පොදු ජනයාගේ දුක විමසන්නී දුරදිග නොයවා විසඳුම් ද දෙන්නී සමථ මණ්ඩලය | සිළුමිණ

පොදු ජනයාගේ දුක විමසන්නී දුරදිග නොයවා විසඳුම් ද දෙන්නී සමථ මණ්ඩලය

2019 වර්ෂයට පමණක් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 3,10,551යි.

සිය ගවයා සොරාගත් අයකුගෙන් ගවයා ආපසු ලබා ගැනීම සඳහා පිළිසරණ සොයා මහෞෂධ පඬිවරයා හමුවට ගිය ගව හිමියකුගේ කතා පුවතක් අපට හමු වන්නේ උම්මග්ග ජාතකයෙනි. එදා මහෞෂධ පඬිවරයා ගොනා සැබෑ හිමිකරුට බාර දී ප්‍රශ්නය ඉතා පහසුවෙන් සමථයකට පත් කළේය. එපමණක් නොව පුත්‍ර ප්‍රශ්නය, කාලගෝල ප්‍රශ්නය යනාදි ප්‍රශ්න ගණනාවක් විසඳා යුක්තිය සාධාරණය පසිඳලීය. එහෙත් අද එවැනි ප්‍රශ්න විසඳීමට මහෞෂධ පඬිතුමා නැත. අද යුක්තිය, සාධාරණය පසිඳලීමේ කටයුත්ත පැවරී තිබෙන්නේ අධිකරණයටයි. වර්තමානයේ අධිකරණයේ නඩු ගොඩ ගැසීම හේතුවෙන් ඉතා සුළු ප්‍රශ්නයක් විසඳා ගැනීමට පවා වසර ගණනාවක් බලා සිටීමට සිදු වේ. එයින් පැමිණිලිකරුවන් සහ විත්තිකරුවන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් අපතේ යන බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි සුළු ගැටලු නිරාකරණය කරදීමට සමථ මණ්ඩලය පිහිටට එන්නේ එබැවිනි.

සමථ මණ්ඩල ස්ථාපිත කර තිබෙන්නේ 1988 අංක 72 දරන පනතිනි. සමාජයේ ගැටුම් අවම කිරීම, ගැටුම් බිම් මට්ටමින් විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සහ ජන සමාජය තුළ සාමය හා සහජීවනය පවත්වා ගැනීම සමථ මණ්ඩල පිහිටුවීමේ මූලික අරමුණු වී ඇත. සමථ මණ්ඩල පිහිටුවා තිබෙන්නේ දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමිනි.

“මම අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හැටියට වැඩ කරන කාලේ තමයි 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත ගෙනාවේ. ඊටපස්සේ මට සමථ මණ්ඩල වැඩේ බාර වුණා. එදා මට තිබුණේ පනත විතරයි. මම පොඩියට කාර්යාලයක් වෙන් කරගෙන පස්දෙනෙක් සේවක මණ්ඩලයට යොදාගෙන තමයි රාජකාරිය පටන් ගත්තේ. සමථ මණ්ඩලයට අවශ්‍ය නිලධාරින් තෝරා ගැනීම, ඔවුන්ව පුහුණු කිරීම වගේ වැඩ ගොඩක් එදා මට පැවරුණා. ඒවගේම සමථ මණ්ඩල ගැන ප්‍රචාරය කිරීමටත් අවශ්‍ය වුණා. එය පටන් ගත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළින්. ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිටින විශ්‍රාමික විදුහල්පතිවරුන් ඇතුළු විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් ග්‍රාම සංවර්ධන සමිති විසින් තෝරා දෙන අය සමථ මණ්ඩලයේ සමථකරුවන් හැටියට සුදුසුයි කියලා අපි තීරණය කළා.

හැබැයි සමථකරුවන් හැටියට නීතිඥවරුන් ගන්නෙ නැහැ. අපි අත්හදා බැලීමක් හැටියට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන්සිය ගණනකින් 8ක් තෝරා ගත්තා. ඊට අවශ්‍ය සමථකරුවන් තෝරා ගැනීමට ඉල්ලුම්පත් කැඳවීමට ගැසට් කළා. එදා ඉල්ලුම්පත් ගෝනි ගණන් ආවේ. සමථ මණ්ඩලයේ වැඩකටයුතු සඳහා සමථ මණ්ඩල කොමිෂන් සභාවක් පත් කළා. ප්‍රථම වරට පත් කළ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් වුණේ මමයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක පිහිටුවනු ලැබූ සමථ මණ්ඩලයක සභාපති ඇතුළුව 12 දෙනෙක් සිටිනවා. එක් සමථකරණයකට තුන්දෙනෙක් සහභාගි වෙනවා. පැමිණිලිකරුවන්ටත් විත්තිකරුවන්ටත් කැමති කෙනෙක් තෝරාගන්න පුළුවන්. ඒ සමථකරුවන් දෙදෙනාට අමතරව තවත් එක් අයෙකුත් සහභාගී වෙන්න ඕනෑ, මේ සමථකරුවන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වන්න, ඔවුන්ව පුහුණු කරන්න හැමදේටම මම ගියා. ඇත්තටම සමථ මණ්ඩලය පිහිටෙව්වේ මගේ ධෛර්යයෙන්. එය මට ආඩම්බර විය හැකි කරුණක්.“ යනුවෙන් පැවසුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ආරිය රූබසිංහ ය.

