මාධ්‍යවේදීන්ට අලුත් උපාධි දෙන වරලත් ජනමාධ්‍යවේදී ආයතනය | සිළුමිණ

මාධ්‍යවේදීන්ට අලුත් උපාධි දෙන වරලත් ජනමාධ්‍යවේදී ආයතනය

ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය යනුවෙන් ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීම සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජනමාධ්‍ය විෂය සම්බන්ධයෙන් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යයන අවස්ථා සලසා දීමට හැකි වන පරිදි ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය ස්ථාපිත කිරීමට නියමිත ය.

මේවන විට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වී සිටින මාධ්‍යවේදින්ට සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට මෙහි අධ්‍යාපනය ලබා දීමට සැලසුම් කර ඇත.

“දශක කීපයක සිට ලෝකයේත් අපේ රටේත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රසාරණයක් තිබෙනවා. පුවත්පත් ප්‍රමාණය වැඩිවෙලා. රූපවාහිනි සහ ගුවන්විදුලි නාළිකා ප්‍රමාණය වැඩිවෙලා. මේ දේවල් ප්‍රමාණාත්මක වශයෙන් වර්ධනය වුණාට ගුණාත්මක වශයෙන් අද ජනමාධ්‍ය පිරිහිලා. ඒකට මම උදාහරණයක් කියන්නම්.

අද රූපවාහිනි ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවිට එක් එක්කෙනාගේ අදහස් දැක්වීම් 75%ක් තියෙනවා. ප්‍රවෘත්තියක් කියන්නේ එක් එක්කෙනාගේ අදහස් ඉදිරිපත් කිරීම නෙමෙයි. ප්‍රවෘත්තියක යම් දෙයක් තහවුරු කිරීමට පමණයි එක් එක්කෙනාගේ ප්‍රකාශයක් ඇතුළත් කරන්නේ. ප්‍රවෘත්තියකට තර්කානුකූල ගොඩනැඟීමක් අවශ්‍යයි. අද ප්‍රවෘත්තියේ වහසි බස්, කයිවාරු, කටමැත දෙඩවීම් මිසක් තොරතුරු නැහැ. සමහර සිද්ධි පළ වෙනවා, හැබැයි කවුද කිව්වේ කොහෙදිද කිව්වෙ කවදාද කිව්වෙ කියලා නැහැ. ඒවගේම තමයි සිංහල භාෂා භාවිතය කොයි තරම් පිරිහිලාද? ඒනිසා ඊට පිළියමක් හැටියට ජනමාධ්‍ය වෘත්තියේ නිරත වන අයට පුහුණුවක් ලබාදිය යුතුයි.“ යනුවෙන් පවසමින් අදහස් දැක්වූවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ය.

• වරලත් ආයතනයේ බිහිවන ජනමාධ්‍යවේදීන් සුවිශේෂ නිෂ්පාදන විය යුතුයි
- නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු

මේ වන විට ජනමාධ්‍යවේදීන්ට නිසි අධ්‍යාපනයක් ලබාදෙන ආයතන ලෝකයේ බොහෝ රටවල්වල තිබේ. අන්තර් ජාතික මාධ්‍ය සහයෝගිතාවේ ආසියානු කලාපීය උපදේශක, ආචාර්ය රංග කලන්සූරිය සඳහන් කළේ අසල්වැසි ඉන්දියාව ඇතුළු බොහෝ ආසියානු රටවල්වල මෙවැනි අධ්‍යාපනික ආයතන පිහිටුවා ජනමාධ්‍යවේදින්ට ක්‍රමවත් අධ්‍යාපනයක් ලබාදෙන බවයි.

මෙතෙක් ලංකාවට අඩුවක් ව පැවති වරලත් ජනමාධ්‍යවේදී ආයතනයක් ස්ථාපිත කිරීම යහපත් දෙයක් බව ඔහු තවදුරටත් සඳහන් කළේය. “ජනමාධ්‍යවේදියාව අර්ථ දක්වන්නේ මොන ආකාරයටද කියලා ලංකාවේ ගැටලුවක් තියෙනවා. ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයේ ජනමාධ්‍යවේදින්ව ලියාපදිංචි කිරීමට අපි උත්සාහ කළා. එහිදී ජනමාධ්‍යවේදියාගේ අර්ථ දැක්වීම මොකක්ද, ජනමාධ්‍යවේදින්ගේ මිනුම් දණ්ඩ මොකක්ද කියලා ගැටලුවක් මතු වුණා.

සමහර ජනමාධ්‍යවේදින් සිටිනවා අ.පො.ස. සාමාන්‍ය පෙළ පමණක් සමත් වූ අය. තවත් පිරිසක් ඉන්නවා පශ්චාත් උපාධි පවා තියෙනවා. සමහර ජනමාධ්‍යවේදින්ට තිබෙන්නේ වෘත්තීය පළපුරුද්ද විතරයි.

