'සිනමා පටයක හෝ සාහිත්‍ය කෘතියක ලෙහෙසියෙන් වීරයෝ පරාජය වන්නේ නැත. ඔවුහු සැමවිට සියලු දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදී අවසානයේ ජයග්‍රහණයම සාක්ෂාත් කරගනිති. එහෙත් ක්‍රීඩාව එසේ නොවේ. විශේෂයෙන් එසේ නොවන්නේ කණ්ඩායම් ක්‍රීඩා තුළ ය. කණ්ඩායමක් ලෙස පරාජය වුව ද පුද්ගලයකු වශයෙන් ක්‍රීඩාව තුළ දැක්වූ දක්ෂතා යමෙක් වීරයකු බවට අභිෂේක කළ හැකි ය. මේ විස්සයි විස්සේ ලෝක කුසලානයේ වීරයන් පැරදුණු හා ජයගත් අවස්ථා ය. කෙසේනමුත් අමතක නොකරන්න. වීරයෝ පරාජය නොවෙති. ඔවුහු සදාකාලික වෙති.
තරගාවලියක හෝ තරගයක වීරයා සම්මානය අත්කර ගන්නා ක්‍රීඩකයා ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකු නොවන විට ඇතිවන කනගාටුව හා පසුතැවිල්ල ප්‍රබල ය. විස්සයි විස්ස ලෝක කුසලානයේ ඊට නිදර්ශන රාශියකි.
පීටර්සන් ව්‍යතිරේකය
එහෙත් එසේ නොවූ එකම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රීඩකයා සේ සැලකිය හැක්කේ කෙවින් පීටර්සන් ය. ඔහු දකුණු අප්‍රිකාවේ ජන්ම ලාභය ලබා එංගලන්ත ජාතික පිල නියෝජනය කළ අතර
2010 වසරේ පැවැති විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලියේ වීරයා වෙමින් තම කණ්ඩායමට කිරුළ දිනාදීමට සමත් විණි.
එංගලන්තය මුල්වරට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගමාලාවක ශුරතාව අත්කර දෙමින් කොදෙව් දුපත්හි දී පැවැති තෙවැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගමාලාවේ අවසන් තරගයේ දී ඔස්ට්‍රේලියාව පරදවා එංගලන්තය ලැබූ ජයග්‍රහණයට මුලිකවම දායකත්වය සැපයූයේ පීටර්සන් ය. එම දක්ෂතාව හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානය අත්කර ගත්තේ ද ඔහුම ය. මෙහි විශේෂත්වය වන්නේ ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයකු වශයෙන් මුල් වරට හා අවසන් වරට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක තරගමාලාවේ වීරයා බවට පත්ව ඇත්තේ ඔහු පමණක් වීම ය.
මේ අනුව 2010 තරගමාලාවේ දී පීටර්සන් පාකිස්තානයට එරෙහිව පන්දු 52 කි න් නොදැවී ලකුණු 73 ක් ද,දකුණු අප්‍රිකාව හා තරගයේ දී පන්දු 33 කි න් ලකුණු 53 ක් ද, ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී පන්දු 26 කි න් නොදැවී ලකුණු 42 ක් ද රැස් කළ අතර අවසන් මහා තරගයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔහු ලකුණු 47 ක් රැස් කළේ පන්දු 31 කි නි. එම ජයග්රහණයෙන් අනතුරුව ඔහු මාධ්‍ය අමතා පැවසූයේ මෙවැන්නකි.
”මේ මට ඉතාමත් හොඳ සතියක්. ඒ වගේම එය මුළු කණ්ඩායමටම විශේෂයි. කොටින්ම කියනවා නම් ජයග්‍රහණය කියන්නේ ඔබ නිර්මාණය කර ගතයුතු ක්‍රියාවලියකුයි. ඇත්තම කියනවා නම් ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීම පහසු ක්‍රියාවක් නොවෙයි. සැබෑවටම අපේ පන්දු යවන්නන් අද හොඳින් පන්දු යැව්වා.” තරගාවලියේ ශුරයා සම්මානයෙන් පසු ඔහු අදහස් දැක්වුවේ එසේ ය.
ඇෆ්රිඩි හා ඩිල්ෂාන් අවාසනාවන්ත වෙති
ඊට පෙර 2007වසරේ පාකිස්තානයේ සයිඩ් ඇෆ්රිඩි මෙන්ම 2009 වසරේ දී ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ශාන් යන දෙදෙනාම තරගාවලියේ වීරයා සම්මානය දිනුවේ අනුශුරතාව දිනූ කණ්ඩායම් හි සාමාජිකයෝ ලෙසිනි. එමෙන්ම 2012,2014 හා 2016 තරගාවලි යේ වීරයන් ද ජයග්‍රාහී කණ්ඩායම් සාමාජිකයින් වූයේ නැත.
“ජය හා පරාජය කියන්නේ ක්‍රීඩාවේ කොටසකට. පරාජය වුණත් අපි අවසන් තරගයේ දී හොඳින් ක්‍රීඩා කළා. මම පිත්තෙන් මඳක් ආසාර්ථක වූ බව ඇත්ත. නමුත් ඒ තරගයේ දී පන්දු යැවීම කෙරේ තමයි මම වැඩි අවධානය යොමු කළේ. ” මුල්ම විස්සයි විස්ස ලෝක කුසලානය වශයෙන් 2007 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති අවසන් මහා තරගයෙන් ඉන්දීය පිල හමුවේ පරාජය වීමෙන් අනතුරුව තරගාවලියේ වීරයා බවට පත් වූ ඇෆ්රිඩි පවසා තිබුණේ ය. එසේම ඔහු ජයග්රාහි ඉන්දීය කණ්ඩායමට සුභ පැතීමටද අමතක කර තිබුණේ නැත.
මුල්ම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉතා තියුණු ගැටුමකින් අනතුරුව ඉන්දියාව හමුවේ පාකිස්තානය පරාජය වූ නමුත් තරගාවලිය පුරාම ඇෆ්රිඩිගේ හා පාකිස්තාන් කණ්ඩායමේ දස්කම් කැපී පෙනිණි. ස්කොට්ලන්තයට එරෙහිව 19/04, ඉන්දියාවට එරෙහිව මුල් වටයේ තරගයේ දී 37/02, ශ්‍රී ලංකාවට එරෙහිව 18/03 ලෙස ඔහු පන්දුවෙන් දස්කම් දැක්වී ය.
එහෙත් ඔහුගේ පිත්තේ දස්කම් වාර්තා වූයේ ස්කොට්ලන්තයට එරෙහිව පන්දු 07 කි න් ලකුණු 22 ක්,බංග්ලාදේශයට එරෙහිව පන්දු 15 කි න් ලකුණු 39 ක් ලෙස පමණි. තීරණාත්මක අවසන් තරගයේ දී ඔහුගේ පන්දු යැවීම මෙන්ම පිත්ත ද අභිමත කාර්යය නිවැරදිව ඉටු නොකළේ ය. ඔහු එහි දී ලකුණු නොලබා දැවී ගිය අතර පන්දු යැවීම ද 30/00 ලෙස සටහන් වී තිබිණි.
2009 වසරේ එංගලන්තයේ පැවති දෙවැනි තරගාවලියේ දී වීරයා බවට පත් වූයේ ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ශාන් ය. ඔහු එම තරගාවලියේ ලකුණු 317 ක් ලබා රැස්කළේ ය. තරගාවලිය පුරාම ලකුණු අතර සිටීමට සමත් වුව ද ඔහු තරග දෙකක දී අසාර්ථක විණි. ඒ අයර්ලන්තයට හා අවසන් තරගයේ දී පාකිස්තානයට එරෙහිව ලකුණු නොලබා දැවී යමිනි.
මූලික වටයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 32 ක දී ලකුණු 53 ක් ද ,කොදෙව් පිල සමඟ තරගයේ දී පන්දු 47 කි න් ලකුණු 74 ක් ද, සුපිරි වටයේ තරගයේ දී පාකිස්තානයට එරෙහිව පන්දු 39 කි න් ලකුණු 46 ක් ලබා එම තරගයේ වීරයා බවට පත් ඔහු නවසීලන්ත පිල සමඟ ලකුණු 48 ක් රැස්කළේ පන්දු 37 කි නි.
තීරණාත්මක අවසන් පුර්ව තරගයේ දී කොදෙව් පිලට එරෙහිව ඔහු නොදැවී ලකුණු 96 ක් රැස් කළේ පන්දු 57 ක් තුළ ය. එම තරගයේ ද වීරයා බවට පත්වන්නට ඔහුට හැකිවිය.
“තරගාවලිය පුරාම ලකුණු 300කට වැඩියෙන් ලකුණු ලබාසිටි ඩිල්ශාන් පාකිස්තානයට එරෙහිව අවසන් තරගයේ දී ලකුණු නොලබා දැවීයාමෙන් පෙන්නුම් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත ස්වභාවයයි.”මේ අවසන් තරගයේ ඔහු ලකුණු නොලබා දැවීයාම සම්බන්ධයෙන් වූ එක් මාධ්‍ය සටහනකි.
පළ රහිත වුණු වොට්සන් තුරුම්පුව
තනි පුද්ගලයකු වශයෙන් සාර්ථක වුව ද කණ්ඩායමක් වශයෙන් අසාර්ථක වීම ජයග්‍රහණය පූර්ණ කාලීන නොවීමට ප්‍රධාන හේතුවකි. මෙවැනි සිදුවීම් අතර විස්සයි විස්ස ලෝක කුසලානයේ හමුවන අවාසනාවන්ත ශූරයකු ලෙස හැඳින්විය හැක්කෙකි ෂේන් වොට්සන්.
2012 වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ කීය.
“අවාසනාවකට අවසන් පුර්ව වටයේ දී කොදෙව්වන් අපට වඩා හොඳින් ක්‍රීඩා කළා. ඒකයි අපිට අවසන් මහා තරගයට යන්න නොහැකි වුණේ. ඒ වගේම ශ්‍රී ලංකාවට තම මව්බිම තුළ ශූරතාව ජයගැනීමට නොහැකි වීමත් අවාසනාවන්ත සිදුවීමක්.” ඔහු මේ බව කීවේ 2012 වසරේ පැවති තරගාවලියේ වීරයා බවට නම් වීමෙන් අනතුරුව ය.
කෙසේ නමුත් එවර වොට්සන් ඉනිම් හයක් තුළ ලකුණු 249 ක් රැස් කළේ අර්ධ ශතක තුනක් ද සමගිනි.මුලික වටයේ දී අයර්ලන්තයට පන්දු 30 කි න් ලකුණු 51 ක් උදුරාගත් වොට්සන් කොදෙව් පිල හමුවේ පන්දු 24 ක් තුළ නොදැවී ලකුණු 41 ක්, සුපිරි වටයේ දී ඉන්දියාවට එරෙහිව පන්දු 42කින් ලකුණු 72 ක් මෙන්ම ලකුණු 70 ක් දකුණු අප්‍රිකාවට එරෙහිව රැස්කළේ පන්දු 47 කිනි. පිත්තට පමණක් සීමා නොවී පන්දුවෙන් ද දස්කම් පෑ වොට්සන් සමස්ත තරගාවලයේ දී පිත්තෙන් පමණක් නොව පන්දුවෙන් ද දස්කම් පෑවේ ය. ඒ කඩුලු 11ක් ලබා ගනිමිනි. අයර්ලන්තයට එරෙහිව 26/03, ඉන්දියාවට එරෙහිව 34/03, ඔහුගේ කැපී පෙනුණු පන්දු යැවීම් අතර විය.
අවාසනාව කෝලි පිටුපස
විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගාවලි වීරයන් අතර අසුන් ගන්නට ඉන්දියාවේ සුපිරි පිතිකරු හා නායක විරාත් කෝලි ද සමත්ව සිටී. ඒ ඔහු 2014 හා 2016 තරගමාලා දෙකේ දී ම තරගාවලියේ වීරයා වුව ද ඒ අවස්ථා දෙකේදීම ශුරයින් හා සිට ගැනීමට අපොහොසත් වූ හෙයිනි.
2014 බංග්ලාදේශයේ පැවති තරගාවලියේ දී කොදෙව් පිලට එරෙහිව ඔහු ලකුණු 54 ක් රැස්කළේ පන්දු හතළිස් එකකිනි. බංග්ලාදේශයට එරෙහිව පන්දු 50 කි න් නොදැවී ලකුණු 57 ක්, අවසන් පුර්ව වටයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 44 ක් තුළ නොදැවී ලකුණු 72 ක්,අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 58 කින් ලකුණු 77 ක් රැස් කළේ ය.
2016 ඉන්දියාවේ පැවති තරගාවලියේ ජය හිමිකරගත්තේ කොදෙව් කණ්ඩායම යි. එවර ඉන්දියාවට සිදුවුණේ කොදෙව් පිල ඉදිරියේ අවසන් පූර්ව වටයෙන් තම ගමන හමාර කිරීමට ය.නමුත් එවරද තරගාවලියේ වීරයා වූයේ විරාත් කෝලි ය. ඒ සඳහා පාකිස්තානයට ලකුණු 55 ක් නොදැවී, ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 82 ක්,කොදෙව් කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී නොදැවී ලකුණු 89 ක් එවර ඔහුගේ පිත්තෙන් වාර්තා වීම විශේෂයෙන් ඇගයීමට ලක්විණි.
අනිල් වීරසිංහ