නාඳුනන තුවක්කුකරුවෝ ඩැනියෙල් පසුපස | සිළුමිණ

නාඳුනන තුවක්කුකරුවෝ ඩැනියෙල් පසුපස

 

ගැටවර වියේ සිට මාක්ස් - ලෙනින් - ස්ටාලින් - මාඕ චින්තනයන් ඇසුරේ සිටි මා, ඒ දර්ශන හැදෑරූ මා මේ අලුත් තරුණයන්ගේ ගමන් මඟ පිළිබඳව ඇති වරද දැක නොකියා සිටීම වැඩිහිටියකු වශ‍යෙන් වරදක් ඔහු සිතුවේය. ඔහු තලල්ලේ තරුණ පිරිසකට මෙසේ කීවේය.

“පුතාලා මේක අහන්න. විප්ලවය කියන්නෙ ලක්ෂ සංඛ්‍යාත ජනතාව‍කගෙ වුවමනාවක්. එය සුළු පිරිසකගෙ කුමන්ත්‍රණයක් නොවෙයි. ඒක බහුතරයේ වුවමනාවක්. බහුතරයේ වුවමනාවක් වීමට නම් එය බහුතරයේ හදවත්වලට කාවදින පරිදි අවබෝධ කරවිය යුතුයි. ලෙනින් කළේ එහෙමයි. මාවෝ කළෙත් එහෙමයි - කුමන්ත්‍රණ විප්ලවයට කරන්නේ හානියක් - 1971 දී එහෙම වුණි. වටිනා තරුණ ජීවිත දහස් ගණනක් විනාශ වුණා. මට දැනෙනවා ළඟදී තවත් වටිනා තරුණ ජීවිත දහස් ගණනක් විනාශ වේවි. පුතේ, ඉක්මන් වෙන්න එපා. ඉගෙන ගන්න. කියවන්න. මාක්ස් - ලෙනින් - මාඕ ගැන හදාරන්න. මාක්ස්වාදය, වැඩ කරන ජනතාවගෙ දර්ශනය, ධර්මය වැඩ කරන ජනතාවට හොරා කරන විප්ලවය නිසා වාසිවෙන්නේ ධනපතියාට බලවතාට. ඔය පුතාලගෙ අයියල මාතර කොමියුනිස්ට් පක්ෂයේ කී දෙනෙක් මරා දැම්මද? ඒකෙන් විප්ලවයට වෙච්ච වාසිය මොකක්ද? ඒ අය රටට ගමට හොඳ සේවයක් කළා. අනුන්ගෙ දේ ගසා කෑව අයත් නොවෙයි. ඇයි ඒ අය මැරුවෙ. අර බස් රියැදුරු මැරුවේ ඇයි. ඒ මනුස්සය කොමිනිස් කාරයෙක් කියලලු මැරුවේ. පාරේ ඈත පාසල් දරුවෙක් එනකොට ඒ රියදුරු බසය නතර කරගෙන එනව ඒ ළමය එනකල් නැත්නම්. ඒ ළමයාට වෙලාවට ස්කෝලෙ යන්න බැරිවෙනවා. අන්න එහෙම ළමයින්ට ආදරය කළ හොඳ රියැදුරෙක් ඒ. ඒ සේවය ලබාදෙන්න කෙනෙක් ඔය තුවක්කුකාරයො දැම්මද බලන්න පුතා මේවා හරිම අපරාද නේ....”

ඩැනියෙල් ගේ මෙබඳු කතා ඇසූ ඇතැම් තරුණයෙක් ජ.වි.පෙ. අත්හළ බව ද කියැවිණ.

“ඔය ළමයි එක්ක ඔහොම කතාවට යන්න එපා. උන් ඔයාට මොනව කරයි ද දන්නෙ නැහැ. දිනක් ඩැනියෙල්ට බිරිය කීවාය.

“ඒ ළමයි මට කරදර කරන්නෙ නැහැ. මගෙන් පොත් අරන් යන ළමයි. මම උන්ට පෑන් පැන්සල් පවා අරන් දීලා තියෙනවා.” දින කීපයකට පසු එක් උදෑසනක නිවසේ දොර අරින විට ස්තෝප්පුවේ ලියුමක් තිබිණ.

