නිස්සරණ පින්බිම | සිළුමිණ

නිස්සරණ පින්බිම

 

රෝගියා පරික්ෂා කර බැලූ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා මුහුණ මත ගැඹුරු පෙනුමක් ආරූඪ කර ගනිමින් මෙසේ කියයි. “දකුණු ඇහැ උත්පත්තියෙන්ම අන්ධභාවයට පත්වෙලා. පුංචි කාලෙ විහිළුවටවත්, සෙල්ලමටවත් එක ඇහැක් වහල අනිත් ඇහෙන් බැලුවෙ නැද්ද?“

ඈ වෛද්‍යවරයාගේ ප්‍රශ්නය හමුවේ නිරුත්තරය.

“කමක් නැහැ. වම් ඇහැත් හොඳටම දුර්වලයි. ශල්‍යකර්මයක් කරලා කාචයක් දැම්මත් ෂුවර් නැහැ. වයස ගැන හිතනකොට එතනත් පොඩි අවදානමක් තියනව.

“එතකොට මෙච්චර කල් මේ සුමේ කොරළා තියෙන්නෙ එක ඇහැකින්. ඒකත් නරක නැහැ“

“මොනවද ඔය ව්‍යංගාර්ථයෙන් කියන්නෙ“

“නාකි මිනිස්සු කට කහනවට කියන ඒව ගණං ගන්ඩ එපා ඩොක්ටර්“

“තනියමද ආවෙ?“

“මගේ හොඳම යෙහෙළිය සමඟ“

“එයාව ඇතුළට කැඳවන්ඩ. මට යමක් කියන්ඩ තියනව.“

“හුදෙකලාව තමා මගේ හොඳම යෙහෙළිය ඩොක්ටර්“

“පණ්ඩිතයි හොඳටෝම“

“එ්ක උපන් ගෙයි වරදක්. අතට පයට උදව් කරන්ට අය හිටිය නම් මට මෙච්චර දේවල් කරන්ට බැරි වෙනව“

“මෙච්චර දේවල් කිව්වෙ“

“ඩොක්ටර් තව සැරයක් මගේ ටිකට් එක හොඳින් බලන්ඩ“

ඔහු එවර පැලඳ හුන් උපැස් යුවළට යටින් එදෙස බලයි. එහෙත් විශේෂත්වයක් නොදකී.

“කිව්වට තරහ ගන්ඩ එපා. සාමාන්‍ය දැනීම අතින් ඩොක්ටර් අන්තිමයි“

“බොලිවුඩ්, හොලිවුඩ් සම්මාන, ෆිල්ම්ෆෙයා සම්මාන, රණ මයුර සම්මාන ලැබිල තියනව වගේ කතාව. වයසට යනකොට ගෑනු මිනිස්සු මුරණ්ඩුයි. මහන්තත්තයි. මම ඒක අත්දැකීමෙන් දන්නව“

“අවුරුදු අසූපහක් කියන්නෙ ඒ හැටි වයසක්ද? කෙනෙකුගෙ ජීවිතේ අවුරුදු හැටක් හැත්තෑවත් අතර කාලය අමුතුම විදිහෙ තරුණ කාලයක් කියල මම දැක්ක සමාජ මාධ්‍යවල පෝස්ටුවක්. මනෝ විද්‍යාඥයින් ඒ බව තහවුරු කරල තියනව කියල මම ඊට කලින් දැන හිටිය. ඩොක්ටර් මම රෑ මැදියම පහුවන තුරුත් නොයෙක් දේවල් සොයමින් නොයෙක් තැන්වල සැරිසරනව“

“කොහෙද අප්පේ ඔයහැටි සැරිසරන්නෙ“

“සයිබර් අවකාසෙ. මුහුණු පොතේ මට මිතුරු මිතුරියො පන්දහසකට වැඩිය ඉන්නව. නූගත් අඩු වයසෙ තරුණයො ගුඩ් මෝනිං, ගුඩ් නයිට්, කෑවද, බිව්වද, මොනවද ඔයාගෙ විස්තර කියල අහල මැසේජ් එවනව. හික්... හික්...“

“වෙලාව ගතවෙනව. තව හුඟක් ලෙඩ්ඩු ඉන්නව. ඔපරේෂන් එකට කැමතිනං හරියටම තව සති දෙකකින් අඩුම කුඩුම අරගෙන ඇවිත් වාට්ටුවට ඇතුල් වෙන්ඩ“

ට්‍රීං... ට්‍රීං.... ට්‍රීං.....

