මට ඕන වුණේ සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න නෙමෙයි; හොඳ නළුවෙක් වෙන්න | සිළුමිණ

මට ඕන වුණේ සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න නෙමෙයි; හොඳ නළුවෙක් වෙන්න

 

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන කියන්නේ කලා පවුලකින් කලාවට ආ තවත් හැඩකාරයෙක් වගේම දක්ෂ රංගන ශිලිපියෙක්. පසුගිය දිනෙක විකාශනය අවසන් වූ තාදී නාට්‍යයෙන් ධනංජය ආදරණීය ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඒ වගේම තමා ධනංජය ස්වාධින රූපවාහිනී නාළිකාවේ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනේ සොඳුරු නිවේදකයා ලෙසින්ද ප්‍රේක්ෂකයන් අතරට එනවා. කලාවේ හෙට දවසේ තොරතුරු ගැන කතා කරන්න සිළුමිණ - රසඳුන අපි ධනංජයට කතා කළා.

 

තාදී ටෙලි නාට්‍යට ලැබුණු ප්‍රතිචාර කොහොමද ?

තාදී වෙනස් අත්දැකීමක් වෙන්න ඇති ප්‍රේක්ෂකයන්ට. හුගක් අය වෙනස් වැඩක් කියලා පටන්ගත්තට ඒ වැඩවල වෙනසක් නැහැ. හැබැයි තාදී බලපු කෙනකුට ඒ වෙනස දැනෙන්න ඇති. ඩැනියෙල් උයන්ගොඩ කියන මම කරපු චරිතය මගේ ජීවිතය වෙනස් කරපු තවත් එක චරිතයක්.

 

මොනවද ඉදිරි නිර්මාණ

ගතවෙන කොරෝනා සමයේ මම පිටපතක් ලිව්වා. ඒක අධ්‍යක්ෂණය කළේ චරිත් අබේසිංහ. නම්බර් නයින් කියන නමින් ඒ නිර්මාණය බලාගන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපට පිටපතක් ලිව්වා. එකේ වැඩකටයුතු පටන් ගන්න ඉන්නවා. ඒ වගේම පොතක් ලියන්න හිතන් ඉන්නවා. මගේ තිරපිටපතම තමයි නවකතාවක් විදිහට ලියන්නේ. බොහෝවිට ඒක ලබන අවුරුද්දේ එළියට එයි.

 

නිවේදකයෙක්, රංගන ශිල්පියෙක්, පිටපත් රචකයෙක් විදිහට ඔබ කලාවේ විවිධ භූමිකාවල ඉන්නවා. ඒ සඳහා ඔබ අභ්‍යාසවලත් නිරත වෙනවද

නිවේදකයෙක් විදිහට ගත්තොත් වැඩසටහනකට කියලා ලෑස්ති වෙන්න බැහැ. අපි සූදානම් වෙන්න ඕන ජීවිතය සඳහා. ජීවිතය තමයි අපි ඉගෙන ගන්න ඕන. එක දවසකදී ඒවා වැඩසටහනකට උපකාරී වෙයි. රංගන සම්බන්ධයෙන් මගේ තියෙන හැදෑරීම නම් එලෙසමයි. දිගටම ඒ කටයුතු කරනවා.

 

ඔබ රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් කොරෝනා නිසා යට ගියා නේද ?

ඇත්තටම 'රූකඩ පැංචි' ලොකු බලාපොරොත්තු කළ නිර්මාණයක්. පුළුවන් නම් ගෙදරදී හරි බලන්න. බොහොම අවාසනාවන්ත කාලයක් චිත්‍රපට කර්මාන්තයට. එත් එක්කම 'හෝන්' කියලා නිර්මාණයක් කළා එකත් හරියට ප්‍රදර්ශනය කරගන්න බැරි වුණා.

 

ඔබේ රංගන ජිවිතයට දැන් වසර 20කට ආසන්නයි නේද ?

ලබන අවුරුද්ද වෙනකොට මම රංගනයට ඇවිත් වසර 20ක් වෙනවා. එත් රංගනය නම් තාම හදාරනවා. ප්‍රාණ වැඩසටහන හරහා අපි ඒ දැනුම් වෙනත් අයටත් බෙදා දෙමින් හිටියා. හැබැයි තාවකාලිකව කොරෝනා නිසා ඒ දේවල් නැවතුනා. ළඟදීම ඒ වැඩ පටන්ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

 

ඒ වසර 20 ඇතුළත ඔබ ලංකාවේ සුපිරි තරුව වෙලත් නැහැ , ප්‍රේක්ෂකයාට අමතක වෙලත් නැහැ කියලා මම කිව්වොත් ?

ඔව් හරියට හරි. මට ඕන වුණේ නැහැ ලංකාවේ හිට් එකක් වෙන්න එක දවසකට. මම ලංකාවේ හිට් එකක් වෙයි මගේ අවසානයේදී. මගේ ජීවිතයෙන් මම සමුගන්න දවසේ මගේ ගැන හැමෝම කතා කරයි. දැන් කාලේ විදිහට කියනවා නම් මම ට්‍රේන්ඩින් වෙයි. ඒත් මම අවස්ථා දෙකකදී ජනප්‍රියම නළුවා වුණා. අවුරුදු 15 විතර ජනප්‍රියම ලිස්ට් එකේ හිටියා. මට ඕන වුණේ සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න නෙමෙයි. හොඳ නළුවෙක් වෙන්න.