“ඩැනියෙල්, කට පරිස්සම් කරගනින්. මේ පළමු අවවාදය.”

දේශප්‍රේමී ව්‍යාපාරය

දිනක් යුද හමුදා ජීප් රියක් ඩැනියෙල්ගේ නිවසට පැමිණියේය. සෙබළු ගෙතුළට ආහ.

“කෝ ඩැනියෙල්?” කියමින් සෙබළු දෙදෙනකු ‍ඩැනියෙල් අල්ලා ගත්හ. ඔහු ජීප් රියට දැමූ සෙබළු ඩැනියෙල්ගේ කට වැසූහ.

පොඩි දුව ජීප් රිය පසුපස දිව ගියාය.

ඩැනියෙල් සෙබළ අත් ඉවත් කොට “දුව බයවෙන්න එපා” යි කීය.

මුළු ගමම කැලඹිණ.

“හමුදාව කරන්නෙ ‍ජේ. වී. පී. කාරයො අල්ලන එක. ඇයි මේ ඩැනියෙල් මහත්තය අල්ලාගෙන ගියේ” ගැමියෝ ඇසූහ.

ජීප් රිය හම්බන්තොට ගිය බව අසන්නට ලැබිණ. පසුදා උදෑසන ඒ ජිප්රිය මාතර යන්නට එන බව ද අසන්නට ලැබීය.

ගමේ ජනතාව තලල්ල පාසල අසල මහ පාරේ රැස්ව බලා සිටියහ. එන්නේ ආයුධ සන්නද්ධ හමුදා රිය පාර පුරාම. තලල්ලේ ජනතාව ජීප් රිය නතර කැරිණි. රිය තුළ ඩැනියෙල් පෙනිණ.

“අපේ ඩැනියෙල් අපට ඕනෑ...” ජන ඝෝෂාව නැඟිණ.

“මේ ජේ. වී. පී. කාරයෙක් නොවෙයි. හොරෙක් නොවෙයි. හොඳ මහත්මයෙක්.”

බ්‍රිගේඩියර්වරයා රියෙන් බැස්සේය.

“ඔය ඇත්තෝ මා විශ්වාස කරන්න. ඩැනියෙල් මහත්මයා මාතරට ගෙනිහිල්ලා ප්‍රකාශයක් අරගෙන ආපසු ගේනවා. පැය දෙකක් ඇතුළත ඔය ඇත්තෝ මෙතනම ඉන්න.”‍

බ්‍රිගේඩියර් ගේ වචන විශ්වාස සහගත බව ජනතාවට දැනිණ.

“බය වෙන්න එපා. මට එන්න ලැබේවි”

ඩැනියෙල් ද කීය.

පැය දෙකකට පසු ජීප් රිය ඩැනියෙල් සමඟ නිවසට පැමිණියේය.

“වහාම නිවස හැර යන්න” ඩැනියෙල්ට ඔහුගේ නෑදෑ හිතවතුන්ගෙන් අනතුරු ඇඟවීම් නිතර සිදුවිය.

මාදුළුවේ සෝභිත හිමියෝ ද ඩී. අයි. ජී. ධර්මසේකර ද වහාම ගම හැර එන්නැයි පණිවුඩයක් ඩැනියෙල්ට එවූහ.

ගමන සඳහා වාහන ද සැපයිණ. ධර්මසේකර ගේ සහෝදරයා වන සුමනසේකරගේ මාලේවන නිවස ද ඔවුන් සඳහා වෙන්කොට තිබිණ.

ඩැනියෙල් සිය බිරිය වූ එම්. ඩී. ආරියවතී, දෙටු දියණිය වූ හේමාලි, එකම පුතුවූ අසුර සහ සරලා චින්තා යන දියණියන් දෙදෙනා ද සමඟ ඩී. අයි. ජී. ධර්මසේකරගේ සහෝදරයාගේ නිවසේ අලුත් ජීවිතයක් ඇරැඹීය.

මුළු දවසම අඹු දරුවන් සමඟ ගත කිරීමට ඩැනියෙල්ට ඉඩ ලැබුණේ මේ කාලයේය. ධර්මසේකර ඔවුන්ට අවශ්‍ය ආහාර සහ අනෙක් සියලු දේ සැපයීය.

