තඹ ශතයක න්‍යාය! | සිළුමිණ

තඹ ශතයක න්‍යාය!

 

ලොකු මහත්තයා මයිල දෙක හමාරක් පයින් ගාටා ඉස්කෝලයට ආවේය. මයිල දෙක හමාරක් පයින් ගාටා ආපසු ගෙදර ගියේය. ඔහුගේ එක් දිනෙක ඇවිදීම මයිල පහකි. දින පහක ඇවිදීම මයිල විසි පහකි.

ලොකු මහත්තයා අවුරුදු හතළිස් නමයේදී මේ පාසලට පැමිණි අතර විශ්‍රාම යන තුරුම එහි සේවය කළේ ය. එකම එක දිනයක් හෝ නිවාඩු නොගත් ඔහු අවශ්‍යතාවට අනුව නිවාඩු දිනවල ද සේවයට වාර්තා කළේ ය. ලොකු මහතාගේ ඇවිදීමේ තරම ඉහත කාල වකවානු ගණනය කිරීමෙන් සපයා ගත හැකි ය.

ඉස්කෝලයට පන්ති අටකි. ලොකු මහතා ද ඇතුළත් ව ගුරුවරු පහකි. හතර දෙනා පන්ති හතරක් බලාගත් අතර ලොකු මහතා ඉතිරි පන්ති හතර බලා ගත්හ. ගුරුවරු තමන්ට හිමි සියලු නිවාඩු ලබා ගත් අතර කඩිමුඩියේ උගන්වා හැකිතාක් කලින් ගෙදර ගියහ. ලොකු මහතා පන්ති හතරටම උගන්වා, කාර්යාලයීය කටයුතු ද නිමවා ගමේ නිවෙස්වලට ගොස් උපදේශන ද ලබාදී ගෙදර යයි. පාසල් නො එන දරුවන්ට ඔහුගෙන් බේරුමක් නැත. දරුවන්ට ඉගැන්වීම සඳහා උනන්දුවක් නැති මාපියන්ට ද ඔහුගෙන් බේරුමක් නැත.

ලොකු මහතා පාසලෙන් පිටත දී දිග මිටක් සහිත කළු කුඩයක් භාවිත කළේය. ඉස්කෝලෙදී මනාව සකස් කරන ලද වේවැලක් භාවිත කළේ ය. දඩාවතේ යන බල්ලන් එළවීමට, පාරේ රැ‍ඳෙන මී හරක් ගාල් එළවීමට හා ඇවිද යන විට වාරු ගැනීමට ද කුඩය පාවිච්චි කළේ ය. වේවැල මුළුමනින් ම ළමයින් පාලනය කර ගැනීම සඳහා ය. දරුවන්ට දඬුවම් දෙමින් හදාගත යුතු බව ඔහු කියා සිටියේ ය.

ගුරුවරයා රාජ්‍ය සේවකයෙකි යන්න ඔහු පිළිගත්තේ නැත. ගුරුවරයා සමාජයේ නායකයා ය. ගෞරවාන්විත පුද්ගලයාය යන්න පමණක් ඔහු විශ්වාස කළේ ය. ඒ අනුව ගමේ සියලු සමිති සමාගම්වල නායකත්වය තමා වෙත පවරා ගන්නට හෙතෙම කටයුතු කළේ ය. ඒ හැරෙන්නට වැඩට එන සෑම දිනකම උදෑසනට උණු කරන ලද එළකිරි බෝතල් භාගයක් නොමිලේ ගෙන්වා ගැනීමට ද ගමේ සෑම නිවසකටම බෙදී යන ලෙස දිවා ආහාර වේලක් ගෙන්වා ගැනීමට ද ලොකු මහතා සමත් විය. ඒ සියල්ල නොමිලේ සිදුවිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය. සියල්ල අදිමදියකින් තොරව එසේම සිදු විය.

ගමේ ඇඹුල, මඟුල, අවමඟුල යන සෑම අවස්ථාවකම නායකයා ලොකු මහතා විය. හීයක්, බින්නැඟුමක්, දෙහිය කෙටීමක් තිබුණු දාට ඇඹුල පංගුව ඉස්කෝලයට එයි. මඟුලක දී ලොකු මහතා උපදේශන කතාවක් කළ යුතු ය. අවමඟුලක දී ලොකු මහතා බණ කතාවක් පැවැත්විය යුතු ය. කොටහළු මඟුලක දී පවා ලොකු මහත්තයාගේ පංගුව ඉස්කෝලයට ලැබේ. ගම හා ලොකු මහතා අතර අපූරු බැඳීමක් තිබිණි. එය අව්‍යාජ - සරල බැඳීමක් විය.

