබාදෙමින් පවසා තිබුණා මේ ලියන්නේ ඇයගේ කතාව බව. එපමණක් නොවෙයි ඇය තර්ජනාත්මකව පවසා තිබුණා ඒ කතාව නතර කරන ලෙසටත්. පසුකාලයකදී දුරකතන මාර්ගයෙන් කතාකර ඇය මා හමුවන්නට පැමිණියා. ඒ හමුවීමේදී ඇගේ ජීවිතයේ බොහෝ දුක්ඛිත අවස්ථා පිළිබඳව මා සමඟ පැවසුවා. ඒ අවස්ථාවේදී මගේ හිතේ මැවුණු මනඃකල්පිත කතාව සැබෑවක් වෙලා මා ඉදිරියේ සිටියදී දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සංවේදීයි.

 

 4. මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

2022 වසරේදී අලුත් නවකතා කිහිපයක්ම පාඨකයන්ට ලබාදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම පුවත්පත් සඳහා ලියැවෙන නවකතා සුපුරුදු ලෙසම දයාබර පාඨකයන්ට කියවන්න පුළුවන්. ටෙලිනාට්‍ය පිටපතක මුල් කොටස් කිහිපයක් ලියා අවසන් කළා. නුදුරේදීම එහි රූගතකිරීම් ඇරඹේවි යැයි අපේක්ෂාවෙන් සිටිනවා.

Comments