‍1989 ජනාධිපතිවරණය පැමිණියේය. ඒ සඳහා එ. ජා. ප. යෙන් ආර්. ප්‍රේමදාස ද ශ්‍රී. ල. නි. පයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ද ඉදිරිපත් වූහ. ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කළේය. ඡන්ද මධ්‍යස්ථානවල මුලින් ම ඡන්දය දාන පුද්ගලයා ඝාතනය කරන බව ද කියැවිණ.

ධර්මසේකර සිය ගමේ ජනතාව ඡන්ද පොළට ගෙනයාම සඳහා ඉදිරිපත් විය.

“සියලු දෙනාම ඡන්දය දිය යුතුය. ඒක පුරවැසියා සතු අයිතියක්...”‍

ඡන්ද දිනට පෙරදා උදේ සිට ඔහු ගමේ ඇවිද්දේ ය. ඔහුගේ පසුපසින් ගමේ තරුණයෝ සියයක් පමණ ඇදී ගියහ. ඔවුන්ට ඩැනියෙල් ද එක් විය.

ගමේ පන්සල් කීපයක් විය.

හැම පන්සලකදීම ධර්මසේකර ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද කඩාකප්පල් කිරීමට එරෙහිව කතා කළේ ය. ඔහු අඩ පැයක් පමණ කතා කළේය. ඩැනියෙල් ද ඔහුට පසුව මිනිසකු මිනිත්තු පහක් පමණ කතා කළේ ය. මේ නිසා මුළු ගමම ඩැනියෙල් හඳුනා ගත්තේය.

පසුදා ඡන්ද පොළට මුලින් ම ගියේ ධර්මසේකරය. පොලිසිය පාරෙ තැන් තැන්වල විය. ජ. වි. පෙ. භටයෝ ද සැඟවී සිටියහ.

ධර්මසේකර ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරිනියකට ඇඟිල්ල පෙන්නා මුළු ඇඟිල්ලේ ම තීන්ත ගාන්නැයි කීය. ඇය ඊට කැමැති නොවූවාය. ඡන්ද පොළ භාර ප්‍රධාන නිලධාරියා ඔහුගේ ඉල්ලීමට ඉඩ ලබාදුනි. මුළු ඇඟිල්ලම තීන්තෙන් නැහැ විය. ඡන්දය දැමූ ඔහු මධ්‍යස්ථානයෙන් පිටත සිටි ඇඟිල්ල පෙන්වා “මම ඡන්දය දුන්නා” යි ඇඟවීය.

දෙවැනියාට ඡන්දය දුන්නේ තැපැල් ස්ථානාධිපතිවරයෙකි. ඔහු ජ. වි‍. පෙ. වෙඩි උණ්ඩයකට ගොදුරු විය.

ජනාධිපතිවරණයෙන් එ. ජා. පයේ ආර්. ප්‍රේමදාස ඡන්ද 25,69199 ක් ලැබීය. සිරිමාවෝ බණ්ඩාරනායකට ලැබුණේ ඡන්ද 22,89860 කි. ජනාධිපතිවරණය හමාර වී මාස කිහිපයක් ගෙවිණි. ධර්මසේකර පදිංචිය සඳහා ඩැනියෙල්ට ඉඳුරුව ගෝනල ගල්තුඩුව රබර් වත්තක පිහිටි නිවසක් ලබා දුනි. එහි පදිංචි වී ටික කලකට පසු ඔහුට ඒ නිවසෙන් ඉවත් වන්නයැයි නිවෙස් හිමියාගෙන් අණක් ලැබිණි. හේතුව වූයේ ඒ නිවසේ දිනපතා දේශපාන සාකච්ඡා පැවැත් වීමයි. ඩැනියෙල්ට අලුත් නිවෙසක් සොයා යන්නට සිදුවිය.

මෙහිදි ඔහුට පිහිට වුයේ සමසමාජ පක්ෂයේ පුරෝගාමීයකූ වූ පයාගලගේ කුලතුංග මහතාගේ පුත් රූපවාහිනි ව්‍යාපෘති අධ්‍යක්ෂ වසන්ත කුලතුංගය. ඔහු ජ්‍යෙෂ්ඨ කලාකරු බන්දුල විතානගේට අයත් ගෝනගල පිහිටි නිවෙස ඩැනියෙල්ට ලබා දුන්නේය

“මට ඩැනියෙල් සහෝදරයාගේ කුලියක් වුවමනා නැහැ.“බන්දුල කීය.