අධ්‍යාපන කන්තෝරුවෙන් එවන විෂය මාලා හෝ වෙනත් උපදේශන හෝ ලොකු මහතාගේ සැලැකිල්ලට ලක්වූයේ නැත. වාසනාවකට මෙන් මේ දුෂ්කර පාසල නිරීක්ෂණය සඳහා කිසිවකු පැමිණියේ ද නැත. එය හුදු අධ්‍යාපන තරගයෙන් දුරස්වූ හුදෙකලා පාසලක් ලෙස ‍ හැඳින්වීම වඩා නිවැරැදි ය.

මිනිසකු සැබෑ නම් චක්කරය පාඩම් තිබිය යුතු බව ද මනෝමයෙන් ගණන් හැදීමේ සූත්‍ර දැනගෙන සිටිය යුතු බව ද ඔහු තරයේ විශ්වාස කළේ ය. ඒ අනුව සෑම පන්තියකම ළමයින් දෙවරක් චක්කරයේ සිට දොළොස්වරක් චක්කරය දක්වා කට පාඩමින් කියැවිය යුතු ය. තව ද සුභාෂිතය හා ලෝවැඩ සඟරාව කට පාඩමින් ගායනා කිරීම වඩා වැදගත් ය. අට ශ්‍රේණියේ දී වර්ග මූලය සෙවිය යුතු ය. සියයට ගණන් හැදිය යුතු ය. ව්‍යාපාර වස්තු ගණන් ද හැදිය යුතු ය. මේ සඳහා ප්‍රමාණවත් හැකියාවක් නොපෙන්වන අයට දඬුවම් විඳීමට සිදුවේ.

ලොකු මහතා පුදුමාකාර ගුරු‍වරයෙකි. ඔහුට භාෂාව, ආගම, ඉතිහාසය, සාහිත්‍යය පමණක් නොව; වඩු වැඩ හා ලෝහ වැඩ ද ඉගැන්විය හැකි ය. චිත්‍ර ඇඳීමට පුළුවන. සංගීතය ඉගැන්වීමට ද පුළුවන. කොටින් ම ලොකු මහතාට උගන්වන්නට බැරි දෙයක් නැත. ඔහු ඒ ගැන ආඩම්බර වුණේ ය. “නුඹලාත් මං වගේ හැදියල්ලා!” යැයි ඔහු නිතර තම ගෝලයන්ට කියා සිටියේය.

දිනක් උදෑසන ගුණපාල නම් දරුවාට කතා කළ ලොකු මහතා අප්පුහාමිගේ කඩයට ගොස් සීනි කාලක් රැගෙන එන්නැ’යි අණ කළේ ය. ඔහුට ශත දහයේ කාසි දෙකක් ද දුන්නේය.

ගුණපාල මිටෙන් හළ කුරුල්ලකු සේ පියඹා ගියේය. ගල් වැටි - කාණු - මඩ වළවල් හා ගල් බොරළු ඉබේම මෙන් පසුපසට පාවී යන ආකාරය ඔහු දුටුවේය. එක පිම්මේ ගිය ඔහු අප්පුහාමිගෙ කඩේ බක්කිය ළඟ නැවතුණේ ය.

‍එදා සීනි කාලක් ශත දහ නමයකි. පාන් ගෙඩියක් ශත තිස් පහකි. අග්ගලා ගෙඩියක් ශත හයකි. බනිස් ගෙඩියක් ශත පහකි. ශත විස්සක් දී සීනි කාලක් ඉල්ලූ විට තඹ ශතයක් ඉතිරි ලැබේ. ශත විසි පහක් දී අග්ගලා ගෙඩි හතරක් ගත් විට ද තඹ ශතයක් ඉතිරි ලැබේ. තඹ ශතයට රට ඉඳි ඇට පහක් ලබාගත හැකි ය.

“අප්පුහාමි මට සීනි කාලක්!”

