මවගේ අනියම් පෙමට ජීවිතයෙන් වන්දි ගෙවූ පුත්‍රයා | සිළුමිණ

මවගේ අනියම් පෙමට ජීවිතයෙන් වන්දි ගෙවූ පුත්‍රයා

-  මවට අවුරුදු 65යි අනියම් සැමියාට 50යි
- සැකකරු මීට පෙරත් මිනිස් ඝාතන 4ක් සිදුකොට බන්ධනාගාරගතව සිටි අයෙක්
- අනියම් ඇසුරට මාස දෙකයි

පුත්තලම් දිස්ත්‍රික්කයේ මුන්දලම පොලිස් වසම ධීවර රැකියාවේ නියුතු වූවන් ගහණ ප්‍රදේශයකි. ඉකුත් 18 වැනි සඳුදා රාත්‍රි 9ට පමණ මිරිහානේ පිහිටි 119 පොලිස් හදිසි ඇමැතුම් මූලස්ථානයට ලැබුණු තොරතුරක් ක්ෂණිකවම යොමු කෙරුණේ මූන්දලම පොලිස් ස්ථානයටයි. ඒ තොරතුරෙන් කියැවුණේ මදුරන්කුලිය, කරිකට්ටියේ හරියටම පුත්තලම් - කොළඹ මාර්ගයේ 118 කණුව ඉදිරිපිට නිවෙසෙහි පිහි ඇනුමකින් බරපතළ තුවාලලත් පුද්ගලයකු පුත්තලම මූලික රෝහලට රැගෙන ගිය බවයි. ඒත් සමඟ පුත්තලම රෝහල් පොලිසියෙන්ද මූන්දලම පොලිසියට දැන්වූයේ එම පුද්ගලයා මියගිය බවයි.

පපු ප්‍රදේශයට වූ පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලබා මරණයට පත්වූයේ 28 හැවිරිදි සිරිවර්ධන මුදලිගේ චාමර රුවන් කුමාර නමැති එක්දරු පියෙකි. රුවන් කුමාර කරිකට්ටියේ අදාළ පිහි ඇනුම වූ නිවෙසේ අයෙක් වුවත් ඔහු තුල්හිරිය, පරාක්‍රමගම වෙසෙන ඉරේෂා සමඟ විවාහයෙන් පසු තුල්හිරියේම බින්න බැස්සේය. එදිනෙදා රැකියාවේ නියුතු රුවන්ට වයස අවුරුදු දෙකක පමණ පුංචි පුතෙක් ද විය.

රුවන්ගේ මව 65 හැවිරිදි විමලාවතීය. ඇයට රුවන්ට අමතරව තවත් දරුවන් දෙදෙනෙකි. එසේම විමලාවතී විවාහ කිහිපයක් කරගත් තැනැත්තියකි. ඇය අවසානයට විවාහ වී සිටි සැමියා මියගොස් තිබුණේ මීට මාස හයකට පමණ පෙරදීය. විමලාවතී නිවෙසේම බෝඩිම් කාමරද පවත්වාගෙන යමින් කිහිප දෙනෙකුටම නවාතැන් පහසුකම් සලසා දී තිබුණාය.

විමලාවතීගේ නොමනා හැසිරීම නිසා සිය කුසෙන් උපන් රුවන් කුමාරට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වූයේ කිරිකැටි සප්පයකුට පිය සෙනෙහසද අහිමි වී යාමෙනි.

65 හැවිරිදිව පසු වුවත් විමලාවතී අනියම් ඇසුරක් පවත්වා තිබුණේ මදුරන්කුලියේ, කරිකට්ටියට කිලෝමීටර් දෙකක් පමණ ආසන්නව පිහිටි ආමකුලියේ පදිංචි 50 හැවිරිදි වර්ණකුලසූරිය මැක්සිමුස් නමැත්තා සමඟිනි. ඒ මීට මාස දෙකක පමණ පෙර සිටයි. නැතිනම් විමලාවතීගේ සැමියා මියගොස් මාස හතරකට පමණ පසුවයි.

වැඩිහිටි මවගේ අනියම් සබඳතාව මුළු ගම පුරාම පැතිරී තිබුණාය. තුල්හිරියේ විසූවත් රුවන්ට එම සබඳතාව පිළිබඳ බොහෝ තොරතුරු සැලවී තිබිණි. මවගේ එම සබඳතාව රුවන් ඇතුළු සහෝදර සහෝදරියන්ට ගෙන දුන්නෙ මහත් ලැජ්ජාවකි. විමලාවතීගේ අනියම් සැමියා මැකිසිමුස්, විමලාවතීගේ බෝඩිමට මීට මාස දෙකකට පමණ පෙරදී පැමිණ නතර වී සිට විමලාවතී සමඟ වූ විරසකයක් මත ඉන් ඉවත්ව ගොස් තිබුණේය. එහෙත් මෑතක සිට නැවත නැවතත් මැක්සිමුස්, විමලාවතීගේ බෝඩිමට රාත්‍රී කාලයේදී යන-එන බව ප්‍රසිද්ධ රහසක් වී තිබිණි.