 

දැන් නළුවෙක් නිළියක් වුණාම ඔවුන්ටම යුටියුබ් නාලිකා තියෙනවා, ඒ වගේම සමාජ මාධ්‍ය ගිණුම් ගැන දැඩි අවධානයක් යොමු කරනවා. ඔබ කොහොමද මේ තත්ත්වය දකින්නේ.

මගේ කලා ජීවිතයෙන් අවුරුදු 10ක් ගෙවෙන්නෙම සමාජ මාධ්‍ය නැතුව. මාව ජනප්‍රිය වුණේ චරිතවලින්. ඒ කාලේ අපි අපි වෙනුවෙන් මාර්කටින් කළේ නැහැ. හැබැයි දැන් තරගය වැඩි වෙලා. දැන් අපි අපිවම මාර්කට් කරන්න සමාජ මාධ්‍ය භාවිත කරනවා. එත් මම පුද්ගලිකව විශ්වාසය කරන දේ තමයි විචාරයක් ඉදිරිපත් කරන්න සමාජ මාධ්‍ය සුදුසු තැනක්. මොකද අපි මොන දේ ලිව්වත් කියවන අය කියවන්නේ ඔවුන්ට අවශ්‍ය ටික විතරයි. ඒ නිසා මම බොහොම පරිස්සමින් තමයි සමාජ මාධ්‍ය වල ලියන්නේ. මම විශ්වාස කරන විචාර කලාව ෆේස් බුක් එකේ නිර්මාණය වෙලා නැහැ.

 

වැරැද්දට එරෙහි වෙන නිසාද ධනංජය ගැටුමට බර කෙනෙක් කියලා කියන්නේ?

එහෙම මාව හැඳින්නුවට කමක් නැහැ. මාව මේ රටේ කලාකාරයෙක් කළේ මේ රටේ මිනිස්සු. ඒ අය සල්ලිකාරයෝ නෙමෙයි. මට ඒ අය ආදරය කරනවා. ඒ අයම හදලා දුන්න ජනප්‍රියත්වය මම පාවිච්චි කරනවා ඔවුන්ට වැරැද්දක් අසාධාරණයක් වෙනකොට. මිනිස්සුන්ගෙන් ජනප්‍රිය වුණු මම මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නේ නැත්නම් වැඩක් නැහැ. මම ගැටුමකට යනවා නම් යන්නේ වැරද්දක් කරපු කෙනෙක් එක්ක තමයි.

දැන් තාරුණ්‍ය ගිලිහෙමින් යනවා කියලා හිතෙන් නැද්ද?

මම දැකලා තියෙනවා සමහර කලාකරුවන්ට කමෙන්ට් දානවා දැන් නාකියි නේද කියලා. දැන් වයසයි නේද කියලා. මට ඒවා දකිනකොට හිනා යනවා. සමහර මිනිස්සු බයයි වයසට යන්න. මම අවුරුදු 20ක් රඟපානවා. එත් මට හැමදාම අවුරුදු 20 ඉන්න බැහැ. මමත් වයසට යනවා. නමුත් මට චරිතයක් දුන්නොත් අවුරුදු 25 ක කොල්ලෙකුගේ චරිතය රඟපාන්න මම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. කරන්න පුළුවන් ඕන දෙයක් කරනවා. ධනංජය සිරිවර්ධනගේ තරුණ බව හෝ මහලු බව අදාළ නැහැ ප්‍රේක්ෂකයාට. ඔවුන්ට අදාළ මම නිරූපණය කරන චරිතය.

 

ජිවිතයේ සැලසුම් තියෙනවද ?

ඔව්. එත් මුල් කාලේ ඔහේ වැඩ කළා. චරිතවලට පෙරේත වෙලා ඕන චරිතයක් කළා. මගේ දෙවැනි දශකය ගත වෙන්නේ සැලසුම් සහගතව තෝරගත්ත වැඩ එක්ක.

 

ඔබ තුළ ඉන්න ගී පද රචකයාට මොකද වුණේ

ඕක වුණේ හද්දා ශුද්ධ වූ ප්‍රේමය කියන ගීතයත් එක්ක. ගේය පදරචකයකුට ආරාධනා කරලා තිබ්බා ඔය ගීතය ලියන්න. එත් ඔහුගේ කාර්ය බහුලත්වයත් එක්ක ඒක කරන්න බැරි වුණා. අන්තිමට එක දවසක ක්ෂණිකව ලියපු එකක් හද්දා ශුද්ධ වූ ප්‍රේමය කියන ගීතය. ඒත් මම ලියපු එක අලුත් වචනයක්. එත් ඒක ගැන මහා වර්ණනාවන් කියැවුණේ නැහැ. වෙන කෙනෙක් අලුත් වචන වලින් ගීතයක් ලිව්වා නම් කතා කරයි. හැබැයි මම ගීතය කිව්වේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නෙමෙයි මම වෙනුවෙන්, දරුවා වෙනුවෙන්.

 

දුව එක්ක ගෙවන ජීවිතය කොහොමද ?

හරිම හොඳයි. ඇත්තටම මගේ ජීවිතයේ හද්දා ශුද්ධ වූ ප්‍රේමය තමයි මගේ දුව මෞර්යා. කොරෝනා කාලේ එයා තමයි වැඩිපුරම සතුටු වෙන්න ඇත්තේ. මොකද ඒ කාලේ තමයි අම්මයි තාත්තයි දෙන්නම වැඩිපුරම ළඟ හිටියේ. කොහොමත් මම මගේ පවුල වෙනුවෙන් අංක එක දෙනවා.

Comments