මොරටුව ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කින් ඇරඹූ සමථ මණ්ඩල ක්‍රමක්‍රමයෙන් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇත. මේ වන විට ලංකාව පුරා ඇති ප්‍රජා සමථ මූල මණ්ඩල ගණන 329 කි. මීට අමතරව විශේෂ සමථ මූල මණ්ඩල සහ පාසල් සමථකරණ ඒකක යනුවෙන් සමථ මූල මණ්ඩල වැඩිදියුණු වී තිබේ. අද විශේෂ සමථ මූල මණ්ඩල 7ක් ඇත. මේවා ස්ථාපිත කර තිබෙන්නේ උතුර නැඟෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක සහ අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි. පාසල් සමථකරණය ඒකක 181ක් දිවයින පුරා පිහිටුවා තිබේ.

“අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමටත් සුළු ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රමවේදයක් හැටියටත් තමයි ප්‍රජා සමථ මූල මණ්ඩල පිහිටුවා තිබෙන්නේ. විශේෂ සමථ මූල මණ්ඩල පිහිටුවීමේ අරමුණ වු‍ණේ ඉඩම් ආරවුල් සීමා මායිම් ගැටලු විසඳීමට. උතුරු නැඟෙනහිර යුද්ධය අවසාන වුණාට පසුව ජනතාවගේ ඉඩම්වල සීමා මායිම් ගැටලු, ඉඩම් අයිතියේ ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා තමයි විශේෂ සමථ මූල මණ්ඩල උතුරු නැඟෙනහිර පළාත් කේන්ද්‍ර කරගෙන පිහිටුවනු ලැබුවේ. ඒවායේ සමථකරුවන් ලෙස කටයුතු කරන්නේ ඒ විෂයට අදාළ ප්‍රාමාණිකයන්. පාසල් සමථකරණ ඒකක පිහිටුවීමේ අරමුණ වුණේ පාසල් දරුවන් අතර ඇතිවන කලහකාරි හැසිරීම් සමථයකට පත් කිරීම. අද කාලේ සමහර පාසල් දරුවන්, විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා නිසා රණ්ඩුවලට පැටලිලා දුරදිග යනවා. ඒ හැර වෙනත් සුළු කාරණාවලටත් ආවේගශීලිව හැසිරෙනවා. එය පාලනය කර සමථයකට පත් කිරීමටයි පාසල් සමථකරණ ඒකක 2018 දී ආරම්භ කළේ.“ යනුවෙන් විස්තර කළේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් තිළිණි ගම්මුනගේ ය.

සමථ මණ්ඩලවල කටයුතු කරන සමථකරුවන් බඳවා ගැනීමේ, පුහුණු කිරීමේ අයිතිය හිමි වන්නේ සමථ මණ්ඩල කොමිෂන් සභාවට ය. මෙම සමථ මණ්ඩලවල ඇති විශේෂත්වය වන්නේ සමථකරුවන් ඉදිරියේ දෙපාර්ශ්වය එක් මේසයක වාඩි වී ප්‍රශ්නය සාකච්ඡා කිරීමයි. ප්‍රශ්නයට විසඳුම දෙපාර්ශ්වය තුළින්ම මතු වීමට සමථකරුවන් ඉඩ සලසා දෙනු විනා සමථකරුවන් විසින් විසඳුම් යෝජනා නොකිරීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. එමෙන්ම විසඳුම් පිළිගන්නා ලෙස අදාළ පාර්ශ්වයට බල කිරීමක් සමථකරුවන් විසින් සිදු නොකෙරේ. විසඳුමට එකඟ වීමට මෙන්ම එකඟ නොවීමට ද විත්තිකරුවන්ට නිදහස ලැබේ. අදාළ ගැටලුව සමථයකට පත් කර නිරවුල් කළේ නම් සමථ මණ්ඩලය විසින් නිරවුල් කිරීමේ සහතිකයක් නිකුත් කෙරේ. ගැටලුව සමථයකට පත් කිරීමට නොහැකි වූයේ නම් නිරවුල් නොකිරීමේ සහතියක් නිකුත් කෙරේ.