ගුණපාල කොලුවා ශත විස්ස දිගු කරගෙන සිටියේය. කොලු ගැටවුන් තමන්ගේ නම කියා කතා කරන විට අප්පුහාමි කෝප වෙයි. බඩුදීම පමා කරයි. කෝපයෙන් එහෙට - මෙහෙට ඇවිදියි.

ලොකු මහත්තයා ගුරු කාමරයට වී උණු කළ කිරි බෝතල් භාගය දෙස බලා සිටියේය. දැන් එය නිවෙන්නට ළඟ ය. ඊටත් වඩා ඔහුගේ කුසගින්න අධික ය. එළකිරි ඇල් වී පානය කරන විට එහි රසයක් නැත. බඩේ අමාරුවක් වුව හැදෙන්නට පුළුවන. ඔහුගේ ඉවසීමේ සීමාව පනින්නට හොඳට ම කිට්ටු ය.

ගුණපාල හදිසියේ ම හති හලමින් ගුරු කාමරයට කඩා වැදී සීනි කාල ලොකු මහතා වෙත දිගු කළේ ය.

“කෝ ඉතිරි හතේ!?”

“ශතයක් නෑ!”

“සීනි කාලක් කීය ද?”

“දන්නෙ නෑ!”‍

“ඇත්ත කියපං! උඹ රට ඉඳි කෑව නේද?”

ලොකු මහතා දිගින් දිගටම ගුණපාලගෙන් ප්‍රශ්න කළ අතර ගුණපාල දිගින් - දිගට ම තම නිර්දෝෂීභාවය ප්‍රකාශ කළේ ය. ගුරු කාමරය තුළ ගුණපාල දණ ගැස්වූ ලොකු මහතා වෙනත් ළමයකුට කතා කො‍ට මුදලාලිට වහාම ඉස්කෝලයට එන්නැ” යි පණිවිඩයක් යැවීය. ඒ කාලයේ හැටියට ලොකු මහතාගේ කීමක් අහක දමන්නට ගමේ කිසිවකුටත් හැකියාවක් නැත. අප්පුහාමි කඩේ වසා දමා ඉස්කෝලය වෙත ආවේ ය.

“අප්පුහාමි මේ කොලුවා රට ඉඳි කෑවද?”

“නෑ මහත්තයා!”

“එතකොට මගෙ ඉතිරි ශතේ කෝ!?”

“ළමයා හරි කලබලකාරයා. ඉතුරු දෙන්න කලින් පැනල දිව්වා!”

“එහෙනම් මගෙ ශතේ දෙනවා”

“දැන් සල්ලි ගෙනත් නෑ මහත්තයා!”

“දැන් ම ගෙහුං මට ශතේ ගෙනත් දෙනවා!”

අප්පුහාමිට ලොකු මහතාට අවනතවන්නට සිදු විය. ඔහු නැවත කඩයට ගොස් තඹ ශතයක් රැගෙන’විත් ලොකු මහතාට දුන්නේ ය. ඒ වනතුරු ද ගුණපාල සිටියේ ගුරු කාමරයේ දණ ගසාගෙන ය.

ගුණපාලට නැගිටින්නැ’යි අණ කළ ලොකු මහතා ඔහුට එක අතක් දිගු කරන්නට කීවේය. වේවැල් පහරක් වැදිණි. මතක තියා ගනිං බඩුවක් මිලට ගන්න කලින් මිල අහන්ට! ලොකු මහතා ගුණපාලගේ ඊළඟ අතත් දිගු කරන්නට අණ කළේ ය. තවත් වේවැල් පහරක් වැදිණි.

මතක තියා ගනිං බඩුවක් ගත්තට පස්සේ ඉතිරි සල්ලි ගන්ට! ලොකු මහතා අවසන් උපදේශය දුන්නේ ය.

ගුණපාල වැඩිදුර ඉගෙන ගත්තේ නැත. අටේ පන්තියෙන් ඉගෙනීම අවසන් විය. එහෙත් පසුව ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත් විය. ගුණපාල මුදලාලි ගනුදෙනුවලට හරි හොඳ මිනිහා කවුරුත් කීහ. ඔහු දිනෙන් දින දියුණු විය. එහි රහස කුමක්දැ’යි විමසූ විට ගුණපාල කියා සිටියේ තඹ ශතයේ න්‍යාය කියා ය.

Comments