වෛද්‍යවරයා යුහුසුලුව ඊළඟ රෝගියා කැඳවූයේ තමා අසල හුන් හෙදියට ඇසක් ඉඟි මරමිනි.

“පව්... පිස්සු ගැහැනියක්“

හෙදිය සිහින් හඬින් කොඳුරයි.

ඔසරි පොට වදයක් සේ හැඟුනු කල ඈ එය ගෙල වටා දවටා ගත්තාය. කළු පැහැති දිග පඩි පෙළෙහි සියලු පඩි ඇයට පෙනුණේ එකම එක පළල් පඩියක් ලෙසිනි. හිත් හෝදිසියට ඉතා අසීරුවෙන් එකිනෙක පඩිය තෝරා දෙපා තබද්දි කිහිප විටක් එහා මෙහා ලිස්සා ගොස් නොවැටී බේරුනේ අනූනවයෙනි. ඒ දුටු එක් පිරිසිදු කරන්නියක් ඇගේ අතක් ගෙන සීරුවෙන් පහළට බැස්සවිය.

ත්‍රිරෝද රථ ගාලට ළඟාවෙද්දි එහි හුන්නෝ හුරුවම් බාන්නටත් ගී ඛණ්ඩ මුමුණන්නටත් පටන් ගත්හ. වයසක ගැහැනු මිනිසුන්ගෙ ගතිය කේවල් පිට කේවල් කර ඊට ගොඩවීම ඒ තත්වයට හේතුව වන්නට ඇත. එක් අයෙක් හෝ මහලු කාන්තාව මායිම් නොකළා සේය. එහෙත් ඊළඟ වාරය හිමි ත්‍රිරෝද රථයේ කොලුවා නොසැලකිල්ලෙන් මෙන් ඇය දෙස බලා රථය ක්‍රියාත්මක කළේය. වකුටු කොන්ද විටින් විට ඍජු කර ගනිමින් ඇය ආයාසයෙන් රථයට ගොඩවිය. ගමන සඳහා වූ කුලිය ගැන තැකීමක් නොකළ හෙයින් රියැදුරු කොලුවා මහලු කාන්තාව කෙරෙහි තෘප්තිමත් විය. රථය ගමන් කරන වේගයට සාපේක්ෂව මීටරය ක්‍රියාත්මක වෙද්දි ඒ දෙස බලා හුන් මහලු මිනිසෙකුගේ හෘද ස්පන්දනය වැඩිවී සිදුවූ කලබැගෑනිය මේ මොහොතේ ඔහුගේ සිතට ගොඩවිය. මිනිසා රෝහල්ගත කොට හිස් අතින්ම ඒමට ඔහුට සිදුවිය.

“ආච්චි අම්මෙ කොහෙටද“

“දකුණු පැත්තට. කඟවේනා වගේ කඩා බිඳගෙන යන්නෙ නැතුව ටිකක් හිමිහිට. සුපර් මාකට් එක ළඟින් තියන පාරෙ බුදු පිළිමෙට ටිකක් එහා“

සෙමෙන් යෑමට අණ දුන්නොත් දෙන්නේ බඩදරු මවකි. එහෙත් ගතින් දුර්වල වූ මැහැල්ල සිතේ බය නිසා පැවසුවා විය හැකි යයි රියදුරු කොලුවා සිතයි. මට හිතෙනව පරංගියා කෝට්ටෙ ගියා වගේ මෙයාව හොඳ වටරවුමක් අරගෙන යන්ඩ. එසේ සිතා වංගුවක් ගනිද්දී ඇය හුන් අසුනින් ඉදිරියට නැමී රියැදුරු කොලුවාගේ ගෙල පෙදෙස වේගයෙන් අතකින් අල්ලා තද කරන්නට වූවාය. ඒ අතර ඔහු වේගයෙන් තිරිංග තද කළේය.

