නොරිස්සුම් කතා එක්ක උණුහුම් වෙන 20 විස්ස ක්‍රීඩා පිටියට | සිළුමිණ

නොරිස්සුම් කතා එක්ක උණුහුම් වෙන 20 විස්ස ක්‍රීඩා පිටියට

 

'ලෝක කුසලානයේ සුපිරි දොළහ වටය ඇරඹුණා. හැමෝම මේ ගැන ඉන්නේ දැඩි උද්යෝගයකින්. කොවිඩ් මැද්දේ ක්‍රිකට් උණුසුම මැදපෙරදිග හරහා ලෝකය තුළ ගලමින් තිබෙනවා. මේ අතර විවිධ කටමැත දෙඩවීම්, දේශපාලන ගැටීම්, තේරීමේ අසාධාරණකම් වගේම ක්‍රීඩාවේ සිදුව ඇති වෙනස්වීම් හි සුබවාදී බලපෑම් ගැන කතාවෙනවා. මේ එවැනි කතාවලින් 'ක්‍රීඩා' ඇස ගැටුණු උණුසුම් කතා කීපයක්.'

විස්සයි විස්ස ලෝක කුසලානේ උණුසුම මේ වනවිට ක්‍රිකට් පිටියෙන් පිටතටත් ගිහින්. ඒ නිසාම විස්සයි විස්ස ගැන නොයෙකුත් ආන්දෝලනාත්මක සිදුවීම් මෙන්ම ආන්දෝලනාත්මක ප්‍රකාශ ක්‍රිකට් ලොවෙන් වාර්තා වෙමින් තිබෙනවා.

කවදත් කාගේත් අවධානයට ලක්වන ප්‍රකාශ නිකුත් කරන්නෙකු ලෙස ප්‍රකට එංගලන්ත හිටපු නායක මයිකල් වෝන් පසුගිය දා දකුණු අප්‍රිකා තේරීම් කමිටුවට රිදෙන ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. ඒ සුපිරි පිතිකරු ෆැෆ් ඩු ප්ලේසිස් දකුණු අප්‍රිකා විස්සයි විස්ස කණ්ඩායමට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන්.

”ඇත්තෙන්ම හාස්‍යජනකයි.” ඔහු මෙසේ ප්‍රකාශ කරලා තියෙන්නෙ නිකම්ම නොවෙයි. ඒකට හේතු සාධක ගොඩාක් ඔහු ඉදිරිපත් කරලා තිබුණා. එතැන තිබුණු ප්‍රබලම හේතුව තමයි පසුගිය දා අවසන් වූ ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ තරග 16 ක දී ලකුණු 633 ක් ලබා ගන්නට ප්ලෙසිස් සමත්ව තිබීම. එම ලකුණු ප්‍රමාණය ස්ථානගත කළ හැක්කේ අයි.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතර දෙවැනි තැනටයි. ඒ වගේම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ශුරතාව අත්කර ගැනීම සඳහා ඩුබායි හි පැවති අවසන් තරගයේ දී ලකුණු 86 ක් ලැබූ ප්ලේසිස්ට දකුණු අප්‍රිකා පිලේ දොරටු විවරව නෑ. ඉතිං වෝන් කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්න බෑ.

ගේල් හා ඇම්බ්‍රෝස් ගැටුම

“කර්ටලි ඇම්බ්‍රෝස් ගැන මගේ කිසිම ගරුත්වයක් නෑ” මේ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. එය කරලා තිබුණේ කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්. ඔහු මෙසේ පවසන්නේ හිටපු සුපිරි වේගපන්දුයවන්නකු වන ඇම්බ්‍රෝස් තමන් සම්බන්ධයෙන් සිදුකර තිබූ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමිනුයි.

“ගේල් කොදෙව් පිලට ඉබේ තෝරාගත යුතු නෑ.” කියා පසුගිය දිනෙක ඇම්බ්‍රෝස් සඳහන් කිරීම තමයි ගේල් ඔහු හා උරණ වෙන්න හේතුවෙලා තිබුණේ. ඉතින් ඔහුත් පන්දුවට අතදිගහැරලා පහර දෙනවා වගේ තද පිළිතුරක් ලබාදීලා තිබුණා.

