පිටියේ විනිසුරු තීරණ යළි සලකා බැලීමට අයි.සී.සී. ය දුන් අවසරයෙන් අධෝරක්ත කිරණ විනිශ්චයකරුවා ඩුබායි එයි | සිළුමිණ

පිටියේ විනිසුරු තීරණ යළි සලකා බැලීමට අයි.සී.සී. ය දුන් අවසරයෙන් අධෝරක්ත කිරණ විනිශ්චයකරුවා ඩුබායි එයි

 

‘විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ තීන්දුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී භාවිතයට ගැනීමට අයි.සී.සී. ය තීරණය කර ඇත. මේ ඒ සම්බන්ධයෙනි.’

ක්‍රීඩකයෝ මෙන්ම විනිසුරුවෝ ද මනුෂ්‍යයෝ ය. එහෙයින් ඔවුන් අතින් ද වැරදි සිදුවීමට යම් සම්භාවිතාවක් ඇත. එහෙත් හැකි උපරිමයෙන් නිවැරදි හා සාධාරණ විනිශ්චයක් ලබාදීම සැමවිටම ක්‍රීඩාවේ අරමුණකි. ඒ ක්‍රීඩාවේ උද්වේගකර භාවය රැකගැනීමත්, ප්‍රේක්ෂකයා හා ක්‍රීඩකයා ක්‍රීඩාව තුළ රඳවා තබාගැනීම ත් වෙනුවෙනි.

පාපන්දු, මලල ක්‍රීඩා ඇතුළු බොහෝ ක්‍රීඩාවන් හි තරග දර්ශන නැවත නිරීක්ෂණය කර තීන්දු ලබාදීමේ ක්‍රමයක් විනිසුරුවාට පවරා ඇත්තේ ඒ හේතුවෙනි. උදාහරණයකට මලල ක්‍රීඩා තරගයක තරග නිමාව අතිශය තියුණු ස්වරූපයක් ගන්නේ නම් හා පියවි ඇසින් විමසිය නොහැකි තරමට සියුම් නම් එහි ජයග්‍රාහකයා තීරණය කරනුයේ ඡායාරූප නිරීක්ෂණ මගිනි.

මෙම තත්ත්වය ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියේ විනිසුරු තීරණ නැවත සලකා බැලීම් ක්‍රමවේදය හෙවත් ඩී.ආර්.එස්. ක්‍රමය ලෙස ය. එය ආරම්භයේ දී විනිසුරුට ලබාදුන් විශේෂඥ සහායක් වුව ද පසුව ඩී.ආර්.එස්. ක්‍රමයේ පහසුව ක්‍රීඩකයන්ට ද ලබාගැනීමට අවස්ථාව උදාකෙරිණි. ඕනෑම ක්‍රීඩාවක ක්‍රීඩකයනට විනිසුරු තීරණ නැවත සලකා බලන ලෙස ඉල්ලීම් කිරීමට ලැබුණු පළමු අවස්ථාව මෙය ය.

ලෝක කුසලානයේ දී නීතිය භාවිතයට ගැනීම

ඩී.ආර්.එස්. එසේත් නැතහොත් Decision Review System යන්න මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද ඇතුළත් කර ඇත. එය විස්සයි විස්ස ලෝක ශූරතාව වැනි කෙටි තරග රටාවේ ශූරතාවක් වෙනුවෙන් මෙතෙක් කල් යොදා ගැනුණේ නැත. එම සේවාව හිමිවුණද සමස්ත විනිසුරු යළි සලකා බැලීමට මෙමගින් අවස්ථාව හිමිවන්නේ නැත.

ඒ අනුව විනිසුරු තීරණ කීපයක් පමණක් යළි අභියෝගයට ලක්කිරීමට තරගයක දී එක් කණ්ඩායමට හිමිවේ. එලෙස එක් කණ්ඩායමයකට ඉනිමක් තුළ අභියෝගයට ලක්කළ හැක්කේ විනිසුරු තීන්දු දෙකක් පමණි. ඒ අනුව විනිසුරුවා අතින් ගිලිහී ගියේ යැයි අතිශය දැඩිව විශ්වාස කරන සියුම් දැවීයාමේ අවස්ථාවන් ලෙස කඩුල්ල මුවාකිරීමේ අවස්ථාවක් හෝ පිත්තේ යන්තමින් ගැවී යන පන්දුවක් උඩපන්දුවක් ලෙස රැකගැනීමේ තීන්දුවක් තහවුරු කරගැනීම හෝ එවැන්නක් සිදුනොවූ බව සහතික කරවා ගැනීමට මෙම ඩී.ආර්. එස්. ක්‍රමය යොදාගැනෙනු ඇත.