මේ නිසා අපට අද දක්වාම ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචි වෙන්න බැරි වුණා. ඒ නිසා වරලත් ජනමාධ්‍යවේදි ආයතනයක් පිහිටෙව්වොත් හැමෝටම එක විදිහේ මිනුම් දණ්ඩක් ලැබෙනවා. අපේ ජනමාධ්‍යවේදින්ගේ අඩුව සපුරා ගන්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි මෙයින් ජනමාධ්‍යවේදින්ට පිළිගැනීමක් ලැබෙනවා. ඒනිසා වරලත් ජනමාධ්‍යවේදි ආයතනයක් පිහිටුවීම ඉතා හොඳ තීරණයක් හැටියටයි මම නම් දකින්නේ.“ යනුවෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ ලේකම් සිසිර පරණතන්ත්‍රී සඳහන් කළේය.

නිශ්චිත අධ්‍යාපන සුදුසුකමක් නොමැති වීමෙන් ජනමාධ්‍යවේදින්ට ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචියට අවසර හිමි නොවීමේ කාරණය සිහිපත් කරමින් අදහස් දැක්වීමට එකතුවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, නීතිඥ ගයිරික පේරුසිංහ ඇමෙරිකාව බ්‍රිතාන්‍ය වැනි රටවල්වල ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වීමට පළමු උපාධිය ප්‍රමාණවත් නොවන බවත් පශ්චාත් උපාධිය අවම සුදුසුකම බවත් සඳහන් කළේය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වනු ලබන ජනසන්නිවේදන උපාධි පාඨමාලා මඟින් වෘත්තීය ජනමාධ්‍යවේදියකු බිහි කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම ලබා නොදෙන බවට නිරීක්ෂණය වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කර ඇත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක පැවසුවේ විශ්වවිද්‍යාලවල සන්නිවේදන න්‍යාය ඉතිහාසය උගන්වනු ලැබූවත් මාධ්‍ය පරිචය සහ සන්නිවේදන අධ්‍යාපනය අතර විශාල පරතරයක් ඇති බව ය. විශ්වවිද්‍යාලවලින් ලබන අධ්‍යාපනය මාධ්‍ය භාවිතයේදී ප්‍රගුණ නොකෙරෙන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

•විධිමත් පාඨමාලා මඟින් ජනමාධ්‍යවේදින්ව සවිඥානික කළ යුතුය
- ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති

“විශ්වවිද්‍යාල අධ්‍යාපනය එකක්. මාධ්‍ය පුහුණුව තව එකක්. දැන් බලන්න, නීති පීඨයෙන් උපාධිය ලබා ගත් නීති උපාධිධාරියකු වුණත් අනිවාර්යයෙන් නීති විද්‍යාලයට යා යුතුමයි. නීති උපාධිය තිබුණා කියලා එකපාරටම උසාවි ගිහින් වැඩ කරන්නේ නැහැනේ. ජනමාධ්‍යවේදිනුත් ඒ වගේ තමයි.“ යනුවෙන් පැහැදිලි කළේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ ය.

අන්තර්ජාතික මාධ්‍ය සහයෝගිතාවේ ආසියානු කලාපීය උපදේශක, ආචාර්ය රංග කලන්සූරිය පැවසුවේ ජනමාධ්‍යවේදියාව වෛද්‍යවරයකු හදන ආකාරයට සකස් කළ යුතු බවයි. මාධ්‍යවේදියාට නිසි අධ්‍යාපනය මෙන්ම පුහුණුව ද ලැබිය යුතු බවයි.

එහෙත් ඔහුට වරලත් ජනමාධ්‍යවේදි ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලු 2ක් පැන නඟින බව ද අවධාරණය කළේය. ඉන් එකක් වන්නේ මෙම ආයතනයේ ස්ථාවරත්වය පිළිබඳවයි. අනෙක් ගැටලුව ලෙස ඔහු පෙන්වා දුන්නේ මෙම ආයතනයේ ආචාර්ය මණ්ඩලය පිළිබඳවයි. අද ජනමාධ්‍යයේ ප්‍රායෝගික පුහුණුව, පළපුරුද්ද තිබෙන අයට ශාස්ත්‍රීය අධ්‍යාපනය මදි. එහෙම ශාස්ත්‍රීය අධ්‍යාපනය පමණක් පරතෙරට ලැබූ ආචාර්ය මණ්ඩලයක් දැම්මොත් ආපහු විශ්වවිද්‍යාලවල උගන්වන සන්නිවේදන න්‍යාය හා මූලධර්මවලට හිර වෙනවා.