ස්ක්‍රීස්... බ්රූස්.... බ්රූස්....

“හොල්මන් අවතාරයක්ද? එහෙම නැතිනම් මායාවක්ද? ඇයි මගේ බෙල්ල මිරිකුවෙ“

“එහෙමනං මගෙ නමත් දන්නව“

“නම.... මොකක්ද ඒ කතාවෙ තේරුම“

ඇය කතාව වෙනත් අතකට හැරවීය.

“ඇස් වහගෙන වුණත් මට මේ පාරවල්වල යන්ඩ පුරුදුයි. මගේ ඇස් වලට වැලි ගහන්ඩ බැහැ පුතෝ“

මහලු කාන්තාව තවත් මොනවාදෝ කියවයි. රියදුරු කොලුවා හට සියල්ල විහිළුය. ඔහු එවර හැටට පාගයි.

“පටන් ගත්තු සමහර වැඩ එහෙමමයි. මාව මරන්ඩ හදනවද? ඔය ඉස්සරහ කළුපාට යකඩ ගේට්ටුව ළඟ නතර කරන්ඩ.“

ස්ක්‍රීස්... බ්රූස්... බ්රූස්...

“පටන් ගත්තු වැඩ කොහොම වුණත් ආයි අලුතින් වැඩ පටන් ගන්ඩ එපා. ඒව ඉවර කරන්ඩ බැරිවෙයි“

“ලෝක ධර්මය ගැන මට අමුතුවෙන් උගන්වන්ඩ ඕනෙ නැහැ. ඒ දවස, ඒ මොහොත වෙනකල්ම වැඩ කරන එකේ වරදක් නැහැ. කාලය රන් හා සමාන බව තේරෙන්නෙ දැං දං. කීයද හයර් එක“

“දෙසීයයි“

නහර ඉල්පුනු දෑත් වෙවුලද්දි රියැදුරු කොලුවා මුදල් නෝට්ටු දෙක තමා අතින් ගත්තා නොව ඩැහැ ගත්තා යැයි ඇයට සිතුණාය. ඒ අතර කළුගල් තාප්පයේ මඳක් ඇතුළට ඔබ්බවා රන්වන් පැහැ ගත් පසුබිමේ ලියන ලද කළු පාට අකුරු අතර රියැදුරු කොලුවාගේ නොඉවසිල්ල මොහොතකට නතර විය.

මායා දෙල්විට

සිංහගිරි නිවස

“මැඩම් මම යනව. මට සමාවෙන්ඩ.“

“සමාවෙන්ඩ. ඒ ඇයි?“

“මම මැඩම් ඉදිරියෙ හැසිරුණු විදිහ හොඳ නැහැ. ඒත් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දගන්ඩ බැහැ. ප්‍රසිද්ධ කෙනෙක් වගේ. මගේ දරුවගෙ පෙළ පොතේ පාඩමක් තිබුණා මතකයි.“

“සාමාන්‍ය දැනීම හොඳයි වගේ අර දොස්තර මහත්තයට වඩා“

“මොනවද මැඩම් කුටු කුටු ගාන්නෙ. මට බණිනවද?“

“නැහැ මුකුත් නැහැ“

“ආයි මට මැඩම්ව හම්බවෙන්ඩ වුවමනා වුණොත්“

ඈ සිය ගමන් මල්ලෙන් කුඩා සටහන් පොතක් හා පෑනක් පිටතට ගෙන සටහන් පොතේ පිටු භාගයක් ඉරා වෙන්කොට ඒ මත යමක් ලියා කොළ කැබැල්ල රියදුරු කොලුවා අත තබමින් මෙසේ කීවාය.

“මේ ලිපිනය අදාළ වෙන්නෙ හෙට දිනයට. ඒ කියන්නෙ අනාගතයට.“

“පදිංචිය වෙනස් කරන්ටද කල්පනාව. අපරාදෙ මෙච්චර හොඳ තැනක් දාලා.“

එවර ඈ දුන් සිනහව හැඬුමකට ද වඩා මූසල එකක් යැයි රියැදුරු කොලුවට සිතුණි. ත්‍රිරෝද රථය වටයක් කරකැවී දුහුවිලි අවුස්සා ඈත මාවතේ නොපෙනී යන අයුරු ඈ බලා සිටියේ තුෂ්නිම්භූතවය.

