මෙවර ලෝක කුසලානේ අලුත් වේවි ද | සිළුමිණ

මෙවර ලෝක කුසලානේ අලුත් වේවි ද

 

විස්සයි විස්ස ලෝක කුසලානය ඇරැඹී ඇති හෙයින් මේ වනවිට ලෝකය පුරා ක්‍රිකට් උන්මාදයක් නිර්මාණය වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ඕමානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙවර තරගාවලියේ දී පිතිකරුවන් සුවිශාල වාර්තා අතරට යනු ඇති බවට දැනටමත් ලොව පුරා වෙසෙන සුවහසක් ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු තබා ඇත. එහි දී වැඩිදෙනෙක් අවධානය යොමුකරන්නේ විස්සයි විස්සේ ප්‍රවේගවත්ම තනි පුද්ගල ඉනිමේ වාර්තාව බිඳහෙළීමට කවුරුන් හෝ පිතිකරුවකු සමත් වන්නේ ද යන්නයි. මේ ඉතිහාසයේ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයන්හි දී මෙන්ම ලෝක කුසලාන විස්සයි විස්සේ වේගවත්ම ශතක රැස්කළ ක්‍රීඩකයන්ගේ වාර්තා පිළිබඳව ය.

ක්‍රිකට් ප්‍රේමීන් වැඩිදෙනෙක් අපේක්ෂා පොදි බැඳගෙන ඇත්තේ පිතිකරුවන්ගේ දක්ෂතා දැක ගැනීමට ය, ඒ පිතිකරුවන් විසින් පන්දුයවන්නන් හා පන්දුරකින්නන්ගේ පීඩනය අභිබවන ආකාරය තුළින් මතුවන සතුට වඩාත් ප්‍රබල බව විශ්වාස කරන සංස්කෘතියක් ක්‍රිකට් ක්‍රීඩාව තුළ නිර්මාණයවී ඇති හෙයිනි.

ඇතැම්විට එවැනි කැමැත්තක් නිර්මාණය වනුයේ තම රට යන සංකල්යට පසු දුබලයා විසින් ප්‍රබලයා තලා පොඩිකර දමා ජයග්‍රහණය නමැති සොඳුරු පාරාදීසයට පිවිසීම දකින්නට ඇති කැමැත් හේතුවෙන් විය හැකි ය.

පන්දු රකින්නන් එකළොස් දෙනෙක් සමඟ පිතිකරුවන් දෙදෙනෙක් පිටිය තුළ ස්ථාවරවීමට ගන්නා උත්සහය තුළින් මතුවන්නේ පීඩනය අභිබවා යාමට ගන්නා දැඩි උත්සහයකි. එලෙස අභියෝගයන් රැසක් ජයගනිමින් පිතිකරුවන් දක්ෂතා දැක්වීම ප්‍රේක්ෂකයන් තුළ සතුට දැඩිකරවන හැඟීම් මතුකිරීම මනෝ විද්‍යාත්මකව සත්‍යයක් සේ ගත හැකි ය. එය දෙපාර්ශ්වයේම පිතිකරුවන් අරභයා ගොඩනැගෙන පොදු අපේක්ෂාවක්වීමෙන් පක්ෂග්‍රාහීත්වයෙන් තොරව පිතිකරුවන්ගේ ජයග්‍රහණය, සාර්ථකත්වය සැමවිටම අපේක්ෂා කරන තත්ත්වයක් ප්‍රේක්ෂකයන් තුළ ගොඩනැගීම සාධාරණ ය.

මේ අනුව පන්දු එකසිය විස්සක සටනේ දී ශතක රැස්කරමින් දක්ෂතා දක්වන්නට පිතිකරුවනට හැකියාවක් ලැබෙන්නේ නම් එය අසිරිමත් ය. පන්දුවාර විස්ස ලෝක කුසලානයේ දී මෙලෙස විස්සයි විස්ස ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා වනු ඇත් ද යන්න සම්බන්ධයෙන් සිහිපත් කළ යුත්තේ එහෙයිනි. කෙසේ නමුත් විස්සයි විස්සේ වේගවත්ම ශතකය හිමිව ඇත්තේ මෝල් හිමියකුට ය.