“ෙකොදෙව් කණ්ඩායමට එක්වූ කාලයේ මම හොඳින්ම ගරුකළ අයෙක් තමයි ඇම්බ්‍රෝස්. ඒත් දැන් ඒක නැතිවුණා. නමුත් මම ඔහුට කියනවා අසුබදායි ප්‍රකාශ සිදු කර කර ඉන්නේ නැතිව ඇවිත් අපේ විස්සයි විස්ස ලෝක කුසලානයට යන කණ්ඩායමට උදව් කරන්න කියලා. අපට පැරණි ක්‍රීඩකයින්ගේ උදව් අවශ්‍යයි. අනෙක් රටවල කණ්ඩායම්වල හිටපු ක්‍රීඩකයින් එම කණ්ඩායම්වලට සහය දක්වනවා මේ අවස්ථාවේ. ඇයි අපේ අයට බැරි අපට සහාය වෙන්න.” ඔහු කියා තිබුණා.

ඉන්දු - පාකිතාන විරසකය

මෙවර විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය වැනිවම කාගේත් වැඩි අවධානයට ලක්වනු ඇති බව සැලකෙන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගයයි. කෙසේ නමුත් එම තරගය මේ වනවිට ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙමින් තිබෙනවා. මොකද ඒ ගැන කරන ඇතැම් ප්‍රකාශ මෙම ගැටුම්කාරී භාවය වර්ධනය කරවන බවයි කිවයුත්තේ.

පසුගියදා ජම්මු කාශ්මීර් හි ත්‍රස්තවාදී ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් මියයාම ගැටලුව තවත් උග්‍ර කරවලා. ඉන්දීය දේශපාලනඥයෙකු ද මේ වනවිට ඒ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ ඉන්දීය අමාත්‍යවරයෙකු වන ගිරිරාජ් සිං. ඔහු පවසා තිබුණේ විස්සයි විස්ස තරගාවලියේ ඉන්දු- පාකිස්තාන තරගය අවලංගු කළ යුතුයි කියායි.

“ජම්මු හා කාශ්මීර් ප්‍රදේශවල හින්දු ජනතාවට සිදුවන පහරදීම් හේතුවෙන් පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරගය ගැන නැවත සිතා බැලිය යුතුයි.” ඔහු පවසලා තිබෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් ඉන්දීය නායක විරාත් කෝලි ද අදහස් දක්වා තිබුණා. ඔහු කවුරු කුමන ප්‍රකාශ සිදු කළ ද තමාට අනුව නම් පාකිස්තානය සමග පැවැත්වෙන තරගයත් තවත් එක් තරගයක් පමණක් බවයි කියා තිබුණේ.

ඔහු එසේ කීවද මේ වනවිට ඉන්දියාව පාකිස්ථානය සමග ක්‍රීඩා නොකළ යුතු බවට ඉන්දියානුවන් ට්විටර් පණිවුඩ මගින් පවසමින් ඉන්නවා.

“පාකිස්තානය සමග තරග වැදීමේ කිසිදු මිත්‍රත්වයක් නෑ.”

“පාකිස්තාන් ක්‍රිකට් තහනම් කරනු.”

“ත්‍රස්තවාදී රාජ්‍යයක් වන පාකිස්තානය සමග ක්‍රිකට් අවශ්‍ය නෑ.”

“විනෝදාස්වාදයට වඩා අපට වැදගත් අපේ ආදරණිය මවුබිම යි. ඒ නිසා පාකිස්තානය සමග කිසිදු සම්බන්ධකමක් අපට උවමනා නෑ.”

“ත්‍රස්තවාදය පෝෂණය කරන පකිස්තානය හා ඉන්දියාව තරග වැදිය යුතු නෑ. ඒ නිසා ඉන්දියාව පාකිස්තානය සමග පැවැත්වෙන සියලුම තරග අවලංගු කළ යුතුයි.”

“ඉන්දියන් හමුදා සොල්දාදුවන් හා පාකිස්තානයේ සිටින සුළු ජාතිකයින් ඝාතනය කරන පකිස්තානය සමග තරග වදිනවාට වඩා ලකුණු 03 ක් අත හැරීම හොඳයි.”

වැනි ට්විටර් පණිවුඩ ගොන්නක් ඔවුන් යොමු කරමින් සිටිනවා.

