පරෙස්සම් වන්න සෞඛ්‍ය අංශවලින් යළිත් අනතුරු ඇඟවීම් | සිළුමිණ

පරෙස්සම් වන්න සෞඛ්‍ය අංශවලින් යළිත් අනතුරු ඇඟවීම්

•ඩෙල්ටා ප්ලස් නම් අනු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වීමේ අවදානමක් 
•පළාත් අතර සංචරණ සීමා 31 දක්වා
•20ට වැඩි 87%ක් එන්නත්කරණය සම්පූර්ණ කරයි

කොවිඩ් 19 වසංගතය ලෝකය ආක්‍රමණය කොට මේ ගෙවී යන්නේ විසි දෙවැනි මාසයයි. තවමත් ලොව රටවල් කිහිපයක් දරුණු ලෙස වසංගතයෙන් බැටකමින් සිටී. එවැනි පසුබික් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනතුරු ඇඟවූයේ කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවයි. එම සංවිධානයේ ප්‍රධානියකු පැවසුවේ දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම ඊට හේතුව බවත් එබැවින් 2022 වසරේදීද කොවිඩ් වසංගතය පැවතිය හැකි බවත්ය. මේ වන විට එන්නත්කරණයට ලක්වී ඇත්තේ අප්‍රිකානු මහද්වීපයේ 5%කටත් වඩා අඩු ජනගහනයකි.

එසේ වුවද ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින් මේ වනවිට ඩෙල්ටා ප්ලස් නම් අනු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී ඇති බවත් එන්නත්කරණයෙන් ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන ඇති එංගලන්තයෙන් මෙම ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මුල්වරට වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසීය. 

මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය දැකිය දැකි බවත් මේ වන විට මෙරට ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කර ඇති බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මෙරට ද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ඩෙල්ටා ප්ලස් යනු ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වාර්තාවලට අනුව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන්ගෙන් 95%ක්ම ඩෙල්ටා ආසාදිතයන්ය. එබැවින් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය වළක්වා ගැනීමට ජනතාව සෞඛ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්යය බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව අවධාරණය කළේය.

ඉකුත් 21 වැනිදා වාර්තා වූ දත්ත අනුව මෙරට ජනගහනයෙන් 14,789,068ක් පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන තිබූ අතර 12,850,329ක් දෙවැනි එන්නත් මාත්‍රාව ද ලබාගෙන තිබුණි. 14, 819, 810 ක් වන මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති ප්‍රතිශතය 99%ක් වන අතර එම ජනගහනයෙන් 87%ක් දෙවැනි එන්නත් මාත්‍රාව ද ලබාගෙන ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයීය වෙබ් අඩවිය 21 වැනිදා වාර්තා කර තිබූ සංඛ්‍යා ‍ෙල්ඛන අනුව ඒ වන විට මෙරටට ලැබී තිබූ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා සංඛ්‍යාව 33, 444, 024 කි.

ජනතාවගේ නොසැලිකිලිමත් හැසිරීම හේතුවෙන් ඉදිරියේදී රට තුළ කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් අනවශ්‍ය ලෙස සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන 21 වැනිදා පැවති මාධ්‍ය හමුවේදී අනතුරු ඇඟවීය.

පළාත් සංචරණ සීමා පනවා ඇති මොහොතක බොහෝ පිරිස් සංචාරක ස්ථානවලට ගොස් ඇති අයුරු දක්නට ලැබුණු බවත් ඔවුන්ගෙන් ඇතැම් අය මුඛ ආවරණයක් හෝ පැලඳ නොසිටි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපදින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටී.

සති 6ක් රට පුරා පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අවසන් කරමින් ඉකුත් ඔක්තෝබර් 4 වැනිදා රට විවෘත වූයේ පළාත් අතර සංචරණ සීමා සහිතවය.

එහෙත් වසංගතයේ පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් සංචරණ සීමා ලබන 31 වැනිදා දීර්ඝ කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව අන්තර් පළාත් බස් ධාවනය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය. දුම්රිය ධාවනය ආරම්භ කිරීම ද තවදුරටත් ප්‍රමාද වේ.

මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් තවදුරටත් රට පුරා අහඹු PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වන විට රට පුරා රෝග ලක්ෂණ රහිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් කඩිනමින් රෝගීන් වැඩිවීමට අදාළ මුලාශ්‍ර හඳුනා ගැනීම අවශ්‍ය වන බවයි.

මේ අතර සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු 21 වැනිදා ආරම්භ විය. වසංගත තත්ත්වය හමුවේ අවස්ථා කිහිපයකදී පාසල් වසා දැමීමට සිදුවු අතර පසුගිය අප්‍රේල් මාසයෙන් පසු අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත වන පළමු අවස්ථාව මෙයයි.

ඉදිරි සති කිහිපය තුළ ක්‍රමානුකූලව දිවයිනේ සෙසු පාසල් ද අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය. වයස අවුරුදු 18ත් 19ත් අතර දිවයින පුරා සිටින පාසල් සිසුන් එන්නත්කරණයට ලක්කිරීමේ කටයුතු 21 වැනිදා ආරම්භ විය. කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි එම වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත්කරණය පසුගිය 15 වැනිදා ආරම්භ වු අතර එහිදී සිසුන් 10,000කට වැඩි පිරිසක් එන්නත ලබාගත්හ. 

අවුරුදු 16-19ත් අතර වයස් කාණ්ඩයේ සියලු පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම 22 වැනිදා ආරම්භ විය. ඒ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ ශරීරයේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීමේ ශක්තිය අඛණ්ඩව දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

සයිනොෆාම් එන්නතේ ප්‍රතිදේහ ජනනය සහ සෛල ප්‍රතිචාරය පිළිබඳව පැවැත්වූ නවතම අධ්‍යයනයක තොරතුරුවලින් ඒ බව අනාවරණ වී ඇති බවත් සයිනොෆාම් දෙවැනි මාත්‍රාව ලබාදී සති 12කට පසුවද කොවිඩ් වෛරසය ආගන්තුක දේහයක් ලෙස සලකා ප්‍රතිචාර දැක්වීම එලෙසින්ම පවතින බවත් එම සටහනේ දැක්වේ. එහෙත් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩය තුළ වයිසරසයට එරෙහි ප්‍රතිදේහ ජනනයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බවත් එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

Comments