පසුකලෙක වටිනාකමට වඩා අඩු මුදලකට ඒ නිවෙස ඔහුගෙන ඩැනියෙල්ට ලැබිණ. චම්පික රණවක සහ තවත් කිහිප දෙනෙක් ඒ නිවෙස මිලට ගැනීමට ඩැනියෙල්ට මුදල් සපයා දුන්හ.

ජනාධිපතිවරණය පසු වී මාස කීපයක් ගෙවිණ. ධර්මසේකර ඉඳුරුව ගෝනගල නිවසක් ඩැනියෙල්ට පදිංචිය සඳහා ලබා දුන්නේය. මිය යනතුරු ම ඔහු රැඳී සිටියේ ඒ නිවසේය. ගමේ ජනතාව ඔහු සාදරයෙන් පිළිගති.

ඩැනියෙල් ගමේ ඇවිද්දේය. වැඩි දෙනා ගෙවනුයේ දුෂ්කර ජීවිතයකි. පන් කර්මාන්තයට සුදුසු පරිසරයක් එහි ඇති බව ද ඔහුට පෙනිණ. ඒ මඟින් ගමේ ජීවිත යහපත් අතට වෙනස් කළ හැකි බව සිතූ ඔහු කොස්ගොඩ මාලිම්බගොඩැල්ල පන්සලට නුදුරු විශාල ඉඩමක පන් වගා කැරැවීය. මෝල් ලබාදී පන් කර්මාන්තයට විශාල පිරිසක් යෙදවූ පසු තරමක් දුරට හෝ ගමේ අගහිඟකම් දුරු ‍කළේය.

ඔහු තලල්ලේ සිටිය දී ද ගමේ ජනතාවට කොහු මෝල් ලබාදී සරු ආදායම් මාර්ග පාදා දුන්නේය. ගෝනගල අභිමානී කාන්තා සංවිධානය ගොඩනැඟුනේ ඔහුගේ මෙහෙයීමෙනි. ඔහු ගමේ කාන්තාවන්ට පියෙක් විය. සහෝදරයෙක් විය. ණය බරෙන් මිරිකුණු පවුල්වලට සැබෑ මිතුරෙක් විය.

මත් කුඩු වලට හුරු වු ගමේ තරුණයන් සමඟ මිතුරු වූ ඩැනියෙල් ඔවුන් යහ මඟට හරවා පෝයදා පන්සලේ සිල්වතුන් බවට පත් කළේය.

ග්‍රාම නිලධාරි නන්දන විජේවර්ධනගේ ඉල්ලීම පරිදි ඩැනියෙල් විශ්‍රාමික ග්‍රාම නිලධාරි ඉද්දගොඩ සමඟ එක්ව, මියයමින් පැවති ගෝනගලපුර සුදහම් වැඩිහිටි සමිතියට පණ දුන්නේය. එය පළාතේ හොඳම වැඩිහිටි සමිතිය විය. වැඩිහිටියන්ට විවිධ සහන ලැබිණි.

‍මේ අතර ඩැනියෙල් පිළිබඳ සෝදිසි කරමින් සිටි තලල්ල ප්‍රදේශයේ ජ. වි. පෙ. නායකයන්ට ඔහු ගෝනගල සිටින බව අසන්නට ලැබිණ. ගෝනගලට ඩැනියෙල් ඝාතනයට මැරයෝ ආහ. ගෝනගල තරුණයෝ ඔවුන් හඳුනා ගත්හ. බෙල්ලෙන් අල්ලා පස්සට පා පහරක් දී පලවා හැරියහ.

“ඩැනියෙල් මාමා ගමේ ජීවිත රැකගන්නට වෙහෙසෙනවා... උඹලා ඩැනියෙල් මාමගෙ ජීවිතය විනාශ කරන්න දඟලනවා. ආයෙත් පළාතේ එන්න එපා...” යළි ඔවුහු නොආහ.

ඉඳුරුව වෙරළ තීරුව කැස්බෑවුන් බහුලය. කැස්බෑ බිත්තර විනාශය, කැස්බෑවුන් විනාශය වැළැක්වීම, කැස්බෑවුන් සංරක්ෂණයට විධිමත් වැඩ පිළිවෙළක් ඩැනියෙල් ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ ය. එයින් ස්වයං රැකියා සැපයීමක් ද සිදුවිය.‍

ඩැනියෙල් කියවීමේ රුසියෙකි. ඉංග්‍රීසි, සිංහල හොඳ පොතක් අතට ගත් සැණින් එය කියවා අවසන් කරන තුරු ඔහුට ඉවසුමක් නැත. ගෙදරට ආහාර ගෙනෙන්නට ඇති මුදලින් පවා පොත් ගෙන ආ අවස්ථා ඇත.

වරක් ඔහු දයාසේන ගුණසිංහ මහතාගේ ‘කේතුමතී හෝටලයේ රාත්‍රියක්’ කෙටිකතා පොත මිලට ගෙන කියවූ සැණින් කතුවරයා හමුවීමට ගියේය.

“මට ඔ‍බේ අත සිඹින්නට ඕනෑ. මේ කතා ලියූ අත.” අත සිම්ඹේ නැත. ඔහු ඔහුගේ ගෞරවය දැන්වූයේ ය. තවත් ලියන්නයි ආශිර්වාද කෙළේය.

“මේ වර්ගයේ කෙටිකතා සිංහලයේ නැහැ. මේ තරම් හොඳින් කටුක සමාජ යථාර්ථය දක්වන්නට සමතෙක් මට තාම හමුවෙලා නැහැ. ඒ වගේ හැම තැනම සියුම්ව උපහාසයකුත් තියෙනවා.”

“සිවගිරියෙන් සීගිරියට” ලියූ සුජිත් අක්කරවත්ත හමුවීමට ගිය ඩැනියෙල් ‘ඔබේ පොත කියාවූ සැණින් ඔබ හමුවන්නට සිතූහ. හරිම අපූරු විදියකට ඔබ මෙය ලියා තිබුණි. අප නොසිතූ බොහෝ දේ ඔබ දකිනවා. ඒත් ඉතිහාසේ අපට අලුතින් දකින්න සලස්වනවා. දිගටම ලියන්න.”

ඔහු තරුණ ලේඛකයන්ට දිරිදුන්නේය. පොත් දොරට වැඩීමේ උත්සව ඔහු මග හරින්නේ නැත.

මොනිකා රුවන්පතිරණ ගේ කවිවලට ඔහු ප්‍රිය කළේ ය. ඇගේ අලුත් පොතක් පළ වූවිට ඔහු එය මිලට ගනියි. දුරකථනයෙන් ඇය අමතයි. නැත්නම් ඇවිත් හමුවෙයි.

“සමාජයේ ඇත්ත මේ කවිවල තිබෙනවා. හරිම ප්‍රාණවත්. මා හුඟක්ම කැමතියි පියසේන ඇසූ ප්‍රශ්නයක් කවි පෙළට. ඒ ප්‍රශ්නය තමයි පහළ පන්තියෙ ජනතාවට හැමදාම තියෙන්නෙ.

“තුනේ හිටපු මම හතරට යන්නේ කවදාද ඉතින්” ක්‍රමයෙන් සමාජයෙන් අතුරුදන්වී යන නිදහස, සමානාත්මතාවය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස, මතවාද යළි සමාජය තුළ ස්ථාපිත කිරීම සඳහා ද සිය අයිතිය පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබාදීම සඳහා ද පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩ නැඟීමේ කලෙක සිට ඩැනියෙල්ට තිබිණ.

මෙයම තවත් තරුණ කීප දෙනකුට ද තිබිණ. ඔවුහු පොද්දරමුල්ලේ හේමාලෝක හිමි වැඩ සිටි ආරාමයට රැස්වී දීර්ඝ සාකච්ඡාවක යෙදුණහ. එතැනට වාද්දුව පොලිසිය කඩා පැන පිරිස අත්අඩංගුවට ගත්තේය. පිරිස ස්ථාන කීපයක රඳවනු ලැබිණ. ලේඛක මලින්ද සෙනෙවිරත්න සමඟ එක ස්ථානයක රැඳී සිටීමට ඩැනියෙල්ට සිදුවිය.

