රතන හිමිගේ මේ අරගලය ‘ජනබලය’ වෙනුවෙන්ද? | සිළුමිණ

රතන හිමිගේ මේ අරගලය ‘ජනබලය’ වෙනුවෙන්ද?

පේ රටේ දේශපාලන ඉතිහාසයේ වරින් වර බිහිව එන කුඩා දේශපාලන පක්ෂවල සහ දේශපාලන පක්ෂ කිහිපයක් එකතුව මැතිවරණයන්ට ඉදිරිපත් වන බොහෝ දේශපාලන ප්‍රවාහයන්ට බොහෝවිට උරුම පොදු ලක්ෂණයක්ද අපට දකින්නට ලැබේ. ඒ මන්ත්‍රී ආසනයක් හෝ දෙකක් ජාතික ලැයිස්තුවෙන් හිමි වුවහොත් එයට ඉදිරිපත් වන්නේ කවුදැයි යන්න තීරණය කරන්නට තරගයකට මැදි වීමය. සිංහලයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට පෙරට ආ ‘සීහළ උරුමය‘ පක්ෂයට හිමි වූ මන්ත්‍රී ආසනයට ඇති වූ තරගය මෑත දශකයක දෙකක කාලය ඇතුළත උපහාසයට බඳුන් වූවකි.

පසුගිය 2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී ‘අපේ ජන බල‘ පක්ෂයටද මන්ත්‍රී ආසනයක් හිමි වූ අතර පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා කවුරුන්දැයි යන්න තෝරා පත් කර ගැනීම මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව අපට දක්නට ලැබුණු අර්බුදයයි. එහිදී පක්ෂයේ ලේකම් යැයි පැවසූ වේදිනිගම විමලතිස්ස හිමියන් හොර රහසේම නම යෝජනා කරගෙන පාර්ලිමේන්තුවට වැඩම කිරීමට කටයුතු සලසා ගන්නා ලදී. නම යෝජනා කිරීමෙන් පසුව උන් වහන්සේ අතුරුදන් විය. උන් වහන්සේ යළිත් කරළියට පැමිණියේ පක්ෂය තුළ, ගැටුම්, අර්බුද රැසක් ඇති කරමිනි. 

උන් වහන්සේ සැඟව සිටි තැනින් පැමිණීමෙන් පසුව පාර්ලිමේන්තුවට යෑමේ අවස්ථාව ලබා දෙන්නේ කාටදැයි යන්න පක්ෂය තුළ දැඩි කතාබහට ලක් විය. කෙසේ හෝ අවසානයේ මුරමාරු ක්‍රමයකට අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවට වැඩම කළහ.

පාර්ලිමේන්තුවට වැඩම කිරීමෙන් පසුව රතන හිමියන් වරින් වර විවිධ කතා මැවූහ. ආණ්ඩුවේ ඇතැම් කාර්යයන් විවේචනය කළහ. බොහෝ ඒවාට සහාය දුන්හ. විශේෂයෙන්ම 20 වැනි සංශෝධනයට උන් වහන්සේ සහාය දුන්හ.

මේ අස්සේ අපේ ජන බල පක්ෂය හා රතන හිමියන් අතර ඝට්ටනයක් ඇතිව තිබෙන බවත් උන් වහන්සේ පක්ෂ කාර්යාලයට පවා නොවඩිනා බවත් දුරකථන ඇමතුම් පවා මඟ හරින බවත් වාර්තා විය. අළුයට ගිනි පුපුරු මෙන් තිබූ මේ ගැටුම එක්වරම පුපුරා ගියේය. ඒ පසුගිය 14 වැනිදා අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයෙන් නෙරපා පාර්ලිමේන්තු අසුන අහිමි කළ බවට පක්ෂය විසින් තීන්දු කිරීමෙන් පසුවය.

පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනට නම් කරන්නට නොහැකිව එක්සත් ජාතික පක්ෂය වසරක පමණ කාලයක් ගත කරන ලදී. ඒ ලෙසින්ම එක් අසුනට මෙසේ අපේ ජන බල පක්ෂයේද යළිත් අරගලයක් ඇති කරන ලදී.

අපේ ජන බලය පක්ෂය මාධ්‍ය හමුවක්ද පවත්වා පැවසුවේ තම පක්ෂයට මහජනතාව වරමක් ලබා දුන්නේ පක්ෂයේ මතවාදය ඉදිරියට ගෙන යාමට මිස පෞද්ගලික මතවාදයන් ඉදිරියට ගෙන යාමට නොවන බවයි.

එහෙත් රතන හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලැබුණු අවස්ථාවේ සිට පක්ෂයේ ප්‍රතිපත්ති නොසලකා හරින ලද බවට චෝදනා එල්ල කරන ලදී.

විශේෂයෙන්ම මැතිවරණයට පෙර සිටම පක්ෂයේ මතය වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබුණහොත් එම මන්ත්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දීමට වුවද මැතිවරණයෙන් පසුව රතන හිමියන්ගේ ඉල්ලීම සලකා බලා උන් වහන්සේ පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රී ධුරය දැරූ නිසා උන් වහන්සේට යම් අවස්ථාවක් ලබා දිය යුතු බව නිගමනය කළ බව ද එම මාධ්‍ය හමුවේදී කරුණු ගෙන හැර දක්වන ලදී.

මේ අර්බුදයට මුල් වී ඇත්තේ පළමුව මාස 6ක පමණ කාලයක් රතන හිමියන්ද ඉන් පසුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද පාර්ල­ිමේන්තු මන්ත්‍රී ධුරය හොබවීමට එකඟතා ඇති කරගෙන තිබුණද රතන හිමියන් එය නොලසකා හිතුමතේ කටයුතු කිරීම බව අපේ ජන බල පක්ෂය විසින් පෙන්වා දෙයි. රතන හිමියන් කිසිදු ආකාරයක ප්‍රතිපත්ති දේශපාලනයක නියැළීමක් නොමැති බවද උන් වහන්සේගේ ඉතිහාසය දෙස බලන්නැයි පක්ෂ නියෝජිතයෝ අවධාරණය කළහ.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 දී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ රතන හිමියෝ 2010 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 07 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූහ. 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කළ රතන හිමියෝ 2020 මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයෙන්ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවදියේ උන් වහන්සේ 1987 මැයි 10 වැනිදා නිෂ්මි සමඟ අත්අඩංගුවට පත් වන්නේ ශිෂ්‍ය සටන්වලට නියැළෙමින් සිටියදීය. එසේම 1992 වසරේදී පුරවැසි පෙරමුණ බිහි කරන්නට පාඨලී චම්පික රණවක සමඟ කටයුතු කළහ.

අපේ ජන බල පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.

‘‘ පසුගිය 2020 මහ මැතිවරණ ව්‍යාපාරයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වුණු ඥානසාර හිමියන්ට ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් අවස්ථාවක් නොමැති නිසා අප එකඟ වුණා යම් ලෙසකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලදහොත් එය ඥානසාර හිමියන්ට ලබා දීමට. නමුත් අපට ලැබුණු එකම මන්ත්‍රී ආසනය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නිසාත් එතැන මතු වු ගැටලු අර්බුදවලට උසාවි ගිහින් විසඳුම් හොයනවාට වඩා සාකච්ඡා කර රතන හිමියන් ඉල්ලපු මාස 3 වෙනුවට අපි මාස 6ක කාලයක් උන් වහන්සේට ලබා දුන්නා මන්ත්‍රී ධුරයේ කටයුතු කරන්න. ඒ බව වාචිකව මෙන්ම ලිඛිතවත් උන් වහන්සේ විසින් පොරොන්දු වුණා.

එය ලබා ගන්නා තුරු උන් වහන්සේ දිනපතාම පක්ෂ කාර්යාලයට වැඩම කළා. ඥානසාර හිමියන් දිනපතාම හමුවුණා. මන්ත්‍රී ධුරය ලැබුණට පසුව උන් වහන්සේ පළාතක වැඩම කළේ නැහැ. අඩුම වශයෙන් මේ අවුරුද්දේ සාමාජිකත්වය පවා අලුත් කළේ නැහැ. අපි උන් වහන්සේට දැනුම් දුන්නත් උන් වහන්සේ කිසිවක් ගණනකට නොගෙන තමන්ගේ මතය අනුව පාර්ලිමේන්තුවේ කටයුතු කළා.

ජනතාව වරම දුන්නේ තම තමන්ට කැමති දේ කරන්න නෙමෙයි. අපි පක්ෂයක් විදිහට ජනතාවට ලබා දුන් පොරොන්දු තියෙනවා. අපි ඒ දෙස බලා කටයතු කළ යුත්තේ.

අපේ පක්ෂය කිසිදු ලෙසකින් ආණ්ඩුවේ 20 වැනි සංශෝධනය වැනි කටයුතුවලට නැඹුරුව කටයුතු කරන්න පොරොන්දු වුණේ නැහැ. නමුත් රතන හිමියන්ගේ මේ අකටයුතුකම් නිසාත් පක්ෂයේ ව්‍යවස්ථාව කඩකරපු නිසා උන් වහන්සේට චෝදනා පත්‍රයක් ලබා දුන්නා. එයටත් පිළිතුරු නැති නිසා අවසානයේ උන් වහන්සේට විරුද්ධව විනය කමිටුව චෝදනා විභාගයට කැඳෙව්වත් උන් වහන්සේ වැඩම කළේ නැහැ.

අවසානයේ විනය කමිටුව විසින් උන් වහන්සේ පක්ෂයෙන් ඉවත් කිරීමට හා මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට තීරණය කරනු ලැබුවා.

ඒ බව දේශපාලන මණ්ඩලය විසින් මධ්‍යම කාරක සභාවට දැනුම් දුන්නා. අපි ඒ තීරණය උන් වහන්සේට මෙන්ම මැතිවරණ කොමිසමටත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්ටත් දැනුම් දුන්නා. රතන හිමියන් පසුව ගරාජයක බාස් කෙනෙක් ගෙනැත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අයෙක් ලෙස අඟවා මාධ්‍ය හමුවක් පැවැත්වූවා ‘‘

අපි මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගෙන් විමසුවෙමු.

‘‘ඇත්තෙන්ම මාධ්‍යයට කතා කරන්න රටේ වෙන ප්‍රශ්න නැද්ද? මෙය මට කරපු ලොකු අරියාදුවක්. මේව පත්තරේට ලියන්න ඕනෙත් නැහැ කියලයි මම නම් කියන්නෙ. මම පාර්ලිමේන්තුවට ආවෙ නිසි ක්‍රමවේදයකටයි. ලියුමක් එවල තියෙනවා කිසිදු ආකාරයක නීතිමය පදනමකින් තොරව. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග මම අරගෙන තියෙන්නෙ. නිසි උත්තරේ ඒ නීතිමය ක්‍රියාමාර්ග හරහා අධිකරණයෙන් ලැබෙයි. එක එක්කෙනා නඟන චෝදනාවලට මම උත්තර දෙන්න යන්්නෙ නැහැ. අධිකරණයෙන් ඒ අයට නියමිත පිළිතුර ලැබෙයි‘‘

මතුව ඇති මේ අර්බුදය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපි විමසුවෙමු.

‘‘ මම මේ සිදුවීම ගැන කතා කරන්න කැමැති නැහැ. මම මාධ්‍යයට ප්‍රකාශ නොදෙන්නයි ඉන්නෙ. පක්ෂය විසින් තීන්දුවක් ගනියි. ඒ ගන්න ඕනම තීන්දුවකට මම එකඟයි. එහෙම නැතුව මම ඒවට අත ගහන්න යන්නෙ නැහැ. මන්ත්‍රී ධුරයට අවස්ථාවක් ලැබුණොත් අවංකව සේවයක් කරන්න යනවා. එහෙම නොලැබුණා කියලා කිසිම ආකාරයක පසුතැවීමක් හෝ විශේෂයක් නැහැ‘‘

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාගෙන් විමසුවෙමු

‘‘ මේ වන විට අදාළ පක්ෂයෙන් මට දැනුම් දීලා තියෙනවා අතුරලියෙ රතන හිමියන් පක්ෂයෙන් ඉවත් කළ බවට, වෙනත් අයකු පත් කිරීම අපේක්ෂාවක් සම්බන්ධයෙන් නමුත් ඇත්තෙන්ම ඒ බව දැනුම් දිය යුත්තේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාටයි එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පිටපතක් ලබා දීම සුදුසුයි. පාර්ලිමේන්තවේ මහ ලේකම් තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දීම සිදු කරන්නේ. කොහොම වුණත් මහ ලේකම්වරයා විසින් අපට දැනුම් දීමක් කළොත් අදාළ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී තිබෙන බවට අපි පක්ෂයේ ලේකම්වරයාට දැනුම් දෙනවා අලුත් මන්ත්‍රීවරයෙක් නම් කරන ලෙසට.