සිය දරු මුනුපුරන්ටද ආදර්ශයක් විය යුතු මවගේ චර්යාව රුවන්ට ඉමහත් වදයක් විණි. එම නිසා මවගේ මෙකී අනියම් ඇසුර නතර කිරීමට අවැසි පියවර ගැනීම සඳහා රුවන් පසුගිය සඳුදා දින දහවල් 11ට පමණ මදුරන්කුලියේ, මවගේ නිවෙසට පැමිණියේ බිරිය සහ දරුවාද කැටුවයි. එදින සන්ධ්‍යා යාමයේ රුවන් සහ ඔහුගේ මිතුරෙක් නිවෙසේ ඇතුළු කාමරයක මධුවිතක් පානය කරමින් සිටියේය. රුවන්, මිතුරාට කීවේ,

“අම්මගේ ප්‍රශ්නෙ අද දෙකෙන් එකක් විසඳගන්න ඕන මචං... මේක ඉවරයක් කරගත්තෙ නැත්නම් අපිට පාරේ බැහැලා යන්නවත් බෑ.. මිනිස්සුන්ට මූණ දෙන්න විදිහකුත් නෑ... කොටින්ම කිව්වොත් මාර ලැජ්ජාවක් තමයි විඳින්නෙ...“

අනතුරුව රුවන් රාත්‍රී 9ට පමණ නිවෙසෙන් එළියට විත් යාබද මවගේ කාමරයට යන්නට වූයේය. එහි දොර වසා තිබුණේය. එහෙත් එම කාමරයේ කවුළුවක් විය. රුවන් ඉන් විපරම් කර බැලුවේය. ඔහු දුටු දෙයින් තුෂ්ණිම්භුත වූයේය. මව අනියම් සැමියාට කෑම කවමින් සිටියාය. ඇයගේ පුත්‍රයා, රුවන්ගේ කේන්තිය ඉහවහා ගියේය. ඔහු එක්වරම දොර විවරකොට කාමරයට ගියේය. ඒත් සමඟ මවගේ අනියම් සැමියා මැක්සිමුස් සහ රුවන් අතර බහින්බස් වීමක් ඇතිවිය. එසැණින් රුවන්ගේ බිරිය සහ එම නිවෙසේම බෝඩිමක වූ තවත් පුද්ගලයෙක්ද දිව ආවේ රුවන් සහ මැක්සිමුස් අතර වූ කාලගෝට්ටිය ඇසීමෙනි.

බහින්බස් වීම දුරදිග යද්දී ක්ෂණිකවම ක්‍රියාත්මක වූ මැක්සිමුස් කාමරයේ ඇඳෙහි කොට්ටය යට සඟවා තබා තිබූ පිහියක් එළියට ගත්තේය. දෙවරක් නොසිතූ ඔහු එම උල් පිහියෙන් රුවන් චාමරගේ පපුව පසාරු කරගෙන යන්නට අනින්නට වූයේය. රුවන්ද පිහිය උදුරමින් මැක්සිමුස් සමඟ ඔට්ටු වෙන්නට විය. ඊට බෝඩිමේ වූ රුවන්ගේ මිත්‍රයාද මැදිහත් විය. ඒ අවස්ථාවේ තිදෙනාම පොර බදමින් බිම ඇද වැටුණේය. සැණින් නැගිටි මැක්සිමුස් පිහි කොටයද රැගෙන එම ස්ථානයෙන් පලා ගියේය.

ලේ විලක් මැද වැටි සිටි රුවන් පුත්තලම මූලික රෝහලට රැගෙන යාමට හිතවත්හු කටයුතු කළහ. එහෙත් රුවන්, රෝහලේදී මෙලොව හැර ගියේ ඔහු පණ මෙන් ආදරය කළ පුංචි කොලු පැටියා සහ බිරිය මෙලොව තනිකොට ඉතාම අවාසනාවන්ත ලෙසිනි.

119 ඇමැතුමෙන් සහ පුත්තලම් රෝහල් පොලිසියට ලැබුණු තොරතුර මත මූන්දලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කළේය. එහිදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රණවීර ප්‍රමුඛ නිලධාරිහු අපරාධකාරයා සොයා පුළුල් මෙහෙයුමක් සිදු කළහ.