ඩී.ආර්.එස්. විස්සට ආ හැටි

අවසන් වරට විස්සයි විස්ස ලෝක ශූරතාවක් පැවැති 2016 වසරේ පිරිමි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දී තරග තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදය යොදා ගැනුණේ නැත. එහෙත් එය එම වසරේ පැවැති කාන්තා ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් එය යොදා ගැනුණේ ය. ඒ කාන්තා තරගයක එක් ඉනිමක් තුළ එක් කණ්ඩායමකට එක් විනිසුරු තීරණයක් පමණක් යළි සලකා බලන්නට අවසරය හිමිකර දෙමිනි. එය 2020 වසරේ කාන්තා ලෝක කුසලානයේ දී ද එම ක්‍රමය එලෙසින්ම යොදා ගැනිණි.

කොවිඩ් ඩී.ආර්.එස්. කැඳවයි

‘මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට ඩී.ආර්.එස්. ක්‍රමයේ සහය ලබාගැනීමට හේතුවූයේ කෝවිඩ් අර්බූදය ය. ඒ හේතුවෙන් ඇතිවූ සංචරණ සම්බාධකයන් ක්‍රිකට් විනිශ්චයේ ගුණාත්මක පක්ෂයට බලපෑම් කළ හෙයින් ඊට තාක්ෂණයේ උපරිම සහයෝගය ලබාගැනීමට අයි.සී.සී. ය තීරණය ඊට ප්‍රබලව ඉවහල් විණි. සංචරණ අර්බූද හේතුවෙන් ජීව බුබුළු ක්‍රමවේදය යටතේ වුව රටවල් දෙකක් අතර සංවිධානය කෙරුණු තරග සඳහා මධ්‍යස්ථ විනිසුරුවන් යොදවා ගැනීමේ අර්බුදයට දැඩිව මුහුණ දීමට අයි.සී.සී. යට සිදුවිය. ඒ අනුව අත්දැකීම් මඳ දේශීය විනිසුරුවනට ජාත්‍යන්තර තරග විනිශ්චයේ වගකීම් වැඩි වශයෙන් දරන්නට අවස්ථාවක් නිර්මාණය විණි. ඊට පිළියමක් වශයෙන් පිටියේ විනිසුරුවන්ට හා ක්‍රීඩකයන්ට සහය සැලසෙන ලෙස ඩී.ආර්.එස්. ක්‍රමය වැඩිවශයෙන් යොදාගනු ලැබිණි.

එහි දිගුවක් ලෙස විස්සයි විස්ස ලෝක කුසලානයට කොතරම් විශිෂ්ට විනිසුරුවන් ගේ සේවය සලසා ගත්ත ද විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදය මගින් තරගාවලිය සන්නද්ධ කිරීමට අයි.සී.සී. ය තීරණය කරනු ලැබුණේ ය. එයට තවත් ආකාරයකින් ඉවහල් වූ කාරණාවක් ලෙස කොවිඩ් අර්බූදය හමුවේ මානව සමාජය තුළ ඇතිවූ මානසික අවිනිශ්චිත භාවය දැක්වීමට ද පිළිවන. එම අවිනිශ්චිත භාවය හේතුවෙන් විනිසුරුවන් අතින් ද වැඩි වශයෙන් සදොස් තීරණ පැමිණීමට ඉඩ ඇතැයි විශ්වාස කළ හැකි හෙයින් තරග විනිශ්චය නැවත සලකා බැලීමේ ක්‍රමවේදය විස්සයි විස්ස ලෝක කුසලානයට ද එක්කළ බැව් සිතාගැනීමට පිළිවන.

මේ අතර දැනට සුදු පන්දුව යොදාගනිමින් පැවැත්වෙන තරග වලදී විනිසුරු තීරණ දෙකක් අභියෝගයට ලක්කිරීමට එක් කණ්ඩායමකට අවස්ථාව හිමිවෙයි. ටෙස්ට් තරගයක දී ඩී.ආර්.එස්. ක්‍රමවේදය තවත් අවස්ථා තුනක් භාවිත කිරීමට අවසර හිමිවන පරිදි නීති සංශෝධනය කර ඇත.

ඩී.ආර්.එස්. පරිණාමය කෙටියෙන්

මෙම විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදය ගැන කතාකිරීමේ දී එය සිදුකරන තාක්ෂණය සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කළ යුතුය. එහිදී රූපවාහිනී පුනරූපනය, පවතින තාක්ෂණය වඩා සියුම්ව යොදා ගනිමින් පන්දුවේ ගමන් පථය නිශ්චය කිරීම හා එමගින් අනුමාන උපකල්පනයක් ගොඩනැංවීම, කඩුල්ලේ සවිකර ඇති කුඩා හා සංවේදී මයික්‍රපෝනයේ හඬ භාවිත කරමින් කුඩා ශබ්ද ශ්‍රවණය කිරීම වැනි කරුණු ඊට ඇතුළත් කර ඇත. එමගින් පන්දුව දැවටුණේ පිත්තේ ද පා ආවරණයේ හෝ වෙනයම් ස්ථානයක ද යන්න පහසුවෙන් තීරණය කිරීමට තෙවැනි විනිසුරුට අවස්ථාව උදාවන්නේ ඩී.ආර්.එස්. ක්‍රමය යටතේ ය. එසේම අධෝරක්ත කිරණ යොදා උණුසුමට සංවේදී වෙමින් පන්දුව පිත්තේ හෝ පා ආවරණයේ හෝ අන් ස්ථානයක ගෑවුණේ ද යන්න නිශ්චය කිරීමට ද ඩී.ආර්.එස්. ක්‍රමයේ දී පහසුකම් හිමි ය.