එසේ නම් කළහොත් අපි ඒ නව මන්ත්‍රීවරයාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනවා. කොහොම වුණත් දින 30ක කාලයක් යනතුරු එහි කටයුතු සිදු වන එකක් නැහැ. අදාළ මන්ත්‍රීවරයාට අධිකරණයේ පිහිට පතන්නට එහිදී හැකියාව තිබෙනවා. ‘‘

අපි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායකගෙන්ද විමසුවෙමු.

‘‘ පසුගිය බ්‍රහස්පතින්දා වන විට මට අපේ ජන බල පක්ෂයෙන් ලිපියක් ලැබුණා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවත්, ඒ අනුව ඒ හිමියන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අහෝසි කළ බවත් දන්වා තිබෙනවා.

ඒ අනුව මීළඟ පියවර වන්නේ මසකට පසුව මැතිවරණ කොමිසමට අදාළ පක්ෂයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වූ බව දැන්වීමයි. කෙසේ වෙතත් අදාළ මන්ත්‍රී ධුරය හිමි අය අධිකරණමය ක්‍රියාමාර්ගයක් කරා ගියහොත් එම අධිකරණ ක්‍රියාමාර්ගය අවසන්ව එහි තීන්දුව ලබා දෙන තුරු සිටිය යුතු වෙනවා.‘‘

අපේ ජන පක්ෂයේ මන්ත්‍රී ධුරය මෙලෙස අර්බුදයකට පත්ව තිබේ. එහි අල ගිය මුල ගිය තැන්ද යම් ආකාරයක පැටලිලි සහිතය. රතන හිමියන්ට විරුද්ධව නැඟුණු චෝදනා විභාග කිරීමට විනය කමිටුව රැස්වී ඇත්තේ පසුගිය 14 වැනිදාය. එහි ජාතික සංවිධායකවරයා පවසන ආකාරයට එහි බහුතරය පක්ෂයේම සාමාජිකයන්ය. විනය කමිටුව විසින් සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව රතන හිමියන් වැරැදිකරු බවට පත් කර නිර්දේශය ලබා දෙන්නෙ මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පමණක් නොව පක්ෂයෙන්ද නෙරපා දැමිය යුතු බව පවසමිනි.

එදිනම පස්වරුවේ දේශපාලන බල මණ්ඩලය රැස්වී එම තීරණය අනුමත කරනු ලැබේ. එහි දී 15 දෙනකුගෙන් සමන්විත පිරිසක් එම තීරණය අනුමත කර මධ්‍යම කාරක සභාවට තීරණය ලබා දෙනු ලැබේ. එහි සාමාජිකයන් 21 දෙනාද එදිනම රාත්‍රියේ එම තීරණය අනුමත කර රතන හිමි ඉවත් කිරීම අනුමත කරනු ලැබේ. එයින් පසුව එය ප්‍රසිද්ධියට පත් කරන්නේ 15 වැනිදාය.

මේ සියල්ල එක් දිනකදී සිදුව තිබේ. පක්ෂයේ සභාපති සමන් පෙරේරා හා ලේකම් නිශාන්ත රත්නායක ඇතුළු පිරිසකගේ ඒකමතික තීන්දුවට අනුව රතන හිමියන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතුමය.

අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ධුරය රතන හිමියන්ට පැවරුවේ මාස 6කට බව පැවසුවත් එවැන්නක් අදාළ ලිපියේ සඳහන්ව නැත. එහි සඳහන්ව ඇත්තේ පක්ෂය ඉල්ලූ විටක මන්ත්‍රී ධුරය ලබා දිය යුතු බවයි. එයට නීතිමය හැකියාවක් තිබේද යන්න විමසා බැලිය යුතුය. යම් අයකුගේ නම ගැසට් කිරීමෙන් අනතුරුව පක්ෂය ඉල්ලා සිටි විට අසුන බාරදීමට මන්ත්‍රීවරයා බැඳී සිටින්නේද? ඔහු හෝ ඇය ඉල්ලා අස්වීම වෙනමම කරුණකි.

Comments