වේගවත්ම සීය මෝල්හිමියකුට

විස්සයි විස්සේ වේගවත්ම ශතකයේ හිමිකරුවා මෝල්හිමියෙකි. ඔහු දකුණු අප්‍රිකාවේ මෝල්කාරයෙකියැයි කීවහොත් වඩා නිවැරදි ය. මෝල්කාරයෙක් යැයි පවසන්නේ ඔහු

ගේ නම මිලර් ලෙස හැඳින්වෙන හෙයිනි. මේ මිලර් අන්කවරකුවත් නොව දකුණු අප්‍රිකානු පිතිකරු ඩේවිඩ් මිලර් ය. ඔහු වේගවත්ම විස්සයි විස්ස ශතකය පන්දු තිස් පහක් තුළ රැස්කර ඇත. සමස්ත විස්සයි විස්ස ඉතිහාසයේ වේගවත්ම ශතක ලාභියා සේ සැලකෙන්නේත් මිලර් ම ය.

වමත් පිතිකරුවකු වන මිලර් බංග්ලාදේශය සමඟ පැවැති තරගයක දී මේ වාර්තාව පිහිටුවා තිබේ.

තරගය පැවැතුණේ Potchefstroom හි දී ය. ඔහුගේ ඉනිම නොදැවී ලකුණු 101 ක් ලෙස වාර්තා

වුණු අතර පන්දු තිස් හයක් තුළ දියත් විණි. ඊට හයේ පහර නවයක් හා හතරේ පහර හතක් අන්තර්ගත වි ය.

දස වැන්නා කොලින් මුන්රෝ

මෙම වේගවත්ම විස්සයි විස්ස ශතක සමාජයේ දහවැනි තැන දිනා ඇත්තේ නවසීලන්තයේ කොලින් මුන්රෝ විසිනි. ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ බේ ඕවල් පිටියේ පැවැති තරගයක දී පන්දු පනස් තුනකින් ලකුණු 104 ක් රැස්කරමින් මෙම ශතකය වාර්තා කර තිබේ. හයේ පහර දහයක් සහ හතරේ පහර තුනක් ඊට ඇතුළත් ය.

නව වැන්නා වූ ගේල්

පන්දු හතළිස් අටක දී ක්‍රිස් ගේල් මෙම ශතකය රැස් කළේ එංගලන්තයට එරෙහිව ය. තරගය ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැතියේ 2016 වසරේ දී ය. හයේ පහර එකොළහක් හා හතරේ පහර පහකින් ඉනිම අලංකෘත විණි.

ෆින්ච්ගේ ශතකය අට වේ

පන්දු හතළිස් හතකින් ශතකයක් රැස් කරමින් එංගලන්ත පන්දුයවන්නන් හා පන්දුරකින්නන් අසරණ කළ එරොන් ෆින්ච් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයක වේගවත්ම ශතකය රැස්කර ඇත. සදම්ප්ටන් හි දී රෝස් බෝල් ක්‍රීඩාංගණයේ දී මෙම ඉනිම දියත් කළ ෆින්ච් පන්දු හැට තුනක් තුළ ලකුණු 156 ක් රැස් කළේ ය. එයට හයේ පහර දහ හතරක් හා හතරේ පහර එකොළහක් ඇතුළත් විණි.

ඉන්දියාවේ වේගය රාහුල්ට

කේ.එල්. රාහුල් ඉන්දියාව වෙනුවෙන් වේගවත්ම විස්සයි විස්ස ශතකය රැස්කර ඇත. ඒ පන්දු හතළිස් හයක් තුළ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඔහු මෙම දස්කම දැක්වී ය. තරගය පැවැත්වුණේ 2016 වසරේ දී වන අතර ලෝඩර්හිල් හි සෙන්ට්‍රල් බ්‍රෝවෝඩ් රීජනල් පිටියේ දී ය. ඔහු එහිදී නොදැවී ලකුණු 110 ක් රැස් කළේ පන්දු පනස් එකකට මුහුණ දෙමිනි. ඊට හයේ පහර පහක් හා හතරේ පහර දොළහක් ඊට ඇතුළත් විණි.