ඒ සිටිය කාලය තුළ ඩැනියෙල් මාඕවාදය ලංකාවේ දේශපාලනයට ගැළපිය හැකි ආකාරය ගැන කී කරුණුවල අපූර්වත්වය මාලින්දට තාමත් මතකය. නිතීඥ එස්. ජී. පුංචිහේවා මහතා ඇතුළු නිතීඥ පිරිසක් නොමිලේ ඉදිරිපත් වී පානදුර උසාවියේදී මේ පිරිස නිදහස් කර ගත්හ.

භීෂණ යුගයේ අතුරුදන් වූවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් 1992 දී මාතර උයන්වත්ත පිට්ටනියේ පැවැත්විණ. එය ජනතා මිතුරෝ සංවිධානයේ ඉදිරිපත් කිරීමකි.

ප්‍රදර්ශනය විවෘත කිරීමත් සමඟ මැර පිරිසක් එතැනට කඩා වැදුණහ. තරුණයන්ට පහර දුන්හ.

කොතැනක සිට හෝ එතැනට ඩැනියෙල් පැමිණියේය. “ඇයි උඹලා මේ ළමයින්ට කරදර කරන්නේ” ඩැනියෙල් උස් හඬින් ඇසීය.

මැරයෝ ඔහු හඳුනා ගත්හ. උන් දික්වැල්ලේය. තලල්ලේ කීප දෙනෙක් ද වූහ.‍”

“අඩෝ... කොමිනිස් ඩැනී නේද උඹ... ගම ඇරල ගියපු එකා ආයිත් ඇවිල්ලද...”‍

එකෙක් එසේ අසමින් ඩැනියෙල්ට අතින් පහරක් දුන්නේ ය. පහර අතින් වැළැක්වූ ඩැනියෙල් ඉවතට පැන මැරයාගේ බඩට පා පහරක් දුන්නේය.‍

“බලපල්ලකො මූ නාකියෙක් වෙලත්...” තවත් මැරයෙක් ඩැනියෙල් බිම දමා පාගා පහර දුන්නේ ය.

හත් අට දෙනෙක්ම ඩැනියෙල්ට ගැසුවේය. තරුණයෝ මැරයන්ගේ පොලු පහරවලින් තුවාල ලැබූහ. ආරක්ෂාවට කැඳවූ පොලිසිය ද පහර දුන්නේ තරුණයන්ට ය.

මැරයෝ රාක්ක සියල්ල ද ඡායාරූප ද පුටු සහ මේස ද ලොරියකට පටවා ගෙන ගියහ.

තරුණයෝ ඩැනියෙල් ඔසවාගෙන මාතර රෝහලට ගෙන ගියහ. ඔහුට රෝහලේ නතර වී දින කීපයක් ප්‍රතිකාර ගැනීමට සිදුවිය.

අසූ නව වන උපන් දිනය දා ද ඩැනියෙල් සිය පැරණි පා පැදිය පැදැගෙන ගෝනගල සිට අලුත්ගමට ගියේ ය. බෙන්තරට ගොස් සිය මිතුරන් ද හමුවූයේ ය.

කටයුතු බරින් මිදුණු හැම විටෙක ම ඔහු පා පැදියෙන් ගම පුරා ඇවිද්දේ ය.

මත්කුඩුවලින් මිදී රැකියාවල යෙදෙන තරුණයන් හමුවූයේ ය. වැඩිහිටි සමිතියේ සාමාජිකයන් සමඟ විහිළු තහළු කරමින් සිනාසුණේ ය.

ඔහුට මග දී විවිධ ඇමතුම් ඇසේ.

“ඩැනී සීයා” - “ඩැනී මාමා” - “ඩැනී අයියා”

“මං මේ ළඟකට යනවා” කියාගෙන ඔහු යයි.

ගෝනගල පිරිවෙනට යන ඔහු පා පැදිය කණුවකට හේත්තු කොට පිරිවෙන් පති සමිත හිමි සමඟ කතාවට වැටේ.

(අවසන් කොටස ලබන සතියේ)

Comments