“සමථ මණ්ඩලයෙන් නිකුත් කරන මෙම සහතිකයට නෛතික බැඳීමක් නැහැ. සමථ මණ්ඩලවලට පැමිණිලි තුන් ආකාරයකට ලැබෙනවා. එක් ක්‍රමයක් තමයි පොලිසිවලින් යොමු කිරීම. තවත් ක්‍රමයක් තමයි අධිකරණයෙන් යොමු කිරීම. තුන්වෙනි ක්‍රමය තමයි පැමිණිලිකරුවන් විසින්ම සමථ මණ්ඩලයේ සභාපතිට යොමු කිරීම. අධිකරණයෙන් යොමු කළ ගැටලුවක් නම් අදාළ පාර්ශ්වයන්ට නිරවුල් කිරීමේ සහතිකය බලාත්මක කරගන්න පුළුවන්. නිරවුල් කර නොගත්තා නම් නඩුවක් ගොනු කිරීමේදී හෝ පොලිසියට නිරවුල් නොකිරීමේ සහතිකය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ හැර එම සහතිකයට නෛතික බැඳීමක් නැහැ. හැබැයි සමථ මණ්ඩලවලට ඉදිරිපත් වන පැමිණිලිවලින් 70%ක් විතර සමථයකට පත්වෙලා තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක්.“ යනුවෙන් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් තිළිණි ගම්මුනගේ පැහැදිලි කළාය.

2019 වර්ෂයට පමණක් ලංකාවේ සමථ මණ්ඩලවලට යොමු වූ පැමිණිලි සංඛ්‍යාව 3,10,551කි. බොහෝවිට සුළු තුවාල, ගෘහස්ථ හිංසනය, පවුල් ආරවුල්, අයුතු දේපළ පරිහරණය, ඉඩම් ආරවුල් වැනි පැමිණිලි සමථ මණ්ඩලවලට යොමු වේ. නමුත් මෑතක සිට උද්ගත වී තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලු පවා සමථ මණ්ඩලවලට වැඩි වශයෙන් ඉදිරිපත් වන ආකාරයක් දැක ගත හැකිය.

“1988 අංක 72 දරන සමථ මණ්ඩල පනතේ සඳහන් වුණේ රු. 25,000/= ට අඩු මූල්‍යමය වටිනාකම් සහිත ගැටලු නිරවුල් කිරීමේ බලය සමථ මණ්ඩලවලට පැවරෙන බව. ඒත් 2011 අංක 4 දරන සමථ මණ්ඩල සංශෝධන පනතින් එය රු. 2,50,000.00 දක්වා වැඩි කළා. 2016 අංක 9 දරන සමථ මණ්ඩල සංශෝධන පනතින් මූල්‍යමය වටිනාකම රු. ලක්ෂ 5 දක්වා වැඩි කළා.“ යනුවෙන් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් තිළිණි ගම්මුනගේ සඳහන් කළාය. 

මෙම සංශෝධනයත් සමඟ ක්ෂුද්‍ර මූල්‍ය ණය හිමියන් සමථ මණ්ඩල වෙත පැමිණිලි යොමු කරන්නේ සුළු මුදලක් වෙනුවෙන් අධිකරණය කරා යෑම කාලය හා මුදල් නාස්තියක් බව ඔවුන් හොඳින් තේරුම් ගෙන තිබෙන නිසාය.

“මම සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ධුරය දරන කාලේ සමථ මණ්ඩලයෙන් ඉඩම් ආරවුලක් නිරවුල් කළා. මට මතක හැටියට පිළියන්දල පැත්තේ. අයියයි මල්ලියි ඉඩමේ අඩි තුනකට අවුරුදු 18ක් නඩු කියලා සමථ මණ්ඩලයට ආවා. අවසානයේ දෙපාර්ශ්වයම අඩි එක හමාර, එක හමාර බෙදා ගන්න එකඟ වුණා. පවුල් දෙක අතර තිබුණු නොහොඳ නෝක්කාඩුත් ඉවර වුණා.“ යනුවෙන් අතීත කතාවක් ගෙනහැර පෑවේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ප්‍රථම ලේකම් ආරිය රූබසිංහ ය.

“මා අධිකරණ අමාත්‍යධූරයට පත්වීමෙන් පසුව සමථ ක්‍රියාවලිය මඟින් විසඳුම් ලබා දෙන ආරවුල් සංඛ්‍යාව 2021 වසරේ දෙගුණයකින් වැඩි කිරීමට කටයුතු කළා. සමථ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා 2021 වර්ෂයේ සිට මූල්‍ය ආරවුල් විසඳීම සඳහා විශේෂ සමථ මණ්ඩල කොළඹ, ගම්පහ, මහනුවර, අනුරාධපුර, මොනරාගල යන දිස්ත්‍රික්ක 05 තුළ ස්ථාපිත කිරීමටත් උතුරු නැඟෙනහිර යාපනය, කිළිනොච්චි, මන්නාරම, මුලතිව්, වව්නියා යන දිස්ත්‍රික්ක සහ අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ ඉඩම් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල දිස්ත්‍රික්ක වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබුවා.“ යනුවෙන් සමථ මණ්ඩල ක්‍රියාවලිය ගැන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසීය.

අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධිකරණ අමාත්‍යාංශයට පැවරී ඇති සුවිශේෂි කාර්යයන් අතර සමථකරණය සඳහා ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කරන බවයි.

Comments