කෙසේ නමුත් පාකිස්තාන් නායක බාබර් අසාම් කියන්නේ තම කණ්ඩායමට ඉන්දියාව පරාජය කිරීමට හැකියාව ඇති බවයි. එවැනි තරගයක් පැවැත්වීමේ දී කණ්ඩායමේ නායකයා වශයෙන් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන සතුට ප්‍රකාශ කර ඇති ඔහු සෑම තරගයකම පවතින පීඩනය දැන සිටියත් විශේෂයෙන් ඉන්දියාව හා පැවැත්වීමට නියමිතව තිබූ තරගයේ පීඩනය සම්බන්ධයෙන් කතාකරන්නට අමතක කර තිබුණේ නෑ. 'අපි මේ තරගය ජයගන්නවා. ජය අරගෙන තරගාවලියේ ඉදිරියට යනවා.' ඔහු පවසා තිබෙන්නේ විශ්වාසය පෙරදැරිවයි.

හර්බජන් ගෙනුත් පාකිස්තානයට වාග් ප්‍රහාරය

මේ වනවිට දෙරට හිටපු ක්‍රීඩකයින් ද ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු - පාකිස්තාන තරගය ගැන අදහස් දක්වා තිබුණා. එහි දී ඉන්දියාවේ හිටපු දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං පවසා තිබුණේ මෙම තරගයෙන් පාකිස්තානයට ජයගත නොහැකි බැවින් නිතරග ජයක් ඉන්දියාවට ලබාදීම යෝග්‍ය බවයි. ඔහු පාකිස්තානයේ හිටපු වේග පන්දු යවන්නෙකු වන සොයිබ් අක්තාර් හමුවේයි මෙය පවසා තිබුණේ.

“මම සොයිබ් අක්තාර්ට කිව්වා පාකිස්තානය ඉන්දියාව සමග තරග වැදීමෙන් පලක් නැති බැවින් අපිට නිතරග ජයක් ලබාදෙන ලෙස. මොකද ඔබ නැවත වරක් පරදිනවා. අපේ කණ්ඩායම ශක්තිමත් ඔවුනට ඔබේ කණ්ඩායම පහසුවෙන්ම පරාජය කළ හැකියි.”

කෙසේ නමුත් පාකිස්තාන හිටපු නායකයෙකුවන ජාවඩ් මියැන්ඩාඩ් පවසන්නේ ඉන්දියාව ශක්තිමත් කණ්ඩායමක් වුව ද බියකින් හා පීඩනයකින් තොරව තරග වැදුණහොත් ඉන්දියාව පරාජය කිරීම අසිරු නොවන බවයි.

දඟ පන්දුව රජ කරන තරගාවලිය ආශිර්වාදයක්ලු

පාකිස්තානය හා ඉන්දියාව මෙසේ වචන හරඹයක යෙදී සිටින අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් තරගාවලිය පැවැත්වෙන තණතීරු ගැන සිටින්නේ සතුටින්. 'දඟ පන්දුවට මේ තරගාවලියේ දී ඉහළ ස්ථානයක් හිමිවී තිබීම ගැන සතුටුයි.' ඔහු කියා තිබෙනවා.

මුලදී දඟ පන්දු යවන්නන් විස්සයි විස්ස ක්‍රීඩාවේ දී පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වනු ඇතැයි බොහෝ අය බලාපොරොත්තු වුවත් සෙමෙන් යවන පන්දුවට පහරදීම වඩාත් අසීරු තත්ත්වයට පත්ව ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා.

“මෙය වේගවත් ක්‍රීඩාවක් වගේම පිතිකරුවන්ගේ ක්‍රීඩාවක්. නමුත් මෙය මුල්වරට එංගලන්තයේ දී ඇරඹුවාට පස්සේ තරගාවලියේ ආකෘතිය වසර 18 ක් තුළ වෙනස් වුණා. ඒ නිසා වේග පන්දු යවන්නන්, සෙමෙන් යවන පන්දු, පන්දුව කැපෙන අයුරෙන් යැවෙන කටර් පන්දු වගේම විවිධාකාර පන්දු මිශ්‍රණ යවමින් මෙම ක්‍රීඩාව ඇතුළේ පන්දුයවන්නෝ ශක්තිමත් වෙමින් ඉන්නවා.” එසේ පවසන මුරලි මෙවන් හැකියාවන් තව දුරටත් දියුණු කරගත යුතු බවද පවසා තිබෙනවා.

 

 

අනිල් වීරසිංහ 

Comments