• වරලත් ජනමාධ්‍යවේදි ආයතනයක් පිහිටුවීම ඉතා හොඳ තීරණයක්’
- ශ්‍රී ලංකා කර්තා සංසදයේ ලේකම්

ඒනිසා ශාස්ත්‍රීය අධ්‍යාපනයත් ප්‍රායෝගික පුහුණුවත් එක වගේ තිබෙන අය තමයි ආචාර්ය මණ්ඩලය විදිහට කටයුතු කළ යුත්තේ. ඒත් එහෙම අය බොහොම අඩුයි.

සාර්ථක පුහුණු පාසලක් හදාගන්න ඉස්සෙල්ලා ආචාර්ය මණ්ඩලය හදාගන්න ඕනෑ.“ යනුවෙන් අන්තර්ජාතික මාධ්‍ය සහයෝගිතාවේ ආසියානු කලාපීය උපදේශක, ආචාර්ය රංග කලන්සූරිය විස්තර කළේය.

රටේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණයට පසුව සිව්වැනි ස්ථානයේ තිබෙන ජනමාධ්‍ය වඩාත් ශක්තිමත් විය යුතු බවත් ස්වාධීන විය යුතු බවත් පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි නීතිඥ ගයිරික පේරුසිංහ, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැදිහත් වීමෙන් ස්ථාපිත කෙරෙන වරලත් ජනමාධ්‍යවේදී ආයතනයේ අධ්‍යාපනය ලබා දීමේදී ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන අයට මෙන්ම ක්ෂේත්‍රයේ දැනට නිරත වී සිටින මාධ්‍යවේදින්ටත් අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම පෙන්වා දුන්නේ මෙලෙසිනි.

“ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් එකතු වන අයට විතරක් මේ දැනුම, පුහුණුව දීලා වැඩක් නැහැ. මොකද ඒ අයට වැඩ කරන්න සිද්ධ වෙන්නේ පරණ අය එක්කලා නම්. ඒනිසා දැනට ක්ෂේත්‍රයේ වැඩ කරන අයටත් ඒ අධ්‍යාපනය දිය යුතුයි. නැතිනම් වරලත් ජනමාධ්‍යවේදි ආයතනයේ ඉගෙනගන්න අයගේ ඵලදායිත්වය ළඟා කරගන්න තව අවුරුදු 20ක්වත් ගතවේවී.“ යන්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි නීතිඥ ගයිරික පේරුසිංහගේ අදහස විය.

වර්තමානයේ පුද්ගලික ආයතන, විශ්වවිද්‍යාල පමණක් නොව පාසල් පද්ධතිය තුළ පවා ජනමාධ්‍ය අධ්‍යාපනය ලබාදෙන විට මේ සා ජනමාධ්‍යවේදින් නිෂ්පාදනය කිරීමෙන් ඊට සරිලන රැකියා වෙළඳපොළක් තිබේදැයි යන ගැටලුව මතු කළේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී ය.

විශ්ව විද්‍යාල තුළින් ජනමාධ්‍ය උපාධිය ලබා ගන්නා අයට ප්‍රායෝගික දැනුම අඩු බැවින් ඔවුන්ට ප්‍රායෝගික දැනුම ලබා දිය යුතු බව පැවසූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී, පරිපූර්ණ අධ්‍යාපනයක් ලැබූ ජනමාධ්‍යවේදියකු නිෂ්පාදනය කිරීම යහපත් දෙයක් වුවත් වරලත් ජනමාධ්‍යවේදි ආයතනයෙන් බිහි වන ජනමාධ්‍යවේදියා සෙසු ජනමාධ්‍යවේදින්ට වඩා සුවිශේෂි නිෂ්පාදනයක් විය යුතු බව සඳහන් කළාය.

ඒත් කොයි තරම් හොඳින් ආකල්පවලින් සන්නද්ධ කරලා මාධ්‍යවේදීන් හැදුවාට වැඩක් නැහැ මාධ්‍ය අධිපතීන් එවැනි ආකල්පවලින් සන්නද්ධ වෙලා නැතිනම්.

මාධ්‍ය ආයතන හිමිකරුවන් ඉදිරියේ මාධ්‍යවේදින්ට කොන්ද කෙළින් තියාගෙන මාධ්‍ය කටයුතු කරන්න බැරි නම් පක්ෂපාති වීමට සිදු වෙනවා නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා.

ඒනිසා මාධ්‍යවේදීන් හදනවා වගේම මාධ්‍ය ආයතන හිමිකරුවන්වත් ආකල්පවලින් සන්නද්ධ කරනවා නම් හොඳයි.“ යනුවෙන් අදහස් දැක්වූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි සීතා රංජනී ය.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඒ සියලු අදහස් උදහස් කෙරෙහි අවධානය යොමු කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ ඔහු ද දශක කීපයකට පෙර හොඳ පත්තරකාරයකු වී සිටි නිසාය.

Comments