ප්ලෙසිස්ගේ වේගය

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆැෆ් ඩු ප්ලෙසිස් යනු පන්දු හතළිස් හයකින් විස්සයි විස්සේ ශතකයක් රැස්කළ පිතිකරුවෙකි. එම තරගයත් පැවැතුණේ කොදෙව් කණ්ඩායමට එරෙහිව 2015 වසරේ දී ය. තරගය ජොහැනස්බර්ග්හි වොන්ඩරස් පිටියේ පැවැති අතර ඔහු පන්දු පනස් හයක් තුළ ලකුණු 119 ක් රැස්කළේ හයේ පහර පහක් හා හතරේ පහර එකොළහක් සමඟ ය.

ලෙවී ද දකුණු අප්‍රිකානුවෙකි

රිචර්ඩ් ලෙවී පන්දු හතළිස් පහක් තුළ ශතකයක් රැස්කළේ ලොව වේගවත්ම පස්වැනි විස්සයි විස්ස ශතකය රැස්කරමිනි. තරග හැමිල්ටන් හි සෙල්ඩන් පාර්ක් හි පැවැතියේ 2012 වසරේ දී ය. පන්දු පනස් එකක් පුරා විහිදුණු ඔහුගේ ඉනිමට නොදැවී ලකුණු 117 ක් එක්ව තිබූ අතර හතරේ පහර පහක් හා හයේ පහර දහතුනක් ඊට අන්තර්ගත විණි.

ඇෆ්ගන් ප්‍රවේගය

පන්දු හතළිස් දෙකකින් ශතකයක් රැස්කරමින් විස්සයි විස්සේ වාර්තා අතරට යන්නට ඇෆ්ගනිස්ථානයේ හෂ්රතුල්ලා ෂාෂායි සමත්ව තිබේ. ෂාෂායි යනු ඇෆ්ගන් ආරම්භක පිතිකරුවකු වන අතර අයර්ලන්තයට එරෙහිව ඉන්දියාවේ රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ දී ඔහු මෙම දස්කම දැක්වී ය.

නොදැවී ලකුණු 162 ක් රැස්කළ ඔහුගේ ඉනිමට හයේ පහර දහසයකින් හා හතරේ පහර එකොළහකින් හැඩවුණේ ය.

චෙක් ජනරජයට වේගය කැවූ ශ්‍රී ලාංකිකයා

සුදේශ් වික්‍රමසේකර නමැති ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පිතිකරුවකු විසින් චෙක් ජනරජය වෙනුවෙන් පන්දු තිස් පහකදී ශතකයක් රැස්කරමින් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලොව තෙවැනි වේගවත්ම ශතකය වාර්තාකර ඇත. දකුණත් පිතිකරුවකු වන සුදේශ් පන්දු තිස් හයක් තුළ ලකුණු 104 ක් නොදැවී රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවී ය. ඊට හයේ පහර දහයක් සහ හතරේ පහර අටක් ඇතුළත් ය. තරගය පැවැතියේ තුර්කියට එරෙහිව මොආරා ව්ලැසී ක්‍රීඩාංගණයේ දී 2019 වසරේ දී ය.

රෝහිත් ෂර්මාත් 35 න්

විස්සයි විස්සේ ප්‍රවේගවත්ම පිතිකරුවන් බිහිකර ඇති ඉන්දියාව නියෝජනය කරන රෝහිත් ෂර්මා පන්දු තිස් පහක් තුළ ශතකයක් වාර්තා කරමින් ලොව දෙවැනි වේගවත්ම විස්සයි විස්ස ශතකය රැස්කර ඇත. ශ්‍රී ලංකාව සමඟ 2017 වසරේ පැවැති තරගයකදී මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ ඉන්දූර් හි හොල්කාර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ය. පන්දු 43 ක් තුළ විහිදුණු ඔහුගේ ලකුණු 118 ක ඉනිමට හයේ පහර දහයක් හා හතරේ පහර දොළහක් ඇතුළත් විණි.

ලෝක කුසලාන විස්සයි විස්සේ වේගවත් ශතක ලාභීන්

ලෝක කුසලානයේ වාර්තා වූ වේගවත්ම ශතකයේ හිමිකරුවා වනුයේ යුනිවර්සල් බොස් යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන ක්‍රිස් ගේල් ය. ඔහු පන්දු හතළිස් අටක දී එංගලන්යට එරෙහිව මුම්බායි හි පැවැති 2016 ලෝක කුසලාන තරගාවලියේ දී ශතකයක් රැස් කළේ ය. ඊට පෙර ද එම ලෝක කුසලාන වාර්තාවට හිමිකම් කියූ ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග් හි දී පන්දු 57 කින් රැස්කළ ලකුණු 117 වේගවත්ම ශතකය ලෙස සැලකිණි.

සුරේෂ් රයිනා විසින් 2010 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ග්‍රොස්අයිලට් හි දී පන්දු හැටකදී රැස්කළ ශතකය ලෝක කුසලනයේ තෙවැනි වේගවත්ම ශතකය යි. මේ අතරට මහේල ජයවර්ධන විසින් සිම්බාබ්වේ පිලට එරෙහිව පන්දු හැට හතරකදී රැස්කළ ශතකය ද ඇතුළත්ව ඇත්තේ සිව්වැනි වේගවත් ඉනිම ලෙස ය.

ශ්‍රී ලංකාවේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී නවසීලන්ත පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් විසින් ප්‍රහාරක වේගය 212 ක් ලෙස පවත්වා ගනිමින් පන්දු 58 ක දී ලකුණු 123 ක් රැස්කළේ ය. එය සැලකෙන්නේ ලෝක කුසලාන ඉතිහාසයේ පස්වැනි වේගවත්ම ශතකය ලෙසිනි. මේ අතර එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හේල්ස් ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු හැට හතරකදී නොදැවී ලකුණු 116 ක් ලබාගනිමින් ක්‍රිස්ටොග්‍රෑම් හි දී ලබාගත් ශතකය සැලකෙන්නේ ලෝක කුසලානයේ සත්වැනි වේගවත්ම ශතකය ලෙස ය.

මේ අතර ආධුනික ක්‍රීඩකයන්ගෙන් සමන්විත යැයි සැලකුණු ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් අහමඩ් ෂෙහ්ෂාඩ් නොදැවී ලකුණු 111 ක් රැස්කළේ පන්දු හැට දෙකක් තුළ ය. ඒ 2014 වසරේ ඩකාහි දී ය. තමීම් ඉක්බාල් පන්දු හැට තුනකින් නොදැවී ලකුණු 103 ක් ලබමින් ඕමානයට එරෙහිව ලොව වේගවත්ම අටවැනි ලෝක කුසලාසන විස්සයි විස්ස ශතකයට උරුමකම් කියා තිබේ.

මේ අනුව මෙවර ලෝක කුසලානයේ දී වේගවත් ශතක වාර්තාව අලුත් කරන්නට පිතිකරුවන්ට අවස්ථාව උදාවේ ද? පන්දුයවන්නන් හා පන්දු රකින්නන් පිතිකරුවනට එම නිදහස ලබාදේවි ද? එය තීරණය කිරීමට තවත් දින ගණනාවක් පවතින හෙයින් එහි ඇසින් දුටු සාක්ෂිකරුවන්ට ඔබට අවස්ථාව උදාවී ඇත.

කාන්ති ජයසිංහ

Comments