රතු ධජය ගෙන අභ්‍යවකාශයේ ඇවිද යන සුන්දරිය | Page 2 | සිළුමිණ

රතු ධජය ගෙන අභ්‍යවකාශයේ ඇවිද යන සුන්දරිය

 

මිනිසුන්ට නොයෙක් සිහින තිබේ. ඒ අතරින් ඇතැම් ඒවා කිසිදා ඉටු කර ගත නොහැකිය. එහෙත් එසේ වූ පමණින් අත් හැර දැමියද නොහැකිය. කිසිදා සැබෑ කර ගත නොහැකි යැයි සිතූ සිහින යම් දිනක සැබෑ කර ගත හැකි වුණි නම් එදින අත්විඳින සතුටද සීමා නැත. චීනයේ වන්ග් යැපින් ද මේ මොහොත වන විට එවන් වූ අති විශාල ප්‍රීතියක් අත් විඳිමින් සිටින්නීය. සැබවින්ම ඒ මහපොළොව මත නොවේ. අභ්‍යවකාශයේ සිටිමිනි.

 

1980 වසරේදී චීනයේ ශැන්ඩොන්ග් හි‘යන්ටි‘ ප්‍රදේශයේ උපත ලැබූ වන්ග් එම ප්‍රදේශයේදීම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවාය. පසුව යන්ටි සියොන්ග් උසස් පසලෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඇය එතැන් සිට තමා කුඩා කල දුටු සිහිනය සැබෑ කර ගැනීමේ පියවර තැබීම ඇරඹූවාය. ඒ චීන ගුවන් හමුදාවට බැඳීමෙනි. ඇය කුඩා කළ සිට දුටු සිහිනය වූයේ අභ්‍යවකාශගාමියකු වීමය. ඒ සිහිනය සැබෑ කර ගැනීම කිසිසේත් පහසු නැත. එහෙත් ඇය පහසුවෙන් තම අරමුණ කරා යෑමේ අධිශ්ඨානය අත් නොහැරියාය. ඇය චීන කාන්තා ගුවන් නියමුවරියන් අතරට එක් වූයේ ගුවන් හමුදාවේ ලැබූ පුහුණුව සමඟිනි. ඇය චීන ගුවන් හමුදාවේ හත් වැනි කාන්තා ගුවන් නියමු කණ්ඩායමට අයත් වූවාය. ඇයට ප්‍රථමයෙන් සේවය කිරීමේ අවස්ථාව හිමිවූයේ වූහාන් ප්‍රවාහන ගුවන් බලඝනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් වශයෙනි.

වයසින් ඉතා ලා බාල වුවද වන්ග් යැපින් ගුවන් නියමුවරියකු වශයෙන් චීනයට කළ සේවාව ඉතා විශාල විය. ඇය චීනයේ ජාතික ආරක්ෂාව හා සම්බන්ධ මෙහෙයුම් රැසකට දායකත්වය ලබා දුන් අතර ජීවිත රැසක් අහිමි වූ වෙන්ග්චුආන් භූමි කම්පාවේදීද ඇය ගුවන් නියමුවකු වශයෙන් මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට දායකත්වය දුන්නා ය. 2008 වසරේදී බෙයිජිංහිදී පැවති ඔලිම්පික් උළෙල සාර්ථක කර ගැනීමට වර්ෂාව වැළැක්වීමට වළාකුළු එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම වෙනුවෙන් ඇයද ගුවනට ගියා ය. ගුවන් හමුදාවේ නියමුවරියක ලෙස ගුවන් පැය 1600ක් ආවරණය කළ පසු ඇය අභ්‍යවකාශ ක්ෂේත්‍රයට යොමු කරණු ලැබුවා ය.

2010 වසරේදී ඇය චීනයේ දෙවැනි ගගනගාමියා ලෙස නිල වශයෙන් ප්‍රකාශ කෙරුණු අතර 2012 වසරේදී ඇය චීනයේ ‘ශෙන්සූ‘ අභ්‍යවකාශ ව්‍යපෘතිය සඳහා අයැදුම් කර සිටියාය. ඒ වන විට ‘ශෙන්සූ 9‘ ව්‍යපෘතිය ක්‍රියාත්මක වෙමින් පැවති අතර එයට සහභාගී වෙමින් චීනයේ ප්‍රථම අභ්‍යවාකශගාමි කාන්තාව බවට පත්වීම ඇයගේ බලාපොරොත්තුව වුවද එවර ඇයට එම අවස්ථාව අහිමි වූයේ එම අවස්ථාව ලියු යන්ග් නම් නියමුවරිය වෙත ලබා දෙමිනි. එවර අභ්‍යවකාශ ගත වීමේ අවස්ථාව ලියූ යන්ග්ට හිමි වූ අතර වන්ග් යැපින් එම මෙහෙයුමේ අතිරේක ගගනගාමීන් අතරට එක් වූවා ය.

එහෙත් ‘ශෙන්සූ 10 ව්‍යාපෘතියේ අවස්ථාව ඇයට හිමි කර දීමට ඇගේ දෛවය කාරුණික වී තිබිණි. එ් යටතේ 2013 වසරේදී අභ්‍යවකාශ ගත වී පෘථිවිය වටා කක්ෂයේ සංචාරය කර යළි පැමිණීමේ අවස්ථාව එවර යැපින්ට හිමි විය. මේ සියල්ල හේතුකොටගෙන සාර්ථක අභ්‍යවකාශ අත්දැකීම සමඟ චීනයේ දැනට ක්‍රියාත්මක විශාලතම අභ්‍යවකාශ ව්‍යප්තිය වන ‘ටියැන්ගොන්ග් - 1‘ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු සඳහා දායක වීමේ අවස්ථාව වන්ග්ට ලැබිණි.

ඒ අනුව පසුගියදා පෘථිවියෙන් ‘ටියැන්ගොන්ග්‘ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නික්ම ගිය අභ්‍යවකාශගාමීන් අතරට එක්වීමට වන්ග්ට අවස්ථාව හිමිවූ අතර ඇය අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදි කිරීමේ කටයුතු සඳහා දායකත්වය දීමේ අවස්ථාව ලැබුවාය. පසුගියදා මොන්ගෝලියාවේ ජුයුකුයාන් අභ්‍යවකාශ යනා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වන්ග් සහ තවත් අභ්‍යවකාශගාමීන් දෙදෙනකු රැගත් අභ්‍යවකාශ යානයක් නික්ම ගියේ මාස හයකට පසු නැවත පැමිණීමේ අභිප්‍රායෙනි. එසේ ගමන් ඇරඹූ යානය පැය හයකට පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණි බවද චීන මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ ගමන සඳහා වන්ග් යැපින් සමග ෂයි සිගාං සහ යී ගුවාන්ෆු යන අභ්‍යවකාශගාමීන් දෙදෙනා ද එක් වූහ.

දැනට චීන ගගනගාමීන් අභ්‍යවකාශයේ ගත කළ වැඩිම කාලය මාස 3කි. මෙවර වන්ග් සහ කණ්ඩායම අභ්‍යවකාශයේ මාස හයක කාලයක් ගත කිරීමට අපේක්ෂා කරන බැවින් ඔවුන් ඉතිහාසයට ද එක්වීමට නියමිතය. වන්ග් මෙසේ ලොවට පෙන්වා සිටියේ සිහින දැකීම යනු ඒවා සාර්ථක කර ගැනීමේ මූලාරම්භක අවස්ථාව බවය.

Comments