රුවන්ට පිහියෙන් ඇණ පලා ගිය මැක්සිමුස් ආමකුලියේ පොල් වත්තක නිවෙසක් ඉදිකිරීමට සැකසු අත්තිවාරමක් මත නිදා සිටින බවට විමර්ශන නිලධාරින්ට තොරතුරක් ලැබිණි. එසැණින් විමර්ශන නිලධාරිහු එම ස්ථානයට ළඟා වුහ. පොලිස් නිලධාරීන් පැමිණෙනවාත් සමඟම මැක්සිමුස් පැන ගියේ අසල වැටකින්ද රිංගා කැලෑබද ප්‍රදේශයකටයි. එහෙත් පොලිස් නිලධාරින්ගෙන් ඔහුට ගැලවීමක් නොවිණි. කැලෑවේ සැඟවී සිටි මැක්සිමුස් පොලිසියට කොටු වූයේ රුවන්ගේ ඝාතනයෙන් පැය කීපයක් ඉක්ම යද්දිමය. පොලිස් අත්අඩංගුවට පත් ඝාතකයා පවසන්නට වූයේ තර්ජනය කළ හෙයින් පිහි පහරක් එල්ල කළ බවයි.

කෙසේ හෝ රුවන්ගේ ඝාතනයට අත්අඩංගුවට පත් 50 හැවිරිදි මැක්සිමුස් නමගිය අපරාධකාරයෙක් බව සැල වූයේ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවය. හතර ශ්‍රේණියට පමණක් ඉගෙන ගෙන ඇති ඔහු තරුණ කාලයේ ධීවර රැකියාවේ නියුතු වූවෙකි. එහෙත් පසුව ඔහුගේ අපරාධ ක්‍රියා නිසා සිය පවුලෙන්ද ඉවත්කර සිටියෙකි.

මැක්සිමුස් රුවන්ගේ ඝාතනයට පෙර පුත්තලම පොලිස් වසමේ ඝාතන දෙකක්ද දිවුලපිටිය සහ පොළොන්නරුව මීගස්වැවදී ඇතුළු මිනිස් ඝාතනය 4ක් සිදු කළ අපරාධකාරයෙකි. ඔහු එකී සියලු මිනිස් ඝාතන සිදුකර තිබුණේ එකම ආකාරයේ උල් පිහියක් භාවිතයෙනි. එම මිනිස් ඝාතන සඳහා වසර 10ක් සහ වසර 6ක් ලෙස සිර දඬුවම් නියමව වසර 8ක පමණ කාලයක් බන්ධනාගාරයේ ගත කළ මැක්සිමුස් හිටපු ජනපතිගේ පොදු සමාව යටතේ නිදහස්ව පැමිණ තිබුණේ මීට වසර දෙකකට පමණ පෙරදියි. 

පොලිස් පොත්වල ඔහුගේ නමට රුවන්ගේ ඝාතනයට පෙර මිනිස් ඝාතන 4ක් ලෙස සටහන් වූවත් ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහු මිනිස් ඝාතන රැසක්ම සිදුකළ ම්ලේච්ඡ අපරාධකාරයෙක් බවයි.

මෑතකදී පුත්තලමේදී කාන්තාවක දුම්රියට පැන මියගිය බවට වාර්තා වුවත් මරණ පරීක්ෂණයේදී වාර්තා වූයේ පහරදී ඝාතනය කොට දුම්රිය මාර්ගයට දමා ඇති බවටයි. එම මියගිය කාන්තාවද වාසය කර ඇත්තෙ මැක්සිමුස්ගේ ඉඩමට යාබද නිවෙසකයි. ඒ පිළිබඳවත් අත්අඩංගුවට පත් මැක්සිමුස්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

රුවන්ගේ ඝාතනයට අත්අඩංගුවට පත් මැක්සිමුස් පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් ඉක්බාල් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන නොවැම්බර් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.

රුවන්ගේ මව විමලාවතී පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නට වූයේ, මැක්සිමුස්ට කෙතරම් එන්නට එපා යැයි පසුගිය දින කීපයේම පැවැසූවත් එහෙත් ඔහු දිගින් දිගටම පැමිණි බවයි. එහෙත් ඇය පවසන්නේ බොරු බව ප්‍රදේශවාසීහු කියති. අවසානයේ මවගේ අනියම් ඇසුර නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට වූයේ රුවන්ට ය.

මේ පිළිබඳ විමර්ශන පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා සහ පුත්තලම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ඒ. එස්. ජයමහගේ උපදෙස් මත පොලිස් අධිකාරි පී. ඩී. පී. වීරසිංහගේ අධීක්ෂණයෙන් මූන්දලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන්ගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඩී. එම්. එස්. රණවීර ඇතුළු පොලිස් සැරයන්වරුන් වන 59795 නිශාන්ත, 54933 කපුරුබණ්ඩා, 51682 සිල්වා, 33631 ප්‍රේමරත්න සහ පොලිස් කොස්තාපල් 70291 බණ්ඩාර යන නිලධාරිහු සිදු කරති.

ඡායාරූප - මිහිර විජේසේකර 
මාරවිල සමූහ

Comments