පෙසන් කුරුල්ලෝ කූඩුව තුළ කෑමොර දෙමින් යකා නටනු පෙනේ. කූඩුවට පහළින් වූ බජිරි පැකට්ටුවෙන් මිටක් ගෙන කූඩුව තුළ වූ බඳුනට දමද්දී උන්ගේ කෑමොර දීම හොරු රැගෙන ගියාක් මෙනි. අධික කුසගින්න හෙයින් එකිනෙකා ඇනකොටා ගත් බව හැඟවීමට මෙන් කහ, කොළ, නිල් කුරුලු පිහාටු කූඩුවෙ තැනින් තැන විසිරී ඇත. ඇය ඕනවට එපාවට මෙන් ඒ දෙස බලමින් ඉබි යතුරු කරකවා ගෙට ගොඩවේ.

තද අව් රශ්මියට නිරාවරණයව හිඳ නිවසට ඇතුළු වීමේදී තද කළුවරක් ඒ තුළ දර්ශනය වේ. මඳ වේලාවක් යාමේදි එය පහව යයි. උරහිසේ වූ ගමන් මල්ල නොසැලකිල්ලෙන් මෙන් පසෙකට දමා දහඩිය බේරෙන ඇඳුම් පිටින්ම සෝපාව මත දිගාවිය. පරණ වීදුරු අල්මාරියේ වූ නොයෙක් හැඩ තල වලින් යුත් සම්මාන තමාට ඔච්චම් කරන කුඩා දරුවන් පිරිසක් වැනි යැයි ඇයට හැඟේ. ඒ අතර සම්මාන උත්සවයක අමතක නොවන සිදුවීමක් ද මතකයට නැඟේ.

එදින සම්මාන උත්සවය නිමා වූයේ මැදියම් රාත්‍රිය ආසන්නයේය. වාහනයක් වෙනුවෙන් කල් මරා බැරිම තැන නිවස තෙක් දෙපයින් මඟ ගෙවීමට සිදුවිය. විදුලි කප්පාදු සමයකි. මහ කනත්තේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල මිනිසෙකි. සමහරවිට ඒ මුරකරුවා විය හැක. සුදු ඇඳුමින් සැරසී සම්මානය දෑතින් ගෙන පපුවට තුරුලු කොට අඩ අඳුරේ පිය මනින කාන්තාව ඔහුට ආසන්න වෙත්ම හේ යටි ගිරියෙන් කෑගැසුවේය.

“බුදු අම්මෝ... මෝහිනීගෙ අවතාරෙ“

මිනිසා සිතන්නට ඇත්තේ සුදු වතින් සැරසී දරුවෙක් තුරුලු කොටගෙන තමා දෙසට එන්නේ මෝහිනියගේ අවතාරය බවය. ඒ සිද්ධිය සිහිවීමත් සමඟ ඇයට “බකස්“ හඬින් සිනා ගියාය.

අවමඟුලක් සඳහා මහ කනත්තට ගිය දිනය ද ඇයට සැබෑ සුන්දර අත්දැකීමකි. එතැන මළවුන්ගේ එකම මාෆියාවකි. ජනප්‍රිය, ප්‍රසිද්ධ, ධන කුවේර සැවොම එතැනය. ආශ්වාස ප්‍රාශ්වාසය නැවතී සියලු සමාජ ප්‍රපංචයන්ගෙන් බැහැර වූ සොඳුරු කලාකරුවන් නිසාදෝ එබිම එකම වින්දනීය අඩවියක් යැයි ඇයට හැඟුනි. ඈ කාලයක් ගෙන තැන තැන ලියා තිබූ දෑ කියවන්නට වූවාය. ඒ අතරින් වඩාත්ම ඇගේ සිත් ගත් වැකිය වූයේ

“සෑම දෙයකම සුන්දරත්වයක් ඇත. හැමෝම එය නොදනී.“

ඈ කිහිප වරක් එම වැකිය තොල් අතරින් මිමිනුවාය.

සෝපාව මත වැතිර සිතිවිලි අතර කිමිදෙමින් සිටියදී දුරකථනය නාද වේ.

“ඔබතුමිය සතිපතා පුවත්පතට ලිව්ව නවකතාව අපි හිතුවට වඩා හොඳට ප්‍රමෝට් වුණා. තරුණ පරපුර ඒකට වහවැටිලා. අනිවාර්යයෙන් දෙවෙනි කොටසක් ඉල්ලනවා. මේ වෙනකොට දෙවෙනි කොටස ලියාගන යනව කිව්වනෙ. පුළුවන් ඉක්මණින් වැඩේ ඉවර කළොත් හොඳයි“

සතිපතා පුවත්පතේ විශේෂාංග කතුවරයා එපමණක් කියා නිහඬ වේ.

“කිව්වට විශ්වාස කරන එකක් නැහැ. දවසට දෙකට මගේ ඇස් පෙනීම දුර්වල වුණා. දැලක් එළුවා වගේ හැම දෙයක්ම බොඳවෙලා පේන්නෙ. අයි සර්ජන් මුණගැහිල ආවා විතරයි. සර්ජරියක් කළත් ෂුවර් නැහැ කිව්ව“

“අයිසේ මාර වැඩේ. අපි එහෙම වුණොත් ලියන්නෙක් ගැන හිතල බලමු. මැඩම් කියන දේ එයා පරිගණකයෙන් ලියාවි“

“හරි එහෙනං“

ඇය එහා කෙළවරින් තවත් යමක් පවසන්නට මත්තෙන් රිසිවරය නියම තැන ස්ථානගත කළාය. එසේ කොට යළි සෝපාව මත දික් අතට වැතිර ඇලයකට හැරී කල්පනාවේ ගැඹුරට කිමිදෙන්නට විය.

පත්තරකාරයො ටික මගේ අතීත අනන්‍යතාවය සහමුලින්ම විනාශ කළාද. කුමක් හෝ ළාමක ක්‍රීඩාවකට ඒ අය මාව ඉත්තෙක් විදියට යොදාගෙනද කියල දැං දැං මට සැකයි. දවසින් දවස මගේ සවිඤ්ඤාණික බව නැති වෙනවද? කවුරු හරි ඒක බලෙන් නැති කරනවද? එසේ නැතිනම් මගේ හුදෙකලා ජීවිතය යම්තාක් දුරට මාව මේ තත්ත්වයට පත්කිරීමට අතිරේක සාධකයන් වුණාද? පවතින සවිඤ්ඤාණික බව නමුත් පිරිසක් ඒ අයගෙ ආත්මාර්ථකාමී අරමුණු, අභිමතාර්ථ මුඳුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මටත් හොරා රහසේම තමන්ගේ දිශාවට නවාගෙනද? භද්‍ර යෞවනයේදී මහත්වූ ව්‍යායාම් දරා වුවද ලියාගත නුහුනු අතිශය බොලඳ ප්‍රේම කතා නහින දෙහින කාලයේ කජු කනවා තරම් පහසුවෙන් ලියවෙන්නේ කවුරුන් විසින් හෝ සිදුකළ ඒ සවිඤ්ඤාණික නවාගැනීම නිසාද? සිතිවිලි වක්කඩ කැඩුවා සේ ගලා ඒ.

ට්‍රීං.... ට්‍රීං.... ට්‍රීං.....

ඈ එවර රිසීවරය අතට ගත්තේ නොකැමැත්තෙනි.

“විශේෂාංග කර්තෘතුමා මට විස්තරේ කිව්වා. සිංහල ගෞරව උපාධිය සමත් තරුණයෙක් සහායක ලියන්නෙක් විදියට පත්කර ගන්ඩ අකමැති වෙන එකක් නැහැනෙ. නවකතාවෙ දෙවෙනි කොටස අපට අනිවාර්යයෙන් අවශ්‍යයි. මුල් කොටස දැනටමත් ටෙලි නාට්‍යයකට ඉල්ලනව අධ්‍යක්ෂවරයෙක්. තිර රචනය ලිවීමත් ඔබතුමියට පවරන්ට ඔහු කැමැත්තෙන් ඉන්නව.

ඇය තත්පර කිහිපයක් නිහඬව සිටියාය.

“මැඩම්..... වැඩේට අකමැතිද?“

“ස්වාමිපුරුෂයෙක්, දරු මල්ලෙක් නැති නිසා මම අනන්‍යතාවයක් නැති ගැහැනියක් කියලනෙ හිතාගෙන ඉන්නෙ. කාපිරි වහලියන් හිරු නොබසින අධිරාජ්‍යවල වැඩට ගන්නෙ ඔවුන්ගෙ සියලු අනන්‍යතාවයන් බිඳල. මම කැමති නැහැ එහෙම වෙන්න.“

“ඔබතුමිය එක්තරා පුවත්පත් සාකච්ඡාවකදි පැවසූ දෙයක් මට මේ මොහොතේ මතක් වෙනව. සරසවිය හා බැඳුනු ඔබේ ප්‍රථම ප්‍රේමයේ ප්‍රේමවන්තයා ඒ අවදියේම මියගිය බවත් ඔහුගේ භූතාත්මය මෑතක සිට ඔබ වටා සැරිසරන හෙයින් යහපත් නිර්මාණයක් සඳහා සිත එකඟ කරගැනීම අසීරු බවත් කියා සිටියා. එදා එම පුවත්පතෙහි පළවී තිබුණු ඔබේ මුහුණෙහි අඳුරු මූසල අද්භූතජනක පෙනුම මේ වන විට සෑහෙන දුරට පහව ගොසින් බව අප දුටුවා. එම යහපත් වෙනස සිදු වුණේ අපේ පුවත්පතට ආදර කතාව ලිවීම ඇරඹුවායින් පසුව බව මට හොඳටම විශ්වාසයි. අපි හිතුව ඒ ගැන ඔබ අපේ පුවත්පතට ස්තූතිවන්ත වෙයි කියල. ඔවැනි කතාවක් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ.“

“කිසිඳු අනන්‍යතාවයක් නැති තත්ත්වයට පත්වුණු අයෙකු හට ඔබ අර මුලින් කී තත්ව ඇතිවීම ස්වභාවිකයි. අදටත් එවැනි තත්ව අඩු වැඩි වශයෙන් සවිඤ්ඤාණකව හා අවිඤ්ඤාණකව මට දැනෙමින් පවතිනවා. කිසිවකට ආශාවක් නැතිව හුන් ගැහැනියකගේ හිත පට්ට පල් බොළඳ පෙම් කතාවකට පටලවා ගත් එකත් ලොකු දෙයක්. හොඳ හැඟීම් විශාල වශයෙන් අඩුවේගන යන කාලයක්. ඉදිරියේදි සමහරවිට ඒවා නැත්තටම නැතිවී යාවි. කතාවෙ දෙවෙනි කොටස ගැන බලාපොරොත්තු අත්හරින්න එපා. මේ වනවිටත් මා ඉන් අඩක් ලියා අවසන්“

“මොනවා.... එසේනම් මොහොතකට කලින් ඔබ මට පොඩි විහිළුවක් සැපයුවා පමණයි“

“හරියටම තව දෙසතියකින් මා රෝහල්ගත විය යුතුයි. ඒ අතරතුර ගතවන මුල් සතිය නවකතාවේ දෙවෙනි කොටස සම්පූර්ණ කිරීම වෙනුවෙන්. ඊළඟ සතිය පාසැල් දරුවන්ගේ පෙළපොත් සඳහා වූ විශේෂ කටයුත්තක් වෙනුවෙන්. දින පොතේ සටහන් වී ඇති දහසකුත් එකක් ඉදිරි වැඩ කටයුතු කාලය මට ලබාදෙන ඉඩ හසර අනුව සිදුවේ.“

“බොහොම ස්තුතියි මැඩම්. හෙට උදෙන්ම ලියන්නෙක් එවනවා. කෑම, බීම හැමදෙයක්ම අපි බලාගන්නවා“

මුස්ලිම් ජාතික තරුණ ලියන්නා රෂාන් උදෑසන සිහිල් වේලේම ඇගේ නිවසට පැමිණියේය. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා හමුවීමෙන් පසුව ගතවූ දින දෙක තුනක කාලය අතරතුර ඇගේ ඇස් පෙනීම වඩ වඩාත් දුර්වල වූ හෙයින් ලියන්නාගේ රූප කායෙහි කැපී පෙනෙන සුලු කිසිවක් ඇය නුදුටුවාය. එම අවස්ථාවේම දෑසේ දැවිල්ලක්ද හට ගත්තේය.

ලියන මේසය අසල මුහුණට මුහුණ ලා පිහිටි අසුන් දෙක මත දෙදෙන වාඩිවී හිඳී. ඈ දෑස් තදින් පියා සිහින් හඬින් කථනය කරද්දී ඔහු ඒ සියල්ල ඇඟිලි තුඩින් යුහුසුලුව පරිගණක ගත කරයි. විටෙක ඇගේ මුවින් පිටවන වදන් ඔහු පුදුමයට පත්කරයි. ඔහු සිනහ ගන්වයි. විටෙක ලජ්ජා උපදවයි. ඒ අතර පරිගණක යන්ත්‍රයේ යතුරු පුවරුව අක්‍රීය වන බව ඇයට දැනේ. ඈ ආයාසයෙන් දෑස් විවර කරයි.

“රෂාන්....“

ඔහු මුහුණ බිමට නැඹුරු කොටගෙන හිඳී.

“ලැජ්ජා හිතුණද ඒ දෙබස් ඛණ්ඩිය අහලා. රෂාන් මම ශෘංගාරයත් එක්ක ලස්සනට මහලු වුණු කෙනෙක්. හැමෝටම ඒ වාසනාව නැහැ. මට ඒ වාසනාව ලැබුණේ සරසවියේම ඉපිද මැරී ගිය මගේ ප්‍රථම ප්‍රේමය අදටත් මා අත්නොහැර සිටින නිසා. එදා මෙදා තුර මට ඇති එකම අනන්‍යතාවය එපමණයි රෂාන්“

“ඒත්.... මැඩම් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ....“

“එපා නවත්තන්ඩ. මම දන්නව කියන්ට හදන දේ. ලෝකය මට ලබාදුන් අනන්‍යතා මත පිහිටා “මම මෙවැනි අයෙක්“ කියන මානසික සිරකුටියේ සිරකාරියක් වෙන්ට මම කැමති නැහැ රෂාන්... කොතරම් වයසට ගියත් මම තවමත් කෙනෙක් සමඟ තරග කරනවා.“

මෙතෙක් මුහුණ බිමට නැඹුරු කොට හුන් තරුණයා එවර පුදුමයෙන් මෙන් තමා අභිමුවෙහි හුන් මහලු කාන්තාව දෙස බැලුවේය.

“වෙන කවුරුන් හෝ සමඟ නෙවෙයි ඊයේ දවසේ ජීවත් වූ මා සමඟමයි මම හැමදාමත් තරග කරන්නේ.“

තරුණයා ඊට අහිංසක ලෙස සිනාසුණේය.

මහලු කත දිගින් දිගටම යෞවන ප්‍රේමයේ උත්කර්ෂය රසාලිප්තව වචනෝද්ගත කරයි. සතියක කාලය තුළ සියල්ල අවසන් වී මුද්‍රණ යන්ත්‍රයෙන් පිටතට ගත් කඩදාසි ගොනුව සිය ගමන් මල්ලේ රුවා ගත් තරුණයා සමුගැන්ම සටහන් කිරීමට ඈ ඉදිරියේ පෙනී සිටී.

“මැඩම්! මට යන්න අවසර“

“රෂාන් මට පොඩි උදව්වක් අවශ්‍යයි“

“කියන්ඩ මැඩම්“

“හෙට මාව ඉස්පිරිතාලෙට ගෙනියන්ඩ ඕනෙ“

“පත්තර කන්තෝරුවට කියන්නම්. වාහනයක් එවයි“

“එපා හැම දෙයක්ම ලෑස්ති කරගත්තට පස්සෙ මෙන්න මේ ත්‍රීවිල් එකට කතා කරමු“ ඈ සටහන් පොතේ වූ දුරකථන අංකය හරිහැටි නොපෙනුණද අනුමානයට මෙන් ඒ දෙසට ඇඟිල්ලක් යවා තරුණයා හට පෙන්විය.

“මැඩම් මම අද මෙහේ නැවතිල හෙට මැඩම්ට ඉස්පිරිතාලෙට යන්ඩ අවශ්‍ය දේවල් සූදානම් කරල දෙන්නම්. මැඩම්ව ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරල මම මේ ටිකත් අරගෙන පත්තර කන්තෝරුවට යනව“

“ඒක හොඳයි.“

 

**************

 

ගොම්මන් සැඳෑවේ වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය යකඩ ගේට්ටුව අසල නතර කළ ඔහු එතැන සවිකර තිබූ සීනුව කිහිප විටක් නාද කළේය. ප්‍රතිචාරයක් නැත. රෝගියාගේ සුවදුක් බැලීමට ආ ගමන නිරර්ථකය. සැණෙකින් කිසිවක් මතකයට ඒ.

රථයේ අහුමුල්ලක වූ කොළ කැබැල්ලේ සඳහන් ලිපිනය සොයා රථය වේගයෙන් ඉදිරියට ඇදේ. කිහිප දෙනෙකුගෙන් ඒ ගැන විමසුවද කිසිවකු ඒ නොදනී. භාවනාවට සමවැදී මෙන් පුවත්පතක් දිගහැර ත්‍රිරෝද රථයට වී හුන් තැනැත්තා නොකැමැත්තෙන් මුත් මං සලකුණු කීවේය.

“තව කිලෝ මීටර් දෙකක් ඉස්සරහට ගොහින් වම් පැත්තට දාල මීටර් පන්සීයක් විතර යද්දි ඔය කියන තැන හම්බවෙයි.“

කළු පැහැති උස් යකඩ වැටකින් බිම්කඩ සම්පූර්ණයෙන් වටකොට තිබේ. ගේට්ටුවේ පියන් දෙපසට වන්නට විවෘත කොට ඇත. ඇතුළු මාර්ගය දෙපස එක යායට පිහිටි ඉතා උස්වූ සද්ධන්ත විලෝ ගස් පේළියකි. සුදු, කළු ඇඳුම් ඇඳගත් පිරිස් ඒ තුළට ඇතුළු වේ. ලිපිනය නිවැරදි දැයි දැන ගැනීමට ඔහු ගේට්ටුවට ඉහළින් වූ රතු පැහැති පසුබිමේ ලියන ලද සුදු පැහැති අකුරු කියවා බැලීය.

“නිස්සරණ පින්බිම“

ලිපිනය නිවැරදිය. ඔහු රථයෙන් බැස ගේට්ටුවෙන් ඇතුළු වී ඉදිරියට ගියේය. දහසක් දෙන අතර මුත් පාළු මූසල හුදෙකලා බවක් රජයයි. සොහොන් කොත්, ස්මාරක අතර වූ ලිපිනයක සජීවී අයෙකු සිටිය හැකිද? ඔහු තමා අත වූ කොළ කැබැල්ල තැනක හුන් ආරක්ෂක නිලධාරියෙකු හට පෙන්වයි.

“සතියකට කලින් වළ දමාපු කෙනෙක්. එතැන පොඩි ස්මාරකයක් හැදුව. තව ටිකක් ඉස්සරහ...“

වළ දැමූ තැන මට්ටම් කර ඒ මත කුඩා ස්මාරකයක් පිහිටුවා ඇත.

‘මහාචාර්ය මායා දෙල්විට‘ යනුවෙන් එහි කොටා තිබේ. එහි සිමෙන්ති බදාම මේ වනවිටත් වේළී නැත. තැබූ මල් වඩම් පරව සී සී කඩව එහා මෙහා විසිර තිබේ. සුසානයේ ඈතින් පෙනෙන සොහොන් කොත් අනන්තය පිරිමදිමින් හිඳී.

“මේ ලිපිනය අදාළ වෙන්නෙ හෙට දිනයට. ඒ කියන්නෙ අනාගතයට“

ඔහු පසුපස හැරී බලයි. කිසිවකුත් නැත.

 

Comments