ඩී.ආර්.එස්. ක්‍රමවේදය දියුණු තාක්ෂණික විශ්ලේෂණයකැයි කිවහැක්කේ එහෙයිනි. එය සාමාන්‍ය මිනිසකුගේ විනිශ්චයට සුහුරුකළ දෑසට වඩා වේගවත් ග්‍රාහක හැකියාවක් සහිත දියුණු විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේදයකි. කෙසේ නමුත් එය සම්පූර්ණයෙන්ම සමස්ත තරගයක විනිශ්චය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට යොදාගත නොහැකි ය. ඒ එවැනි තාක්ෂණික ක්‍රමවේද සමස්ත තරගය පුරා භාවිත කිරීමට වැයවන මිල අධික වීම කරණ කොටගෙන ය. අධි මිලක් ගෙවීමට සිදුවන්නේ යැයි පැවසිය යුත්තේ තරගයක් පැවැත්වීමේ කාලරාමුව ඩී.ආර්.එස්. ක්‍රමවේදය හේතුවෙන් විශාල වශයෙන් වෙනස්වන හෙයිනි. එවිට තරගාවලියක් නියමිත කාල සීමාවක්තුළ පවත්වාගෙන යාමේ ගැටලු මතු වෙයි.

ඒ අනුව ඩී.ආර්.එස්. ක්‍රමය යොදාගන්නේ සීමිත එමෙන්ම තීරණාත්මක අවස්ථාවන් කීපයක දී පමණි.

අයි.සී.සී. ය එවැනි තීරණයකට එළඹ ඇත්තේ තාක්ෂණය අසීමිතව භාවිතයට ගැනීම මගින් කාලය වැයවීම අධික වීමත් එමගින් ක්‍රීඩාව තුළ පවතින උද්යෝගය පහළ ගොස් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාවෙන් ඈත්වීමේ අවධානමක් මතුවීමත් යන කාරණා සැලකිල්ලට ලක්කරමිනි.

විනිසුරුට සැක හැර දැනගැනීමේ අවස්ථාව

තරගයක තීන්දුවක් ලබාදීමේ දී යම් සැක සහිත තත්ත්වයක් නිර්මාණය වන්නේ යැයි ප්‍රධාන විනිසුරුට හැඟුණු පසු ඔහුට පැති විනිසුරු හා සාකච්ඡා කර තීන්දුවක් ලබාදීමට ක්‍රිකට් ක්‍රීඩාවේ දී නීතියෙන් අවකාශ තිබේ. එහෙත් එයින් ද නිගමනයකට එළැඹිය නොහැකි නම් ඉන් ඔබ්බට ගොස් පිටියෙන් පිටත රූපවාහිනී විනිසුරුවා වශයෙන් කටයුතු කරනු ලබ තරගයේ තෙවැනි විනිසුරුගෙන් විමසීමේ බලය පිටියේ විනිසුරු සතු ය. එය 1992 වසරේ සිට ටෙස්ට් තරග වල දී භාවිතයට ගැනීමට ක්‍රිකට් විනිසුරුවන්ට අවකාශ ලැබී තිබේ.

එහෙත් පළමුව ක්‍රීඩකයන්ට විනිසුරු තීරණ යළි සලකා බැලීමේ අවස්ථාවක් ඉල්ලීමට හැකියාව උදාවුණේ 2008 වසරේ සිට ය. එය එක්දින තරග වෙනුවෙන් ආදේශ කෙරුණේ 2011 වසරේ දී ය. විස්සයි විස්ස ක්‍රීඩාවට මෙම නීතිය එක් වූයේ 2017 වසරේ ය.

මෙම සියලු තීරණ මගින් අයි.සී.සී. ය අපේක්ෂා කරනු ලබන එකම එක ප්‍රමුඛ අරමුණක් ඇත. ඒ විනිසුරු තීරණ ලබාදීමේ දී යම් ආකාරයක අත්වැරදීම් සිදුවීම හැකිතාක් මඟහැරවීම ය. එමගින් ක්‍රීඩාව වඩාත් සාධාරණ හා සැබෑ දක්ෂතාවයට අනුව ජයග්‍රාහකයා තීන්දු කිරීමට අවස්ථාව සලසා දීම ය. විස්සයි විස්ස ලෝක කුසලානයට ද මේ අනුව ඩී.ආර්.එස්. ක්‍රමවේදය එක්කිරීම තුළින් අපේක්ෂා කරනුයේ දිනයේ වඩාත් වඩා දක්ෂතා පෙන්වූ කණ්ඩායමට ශූරතාව හිමිකරදීමට අපේක්ෂා කිරීමම ය.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments